Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රේල් මස මුළු දෙන අරාබි – අමෙරිකානු උරුම සැමරුම

විවිධ ජනකොටස්වලට අයත් සංස්කෘතීන් අතර විවිධත්වයක් නොතිබුණේ නම් ලෝකය මෙතරම් සුන්දර නොවන්නට ඉඩ තිබිණි. සෑම රටක ම පාහේ ජීවත් වන විවිධ ජාතීන් සහ ආගම්වලට අයත් ජනකොටස්වලට ඔවුන්ට ම ආවේණික සංස්කෘතියක් තිබේ.

එවැනි සංස්කෘතීන්ට අයත් උත්සව, සැමරුම් සහ වෙනත් වැඩසටහන් රැසක් පවතින අතර මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අරාබි සම්භවයක් සහිත ජනතාව සඳහා වෙන් වූ අරාබි – අමෙරිකා උරුම සැමරුම් උත්සවය පිළිබඳව යි.

අරාබි- අමෙරිකානු උරුම සැමරුම් මාසය – www.thoughtco.com

අරාබි සම්භවයක් සහිත අමෙරිකානුවන් සිය සංස්කෘතික උරුම ආරක්ෂා කරගැනීමේ අරමුණින් ආරම්භ කළ මෙම සැමරුම, ‘අරාබි අමෙරිකානු උරුම මාසය’ නමින් හැඳින්වෙයි. එය 2017 වසරේ සිට සෑම වසරක ම අප්‍රේල් මස පැවැත්වේ. අරාබි- අමෙරිකානු උරුම සැමරුම මේ වන විට අරාබි සම්භවයක් සහිත පුද්ගලයන් පමණක් නොව සාමාන්‍ය අමෙරිකානු පුරවැසියන් අතර ද ඉතාමත් ප්‍රසිද්ධ සැමරුමකි.

එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අරාබි ජාතිකයෝ

එක්සත් ජනපදයේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයන සිදු කරන ආයතනයකට අනුව අරාබි ජාතිකයන් එක්සත් ජනපදයට  විශාල වශයෙන් සංක්‍රමණය වීම ආරම්භ වූයේ 1800 ගණන්වල අගභාගයේ දී ය. ඔටෝමාන් අධිරාජ්‍යය ලෙස හැඳින්වූ වර්තමාන සිරියාව, ලෙබනනය, පලස්තීනය සහ ඊශ්‍රායලය වැනි රටවල ජීවත් වූ අරාබි, ක්‍රිස්තියානි ජනතාව ආගමික සහ ආර්ථික හේතු නිසා එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවලට සංක්‍රමණය වන්නට විය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සතු දත්ත අනුව එවැනි සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනකු වෙළෙඳ කටයුතුවල යෙදී තිබේ.

සාම්ප්‍රදායයික අරාබි වාදන අංගයක් – www.me-confidential.com

 1924 දී බලාත්මක කළ ජොන්සන්- රීඩ් සංක්‍රමණික පනත නිසා එක්සත් ජනපදයට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු විය. එහි ප්‍රතිපලයක් ලෙස අරාබි සංක්‍රමණිකයන්ගේ පැමිණීම ද බොහෝ සෙයින් අඩු විය.  අරාබි-ඊශ්‍රායල් යුද්ධය සහ වෙනත් ආගමික මත ගැටුම් නිසා 1948 සිට 1966 දක්වා වූ කාලය තුළ එක්සත් ජනපදයට නැවැතත් විශාල පිරිසක් සංක්‍රමණය වූහ. ඔවුන් බොහෝ විට මෝටර් රථ නිෂ්පාදනය ආශ්‍රිත රැකියාවල යෙදුනි. 1965 දී නව සංක්‍රමණික පනතක් හඳුන්වා දීමත් සමග තවත් විශාල අරාබි ජාතිකයන් සංඛ්‍යාවක් එක්සත් ජනපදයට සංක්‍රමණය විය.

එක්සත් ජනපදයේ වර්තමාන අරාබි සම්භවයක් සහිත ජනගහනය

මෑතකාලීන ජන හා සංඛාලේඛන දත්ත අනුව අරාබි සම්භවයක් සහිත පුරවැසියන් මිලියන 3.7ක් පමණ මේ වන විට එක්සත් ජනපදයේ ජීවත් වෙති. ඔවුන්ගේ මුතුන් මිත්තන්, ලෙබනනය, සිරියාව, ඊජිප්තුව, පලස්තීනය, මොරොක්කෝව, ඉරාකය, ජෝර්දානය, යේමනය, බහරේන්, ටියුනීසියාව, ඇල්ජීරියාව, සුඩානය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල්වල ජීවත් ව එක්සත් ජනපදයට පසුකාලීන ව සංක්‍රමණය වූ අය වෙති.

ඔවුන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ඉලිනොයිස්, මිචිගන්, නිව් ජර්සි, නිව්යෝර්ක්, පෙන්සිල්වේනියා, ටෙක්සාස් සහ වර්ජීනියා යන ප්‍රාන්තවල ය.

