Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුසගිනි නිවන හමුදාව: රොබින්හුඩ් ආමි

මෙම ලිපිය කියවන ඔබ යම් දිනෙක කාගේ හෝ කුසගින්න නිවා ඔවුන්ට පිළිසරණක් වී තිබේ ද? ඊට පිළිතුර ‘ඔව්’ නම්, මෙය කියවන ඔබට, ඔබ කළ දේ කෙතරම් වටිනා දෙයක්දැයි හැඟෙනු ඇත, පිළිතුර ‘නැත’ නම්,  කුසගින්නෙන් පෙළෙන කාට හෝ සරණක් වන්නට මෙය ඔබ අභිප්‍රේරණය කරනු ඇත. වැදගත්ම කරුණක් වන්නේ මෙම ලිපියෙන් කියැවෙන වැඩසටහන යටතේ දහස් ගණනකගේ කුසගින්න නිවන්නට ඔබට කිසිදු වියදමක් දැරීමට සිදු නොවීමයි.

මෙම ලිපිය ‘කිසිවකු කුසගින්නේ නොතබමු’ යන සංකල්පය පෙරදැරි ව ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක මිලියන ගණනකගේ කුසගිනි නිවන්නට වෙහෙසෙන  ‘රොබින්හුඩ් හමුදාව’ පිළිබඳව යි.

කොළඹ නගරයේ ආහාර බෙදා දෙන රොබින්වරයෙක් සහ ආහාර ලබාගන්නා අයෙක් – Facebook- Robinhood Army Sri Lanka

 

රොබින්හුඩ් හමුදාවේ ආරම්භය සිදු වූයේ අපේ අසල්වැසි ඉන්දියාවේ ය. ආපනශාලාවලින් ඉවත් කරන, පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින ආහාර එකතු කර, ඒවා ආහාර අවශ්‍ය අයට පරිත්‍යාග කරන පෘතුගාලයේ ‘Re-Food’ නම් වැඩසටහන ආදර්ශයට ගනිමින් රොබින්හුඩ් හමුදාව ආරම්භ විය. 2014 වසරේ අගෝස්තු මස ආරම්භ වූ මෙම වැඩසටහනේ නිර්මාතෘවරුන් වන්නේ නීල් ඝෝස්, ආරුශි බත්‍රා සහ ආනන්ද් සිංහා යන තිදෙනා වේ.

රොබින්හුඩ් හමුදාවේ අරමුණ

රොබින්හුඩ් හමුදාව පිහිටුවීමේ අරමුණ වන්නේ ප්‍රධාන නගරවල පිහිටි ආපනශාලාවල අලෙවි කරගත නොහැකි, නමුත් පරිභෝජනයට සුදුසු ආහාර එකතු කර, ආහාර සපයා ගැනීමට අපහසු පිරිස් අතර ඒවා බෙදා දීම යි. නිවාස නොමැති පවුල්, ළමා නිවාස සහ වැඩිහිටි නිවාසවල ජීවත් වන අය සහ රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් වැනි පාර්ශව සඳහාත් ඒ ආකාරයෙන් ආහාර බෙදා දෙයි. කිසිදු මූල්‍යමය ආධාරයක් ලබා නොගන්නා රොබින්හුඩ් හමුදාවේ ආහාර බෙදා දීමේ වැඩසටහන සමඟ එක් ව ඇති සියලු දෙනා තරුණ සිසුන්, සිසුවියන් සහ වෘත්තියවේදීන් ය. ඔවුන් ඊට දායක වන්නේ 100%ක් ම ස්වේච්ඡාවෙනි.

