Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TATA සමාගම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කළ හැටි

TATA සමාගම බෙහෙවින් ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔවුන්ගේ වාහන නිස යි. අප රටත් අතීතයේ ඉඳන් ම TATA බස් රථ, ලොරි රථ වගේ බර වාහන භාවිත කරනවා. TATA කියන්නේ වාහන නිෂ්පාදන සමාගමක් විතරක් ම නෙවෙයි. ක්ෂේත්‍ර ගණනාවක ම විවිධ නිෂ්පාදන කරන කර්මාන්ත සමුහයක් TATA සමාගමට අයත් වෙනවා. වසර 150කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන TATA සමාගම නිසා ඉන්දියාව ගොඩනැගුණා කීවොතින් වරදක් නැහැ. ඒ තරමට ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කරන්න TATA සමාගමේ මැදිහත් වීම මහඟු පිටුවහලක් වුණා.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමය

1600 ඉඳන් බ්‍රිතාන්‍ය ඉන්දීය වෙළෙඳ සමාගම තමයි ඉන්දියාවේ ආර්ථිකය පාලනය කළේ. ඔවුන් මූලික වශයෙන් ගෝලීය රෙදිපිළි වෙළෙඳාම හිමි කර ගෙන රටට මුදල් ගෙන ආවා. අවසානයේදී තමන්ගේ ම හමුදාවක් හිමි කර ගන්නත් සහ ඔවුන්ගේ දේශසීමා තුළ ඕනෑම අයකුගෙන් බදු අය කර ගැනීමේ තත්වයටත් පත්වුණා. නමුත් මෙම සමාගමේ පාලනය යටතේ ඉන්දියානු ව්‍යවසායකයන්ට නැගී සිටීමේ අවස්ථා හිමි වුණේ නැහැ.

කපු, රෙදිපිළි සහ තේ අපනයනය හොඳින් ම සිදුවුණු නිසාත්, අඩු මිල මත ශ්‍රමය පැවති නිසාත් ඉන්දියාවෙන් වැඩි ලාභ ලබන්න බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා. මේ නිසා ඔවුන් තමන්ගේ යුද බලය යොදා ගෙන ඉන්දියාවේ පාලනය මෙහෙයවන්නට පටන්ගන්නවා. ඒ 1857 දී ස්වදේශික ඉන්දියානුවන්ගේ නැගී සිටීම් මර්දනය කරමින්. ඉන් පස්සේ බ්‍රිතාන්‍ය ඉන්දීය වෙළෙඳ සමාගම වෙනුවට බ්‍රිතාන්‍ය රජයක් (British Raj) 1858 දී පිහිටුවෙනවා. මේ රජය කලින් පැවති සමාගම තරම් දරුණු නොවී ඉන්දියාවේ පාලනය සාමකාමී ව ගෙන යනවා. ඒ ගමන් ඉන්දීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සිදුකරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ අතර ඉන්දීය නිදහස වෙනුවෙන් සටන් දිගට ම ක්‍රියාත්මක වෙනවා.

british india trading compny
බ්‍රිතාන්‍ය ඉන්දියා වෙළෙඳ සමාගම ඉන්දියාවේ සූරත් හි පිහිටු වූ  වෙළෙඳ පොළ – history.com

ටාටා සමාගමට මුල්ගල

ජම්සේට්ජි ටාටා මේ කාලයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ පුද්ගලයෙක්. ඔහුගේ පියා මුම්බායිවල අපනයන ව්‍යාපාරිකයෙක් නිසා අධ්‍යාපනයෙන් පස්සේ ඔහුත් පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණා. චීනය, ජපානය, හොංකොං වගේ රටවල් එක්ක අපනයන වෙළෙඳාම සාර්ථක ව සිදු වුණා නිසා ජම්සේට්ජි 1859 දී හොංකොං ඉඳන් තම ව්‍යාපාරයේ ශාඛාවක් මෙහෙයවන්න පටන්ගන්නවා. ජම්සේට්ජි වයස 29දී තමන්ගේ ම වෙළඳ සමාගමක් ආරම්භ කරනවා. ඒ සඳහා ඔහු ප්‍රාග්ධනය විදිහට එකතු කරන්නේ ඉන්දීය රුපියල් 21,000ක මුදලක්. අද මුදල් වටිනාකමින් බැලුවොතින් ඒ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 52 ඉක්මවන අගයක්.