අරාබි ආහාරපාන – www.bakercollege.com

‘අරාබි-අමෙරිකානු උරුම මාසය’ ආරම්භ වීම

මාධ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රගතිය උදෙසා කැප වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘අරාබි අමෙරිකානු පදනම’ 2017 අප්‍රේල් මාසය, අරාබි-අමෙරිකානු උරුම මාසය ලෙස නම් කිරීමත් සමඟ මෙම සැමරුම ආරම්භ විය. එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක ජීවත් වූ ජනතාව පමණක් ඊට මුලින් ම සහයෝගය දැක් වූ නමුත් පසුකාලීන ව බොහෝ දෙනකුගේ සහයෝගය ඊට ලැබෙන්නට විය.

ජෝ බයිඩ්න් ද පිළිගත් සැමරුම

2019 දී අරාබි අමෙරිකානු උරුම මාසය ජාතික වශයෙන් පිළිගත් සැමරුමක් බවට පත් කිරීම සඳහා වන යෝජනාවක් අමෙරිකා කොංග්‍රසයට ඉදිරිපත් වූ නමුත් එය මේ වන තෙක් අනුමත වී නැත. 2021 අප්‍රේල් මස අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම සැමරුම පිළිගත්තේ ය.

ඔහු පැවසුවේ: “අරාබි අමෙරිකානු ප්‍රජාව එක්සත් ජනපදයේ ව්‍යූහයට අත්‍යවශ්‍ය සාධකයකි. අරාබි-අමෙරිකානු ජනතාවගේ සංස්කෘතිය සහ උරුමය එක්සත් ජනපදයේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය පිළිබඳව හසල දැනුමක් ලබාගත හැකි මෙම සැමරුමට සහභාගී වීමට ලැබීම මා ලැබූ විශාල ගෞරවයකි. විවිධත්වය, අප සතුව ඇති විශාලතම ශක්තීන්ගෙන් එකක් වේ. ඒ විවිධත්වයේ එක් කොටසක් වන අරාබි අමෙරිකානුවන්, ත්‍යාගශිලිත්වය සහ අනුකම්පාව වැනි ගුණාංග පෙරදැරි කරගෙන ජාතියේ උන්නතිය වෙනුවෙන් කරන මෙහෙවර කියා නිමකළ නොහැක.” යනුවෙනි.

2019 සැමරුම අතරතුර – www.thenation.com

 තවත් කොන්ග්‍රස් සාමාජිකයන් සහ ආණ්ඩුකාරවරු 37 දෙනෙක් ඊට සහය පළකරමින් ලිපි නිකුත් කළහ.

“කොංග්‍රසය නියෝජනය කරන සාඩම්බරකාර අරාබි-අමෙරිකානුවකු ලෙස මගේ බලාපොරොත්තුව වන්නේ අරාබි අමෙරිකානු උරුම මාසයට සහාය දීම තුළින් එක්සත් ජනපදයේ උන්නතිය උදෙසා සියලු ජනකොටස්වලින් ලැබෙන දායකත්වය වඩාත් ඉහල නංවාලිය හැකි බව යි.” කොන්ග්‍රස් සාමාජිකයෙකු ලියන ලද ලිපියක සඳහන් විය.

මේ වන විට ඉලිනොයිස්, ඔරිගන් සහ වර්ජිනියා, ඉන්දියානා, මේරිලන්ඩ්, මිචිගන්, නිව් යෝර්ක්, ඔහියෝ සහ රෝඩ් අයිලන්ඩ් යන ප්‍රාන්තවල මෙම සැමරුම නීත්‍යනුකූල ආකාරයෙන් ජාතික සැමරුමක් ලෙස නම් කර තිබේ.

අරාබි නර්තන අංගයක්/ www.regencyholidays.com

2022 අරාබි- අමෙරිකානු උරුම මාස සැමරුම

මෙම වසර සඳහා වන සැමරුම එළඹෙන 27 දින වොෂින්ටන් අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපනවේදීන් සහ ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත යි. ඔවුන් පළමුවෙන් ම එක්සත් ජනපදයේ උන්නතිය උදෙසා සියවස් ගණනාවක් තිස්සේ අරාබි අමෙරිකානුවන්ගෙන් ලැබුණු දායකත්වය අනුස්මරණය කරනු ඇත.

සැමරුම පැවැත්වෙන ස්ථානය එදින සවස 5.30 සිට සහභාගී වන්නන් සඳහා විවෘත කර තිබෙන අතර සවස 6.15ට පමණ එහි වැඩ කටයුතු ආරම්භ වේ. සහභාගී වන්නන් සඳහා අරාබි ආහාරපාන සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වේ.

අරාබි නර්තනාංගයක් – www.wikiwand.com

ඉන් අනතුරුව පැවැත්වෙන අරාබි සංස්කෘතික අංග ඇතුළත් ප්‍රසංගය මෙම සැමරුමේ වැදගත් ම අංගය යි. අරාබි සංස්කෘතිකාංග රැකගැනීමේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සැමරුමට සහභාගී වීමට සිසුන්ට අවස්ථාවක් ලබාදීමට කැමති අයට එහි සංවිධායක මණ්ඩලයට මූල්‍යමය වශයෙන් ආධාර කළ හැක.

කවරයේ ඡායාරූපය- අමෙරිකානු ධජය අතින් ගත් අරාබි තරුණියක් - www.pinterest.com

මූලාශ්‍ර:

www.history.com

US Department of State

Migration Policy Institute

Related Articles