අපට අමතක වුණු විස්මිත ගුණ දෙන වනගත කෑම

අදින් පරම්පරාවකට  විතර එපිට දී ආහාරයට ගත් වටපිටාවෙන් සොයා ගත හැකි ආහාර වර්ග රැසක් අද වනවිට භාවිතයෙන් ඉවත් වෙලා. ඒවා අධික පෝෂණ ගුණයෙන් වගේ ම ප්‍රතිශක්තිකරණ ශක්තියෙන් ද යුක්ත වුණු නිසා බොහෝ බෝනොවන රෝග වැලැක්වූ බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

වනාන්තරවලින්, වෙල්ඉපනැල්ලෙන් නොමිලේ ම නෙළා ගත් මේ ආහාර රසයෙන් ද ඉහළ යි. අද ඒ අතරින් සමහරක් ආහාර කලාතුරකින් අධික මිල ගණන්වලට සුපිරි වෙළෙඳසල්වලින් ලබා ගත හැකි අවස්ථා ද දැක ගත හැකි යි.  

හල් ගෙඩියේ විවිධ අවස්ථා – හෙළ යටගියාව facebook page

තිත්ත රසයෙන් පිරි හල්

ඔෂධීය වශයෙන් මෙන් ම ආහාරමය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් තමයි හල් කියන්නේ.  ඖධීය වශයෙන් ගත් කල බාහිර මෙන් ම අභ්‍යන්තර ප්‍රයෝග වශයෙන් විවිධ වූ ඖෂධ යෝග සඳහා හල්ගසේ ඖෂධාංග යොදා ගන්නවා. ආහාරමය වශයෙන් ගත් කල හල් ගෙඩි උපයෝගී කර ගෙන සකස් කරන ආහාර වර්ගද රාශියක් වේ.

හල් ගස්වල මල් පිපී ගෙඩි හටගන්නේ අප්‍රේල්, මැයි මාසවලදී ය. අගෝස්තු මාසය වන විට පැහුණු ගෙඩි බිමට වැටේ. ආහාරයට ගන්නේ හල් ගෙඩියේ මදය යි. නැතහොත් ඉතාමත් මාංශල බීජ පත්‍ර යයි. එක හල් ගෙඩියක මදය ග්රෑම් 100 ක් පමණ වේ. හල් ගසේ වටිනාම කොටස වනුයේ හල් දුම්මල යි. මේ අතර හල් ගසේ පොතු ද විවිධ ප්‍රයෝග සඳහා යොදා ගනි යි.

ආවේණික ඒක දේශීය ශාකයක්

හල් ශාකය ලංකාවට ආවේණික වූ ඒක දේශීය ශාකයක්. අවදානමට ලක්විය හැකි ශාකයක් ලෙසට හල් ශාකය 2012 රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.  හල් ගස වැවෙන්නේ  පහතරට තෙත් හා අතරමැදිය කලාපීය වනාන්තරවල යි. තෙත් කලාපයේ කුඹුරුවල හා ගෙවතුවල ඕවිටි වැනි තෙත් සහිත ස්ථානවලත් මේ ගස වැවෙනවා. ගස අඩි 50-100ක් පමණ උසට වැඩෙනවා.  නිෂ්ඵල ගසක් සේ සලකා වර්තමානයේ හල් ගස කපා දැමීම සිදු වෙනවා.   මෙම ශාකයේ මල් පිපෙන්නේ අප්‍රෙල්- මැයි- ජුනි මාසවල යි.    හල් ගෙඩි ඔක්තෝබර් සිට ජනවාරි අතර කාලවල හටගන්නවා.  හොර ශාකය අයත් Dipterocarpaceae කුලයටම අයත්  ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Vateria copallifera වෙනවා.    

අදින් අඩසියවසකට ඉහත දී බස්නාහිර, සබරගමුව හා දකුණු පළාතෙත් හල් ගෙඩියෙන් හදන කැවිලි බහුලව භාවිත කළා.  දියවැඩියාව හා කොලෙස්ටරෝල් රෝගීන්ට මෙම ගෙඩිවලින් ගන්නා පිටි තම ආහාරයට එක් කරගැනිම හිතකර යි. තරමක් උෂ්ණාධික කෑමක් ලෙස සැලකෙන හල්  ශක්තිමත් ආහාරයක් ලෙස සැලකෙනවා.  