මේ මුදල් යොදවලා ජම්සේට්ජි මිලදී ගත්තේ Chinchpokli ප්‍රදේශයේ අතහැර දාපු තෙල් මෝලක්. මේක මොහු කපු නිෂ්පාදන කම්හලක් බවට පත්කරනවා. වසර දෙකක් ඉන් ලාභ උපයලා එය විකුණා දාන ජම්සේට්ජි 1874දී නාග්පූර්වල වඩා විශාල රෙදි කම්හලක් පටන් ගන්නවා. මධ්‍යම ඉන්දියානු නුල් කැටීමේ, රෙදි විවීමේ සහ නිෂ්පාදනය කිරීමේ සමාගම විදිහටයි මේ සමාගම හැඳින්වුණේ. මේ සමාගමේ සේවය කරපු සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙනුත් ජම්සේට්ජි ටාටා වැඩ කළා. ඉන්දියාවේ පළවෙනි වතාවට අසනීප දීමනා, හදිසි අනතුරු දීමනා සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කළෙත් ඔහු යි. ඊට අමතර ව ඔහු කර්මාන්තශාලාවල සේවක ආරක්ෂාව සහ සුවපහසුව වෙනුවෙන් ගිනි නිවීමේ වතුර මල් සහ ආර්ද්‍රතා වැඩි කිරීමේ උපකරණ පවා සවි කළා.

jamsetji tata
ජම්සේට්ජි ටාටා සහ ඔහුගේ පළමු රෙදි කර්මාන්තශාලාව – tata.com

 

ජම්සේට්ජි සංචාරක කර්මාන්තයෙන් ඉන්දියාව දියුණු කිරීම ගැනත් අවධානය යොමු කරනවා. 1903දී මුම්බායිහි ටජ් මහල් හෝටලය ඉදි කිරීමෙන් ආරම්භ කරන ඔහුගේ සංචාරක හෝටල් දාමයත් සාර්ථක වෙන්නේ ඉන් අනතුරුව යි. ඉන්දියාවේ ලෝහ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇති කිරීම, ජල විදුලි බලාගාරයක් නිර්මාණය කිරීම සහ ලෝ පතළ අධ්‍යාපන ආයතනයක් ඉන්දියාව තුළ බිහි කිරීම ජම්සේට්ජිට තිබුණු ප්‍රධාන ඉලක්ක තුනක්. මේ දේවල් ගැන අදහස ඇති වෙන්නේ යුරෝපයේ කාර්මික විප්ලවයෙන් ලබපු දියුණුවත් නයගරා ජල විදුලි බලාගාරයත් අධ්‍යයන කිරීමෙනුත් අකතුරුව යි. ඔහු ඒවා ඉදිකරන්නට අවශ්‍ය සැලසුම් සකස් කළත් 1904දී ඔහු මිය ගියායින් පස්සේ ඔහුගේ පුත්‍රයන් වන දොරාබ්ජි සහ රටාන් තමයි ඒ දේවල් සම්පුර්ණ කරන්නේ.

දෙවෙනි පරම්පරාව වැඩ අරඹයි

“TATA යකඩ සහ වානේ සමාගම” 1907දී ආරම්භ වෙනවා. ලෝකයේ ඒ වෙද්දී තිබුණු ඉහළම තාක්ෂණය මේ කර්මාන්තශාලාවට එකතු කරන්නට ජම්සේට්ජි සිදු කරලා තිබුණු සැලසුම් ඒ විදිහට ම ක්‍රියාත්මක කරන්නට ටාටා සොහොයුරන් කටයුතු කරනවා. සමාගමේ පළමු විදෙස් ශාඛාව ලන්ඩන් නුවරදී විවෘත කරන්නෙත් මේ කාලයේ දී ම යි. මෙම යකඩ සහ වානේ කම්හල සාර්ථක වේවි කියා බොහෝදෙනෙක් විශ්වාස කළේ නැහැ. ඒ අතරින් කෙනකු වූ ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොමසාරිස් Frederick Upcott පැවසුවේ TATA වානේ සමාගම සාර්ථක වුණොත් තමන් ඉන්දීය රේල් පාරවල්වල යකඩ පීලි සියල්ල අනුභව කරන බව යි. කෙසේවුණත් 1912දී TATA වානේ සමාගමේ පළමු ලෝහ නිෂ්පාදනය සාර්ථකව නිකුත්වුණා.