ඉන්දියාවේ ළමයින් සඳහා ආහාර ලබාදෙන අයුරු – www.pune365.com

රොබින්හුඩ් හමුදාව කිසිදු මුදලක් එකතු නොකරන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන අතර ඊට රුපියලක හෝ ආදායමක් නොලැබේ. ආහාර බෙදාහැරීම සඳහා දායක වන අයට කිසිදු ගෙවීමක් නොලැබෙන අතර කර්යයාලයක්, සේවකයන් හෝ වෙනත් කිසිදු වත්කමක් ද මෙම සංවිධානයට නොමැත. සරලව ම කියතොත් මෙය කාගේ හෝ කුසගින්න නිවීම සිය එක ම අරමුණ කරගත් සංවිධානයකි. රොබින්හුඩ් හමුදාව ඔවුන් සිදු කරන වැඩසටහන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම හරහා තව තවත් සාමාජිකයන් එකතු කර ගනී.

ව්‍යාප්තිය

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආරම්භ වූ රොබින්හුඩ් හමුදාව මේ වන විට උතුරු ඉන්දියාවේ නගර 44ක, මධ්‍යම ඉන්දියාවේ නගර 15ක, නැගෙනහිර ඉන්දියාවේ නගර 18ක, බටහිර ඉන්දියාවේ නගර 50ක සහ දකුණු ඉන්දියාවේ නගර 22ක ක්‍රියාත්මක වේ. ඊට අමතර ව බහරේනය, බොට්ස්වානා, බ්‍රසීලය, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය, උගන්ඩාව යන රටවල ක්‍රියාත්මක වන රොබින්හුඩ් හමුදාව, ශ්‍රී ලංකාවේ කොළඹ සහ මඩකළපුව යන නගරවල ද ක්‍රියාත්මක වේ.

රොබින්හුඩ් හමුදාවේ ව්‍යාප්තිය – www.robinhoodarmy.com

ශ්‍රී ලංකාව තුළ රොබින්හුඩ් හමුදාවේ ක්‍රියාකාරීත්වය

රටවල් ගණනාවක ක්‍රියාත්මක වන රොබින්හුඩ් හමුදාවේ ශ්‍රී ලංකා ආගමනය සිදු වූයේ මීට වසර පහකට පෙර, එනම් 2016 වසරේ දී ය. ආරම්භයේ දී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ එය වර්තමානය වන විට මඩකළපුව නගරයේ ද ක්‍රියාත්මක වේ. මෙම හමුදාවට සම්බන්ධ තරුණ තරුණියන්, රොබින්වරුන්- වරියන් ලෙස හැඳින්වෙන අතර ඔවුන් ආපනශාලා සහ හෝටල් ගණනාවක් සමඟ ආහාර ලබා ගැනීම සඳහා එකඟතා ඇති කර ගෙන තිබේ.

බෙදාහැරීම සඳහා ආහාර ඇසුරුම් කරන අයුරු – Facebook- Robinhood Army Sri Lanka

රොබින්හුඩ් හමුදාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා මුලික වී ක්‍රියා කළ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනකු ආරම්භයේ දී කොළඹ නගරයේ ප්‍රසිද්ධ ආපනශාලා සහ හෝටල් කිහිපයක් සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස රාත්‍රී 8.45න් පසු අලෙවි කරගැනීමට නොහැකි ආහාර ඔවුන්ට ලබාදීමට එම ආයතන එකඟතාව පළ කර තිබේ.

එවැනි ආයතනවලින් ලබා ගන්නා ආහාර රාත්‍රී කාලයේ දී ආහාර අවශ්‍ය පුද්ගලයන් අතර බෙදා දීම මුල් කාලයේ  සිදු වූයේ සෙනසුරාදා දිනවල පමණි. කෙසේ වෙතත් එහි සාමාජිකයන් සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් සමඟ සෙනසුරාදා දිනවල පමණක් ක්‍රියාත්මක වූ රොබින්හුඩ් හමුදාවේ  ආහාර බෙදා දීම මේ වන විට සතියේ දින හත පුරාවට ම සිදු වේ.

