Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපරාධ විසඳන ඇඟිලි සලකුණු ක්‍රමයේ උපත

20 වන සියවස ආරම්භ වීමට පෙර ලෝකයේ බොහෝ රටවල්වලින් දරුණු අපරාධ පිළිබඳ පුවත් වාර්තා වුණා. එම අපරාධ සිදු කළ බොහෝ දෙනකුට දඬුවම් හිමි වෙද්දී තවත් සමහර උදවියට සූක්ෂම අයුරින් නීතියෙන් ගැලවී යාමට හැකියාව ලැබුණා. 1903 දී අමෙරිකාවෙන් වාර්තා  වුණු එක්තරා සිදුවීමකින් පසු ව අපරාධකරුවන් පහසුවෙන් කොටුකර ගැනීම සඳහා ක්‍රමවේදයක් කරළියට පැමිණියා.

ඒ ඇඟිලි සලකුණු මඟින් අපරාධකරුවකු හඳුනා ගැනීමේ ක්‍රමවේදය යි. එය මුල් ම වරට භාවිතා කළ විල් වෙස්ට් සම්බන්ධ සිද්ධිය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

ඇඟිලි සලකුණු විද්‍යාවේ මුල් අවධිය 

ජපානයේ ටෝකියෝ හි වාසය කළ ස්කොට්ලන්ත වෛද්‍යවරයකු වුණු හෙන්රි ෆෝල්ඩ්ස් ඇඟිලි සලකුණුවලින් පුද්ගලයකුගේ අනන්‍යතාව තහවුරු කරගත හැකි ආකාරය පෙන්වා දෙමින් ලිපියක් 1880 දී පළ කළා. එහි දී ඔහු ඇඟිලි සලකුණු සටහන් කර ගැනීම සඳහා මුද්‍රණ තීන්ත භාවිත කළ හැකි බව ද පවසා සිටියා. 1882 දී ප්‍රංශ ජාතික මානව විද්‍යාඥ අල්ෆොන්ස් බර්ටිලියන්, පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අලුතින් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. එහි දී පුද්ගලයන්ගේ ශරීර කොටස්වල මිනුම් සටහන් කර සූත්‍රයක් භාවිතයෙන් ඔවුන් වර්ගීකරණය කළ හැකි බව බර්ටිලියන් පෙන්වා දුන්නා.

අල්ෆොන්ස් බර්ටිලියන් -visitnesm.org.uk

 

බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වුණු ෆ්රැන්සිස් ගැල්ටන් පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණුවල විවිධත්වය පිළිබඳව තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් 1892 දී ප්‍රකාශයට පත් කළා. එම වසරේ දීම ජුවාන් වුසෙටිච් නම් පොලිස් නිලධාරියා ආජන්ටිනාවේ රෝජාස් ප්‍රදේශයේ සිදුවුණු මිනීමැරුමක් පිළිබඳ පරීක්ෂණ සිදු කරද්දී  එම ස්ථානයේ තිබුණු ඇඟිලි සලකුණු සටහන් කර ගත්තා.

අපරාධයක් පිළිබඳ පරීක්ෂණයක දී ඇඟිලි සලකුණු සටහන් කර ගැනීමක් වාර්තා වන මුල්ම අවස්ථාව එය යි. එමඟින් අපරාධකරුවා සොයා ගැනීමට හැකි නොවුණු බවත් මෙහි දී කිව යුතු යි. ඉන් පසු යුගයේ දී පොලිස්පති ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි ඇඟිලි සලකුණු ක්‍රමය තව තවත් දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. 1903 වසර වන තුරු ඇඟිලි සලකුණු භාවිත කරමින් යම් කිසි අපරාධකරුවකුගේ අනන්‍යතාව තහවුරු කර ගෙන තිබුණේ නැහැ. 

විල් වෙස්ට් බන්ධනාගාරයට රැගෙන ඒම 

විල් වෙස්ට් නම් නීග්‍රෝ ජාතික අමෙරිකානුවා කැන්සාස් හි පිහිටි ලීවන්වර්ත් බන්ධනාගාරය වෙත 1903 මැයි 1 වැනිදා රැගෙන ආවා. වෙස්ට් දුටු පමණින් එහි සිටි නිලධාරින් තරමක් විමතියට පත්වුණා. ඒ ඔහුගේ හැඩරුවට සමාන පුද්ගලයකු පිළිබඳ මතකයක් තිබුණු නිසා යි. නමුත් හැඩරුවින් තරමක් දුරට සමාන පුද්ගලයන් සිටීම සාමාන්‍ය දෙයක් නිසා ඔවුන් ඒ පිළිබඳ වැඩි තැකීමක් කළේ නැහැ.