tata steel company
TATA යකඩ සහ වානේ සමාගම 1911 දී – businesstoday.in

ඉන්දියානු විද්‍යා ආයතනය (Indian Institute of Science) 1909දී පළමු ඉන්දීය විද්‍යා අධ්‍යාපන ආයතනය විදිහට ඉදිකිරීම් ඇරඹුණා. 1911 දී එහි පළමු ශිෂ්‍ය බඳවා ගැනීමත් සිදුවුණා. ටාටා සොහොයුරන් අධ්‍යාපන අරමුදල් ද ආරම්භ කරනවා. ඒ 1892 දී ආරම්භ වුණු ජම්සේට්ජි ගේ විදෙස් ශිෂ්‍යත්ව වැඩසටහනට අමතර ව යි. රටාන් ටාටා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉන්දියාවේ දුප්පත්කමට විසඳුම් සෙවීම සඳහා වූ පර්යේෂණවලට වාර්ෂික ව පවුම් 1400ක් බැගින් අරමුදල් සැපයීම කළා. ඔහු දාර්ශනික අදහස් ඇති අයකු විදිහට නිරන්තරයෙන් කල්පනා කළේ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීම පිළිබඳව යි.

ජම්සේට්ජිගේ පුත්‍රයන් 1910දී TATA ජල විදුලි බල සැපයුම් සමාගම ඉදිකරනවා. 1916 දී බිහි වූ ආන්ද්‍රා නිම්න බල සැපයුම් සමාගම හා එක්ව TATA බලශක්ති සමාගම ඇරඹෙන්නේ 1919 වසරේ දී යි. මෙම සමාගම අද වෙද්දී මෙගාවොට් 13,000කට අධික විදුලි බලයක් උත්පාදනය කරන බලාගාර ජාලයකින් සමන්විත වෙනවා. මෙයින් 32%ක් ම ලබන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් වීම විශේෂත්වයක්.

india institute of science
ඉන්දියානු විද්‍යා ආයතනය අද දිස්වන අයුරු – thebetterindia.com

1912දී ඉන්දියාවේ පළමු සිමෙන්ති නිෂ්පදනගාරයත් අරඹන්නේ ටාටා සොහොයුරන් ම යි. සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන TATA Oil Mills Co (TOMCO) සමාගම ඇරඹෙන්නේ 1917 වසරේ දී යි. ඉන්දියාවේ පළමු ස්වදේශික රක්ෂණ සමාගම 1919 දී අරඹන්නත් TATA සමුහ ව්‍යාපාරයට හැකි වනවා. බෙල්ජියමේ දී 1920 පැවැත්වූ ඔලිම්පික් උළෙලට ඉන්දියාවේ පළමු නියෝජන සිදුවෙනවා. ඒ සඳහා දොරාබ්ජි විශාල ලෙස කැපවුණු බව සඳහන්. සියලු ක්‍රීඩක වියදම් පවා සිදුකරන්නේ ඔහු  ම යි.

JRD ගෙන් නව මාවතක්

1938 වෙද්දී ටාටා සොහොයුරන් එකිනෙකට වෙනස් සමාගම් 14ක් දක්වා තම සමාගම් ජාලය පුළුල් කරලයි තිබුණේ. රටාන් ටාටා 1919දීත් දොරාබ්ජි ටාටා 1932දීත් මිය ගියායින් පස්සේ ප්‍රධානි තනතුර මීළඟට හිමිවුණේ ජම්සේට්ජිගේ මුණුබුරකුට නෙවෙයි. ඥාති පුත්‍රයකු වූ ජෙහන්ගියර් ටාටාට යි. කෙටියෙන් JRD විදිහට හඳුන්වන මොහු 1925දී TATA සමාගමේ වැඩ ආරම්භ කරන්න පෙර ජිවත් වුණේ සහ ඉගෙනගත්තේ ප්‍රංශයේ. 1909දී ඉංග්‍රීසි ඕඩය හරහා ගුවන් යානයකින් ගමන්ගත්ත පළවෙනි පුද්ගලයා වුණු Louis Bleriot කියන්නේ JRDගේ හොඳ මිත්‍රයෙක්. මේ නිසා ඒ කාලයේ ඉඳන් ම ගුවන්යානා තාක්ෂණය ගැන ඔහුගේ විශේෂ උනන්දුවක් තිබුණා.