ඇසුරුම් කර ඇති ආහාර – Facebook- Robinhood Army Sri Lanka

ආහාර එකතු කර ගැනීම, තත්ත්ව පරීක්ෂාව සහ බෙදා හැරීම

කොළඹ නගරය තුළ රොබින්හුඩ් හමුදාව ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.30න් පසුව ය. රාත්‍රී 8.30න් පසුව ආපනශාලා සහ හෝටල්වලින් ඉවත් කරන, හොඳ තත්ත්වයේ පවතින ආහාරපාන රැගෙන ඔවුන් නගරයේ එක ස්ථානයකට එක්රැස් වේ. එහිදී රොබින්වරුන් – වරියන් එම ආහාර, පරිභෝජනය සඳහා සුදුසු තත්ත්වයේ තිබේ ද යන්න පරීක්ෂා කරයි. පාන් වැනි දේ බෙදා දෙන්නේ නම් ඒ සමඟ යම්කිසි හොදි වර්ගයක් ලබා දීමට ද ඔවුහු බොහෝ විට කටයුතු කරති. ඒ සඳහා යන වියදම ඔවුන්  ම දරයි.

ඔවුන් සියලු කටයුතු අවසන් කර, රාත්‍රී 9.00- 9.30 අතර කොළඹ නගරයේ වවිධ ස්ථානවලට ගොස් ආහාර බෙදා දෙන අතර ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින පිරිසක් මේ වන විට නගරයේ සිටිති. විශේෂයෙන් ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නවාතැන් ගන්නා යාචකයන්ට මෙන් ම දුරබැහැර ප්‍රදේශවලට යාමට දුම්රියක් හෝ බස් රථයක් එනතුරු රැඳී සිටින අයට ද රොබින්හුඩ් හමුදාවේ සාමාජිකයන් වෙතින් ආහාරපාන ලබාගත හැකි ය.

ආහාර පාර්සල් අතැතිව සැරිසරන රොබින්වරු – Facebook- Robinhood Army Sri Lanka

මේ ආකාරයෙන් ඔවුන් දිනකට පුද්ගලයන් 300-500 අතර පිරිසකට ආහාර බෙදා දෙන අතර සමහර දිනවලදී එම සංඛ්‍යාව ඊටත් වැඩි ය. සතිය පුරාවට ම ආහාර එක්රැස් කර බෙදා දීමට අමතර ව රොබින්හුඩ් කල්ලියේ සාමාජිකයන් කාලයෙන් කාලයට විශේෂ ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරයි. එම වැඩසටහන් බොහෝ විට අනුරාධපුර සහ ත්‍රිකුණාමලය වැනි දුෂ්කර ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.

ජනතා අදහස්

රොබින්හුඩ් හමුදාවේ මෙම වැඩසටහන යටතේ නිතර ආහාරපාන ලබා ගන්නා කොළඹ නගරයේ ජීවත් වන පුද්ගලයෙක් පුවත්පතකට පවසා ඇත්තේ එම වැඩසටහන සැබැවින් ම අගය කළ යුතු එකක් බව යි. රොබින්හුඩ් හමුදාවේ සාමාජික සාමාජිකාවන් පැමිණ ඔවුන්ගේ ගේ දුක සැප ද විමසා, ලබා දෙන ආහාර ඉතා හොඳ තත්ත්වයෙන් තිබෙන බව ඔහු සඳහන් කර තිබේ. ආහාරපාන ලබා ගැනීමට අමතර ව යම්කිසි පුද්ගලයකුට වෙනත් ගැටලුවක් තිබේ නම් ඒ වෙනුවෙන් යමක් කිරීමට ද රොබින්හුඩ් හමුදාවේ සාමාජිකයන් උත්සහ කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

රාත්‍රී කාලයේ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට රැඳී සිටින පුද්ගලයන් – Twitter- Tharaka Samman

කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ විශේෂ මෙහෙයුම්

වර්තමානයේ ලොව පුරා පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ සංචරණ සීමා වරින් වර පැනවීම වැනි හේතු නිසා රොබින්හුඩ් හමුදාවේ ක්‍රියාකාරකම් තාවකාලික ව අත්හිටුවීමට සිදු වන අවස්ථා ද තිබේ. හැකි සෑම අවස්ථාවක ම කුසගින්නෙන් පෙළෙන කාට හෝ පිළිසරණක් වන්නට ඔවුන් උත්සහ කරන්නේ එය රොබින්හුඩ් හමුදාවේ එක ම අරමුණ බැවිනි.

