Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අකුරු රටා ගැන – බරට කතා කරන Akuru Con 2021

ලෝකය ගොඩනඟන්නටත් වෙනස් කරන්නටත් අකුරුවලට ඇත්තේ ලොකු ශක්තියක්. අකුරෙන් අකුර එක් කර තැනූ වදන්වලට ලොව වඩාත් යහපත් තැනක් බවට පත් කළ හැකියි. අකුරු සාමූහිකය (Akuru Collective) යනු ඒ ශක්තිය හොඳින් වටහාගත් අක්ෂර-රූපකරණය හා අක්ෂර පිළිබඳ උනන්දු පිරිසකගෙන් සැදුණු සාමූහිකයක්. අකුරු බෙදා හදා ගන්නටත්, භාවිත කරන්නටත්, අක්ෂර-රූපකරණයේ පරතෙරට යන්නටත්, ගැඹුරු අවබෝධයක් සහ නිරන්තර විමසුමක් මෙන් ම අධ්‍යයනයක් වුවමනා බව ‘අකුරු’ සාමූහිකයේ විශ්වාසයයි.

මෙම අරමුණ ඔස්සේ ක්‍රියාත්මක අකුරු සාමූහිකය, ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අක්ෂරකරණය සහ අක්ෂර කලාව ගැන සමාජය තුළ කුතුහලය, සංවාද සහ අවබෝධය ඇති කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන විචිත්‍රවත් සමුළුවක් ලෙසයි Akuru Con හඳුන්වා දිය හැක්කේ. මේ සටහන දිගහැරෙන්නේ අකුරු සාමූහිකයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිබඳ හඳුනාගන්නටත්, ඔවුන් සංවිධානය කරන ‘Akuru Con’ 2021 සම්බන්ධ ආකර්ෂණීය තොරතුරු පාඨක ඔබ හා හුවමාරු කර ගැනීමේත් අදහසින්.

දෙවන වරටත් පැවැත්වෙන ‘Akuru Con’ 2021,මෙම අගෝස්තු මාසය පුරා ක්‍රියාත්මක වන්නක්. විශේෂාංග රැසක් එක්වුණු වැඩසටහන් රැසක් සහ මාර්ගගත වැඩමුළු රැසක් සමඟින් අකුරුවලට ඇල්මක් දක්වන, අකුරු ලෝලීන් වෙනුවෙන් ම මේ වනවිටත් ක්‍රියාත්මකයි.

භාෂා විවිධත්වය තුළ පවතින ඒකමතිකත්වය හඳුනා ගැනීම – ‘Akuru Con’ 2021

 

“බහු භාෂා ශ්‍රී ලංකාවක්” ගැන පවතින බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව යනු විවිධ සංස්කෘතීන් සහිත බහු වාර්ගික රටක්. එබැවින් විවිධ මුලාශ්‍ර ඇති ලේඛන ක්‍රම එකට එකතු වී විවිධත්වයක් සහිත ලේඛන පද්ධතියක් රට තුළ නිර්මාණය වී පවතිනවා. ශ්‍රී ලංකාවේ වීදි දැන්වීම් පුවරුවල බොහෝ ලේඛන ක්‍රම දක්නට ලැබෙන අතර ඒවායින් බහුතරයක් සිංහල, දෙමළ, තනා, අරාබි සහ චීන භාෂාවලින් සමන්විතයි. පසුගිය අකුරුකොන් සමුළුව “බහු භාෂා ශ්‍රී ලංකාවක්” සහ එහි වර්තමාන, අතීත සහ අනාගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවක් මත පදනම් ව පැවැත්වුණේ මේ විවිධත්වය තුළ පවතින ඒකමතිකත්වය හඳුනා ගැනීමේත් අරමුණින්.

නව ඩිජිටල් මංපෙත්වල පල දරන නැවුම් අක්ෂර අත්දැකීම් කරා අපේ භාෂා ගෙන යන්නටත්, සිංහල, දෙමළ ඇතුළු ශ්‍රී ලාංකිකයන්ට උරුම භාෂාවන්හි රූපකරණය සහ යෙදවීම් ගැනත් අකුරු සාමූහිකය විශේෂ අවධානයක් යොමු කරනවා.

මේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අක්ෂර සහ අක්ෂර-රූපකරණයට සබැඳි සංස්කෘතීන්, දැනුම් හා සම්පත් සහ අත්දැකීම් හා අදහස්, විවෘතව සහ නිදහසේ බෙදා හදා ගත හැකි ඉඩකඩක් නිර්මාණයට අකුරු සමූහය සැමවිට කැපවන බවයි ඔවුන් පවසන්නේ. ඉහත සමූහ අරමුණු කෙරහි බලපවත්වන සම්මුති සහ ප්‍රමිති පවත්වා ගැනීමට අධ්‍යාපන ආයතන, වෙළඳ ප්‍රජාව, ශිෂ්‍ය ප්‍රජාව සමඟ අතර දිවෙන සහයෝගීතා හුයක් ලෙස ද ඔවුන් ක්‍රියාත්මකයි.

අකුරු සාමූහිකය සමඟ සමාන්තර ගමනක යෙදෙන අකුරු ෆෞන්ඩ්‍රිය – facebook.com/akuru.io

 

සිංහල පරිගණක රුවකුරු ක්ෂේත්‍රයේ අකුරු ෆෞන්ඩ්‍රිය

අක්ෂර-රූපකරණයේ නව්‍යකරණය සඳහා ඇති ඉඩකඩ හා හැකියා මේ යුගයේ අති මහත් බවත්, එහි කාර්යභාර්යයත්, මනෝමය භාවිතාව හා සෞන්දර්යාත්මක ගුණයත් නව චින්තනයක් ඔස්සේ මෙහෙයවීමෙන් මානව ශිෂ්ටාචාරයට සාධනීය බලපෑමක් කළ හැකි බවත් අකුරු සාමූහිකයේ විශ්වාසයයි.

අකුරු සාමූහිකය සමඟ සමාන්තර ගමනක යෙදෙන අකුරු ෆෞන්ඩ්‍රිය (Akuru Foundry) යනු ශ්‍රී ලංකාවේ සිංහල පරිගණක රුවකුරු ක්ෂේත්‍රයේ පවත්නා ප්‍රමාණාත්මක ෆොනුරූ (Fonts) අඩුව පිරවීමේ අරමුණ පෙරදැරි ව රුවකුරු නිර්මාණ ශිල්පීන් පිරිසකගේ එකමුතුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක්.

‘30 days of akuru’ – සිංහල අක්ෂර නව්‍යකරණය – Magic Monkeys Ceylon’s albums

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපය තුළ නිදහස් සහ නොමිලේ ලබා දෙන ෆොනුරූ ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම හා පවත්වාගෙන යාම සඳහා දායකත්වය ලබා දෙන සාමුහිකයක් ලෙසයි අකුරු ෆෞන්ඩ්‍රිය හැඳින්වෙන්නේ. අකුරු ෆෞන්ඩ්‍රිය (Akuru Foundry) සමන්විත වන්නේ අක්ෂර නිර්මාණ ශිල්පීන් පිරිසකගේ එකමුතුවෙන් හා කැපවීමෙන්.

සිංහල, දෙමළ ඇතුළු ශ්‍රී ලාංකිකයන්ට උරුම භාෂාවන්හි රූපකරණය සහ යෙදවීම් ගැන අකුරු සාමූහිකය විශේෂ අවධානයක් යොමු කරනවා. අක්ෂර රූපකරණයට සම්බන්ධ විවිධ සංස්කෘති, දැනුම හා සම්පත් සහ අත්දැකීම් බෙදා ගත හැකි ඉඩ, නිර්මාණය කිරීමටත් ඔවුන් බැඳී සිටිනවා. සිංහල අකුරු නව්‍යකරණයට ඇති ඉඩ පිළිබඳ දිගින් දිගට ම සොයා බැලීම් කිරීම ද මේ සාමූහිකයේ මූලික වගකීමක්.