dorabji ratan jrd
දොරාබ්ජි, රටාන් සොහොයුරන් සහ ජෙහන්ගියර් (JRD) – tata.com

1929 දී ගුවන්යානා පැදවීමේ අවසර පතක් (Pilot license) ලබාගැනීමට JRD සමත් වෙනවා. එවැන්නක් හිමිකරගත්ත පළවෙනි ඉන්දියානුවා වෙන්නෙත් ඔහු යි. ඉන්දියාව වෙනුවෙන් ගුවන් සේවයක් ආරම්භ කිරීමේ ඔහුගේ ඒකායන අරමුණ සාර්ථක කරමින් 1932 දී TATA ගුවන් සේවය ආරම්භ වනවා. මෙය ආරම්භයේදී තැපැල් සේවයක් විදිහට පමණයි ක්‍රියාත්මක වුණේ. ඒත් 1938 ඉඳන් මගී ජනතාව ප්‍රවාහනයටත් TATA ගුවන් සේවය යොදාගත්තා. JRD මේ වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළා. විශේෂයෙන් ගුවන් නියමු පුහුණුව ලබාදීම සඳහා එංගලන්තයේ හොඳ ම උපදේශකයන් ගෙන්වූවා. මේ සියල්ල සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ලැබුණා. 1947දී නිදහස හිමිවීමෙන් පසු පත්වූ ස්වදේශික රජයේ සහාය පෙර තරම් JRDට ලැබුණේ නැහැ.

ආරම්භයේදී JRD යෝජනා කරේ Air ඉන්දියා සමාගමේ කොටස්වලින් 49%ක ප්‍රතිශතයක් රජයටත් TATA සමාගමට තවත් 25%කුත් සහ ඉතිරිය පොදු මහජනයා අතරත් බෙදා දීමට යි. මෙයට රජය කැමැත්ත පළ කළා. TATA සමාගම සතු කොටස්වලින් 2%ක් රජයට මිලදී ගත හැකි ආකාරයට JRD වඩා ත්‍යාගශීලි ලෙස ගිවිසුම සකස් කළා. ඉන්දීය රජය සහ පෞද්ගලික සමාගමක් අතර සහයෝගිතා ගිවිසුමක් ඇති වූ පළමු අවස්ථාවත් මෙය වනවා.

1932 tata air line
1932 දී TATA ගුවන් සේවය පිහිටුවූ අවස්ථාවේ ගත ඡායාරූපයක් – scroll.in

Air India සහ Air India International ලෙසින් දේශීය සහ අන්තර්ජාතික ගුවන් සේවා සඳහා සමාගම් දෙකක් ලෙස ක්‍රියාකරනවා වෙනුවට 1953දී ඉන්දීය රජය යෝජනා කළේ තනි සමාගමක් ලෙස Air India ක්‍රියාත්මක විය යුතු බව යි. JRD ඒ සම්බන්ධ කරුණු පැහැදිලි කළ පසු ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු තුමන් ඔහුගේ දක්ෂතාව හඳුනා ගත්තා. Air India සමාගම ජනසතු කළ අතර එහි සභාපති තනතුර JRDහට පිරිනැමුණා. වසර 25ක කාලයක් JRD විසින් ඒ තනතුර හෙබවුවත් එම කාලය තුළ Air India හි ආදායම් පහළ ගිය බව සඳහන්.

TATA මෝටර්ස් සහ රජයේ නව වෙළෙඳ ප්‍රතිපත්ති

1938 දී TATA සමාගම් සමුහයේ ප්‍රධානි තනතුර වයස 34දී JRDට හිමි වනවා. එතෙක් එම තනතුර හෙබ වූ ළා බාල ම තැනැත්තා වන්නේ ඔහු යි. Air India වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර ම ඔහු 1939 දී රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලාවක් මිතාපුර්හි අරඹනවා. ඉන්දීය වෙළෙඳ පොලේ එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන්නටත් TATA Chemicals සමාගමට හැකිවනවා. 1941දී ශ්‍රීමත් දොරාබ්ජි ටාටා අනුස්මරණ රෝහලක් ද පසු ව ඉදිකෙරෙනවා. මෙය ප්‍රධාන වශයෙන් පිළිකා රෝගීන් ඉලක්ක කරගෙනයි නිර්මාණය වන්නේ.