හල්වලින් හදනා හල්ගුටි- aruni’s kitchen and home facebook page

හල් ගෙඩි පිළියෙළ කිරීම

හල් ශාකයේ ආහාරයට ගන්නේ  ගෙඩි පමණ යි. හල් ගෙඩි කෑම අද සමාජයට නම් ලෙහෙසි කටයුත්තක් නොවේ.  මුලින් ම  හල් ගෙඩියේ මදය සිහිනියට ගා ගැනීම සිදුකර ගත යුතු ය. මේ සඳහා සාදා ගන්නා උපකරණය ‘හල් කටුව’ ලෙස හැඳින්වේ. එය සාදනුයේ තරමක් ඝනකමින් යුත් බෙලෙක් තහඩුවකට යකඩ ඇණයකින් සිදුරු කර ගැනීමෙන්.  මෙසේ තුඩු සෑදෙන ලෙස සිදුරු කරගෙන තුඩු පිටතට සිටින සේ සිලින්ඩරාකාර ව නවා ගත් විට ‘හල් කටුව’ සාදා ගත හැකි ය. 

එය හරියට නූතන ග්‍රෙටරයක් වැනි උපකරණයක්. හල් මදය තද තිත්ත රසකින් යුක්තයි. අතීතයේ නම්  තිත්ත රස ඉවත් කිරීමට පන් මල්ලක අසුරා කට බැඳ හෝ කපු රෙදි කඩක බැද ගලා යන ජලය ඇති වක්කඩක බැඳ තැබීම සිදු කරනවා. ඇළ හරහා ගලායන ජලය  පන් මල්ලේ සිදුරු හරහා ගොස් හල් පිටි හොඳින් සේදී යන විට තිත්ත රසය ද ඉවත් වෙනවා.  බොහෝ විට රාත්‍රියේ එසේ ගැට ගසා පසු දින ඒවා ලබා ගෙන ආහාරවලට යොදා ගන්නවා.කුඩු ආකාරයක් ගන්නා හල් පිටි සහල් පිටිවලට මිශ්‍රකර බහුල ව ම හදන්නේ හල්ගුටි සහ හැලප යි. හල් රොටි, හල් පුඩිම්, හල් කැඳ ආදියත් ඉන් සකස් කර ගත හැකි යි. මෙම කැවිලිවලට බහුලව භාවිත කරන්නේ කිතුල් පැණි යි.

අහස උසට වැවෙන බෙරලිය ගස්- Wikipedia.org

 වැසි වනාන්තරවල බෙරලිය

අඩි 150ක් පමණ උසට වැඩෙන බෙරලිය ගස සිංහරාජය, කන්නෙලිය ඇතුළු වර්ෂා වනාන්තරවල සුලබ ය.  හොර කුලයට අයත් මෙම ගසත් ලංකාවට පමණක් ආවේණික ශාකයකි. සිංහරාජය, කළුතර සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල නිවර්තන තෙත් වනාන්තර වල බෙරගිය ගස් සුලබ ය.  මේ ගසේ මල් හට ගන්නේ  වසර හතරකට වරක් පමණකි. සැරයක් හට ගන්නා මේ මල් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. උද්භිද විද්‍යාත්මකය මේ ගස හඳුන්වන්නේ Doona macrophylla Thwaites කියා යි.   ආයුර්වේදයේ සඳහන් පරිදි බෙරලිය ප්‍රභේද කිහිපයක් තිබේ. ඒවා නම් රත් බෙරලිය, කොටිකං බෙරලිය ආදිය යි.