හරවත් සංවාද ගොඩනැඟීමත් Akuru Con සමුළුවේ තවත් වැදගත් අරමුණක් – Magic Monkeys Ceylon’s albums

‘30 days of akuru’ – සිංහල අක්ෂර නව්‍යකරණය

ඔවුන් සංවිධානය කළ, සමාජ මාධ්‍ය ඇතුළත වැඩි අවධානයක් දිනා ගත් ‘30 days of akuru’ සිංහල අක්ෂර නව්‍යකරණයට ඇති ඉඩ ප්‍රායෝගිකව පෙන්වූ මොහොතක්. මේ වෙනුවෙන් මාසයක් පුරා සිංහල හෝ දෙමළ හෝඩිවලින් ‍තෝරා ගත් අකුරු 30 ක් ඇඳීමට පොදු අවස්ථාවක් සැලසුණා. එය අක්ෂර කරණයට මෙන්ම ශ්‍රී ලාංකීය භාෂාවන්ගේ අක්ෂර නව කරණයටත් විවර කළ විශාල ඉඩකඩක් සපයා තිබුණ බව කිව හැකියි.

මේ සියලු අරමුණු මූලික කරගෙන අකුරු සමූහය දෙවන වරටත් සංවිධානය කරන ‘Akuru Con’ 2021, අගෝස්තු මාසය පිරෙන්නට විශේෂාංග රැසක් එක්වුණු වැඩසටහන් රැසක් සහ මාර්ගගත වැඩමුළු රැසක් සමඟින් අකුරුවලට ආදරය කරන, අකුරු ලෝලීන් වෙනුවෙන් ම මේ වනවිටත් ක්‍රියාත්මකයි.

2018 වසරේදී පැවති Akuru Con පළමු සමුළුව – Magic Monkeys Ceylon’s albums

 

Akuru Con – වාර්ෂිකව පැවැත්වෙන විචිත්‍රවත් සමුළුවක්

Akuru Con, ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අක්ෂරකරණය සහ අක්ෂර කලාව ගැන සමාජය තුළ කුතුහලය, සංවාද සහ අවබෝධය ඇති කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන විචිත්‍රවත් සමුළුවක්. මෙහිදී ශ්‍රී ලංකාවේ අක්ෂර ඉතිහාසය සහ එහි විකාශනය, යුනිකේත තාක්ෂණය, සිංහල සහ දෙමළ රුවකුරු නිර්මාණකරණය, දෘශ්‍ය සන්නිවේදනයේ දී සහ වෙළඳ සන්නාමකරණයේ දී අක්ෂරණයේ (Typography) ඇති වැදගත්කම, සහ එම අංශයන්හි මෑත කාලීන ප්‍රවණතා සම්බන්ධ ව හැදෑරීම මුල් කර ගත් හරවත් සංවාද ගොඩනැඟීමත් Akuru Con සමුළුවේ තවත් වැදගත් අරමුණක්.

‘අක්ෂරණය හෙවත් ටයිපොග්‍රැෆි’ (Typography) යනු තනි තනි අකුරුත්, අකුරු එකිනෙක එක්ව නිමවෙන වචන, වැකි, ඡේද ආදියෙන් සමන්විත ව, පොත්, සඟරා, පුවත්පත් යනාදී මාධ්‍යවල දකින්නට ලැබෙන ප්‍රමුඛ, අදහස් සන්නිවේදන මාධ්‍යයක්. එහිදී වඩාත් වැදගත් වන්නේ අකුරු එකිනෙකට සාපේක්ෂ ව ස්ථානගත වී ගැවසීමෙන් ඇති වන රූප ස්වරූප සහ රූපමය ගුණ (visual quality) ගැන අවබෝධයක් ලබා ගැනීමත්, ඒ සම්බන්ධව කෙරෙන සංවාදයත් ඒ හා බැඳුණු පුහුණුවත් යන කරුණුයි.

අක්ෂර කලාවේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය භූමිකාවක් ගොඩ නැඟීම – Magic Monkeys Ceylon’s albums

අවබෝධය – සංවාදය – පුහුණුව

Akuru Con සමුළුවේ සංවිධානාත්මක සහ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ Akuru Collective හෙවත් Akuru එකමුතුවේ සාමාජිකයන්. ප්‍රවීණ රුවකරු ඉංජිනේරුවරුන්, රුවකුරු නිර්මාණ ශිල්පීන්, කැලිග්‍රැෆි ශිල්පීන්, සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් ඇතුළු අකුරුවලට ඇලුම් කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගෙන් සමන්විත සුහද එකමුතුවක් ලෙස Akuru Collective හැඳින්විය හැකියි.

