Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය කොයිබටද?

කාර්යාල වේලාවන් අවසානයේදී වගේම, පාසල් වේලාවන් අවසානයේදීත් මහා මාර්ගවල ගමන් ගන්නා එක නම් තරමක් එපා කරවන සුළු කටයුත්තක්.  මීට හේතුව කොළඹ වැනි නගර සහ තදාසන්න ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

අපේ එදිනෙදා කාලය වගෙම රටේ නිෂ්පාදනයටත් අති විශාල බලපෑමක් එල්ල කරන මේ වාහන තදබදය නිසා වාර්ෂිකව අපට සිදුවන අලාභය රුපියල් බිලියන 32ක් විදියට මොරටුව විශ්ව විද්‍යාලය මගින් කල සමීක්ෂණයක් ඔස්සේ තහවුරු වී ඇති බව මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසනවා.  මෙම නාස්තිය කොයි තරම් විශාල මුදලක් ද කියනවා නම්, එය දල දේශීය නිෂ්පාදනයෙන් 1.5% ක පමණ ප්‍රමාණයක්. මේ සංඛ්‍යා ලේඛන සමග, මහා මාර්ග තදබදය යනු අපේ එදිනෙදා ජීවිතයට වගේම, අපේ රටේ සමස්ත ආර්ථිකයටම එල්ලකරන බලපෑම සුළුපටු නොවන බව ඔබට දැනේවි.

මාර්ග තදබදයෙන් ඇතිවෙන බලපෑම්

මහමග කල් මරුවා-වාහන තදබදය. (www.newsfirst.lk)

මහමග කල් මරුවා-වාහන තදබදය. (www.newsfirst.lk)

රටට ආර්ථික වශයෙන් සිදුවන අලාභය වගේම, මහා මාර්ග තදබදය නිසා අපේ පෞද්ගලික ජීවිතයත් මන්දගාමී වීම නොවැලක්විය හැකි කාරණයක්. වෙහෙසකර දිනයක අවසානයේ නිවස කරා යන කොයි කාගේත් කාලය මෙන්ම කාය ශක්තියත් මාර්ග තදබදය හේතුවෙන් අපතේ යැවෙනවා.  පොදු ප්‍රවාහන සේවයේ හෝ පෞද්ගලික රථයක ගමන් ගනිමින් කරද්දී මාර්ග තදබදය සමග පොර බැදීමට සිදු වී නිවසට ළඟා වීමෙන් අනතුරුව, පවුලේ අය සමග කල් ගත කිරීම, විවේකයෙන් සිටීම හෝ නිර්මාණශීලී කටයුත්තක යෙදීම පසෙකලා හුදෙක් විඩාබරව නින්දට වැටීමට සිදුවීම ඔබෙත් මගේත් අත්දැකීම විය හැකි බව ඔබ මේ වන විට කල්පනා කරනවාත් ඇති.

පාරේ මේ තරම් තදබදය වාහන වැඩි නිසාම ද?

පසුගිය 2015 වසරේ පළමු මාස 10 පමණක් සලකා බැලීමේදී 2014 සම්පූර්ණ වර්ෂයට සාපේක්ෂව වාහන ලියාපදිංචිය 375%කින් ඉහළ ගොස් තිබෙන බව ඔබට පැවසුවහොත් ඔබ පුදුම වනවා නිසැකයි. එසේම නව වාහන ආණයනය ද පෙර කී වසර දෙක සසඳා බැලීමේදී 4.6% සිට 7.2 % දක්වා ඉහළ ගොස් තිබෙනවා. නමුත්, ඉතා සීඝ්‍ර ලෙස අප මාර්ග පද්ධතියට එකතු වූ මෙම අධික රථ වාහන ප්‍රමාණයට සාපේක්ෂව මහා මාර්ග පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ ගියේ ද යන කාරණයත් විශාල සැකයක් නොවේ ද?

විසඳුම් තියෙන්නේ ආණ්ඩුව ළඟ පමණ ද?

මහා මාර්ගවල වැඩිවන වාහනවලට සාපේක්ෂව මාර්ග පද්ධතියේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම රජය සතු වගකීමක් වූවත්, ඒ වෙනුවෙන් ඔබෙන් සහ මගෙන් සිදු විය යුතු කාර්ය කුමක් ද? පසු ගිය කාලයේ ‘අත්හදා බැලුණු’ මංතීරු  නීතිය සැබවින්ම මහා මාර්ගවල ගමන් ගන්නා අපගේ කාර්ය භාර්යය පිලිබඳ උරගා බැලුන  අවස්ථාවක්  විදියට හඳුන්වන්නත් පුළුවනි. කිසිදු විනයකින් තොරව කැමති කැමති මංතීරු ඔස්සේ , නැතිනම් මංතීරු  දෙකක්  අතර  මැද ධාවනය වන ත්‍රී  රෝද  රථවලට වගේම යතුරු පැදිවලට  ‘හොඳ පාඩමක්’ උගන්වපු මේ නීතියට ඇති වුණ බිය හේතුවෙන්ම, තමන්ට අදාළ මංතීරුවේ විනයගරුක ලෙස ධාවනයේ යෙදෙන්න රියදුරන් කටයුතු කල බව රහසක් නොවේ.  මේ නීතිය නිසාම, මංතීරු උල්ලංඝනය කරමින් ලැබෙන ඉඩෙන් රිංගා යන, එකම මංතීරුවේ වාහන දෙක බැගින් හෝ  ධාවනයට උත්සහ දරණ ත්‍රී රෝද රථ හේතුවෙන් රථවාහන තදබදය තව තවත් උග්‍ර වන බවත් පැහැදිලිව නිරීක්ෂණය වී තිබුණා.