TATA සමුහය දුම්රිය එන්ජින් නිෂ්පාදන කර්මාන්තශාලාවක් 1945 දී ආරම්භ කරනවා. මෙය නම්වෙන්නේ Tata Engineering and Locomotive Company (TELCO) ලෙසයි. මුල දී දුම්රිය එන්ජින් නිෂ්පාදනයේ නිරත වුණත් 1954 ඉඳන් ජර්මනියේ Diamler සමාගම හා එක්ව වෙළෙඳ වාහන නිෂ්පාදනය ඔවුන් ආරම්භ කරනවා. Diamler AG සමාගමට ම තමයි වර්තමානයේ දී Mercedes Benz සමාගම අයිති වන්නේ.

tata motors 1954
TELCO සමාගමේ මුල්ම දුම්රිය එන්ජින් සහ ලොරි රථ නිෂ්පාදනය – tata.com

 

1969 දී ඉන්දිරා ගාන්ධි අගමැතිනිය වශයෙන් ක්‍රියාකරන කාලයේ දී වෙළෙඳ ඒකාධිකාර සහ තහනම් වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධ පනතක් ගෙන එනු ලැබුණා. මෙය සම්පුර්ණයෙන් ඉලක්ක වුණේ ටාටා සමුහ ව්‍යාපාරය වෙත යි. ඒ වෙද්දී JRD  සිය සමාගම් 14 සිට 95 දක්වා TATA හි සමාගම් ගණන වැඩි කර තිබුණත් TATA යනු වෙළෙඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමක් නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.  ඉහත සමාගම් 95න් ටාටා පවුලට හිමිවුණේ අඩු කොටස් ප්‍රතිශතයක්. නව පනත අනුව යමින් බොහොමයක් සමාගම් පොදු ජනතාවට මිලදී ගත හැකි ලෙස තවදුරටත් කොටස් වෙළෙඳපොළට විවෘත කෙරුණා. මෙයින් සිදුවුණේ TATA සමාගම පාලනයෙන් තොර වීම සහ ලාභ ලැබීම අවම වීම යි.

වර්තමාන තත්වය

TATA ව්‍යාපාර සමූහයේ අද වෙද්දී ප්‍රධානී තනතුර දරන්නේ නටරාජන් චන්ද්‍රසේකරන් නමැති අයෙක්. ඔහු 2017 ඉඳන් සමාගමේ සභාපති ධුරය හොබවනවා. 1991-2012 කාලයේදී සමාගමේ විශාල වැඩ කොටසක් සිදු කළේ ජම්සේට්ජි ටාටාගේ මී මුණුබුරකු වන රටාන් ටාටා යි. මේ දොරාබ්ජිගේ සහෝදරයා නොවන බවත් මෙතනදී මතක් කළ යුතු යි. JRD, TATA ව්‍යාපාරය පාලනය කරන කාලයේ රටාන් ටාටා 1971දී TATA හි රේඩියෝ නිෂ්පාදන සමාගම වන National Radio & Electronics Company (NELCO) හි ප්‍රධානි තනතුරට පත්කරනවා. 1950 ගණන්වලදී ඉන්දියාවේ ප්‍රමුඛත ම රේඩියෝ නිෂ්පාදන සමාගම වූ NELCO හි කඩා වැටීම නිවැරදි කරන්නයි ඔහු පත් කරන්නේ. රේඩියෝ නිෂ්පාදනය වෙනුවට චන්ද්‍රිකා ඇන්ටෙනා නිෂ්පාදනයට තම සමාගම යොමු කර වාසි ලබන්න රටාන්ට හැකි වෙනවා.

ratan with jrd
රටාන් ටාටා JRD සමඟ 1971 දී – indiatoday.in

 

TATA සමුහය ඉතිහාසයේ මුහුණ දුන් විශාල ම අභියෝගය පැමිණෙන්නේ ඉන්දියාවේ විවෘත ආර්ථිකයක් නිර්මාණය වීමත් සමඟ යි. ඒ වනතෙක් ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවල තම නම පතුරුවා ගෙන සිටි TATA සමාගමට විදෙස් සමාගම් හා තරඟ වදින්නත් 1991 සිට සිදු වෙනවා. මෙහිදී ව්‍යාපාරයේ ප්‍රධානියා විදිහට රටාන් ටාටා පළමුවෙන් ම කරන්නේ වඩා වැදගත් ටාටා සමාගම්වල බහුතරය යළිත් තමන් සතු කර ගැනීම යි. TATA Motors සහ TATA Steel යන සමාගම්වල බහුතරය තමන් වෙත ගන්න ඔහු TATA Sons (Holding සමාගම) හි කොටස් පවා විකුණනවා. දෙවනුව රටාන් ටාටා සිදු කරන කාර්යය වෙන්නේ TATA සමාගමේ සියලු ම සමාගම් ප්‍රධාන කොටස් 7කට වෙන් කිරීම යි. මෙයින් සමාගමේ පරිපාලනය පහසු වෙනවා.