ඉන් පසු ඔවුන් වෙස්ට්ගේ තොරතුරු ලබා ගෙන ඔහුගේ සිරුරේ බර්ටිලියන් මිනුම් ලබා ගත්තා. එහි දී බර්ටිලියන් මිනුම් 11ක් සටහන් කර ගත්තා. එම මිනුම් සටහන් කර ගැනීමේ කාර්යයේ නිරත වුණු නිලධාරියා වසර කිහිපයක සිට එහි සේවය කර තිබුණා. ඔහුට  වෙස්ට් ව දුටු විගස ම කල්පනාවට ආවේ ඊට පෙර මීට බොහෝ සෙයින් සමාන පුද්ගලයකුගේ බර්ටිලියන් මිනුම් ලබාගත් බව යි.  ඒ අයුරින් උපන් සැකය නිසා ඔහු බර්ටිලියන් මිනුම් ලබාගත් පුද්ගලයන් පිළිබඳ පැරණි ලිපිගොනු පරීක්ෂා කළා.

ලීවන්වර්ත් බන්ධනාගාරය – kshs.org

 

පටලැවිල්ලක ආරම්භය 

පැරණි ලිපිගොනු ලහි ලහියේ පරීක්ෂා කළ නිලධාරියාට අරුම පුදුම දෙයක් දැකගන්නට ලැබුණා. ඒ 1901 දී විල් වෙස්ට්ගේ හැඩරුවට අතිශයින් සමාන විලියම් වෙස්ට් නම් පුද්ගලයාගේ බර්ටිලියන් මිනුම් මෙම බන්ධනාගාරයේ දී ලබාගෙන ඇති බව යි. ඉන් පසු ව ඔවුන් දෙදෙනාගේ බර්ටිලියන් මිනුම් පරීක්ෂා කිරීමේ දී විශාල සමානකමක් දැකගන්නට ලැබුණා. පහතින් දක්වා තිබෙන්නේ ඔවුන් දෙදෙනාගේ බර්ටිලියන් දත්ත යි.

විල් වෙස්ට් 

1) හිසේ දිග- 19.7 cm 

2) හිසේ පළල- 15.8 cm 

3) මැද ඇඟිල්ලේ දිග- 12.3 cm  

4) යටි පතුලේ දිග- 28.2 cm   

5) නළලේ දිග-  50.2 cm 

6) උස- 178.5 cm   

7) සුළැඟිල්ලේ දිග- 9.7 cm 

8) කඳේ දිග- 91.3 cm 

9) අත්වල පරතරය- 187 cm 

10)  කන්වල දිග- 6.6 cm 

11) කම්මුලේ පළල- 14.8 cm 

විලියම් වෙස්ට් 

1) හිසේ දිග- 19.8 cm 

2) හිසේ පළල- 15.9 cm 

3) මැද ඇඟිල්ලේ දිග- 12.2 cm  

4) යටි පතුලේ දිග- 27.5 cm   

5) නළලේ දිග-  50.3 cm 

6) උස- 177.5 cm   

7) සුළැඟිල්ලේ දිග- 9.6 cm 

8) කඳේ දිග- 91.3 cm 

9) අත්වල පරතරය- 188 cm 

10)  කන්වල දිග- 6.6 cm 

11) කම්මුලේ පළල- 14.8 cm 

විල් වෙස්ට්ගේ සහ විලියම් වෙස්ට්ගේ බර්ටිලියන් දත්තවල සහ හැඩරුවේ තිබුණු සමානකම නිසා ඔහු පිළිබඳ බන්ධනාගාර අධිකාරිවරයාට දැන්වීමට බර්ටිලියන් මිනුම් පරීක්ෂා කළ නිලධාරියා කටයුතු කළා. 