අක්ෂරකරණයේ සහ අක්ෂර කලාවේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය භූමිකාවක් ගොඩ නැඟීම Akuru එකමුතුවේ බලාපොරොත්තුවයි. 2017 වසරේ එකතු වී 2018 වසරේ එළිදැක්වුණු අකුරු ප්‍රකාශනය යටතේ එකමුතු වී සිටින Akuru එකමුතුව අකුරු, අක්ෂරණය, සහ භාෂාව සම්බන්ධ විවිධ තේමා රැසක් ඔස්සේ සිය කටයුතු සිදුකරනවා.

අකුරු එකමුතුව විවිධ වැඩසටහන් සහ වැඩමුළු රැසක් සංවිධානය කර තිබෙනවා – Magic Monkeys Ceylon’s albums

 

අකුරු සතු අසීමිත හැකියාවේ ප්‍රභවය

අකුරු සතු අසීමිත හැකියාවේ ප්‍රභවය හඳුනාගන්නටත් එම ශක්තීන් වඩා සැලකිල්ලෙන්, අවබෝධයෙන් සහ බුද්ධිමත්ව භාවිත කිරිම වෙනුවෙනුත් අකුරු එකමුතුව පෙනී සිටින බව 2018 වසරේදී එළිදැක්වූ සිය ‘අකුරු ප්‍රකාශනයෙන්’ ඔවුන් පවසා සිටිනවා.

‘මනුෂ්‍ය සන්නිවේදනය කෙරෙහි කළ හැකි බලපෑම් කෙරෙහි වූ කේවල හා සාමූහික වගකීම පිළිබඳ අකුරු සාමාජිකත්වය සංවේදී ය. ඒ සංවේදීත්වයෙන් පැන නඟින අදහස් හා ශක්තීන් සුබවාදී අනාගතයක් වෙනුවෙන් යෙදවීම සඳහා වන අප සාමාජියකත්වයේ දැක්ම හා මතවාදයන්හි දිගුවක් ලෙස අකුරු එකමුතුව ක්‍රියා කරයි. – අකුරු ප්‍රකාශනය (2018)

ඉහත අරමුණු සපුරා ගැනීම සඳහා 2017 වසරේ සිට මේ දක්වා අකුරු එකමුතුව විවිධ වැඩසටහන් සහ වැඩමුළු රැසක් සංවිධානය කර තිබෙනවා. මාසිකව පවත්වන Colombo Type හමුව, වාර්ෂිකව පවත්වන 30 Days of Akuru වැඩසටහන සහ අකුරු හිතැති දෙස් විදෙස් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අන්තර්ජාතික සමුළු දෙකක් ද මේ අතරට ඇතුළත්. කොවිඩ් වසංගත තත්වය නිසා මෙවර Akuru Con සමුළුව අන්තර්ජාලය හරහා මාර්ගගත ලෙස සිදුකෙරෙන අතර සමූහයේ Zoom සංවාද මණ්ඩපය හරහාත්, Akuru Collective Youtube නාළිකාව හරහාත්, Akuru Collective Facebook පිටුව හරහාත් සම්බන්ධ වී ක්ෂේත්‍රයේ විවිධ කාරණා පිළිබඳ වැඩසටහන් රැසක් හා එකතුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව Akuru Con පළමු සමුළුව 2018 වසරේදී මෙරට දී පැවැත්වුණා. ‘අක්ෂරණය හෙවත් ටයිපොග්‍රැෆි’ (Typography) ක්ෂේත්‍රයේ දේශීය මෙන් ම විදේශීය ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම එක්දින වැඩසටහන් මාලාවේ ප්‍රධාන තේමාව වුණේ ශ්‍රීලංකාව සහ නෙදර්ලන්ත අතර පැවැති ඉපැරණි ලේඛන ඉතිහාසයේ අක්ෂර සිහිවටන වලට නව ජීවයක් ලබා දීමයි. ඒ ගැන තොරතුරු දන ගන්න මේ සබැඳියෙන් පුළුවන්. 