දානයකට බෙරලිය ව්‍යාංජන සකසා දිය හැකිනම් එම දානය ඉතා දුර්ලබ දානමය පින්කමක් ලෙසට පැරණි ගැමියෝ සැලකුහ. බෙරලිය ගෙඩි සෑදෙන්නේ අඩි 100 කටත් වඩා උස ගස්වල ඉහළ වියනේ ය. මල් පිපීමෙන් පසු හට ගන්නා ගෙඩි බිමට වැටුණු පසුව එකතු කර ගනියි. ඒ කාලයට මේවා සොයා ගැමියන් වනාන්තරවලට ගොස් ගස් යට දහස් ගණනින් වැටී ඇති ගෙඩි එකතු කර ගැනීම සිරිතකි.

බෙරලිය ගෙඩි –  life of village  facebook page

ගෙඩි සකස් කර ගන්නේ මෙහෙමයි:

බෙරලිය ගෙඩි සකස් කරන විට පොත්ත ඉවත් කර  කහට ගතිය ඉවත්වන තුරු දින කිහිපයක් ජල බඳුනක තැබීම සිදුවේ. විටින් විට ජලය ඉවත්කර එයට අලුතින් ජලය එක් කළ යුතු ය. පසුව  මස් ව්‍යංජනයක් සකස් කර ගන්නා ආකාරයට ව්‍යංජනය සකසා ගනියි. බෙරලිය පිට්ටු ද ඉතා රසවත් සහ ගුණවත් ආහාරයකි. ගෙඩිවල මදය තලා සකස්කර ගන්නා පිටි රතුකැකුළු හාල් පිටි සමඟ එකතුකර පිට්ටු තනා ගනියි. බෙරලිය පිට්ටුවලට කිතුල් පැණි උණුකර දැමීමෙන් පසු බෙරලිය වැලිතලප සකස් කර ගත හැකි ය. බෙරලිය රොටී, හැලප, බෙරලිය අග්ගලා ආදියත් කලකට පෙර වනබද කාන්තාවන් තැනූ කැවිලි අතර තිබිණි.

මේ බෙරලිය ගැන සඳහන් ජනකවියක්:

‘‘බෙරලිය තලලා ඇට ඇහිඳින්නේ

වතුරේ බැඳලයි කහට අරින්නේ

වියළුණු මද ගෙන මෝලෙ කොටන්නේ

එහෙමයි බෙරලිය පිටි සකසන්නේ‘‘

තොලොල් ගෙඩි සහ ඉන් ලබාගන්නා පියලි – Aruna shantha facebook page

තොලොල්

පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන වනාන්තරවල තිබෙන ගසක් වන තොලොල් ගසේ උද්භිද විද්‍යාත්මක නාමය TRICHADENIA ZEYLANICA ය යි. මෙයත් ශ්‍රී ලංකාවට ආවේණික ගසකි.

  තිත්ත තොලොල් හා තොලොල් යනුවෙන් මෙහි වර්ග දෙකක් හමුවේ. මේ ගසේ විශාල පත්‍ර දැකගත හැකි ය. පුරාණයේ කැකුණ ගෙඩිවල තෙල්වලින් මෙන් තොලොල් තෙල්වලින් ද පහන් දල්වා තිබේ.  තොලොස් ගස්වල  වසරකට වරක් පල හට ගනියි. රවුම් කහ පැහැති පලයක් හට ගන්නා අතර එහි බීජ දෙකක් හෝ තුනක් තිබේ. ගස් යටින් එකතු කර ගන්නා ගෙඩිවල  පොත්ත ඉවත්කර ගෙන  බීජ හොඳින් සෝදා ගත යුතු ය.

මඩුගෙඩිවලින් මදය ලබා ගන්නා අයුරු- bimthanna facebook page

ගිරය භාවිත කරමින් තොලොල් ගෙඩි පහසුවෙන්  දෙකට පලා මදය ඉවත් කර ගත හැකි ය.  පසුව මුට්ටියකට වතුර දමා ළිප තබා හොදින් රත් කර ගත යුතු ය.  තිත්ත තොලොල්වල නම් තිත්ත ඉවත් වන තෙක් රෙදි බෑගයක් හෝ පන්මල්ලක දමා බැසගෙන යන ජලයෙහි පැය කිහිපයක් තැබිය යුතු ය. ඉන් පසුව   පොල් සමඟ ආහාරයට ගත හැකි ය.  හිරු එළියෙන් වේලා පැණි එක් කරගෙන රසකැවිල්ලක් ලෙසත් භාවිත කළ හැකි ය. නැතිනම් කජු වගේ ව්‍යංජනයක් විදිහට උයා ගැනීමටත් පුළුවන.