විල් වෙස්ට් සහ විලියම් වෙස්ට් – rarehistoricalphotos.com

 

විල් වෙස්ට්ගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීම් 

ලීවන්වර්ත් බන්ධනාගාරයේ 1901 දී රැඳ වූ විලියම් වෙස්ට් මිනීමැරුමකට සැකපිට එහි රඳවා සිටි බව පැරණි වාර්තාවල සඳහන් ව තිබුණා. පසුව ඔහු ප්‍රදේශයේ වෙනත් බන්ධනාගාරයකට යැවූ බව ද වාර්තාවල ලියැවී තිබුණා. එනිසා ලීවන්වර්ත් බන්ධනාගාරයේ  නිලධාරින් සිතුවේ ඔහු එම හිරගෙදරින් පලා ගොස් සිටිය දී යළිත් වරක් අත්අඩංගුවට ගෙන ඇති බව යි. එම සැකය මත බන්ධනාගාර නිලධාරින් වෙස්ට්ගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කළා. නමුත් ඔහු නිලධාරින් හමුවේ අවධාරණය කර සිටියේ මීට පෙර කිසිදු දිනයක මෙම බන්ධනාගාරයට පැමිණ නැති බව යි.

එය පිළිගැනීමට මැලි වුණු බන්ධනාගාර නිලධාරින් ඔහුට එරෙහි ව තිබුණු  මිනීමැරීමේ චෝදනාවට සිදුවූයේ කුමක් දැයි යන්න විමසා සිටියා. එය අසා මවිතයට පත්වුණු වෙස්ට් පවසා සිටියේ තමන්ට කිසිදු දිනක එවැනි චෝදනාවක් නොතිබුණු බව යි. බන්ධනාගාර නිලධාරින් දිගින් දිගට ම වෙස්ට්ට චෝදනා එල්ල කරද්දී ඔහු පුදුමයට පත්වුණු මුහුණක් මවා ගනිමින් ඒවා ප්‍රතිකේෂ්ප කළා. එම ප්‍රශ්න කිරීම් අවසන් වෙද්දී නිලධාරින් විශාල කැලැඹීමකට ලක්ව සිටියා. විල් වෙස්ට් සහ විලියම් වෙස්ට් යන දෙදෙනා එකම පුද්ගලයකු දැයි යන්න සොයා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා. 

විලියම් වෙස්ට් සොයා පරීක්ෂණ 

සිරකරුවන් පිළිබඳ ව තැබූ  පැරණි වාර්තා පරීක්ෂා කළ නිලධාරින්ට විලියම් වෙස්ට් ගැන කරුණු කිහිපයක් සොයා ගැනීමට හැකි වුණා. ඔහු 1901 අගෝස්තු මාසයේ ලීවන්වර්ත් බන්ධනාගාරයට ඇතුළත් කිරීමෙන් පසු ව බර්ටිලියන් දත්ත සටහන් කරගත් බවට එහි සටහන් කර තිබුණා. ඉන් පසු ව ආරක්ෂිත හේතූන් මත ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවූ බව එහි දක්වා තිබුණා. එම තොරතුර ලබාගැනීමෙන් පසුව ලීවන්වර්ත් බන්ධනාගාර නිලධාරින් විලියම් වෙස්ට් මාරු කර යැවූ බන්ධනාගාරයේ නිලධාරින් සම්බන්ධ කර ගත්තා. 

ඉන් අනතුරුව විලියම් වෙස්ට් නම් පුද්ගලයා පිළිබඳ විමසා සිටියා. ඒ මොහොතේ ඔවුන් පවසා සිටියේ විලියම් වෙස්ට් යන නම තිබෙන සිරකරුවකු 1901 සැප්තැම්බර් මාසයේ එහි රැගෙන ආ බව යි. එහි දී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ විලියම් වෙස්ට් මිනීමැරුම් චෝදනාවට වරදකරුවීමෙන් පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින බව යි.ලීවන්වර්ත් බන්ධනාගාර නිලධාරින් විලියම් වෙස්ට්ගේ ඡායාරූපයක් අදාළ බන්ධනාගාරය වෙත  ඉන් පසු යවමින් එම බන්ධනාගාර දෙක අතර හුවමාරු වුණේ එකම විලියම් වෙස්ට් බව තහවුරු කර ගත්තා.