ශ්‍රී ලංකාවේ බහු භාෂාත්මක සංස්කෘතිය

මෙවර, Akuru Con 2021 හි අන්තර්ගතය ශ්‍රී ලංකාවේ බහු භාෂාත්මක සංස්කෘතියට වඩාත් සමීපයි. මෙම තේමාව ඔස්සේ මේ දිනවල AkuruCon සමුළුවේ වැඩසටහන් මාලාවක් පැවැත්වෙනවා. මාර්ග ගත සාකච්ඡා ඔස්සේ මෙහිදී සිංහල, දෙමළ, දිවෙහි බසේ තාන, සහ සිංහලයෙන් පාලි සංස්කෘත ලිවීමේ දී ඇති අක්ෂර අනන්‍යතාවනුත් ඒවායේ සමාජයීය, සංස්කෘතික වටිනාකම් සහ විකාශනය සම්බන්ධ සවිස්තරාත්මක විග්‍රහයකුත් සිදුවනවා. ශ්‍රී ලංකාවේ ‘අක්ෂරණය හෙවත් ටයිපොග්‍රැෆි’ (Typography) කලාවේ සහජිවනය සහ විවිධත්වය සැමරීමත්, ඉදිරියේදි අප යා යුතු ගමන් මඟ සම්බන්ධව කතිකාව වර්ධනය කරගැනීමත් මෙහි මූලික අරමුණක්.

අකුරු නවමු ඇසකින් දකින්නට කැමති අකුරු ලෝලීන් – Magic Monkeys Ceylon’s albums

 

මීට සමගාමීව 30 Days of Akuru මැයෙන් අගෝස්තු මාසය පුරාවට Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ඔස්සේ අකුරු ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනවා. සිංහල සහ දෙමළ අක්ෂර මාලාවන්හි අකුරු නවමු ඇසකින් දකින්නට කැමති අකුරු ලෝලීන්ට මේ සඳහා ඔවුන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කළ හැකියි. මේ සබැඳියෙන් එහි අලුත් ම විස්තර දැකගත හැකියි.

Akuru Con 2021 සමුළුවේ වැඩසටහන් මාලාව අංග හතරකින් සමන්විතයි. අගෝස්තු මස පළමු සති තුන තුළ සෑම සෙනසුරාදාවක ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය සම්බන්ධව බහු භාෂාත්මක විශ්ලේෂණයක් සිදුවන අතර අවසන් සතියේදී අකුරුවල ප්‍රායෝගික භාවිතයත් ඒ හා සබැඳි දෘෂ්‍ය සංජානන සහ කියවීම් ආදී යෙදීම් සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනවා.

අකුරු නවමු ඇසකින් දකින්නට කැමති අකුරු ලෝලීන්ට – Magic Monkeys Ceylon’s albums

 

AkuruCon සම්බන්ධ වැඩි විස්තර දැන ගන්නට මේ සබැඳි වෙත පිවිසීමෙන් හැකිවන බවයි සාමූහිකය පවසන්නේ. AkuruCon සමුළුවේ මෙතෙක් පැවති සජීවි සංවාද පහත සඳහන් සබැඳීන් හරහා නැරඹිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

අගෝස්තු මස 7 වනදා – සිංහල හා දෙමළ අක්ෂරයේ ඉතිහාසය

අගෝස්තු මස 14 වනදා – ශ්‍රී ලංකාවේ බහු භාෂාත්මක සන්නාමකරණය සහ සන්නිවේදනය

ඒ අතර AkuruCon සමුළුවේ ඉදිරි පහත සඳහන් සංවාද ‘අකුරු’ සාමූහිකයේ මේ Youtube සබැඳිය හරහා නැරඹිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා. එම සංවාද දිගහැරෙන්නේ මෙම තේමා ඔස්සේයි.

  • අගෝස්තු මස 21 වනදා – ඩිජිටල් තාක්ෂණික අවකාශය තුල සිංහල බසෙහි සකස්වීම සහ විකසනය
  • අගෝස්තු මස 28 වනදා – Akuru Con වැඩමුළු මාලාව
  • රන්ජන ලිපි කැලිග්‍රැෆි වැඩමුළුව
  • දෙමළ අක්ෂර කලාව – අත් අකුරු හුරුව
  • සිංහල-දෙමළ-ඉංග්‍රීසි logo design වැඩමුළුව

කවරයේ ඡායාරූපය:  Akuru Con 2021 සමුළුව - facebook.com/akuru.io

මූලාශ්‍ර:

foundry.akuru.space

 letterslanka.wixsite.com/30daysofakuru

facebook.com/akuru.io

 happeningnext.com 

Related Articles