 මඩු පිට්ටු

වාර්ෂිකව ගෙඩි හට ගන්නා මඩු ශාකයත් පර්ණාංග ගණයට අයත් ගසකි.  පොහොර හෝ ජලය යෙදීමක් සිදු නොකර වනාන්තරවල හෝ ගෙවතුවල, ලඳුකැලෑවල වැවෙන ගස්වලින් ගෙඩි එකතු කරගෙන ඉන් ආහාර සකස් කර ගැනීමට පැරණි ගැමියෝ උනන්දු වූහ.  ඌව පළාතේ මොනරාගල අවට මෙන් ම මාතලේ ලග්ගලත් මඩු ගස් සුලබ ය.  මාතලේ  ලග්ගල ගැමියෝ මඩු ගෙඩිවලින් ආහාර වර්ග රැසක් සකස් කර ගනිති.

මඩු පිට්ටු – bimthanna facebook page

මඩු පිට්ටු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනියි.  මඩු ගස්වල ගෙඩිවලින් පොත්ත ඉවත් කර මදය ගෙන ඒවා හෝදා,  කොටා ගැනීම සිදුකරයි.  එසේ කොටා ගත් පිටි පෙනේරයකින් හලා  හීනියට ගාගත් පොල් සමඟ මිශ්‍රකර ලුණු වතුරත් එකතු කරන ගමන් පිටි කැට හදාගෙන හුමාලයෙන් තම්බා පිට්ටු තනා ගැනෙයි. මඩු පිට්ටු මෙන් ම මඩු පිටි කැඳත් ගුණදායක ය. මඩු දලු මාලුව පැරණි ගැමියන් සකස් කළ තවත් අපූරු ආහාරයක්.  අර්ශස් රෝගයට සහ දියවැඩියාවට එය ගුණදායක බව පැවසේ. බත් වෙනුවට සකසා ගන්නා මඩු පිට්ටු බර ශක්තියක් ලබාදෙන ආහාරයක්  බවත් ගැමියන් පවසයි. 

කැරන්කොකු

කැරන්කොකු හෙවත් බාරුකොකු යනු මඩු මෙන් ම මීවන විශේෂයකි. Acrostichum aureum var hirsutum යන උද්භිද විද්‍යාත්මක නමින් කැරන්කොකු හැඳින්වෙයි. තෙත් කලාපයේ වනාන්තරවල සහ කඩොලාන වනබිම්වල යටි රෝපණයේ වගාවක් ලෙසත්  කුඹුරු දෙනි ආදී හොඳින් ජලය තිබෙන තැන්වලත් මෙය  බහුලව වැවෙයි. මෙහි ආහාරයට භාවිත කරන්නේ ළපටි දල්ල ය. ඒවා හීනියට කපා, තම්බා වතුර පෙරා ගෙන ව්‍යංජන සකස් කර ගනියි.

කැරන්කොකු දළු සහ ව්‍යංජනය- I. Inoka Wijesekara facebook page

හොඳින් කලවම් කර එයට මිටි කිරි දමා හොඳින් කිරි උතුරවලා ලිපෙන් බාගත් පසු ඉතා රසවත් ය.ආයුර්වේදයට අනුව කැරන්කොකු අමාශගත රෝගවලට හිතකර ය. ශරීරය සිසිල් කරයි. බාල මහලු කාහටත් ආහාරයට ගතහැකි ආහාරයක් වන අතර මෙහි යකඩ, කැල්සියම් සහ විටමින් සී බහුලව අඩංගු ය. තන්තු බහුල නිසා මලබද්ධයටත් ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් ය.

කවරයේ ඡායාරූපය- bimthanna facebook page/ niro’s owsome kitchen facebook page/ බෙහෙත් facebook page
මූලාශ්‍ර:
Subasetha.lk
researchgate.net
lankadeepa.lk

Related Articles

Exit mobile version