ආහාරපාන බෙදා හැරීමට අමතර ව අවස්ථා කිහිපයක දී රොබින්හුඩ් හමුදාව වෙනත් විශේෂ මෙහෙයුම් ද සිදු කර තිබේ. ඒ අතර දිළිඳු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම සහ කුඩා ළමයින් සඳහා සෙල්ලම් භාණ්ඩ පරිත්‍යාග කිරීම වැනි ව්‍යාපෘති ද ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ව ඉලක්කගත පුද්ගලයන් හෝ පවුල් සංඛ්‍යාවක් සඳහා යම්කිසි නිශ්චිත කාලරාමුවක් තුළ මිලියන ගණනින් ආහාර පාර්සල් සහ වෙනත් දෑ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ද ඔවුන් 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක කර තිබේ.

රොබින්හුඩ් හමුදාවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් – www.timesofindia.indiatimes.com

රොබින් ඇකඩමිය

ආහාරපාන සහ වෙනත් දෑ බෙදා දීමෙන් ඔබ්බට යමින් රොබින්හුඩ් හමුදාව මෑතක දී ආරම්භ කළ රොබින් ඇකඩමිය හරහා වීදි දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබේ. රොබින්හුඩ් හමුදාව ක්‍රියාත්මක වන රටවල වීදි දරුවන් 7,000කට වැඩි පිරිසක් මේ වන විට රොබින් ඇකඩමිය යටතේ අධ්‍යාපනය හදාරන අතර ප්‍රමිතිගත විෂය නිර්දේශයක් අනුව ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු වේ.

ඒ සඳහා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වන තරුණ තරුණියන් ගණනාවක් සිටින අතර ඔවුන් සතියකට වරක් වීදි දරුවන්ට ඉගැන්වීම සිදු කරන්නේ කිසිවක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. ඔවුන්ගේ එකම අරමුණ පාසලත්, වීදි දරුවනුත් එකතු කරන පාලමක් වීම ය.

රොබින් ඇකඩමියේ ගුරුවරු – Facebook- Robinhood Army Sri Lanka

රොබින්වරයකු- වරියක විය හැක්කේ කෙසේ ද?

මේ අපූරු කණ්ඩායම පිළිබඳ කියැවූ ඔබට ඔවුන් සමඟ සම්බන්ධ වීමට කැමැත්තක් ඇති වී තිබෙනවාට සැකයක් නැත. ඔබට ඒ සඳහා දායක විය හැකි ආකාර කිහිපයක් තිබේ. ආහාර බෙදාහැරීමේ කටයුතු සඳහා, ඔබේ අවන්හලෙන් හෝ වෙනත් ස්ථානයකින් ආහාර ලබා දීම සඳහා හෝ වීදි දරුවන්ට ඉගැන්වීම සඳහා ඔබට ද රොබින්හුඩ් හමුදාව සමග සම්බන්ධ විය හැකි ය.

රොබින්හුඩ් හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.robinhoodarmy.com වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ඒ සඳහා ඉල්ලීමක් කළ හැකි ය. ඉල්ලීමක් සිදු කර ඉතා කෙටි කාලයක් ඇතුළත අදාළ ප්‍රදේශයේ රොබින්වරුන් – වරියන් සමඟ සම්බන්ධ වීමට ඔබට හැකි වනු ඇත.

 කාන්තාවක් ආහාර ලබාගන්නා අයුරු – Facebook- Robinhood Army Sri Lanka

කවරයේ පින්තූරය- රොබින්වරියක් -www.humanshelping.wordpress.com

මූලාශ්‍ර:

www.robinhoodarmy.com

Facebook- Robinhood Army Sri Lanka

www.slmedia.lk

ළැම ඉස්සුණු ළමිස්සියන්ගේ රොබින්හුඩ් කල්ලිය- ප්‍රභාත් අත්තනායක - Mawbima.lk

Related Articles