tata group structure
Tata සමාගමේ වර්තමාන සැකැස්ම සහ එක් එක් සමාගම් සතු කොටස් අගයන් – linkedin.com

1991 සිට Tata Motors සමාගම මගී වාහන නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදනය වුණු පළමු මෝටර් රථය එළිදැක්වෙන්නේ 1998 දී යි. TATA Indica නම් වූ මෙම රථයට පසු TATA Safari නම් SUV රථයක් ද නිර්මාණය වෙනවා. Titan සමාගම හා එක්ව කාන්තා අත් ඔරලෝසු සන්නමයක් වන Raga ආරම්භ කෙරෙන්නේ 1992 වසරේ දී යි. ස්වාර්ණභාර කර්මාන්තයට ද TATA සමුහය යොමු වන අතර 1994දී ඇරඹුණු ප්‍රකට Tanishq ස්වර්ණාභරණ සමාගමත් ඔවුන් සතු එකක් වනවා.

tatas first motor car
Tata Motors සමාගමේ පළමු මෝටර් රථය පදවන රටාන් ටාටා – autocarindia.com

 

විදෙස් සමාගම් ඉන්දියාව තුළ තම වෙළෙඳපොළ නිර්මාණය කිරීමට රටාන්ගේ පිළිතුර වුණේ එම සමාගම් මිල දී ගැනීම යි. මෙම පියවර 2000 වසරේ ක්‍රියාත්මක කිරීම අරඹන්නේ TATA Tea සමාගම යටතට බ්‍රිතාන්‍යයේ Tetley සමාගම පවරාගැනීමත් සමඟ යි. ඉන්පස්සේ අමෙරිකානු Gemplex , Good Earth, Ritz-Carlton, General Chemical සමාගම්, කොරියානු Daewoo සමාගම, සිංගප්පුරුවේ NatSteel සමාගම, ඕස්ට්‍රේලියාවේ W Hotel, දකුණු අප්‍රිකාවේ Transtel සමාගම වැනි සමාගම් 100 ගණනක් Tata සමාගම පවරා ගන්නවා. 2007 දී යුරෝපයේ ප්‍රධානත ම Corus වානේ සමාගම TATA steel මඟින් මිලදී ගැනීමත් 2008 දී Land Rover සහ Jaguar මෝටර් රථ සමාගම් Tata Motors විසින් මිලදී ගැනීමත් මෙහිදී විශේෂ වෙනවා.

tata companies
විවිධ ක්ෂේත්‍රවල TATA සමුහය සතුවන සමාගම් දැක්වෙන සටහනක් – linkedin.com

රටාන් ටාටා ගේ මේ ක්‍රියාමාර්ගය නිසා TATA සමාගමට අද වෙද්දී විදේශ සමාගම් විශාල ප්‍රමාණයකින් ලාභාංශ ගෙවීම සිදුවෙනවා. ඔවුන්ගේ මුළු ආදායමෙන් 60%ක් පමණ ලැබෙන්නේ මේ ලාභාංශවලින් වීම විශේෂත්වයක්. අමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආදායමක් වාර්ෂික ව ඉන්දියාව වෙත ගෙන ඒමට TATA සමාගමට අද වෙද්දී හැකියාව ලැබී තිබෙනවා. 2018 ඉන්දියාවේ බිලියනපති ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරටත් රටාන් ටාටා නැහැ. ඉන්දියාව දියුණු කිරීම වෙනුවෙන් තම සමාගම් සියල්ල කැප කිරීම එයට හේතුව වන්නට ඇති.

කවරයේ පින්තූරය - dreamstime.com

මූලාශ්‍ර:

tata.com

britannica.com

linkedin.com

business-standard.com

theweek.in

analyticssteps.com

The Tatas: How a Family Built a Business and a Nation (Audio Book)

Related Articles