සිදුවීම සම්බන්ධව පළ වුණු වාර්තාවක් – urbo.com

 

විල් සහ විලියම් වෙන්කර හඳුනාගැනීමට වෙනත් ක්‍රමයක් 

විල් වෙස්ට් සහ විලියම් වෙස්ට් යන පුද්ගලයන් දෙදෙනාගේ හැඩරුව සහ බර්ටිලියන් දත්ත සමාන වීම හේතුවෙන් බන්ධනාගාර බලධාරීන් විශාල ගැටලුවකට මුහුණ දුන්නා. එනිසා පුද්ගලයකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා වෙනත් සම්මත ක්‍රමයක් යොදා ගැනීම කෙරෙහි එම බලධාරීන්ගේ අවධානය යොමු වුණා. එහි දී අපරාධ විද්‍යාව පිළිබඳ විශාරදයන්ගේ මතය වුණේ ඇඟිලි සලකුණු භාවිතයෙන් පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම වඩාත් නිරවද්‍ය ක්‍රමයක් බව යි.

ඒ වන විට ඇඟිලි සලකුණු භාවිතයෙන් පුද්ගලයකුගේ අනන්‍යතාව හඳුනා ගන්නා නිවැරදි ක්‍රමවේදය පිළිබඳව බන්ධනාගාර නිලධාරින් දැනගෙන සිටියේ නැහැ. එනිසා අපරාධ විද්‍යාව පිළිබඳ විශාරදයන් සම්බන්ධ කරගෙන පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඇඟිලි සලකුණු භාවිත කළ හැකි ආකාරය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වුණා. තෝරාගත් බන්ධනාගාර සහ පොලිස් නිලධාරින් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමට එහි දී කටයුතු කළා. 

ගැටලුවට විසඳුම් ලැබෙයි 

බර්ටිලියන් දත්තවලින් පුද්ගල අනන්‍යතාව සොයා ගන්නා ක්‍රමය වෙනුවට ඇඟිලි සලකුණු ක්‍රමය නීතිගත කර කරළියට පැමිණෙන තුරු විල් වෙස්ට් සහ විලියම් වෙස්ට් බන්ධනාගාරයේ රඳවා තැබුවා. 1905 සැප්තැම්බර් මාසය වන විට අමෙරිකාවේ නීතිපතිවරයාගේ සහාය ඇති ව ඇඟිලි සලකුණු පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා. 1905 ඔක්තෝබර් 10 වැනිදා විල් වෙස්ට් සහ විලියම් වෙස්ට් යන පුද්ගලයන් දෙදෙනාගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කළා. ඒවා සෑහෙන දුරට එකිනෙකට වෙනස් වුණා. එම ප්‍රතිඵලවලට අනුව විලියම් වෙස්ට් සහ විල් වෙස්ට් යන පුද්ගලයන් දෙදෙනා වටා තිබුණු ගැටලුව නිරාකරණය වුණා.

දෙදෙනාගේ ඇඟිලි සලකුණුවල වෙනස – mysteriesrunsolved.com

 

ඇඟිලි සලකුණු ක්‍රමය නීතිගත වෙයි 

විල් සහ විලියම් සම්බන්ධ සිද්ධියේ දී ඇඟිලි සලකුණු ක්‍රමය නිවැරදි විසඳුමක් ලබාදුන් නිසා යල් පැන ගිය බර්ටිලියන් දත්ත භාවිතයෙන් පුද්ගල අනන්‍යතාව සොයාගන්නා ක්‍රමය අහෝසි කළා. ඒ වෙනුවට ඇඟිලි සලකුණු භාවිතයෙන් පුද්ගල අනන්‍යතාව සොයා ගන්නා ක්‍රමය නීතිගත කළා. එමඟින් අපරාධ විද්‍යා ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදුවුණා. ඒ වාගේ ම අපරාධකරුවන් නීතියේ රැහැනට නිවැරදිව හසු කර ගැනීමට හැකියාව ලැබුණා. 

කවරයේ ඡායාරූපය- විල් සහ විලියම් ඇඟිලි සලකුණු සමඟ - rarehistoricalphotos.com

මූලාශ්‍ර:

rarehistoricalphotos.com

crimescene-forensics.com

thevintagenews.com

pdfcoffee.com 

Related Articles