ට්‍රැෆික් එක ගැන සමාජ මාධ්‍යජාල වල මොනවද කියවෙන්නේ?

දුම්රියේ සේවයට පැමිණෙන ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා. (www.newsapi.com.au)

දුම්රියේ සේවයට පැමිණෙන ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා. (www.newsapi.com.au)

මාර්ග තදබදය සහ මාර්ගවල වාහන ප්‍රමාණය ඉහළ යාම ගැන කතා වෙද්දී, සමාජ ජාලවල පවා මතු වූ අදහසක් තමයි පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කිරීම. ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි දියුණු රටවල අගමැතිවරු පවා මහජනයා ගමන් ගන්නා දුම්රියේ ගමන් ගෙන සේවයට පැමිණීනෙන ඡායා රූප මිතුරන් අතර බෙදා ගනිමින් සෑම දෙනාම පාහේ මතු කර තිබූ අදහස වූයේ, ශ්‍රී ලංකාවෙත් ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ගැලපෙන අයුරින් පොදු ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීම තුළින් මෙම මාර්ග තදබදයට සහ වැඩිවන වාහන ප්‍රමාණයට විසඳුම් ලැබෙන බවයි.

මෙය ඉතා සාධාරණ නිර්දේශයක් බවට පෙනී යන්නේ, මෝටර් රථ විස්සක් හෝ තිහකින් ගමන් ගන්නා මුළු සෙනග, ඉතා සැප පහසු එක් බස් රථයකින් ප්‍රවාහනය කිරීම තුළින් මාර්ගයේ ඉඩකඩ ඇහිරීම ඉතා ඉහළ ප්‍රමාණයකින් පහළ බැසීම සිදුවන බව ඉතා පැහැදිලිව මතු කරුණක්වන බැවිණි.

එකම සෙනග ප්‍රමාණයක් ප්‍රවාහනයට මෝටර් රථ ගණනාවකටම අවශ්‍ය එක් බස් රථයක් බව පෙන්වන  කදිම නිදසුනක්. (www.treehugger.com)

එකම සෙනග ප්‍රමාණයක් ප්‍රවාහනයට මෝටර් රථ ගණනාවකටම අවශ්‍ය එක් බස් රථයක් බව පෙන්වන  කදිම නිදසුනක්. (www.treehugger.com)

නමුත්, මෙසේ පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක  භාවය ඉහළ දැමීම රාජ්‍ය සහ පෞද්ගලික ප්‍රවාහන සේවා සපයන්නන්ගේ වගකීමක් වන අතරම, පොදු ප්‍රවාහන සේවා කෙරෙහි නැඹුරු වීමට ඔබෙත් මගෙත් ආකල්ප සීරු මාරු කරගැනීම අප සතු වගකීමක් බව අප විසින් කල්පනා කලයුතු කරුණක් වනවා. විධිමත් නාගරික සැලසුමක් යටතේ අනාගතයේ බලාපොරොත්තු විය හැකි මොනෝ රේල් වැනි ව්‍යාපෘති තුලින් ද පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මකභාවය ඉහල ගොස් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා වන සේවාවල විවිධාන්ගීකරණය  හරහා අනාගතයේ කාලය කා දැමීමකින් තොරව අවශ්‍ය තැනට නියමිත වෙලාවට ලඟා විය හැකි, සතුටුදායි ප්‍රවාහන සේවා අත්විඳීමට ද අපට ඉඩ ලැබෙනවා ඇතී.

‘අනවශ්‍ය අය’ වාහන අරගෙනවත්  ද? ඉස්සරහට මොනවා  වෙයි ද?

ලංකාවේ  අපිටත්  ඉදිරියේදී ලැබීමට නියමිත මොනොරේල්. (www.lankanewspapers.com)

ලංකාවේ  අපිටත්  ඉදිරියේදී ලැබීමට නියමිත මොනොරේල්. (www.lankanewspapers.com)

පසුගිය දිනයක රජයේ ඇමතිවරයෙකු මතු කල මාර්ගවල වාහන වැඩි හේතුව නිසා බදු මුදල් වැඩි කල බවට කල ප්‍රකාශය යම් කිසි විසුළු ස්වභාවයක් ගත්ත ද, වාහන වැඩි වීම නිසා මාර්ග තදබදය ඉහළ යන බව නම් අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක් වනවා. කෙසේ වෙතත්, Roar හි අපද මින් පෙර ඉදිරිපත් කල ලිපි ඔස්සේ  ද පැහැදිලි කල වාහනවල බදු ඉහළ දැමීම් හේතුවෙන් වාහන තදබදයට විසඳුම් ලැබේ ද  යන කාරණය පිලිබඳ, තවමත් නිශ්චිතව පැවසීමට නොහැකි බව කිව යුතුයි.

නමුත්, ඔබෙත් මගෙත් කාලය කා දමන, එසේම අප රටට මෙතරම් ආර්ථික අලාභයකට හේතුවන මාර්ග තදබදය පාලනය කිරීම වෙනුවෙන් රජය ට වගෙම අපටත් යුතුකම් බොහොමයක්  ඇති බව අවසාන වශයෙන් මතක් කල යුතු වනවා.

කවරයේ පින්තුරය: ipsnews.com 

Related Articles