Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කියවන පොත් පසු කර දුවන අහන, බලන ඩිජිටල් පොත්

කියවීම ප්‍රිය කරන බොහෝ දෙනෙක් අවම වශයෙන් මසකට වරක් මුද්‍රිත පොතක් හෝ පොත් කිහිපයක් මිල දී ගැනීමට අමතක නොකරති. මිල දී ගත යුතු බොහෝ දෑ අතරට පොතක් ද එකතු කිරීමට අමතක නොකරන ඔවුන් පොත් කියවීම පමණක් නොව තමන් සතු මුද්‍රිත පොත් එකතුව වැඩි කරගැනීම ද විනෝදාංශයක් කරගෙන තිබේ.

කඩදාසි පිටුවලින් සමන්විත, මුද්‍රිත පොතක් කියවීම අප කාටත් එතරම් විශේෂ දෙයක් නොවන නමුත් අනිකුත් සියලු ක්ෂේත්‍රයන්හි මෙන් ම ප්‍රකාශන ක්ෂේත්‍රයේ ද මේ වන විට වෙනස්කම් ගණනාවක් සිදු වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ඩිජිටල් ක්‍රමවේද හරහා පොත් කියවීම හෝ ඒවාට ඇහුම්කන් දීම මේ වන විට පාඨකයන් අතර ප්‍රචලිත වෙමින් තිබේ. වෙනත් ලෙසකින් පවසතොත් මුද්‍රිත පොත පතට පාඨක ලෝකයේ පවතින ජනප්‍රියතාව අද වන විට ඩිජිටල් මාධ්‍ය ධාරාවේ පත් පොත මඟින් ශීඝ්‍ර ව අවශෝෂණය කර ගනිමින් සිටියි.

අකුරු සහ රූපසටහන් ඇතුළත් පොතක් ඩිජිටල් මාධ්‍යයක් හරහා පරිශීලනය කළ හැකි ආකාරයෙන් සකස් කිරීම ඩිජිටල් පොතක් ලෙස නිර්වචනය කළ හැකි ය – www.npr.org

ඩිජිටල් පොත්

අකුරු සහ රූපසටහන් ඇතුළත් යම්කිසි පොතක් ඩිජිටල් මාධ්‍යයක් හරහා සුහුරු පිටපතක් ලෙස පරිශීලනය කළ හැකි ආකාරයෙන් සකස් කිරීම ඩිජිටල් පොතක් ලෙස නිර්වචනය කළ හැකි ය. එය පරිගණක, ලැප්ටොප්, ටැබ් පරිගණක, ඊ පොත් කියවන හෝ ජංගම දුරකතන වැනි උපාංග ආධාරයෙන් කියැවීමට අවස්ථාව උදා වී පවතියි. කියවීමට අමතර ව ඉහත කී උපාංග භාවිත කර පොත්වල අඩංගු අන්තර්ගතයට බාගත නිරීම හෝ ඒවා ඇහුම්කන් දීමට හැකි ආකාරයෙන් ද වත්මන් ඩිජිටල් පොත් සකස් කර ඇත. ඒ අයුරින් ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය ලෙස සකස් කර ඇති ඩිජිටල් පොත් අතරින් සමහර පොත්වල මුද්‍රිත පිටපත් තිබෙන නමුත්, සමහර ඒවායේ මුද්‍රිත පිටපත් එළි දක්වා නොමැත.

ඩිජිටල් පුස්තකාල

ඩිජිටල් පුස්තකාලයක්, මාර්ගගත පුස්තකාලයක්, අන්තර්ජාල පුස්තකාලයක්, ඩිජිටල් ගබඩාවක් හෝ ඩිජිටල් එකතුවක් ලෙස හඳුන්වන්නේ ඩිජිටල් පොත් පරිශීලනය කිරීමට පහසුකම් සලසා ඇති ස්ථානයකි. අන්තර්ජාල පොත් සාප්පු ද ඒ අතර ක්‍රියාත්මක ය. අන්තර්ජාල පහසුකම් භාවිත කර එම පොත් මිලදී ගැනීම පරිශීලනය කළ හැකි වේ. දියුණු රටවල වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතින ඩිජිටල් පුස්තකාලවල, මුද්‍රණය කර ඇති පොත්වල, ඩිජිටල් මාධ්‍යයෙන් සකස් කළ පිටපත් හෝ ඩිජිටල් පොත් ලෙස ම සකස් කළ කෘති තැන්ත්පත් කර තිබේ.

ඇතැම් ඩිජිටල් පුස්තකාලවලට ඔබට භෞතික ව සමීප විය නොහැකි නමුදු අන්තර්ජාලය ඔස්සේ ඔබට එම ඩිජිටල් පුස්තකාල වෙත තථ්‍යාසන්න ලෙස පිවිසීමේ අවස්ථාව පවති යි. මේ ඇතැම් ඩිජිටල් පුස්තකාලවල කෘති පරිහරණය සඳහා අපට යම් ගෙවීමක් සිදු කර එහි පොත් පරිශීලනය කළ හැකි අතර ඇතැම් අවස්ථාවක සීමිත වාර ගණනක දී ඒවායේ ඇති පොතපත නොමිලේ පරිශීලනයට ද අවස්ථාව උදා වී ඇත.

ප්‍රමාණය සහ විෂය පථය වැනි කරුණු අනුව ඩිජිටල් පුස්තකාලවප හැඩය සහ පැවැත්ම එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී – www.fortune.com

ගබඩා කිරීමට අමතර ව, විවිධ ඛාණ්ඩ යටතේ අන්තර්ගත වර්ග කිරීම සහ අස්ථානගත වූ පොත් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ද ඩිජිටල් පුස්තකාලවල ස්ථාපිත කර තිබේ. මෙම පුස්තකාල ප්‍රමාණය සහ විෂය පථය වැනි කරුණු යටතේ එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. ඩිජිටල් පුස්තකාල තනි තනි පුද්ගලයයන් හෝ සංවිධාන යටතේ ක්‍රියාත්මක වේ. අවශ්‍ය අයකුට අන්තර්ජාලය ඔස්සේ ඕනෑම ස්ථානයක සිට ඒවායේ ගබඩා කර ඇති අන්තර්ගතය පරිශීලනය කළ හැකි ය.

ඩිජිටල් පොත් සඳහා ගෙවීම්

ඩිජිටල් පොත් පරිශීලනය කිරීම පිණිස ඒවා මිල දී බාගත කරගැනීමට හෝ යම් කාලසීමාවක් සඳහා ලබා ගැනීමට (Lending) අපට සිදු වේ. එලෙස මිල දී ගත් හෝ ගබා ගත් කෘති පරිගණකයක හෝ ජංගම දුරකතනයක ගබඩා කර ගෙන අවශ්‍ය අවස්ථාවක පරිශීලනය කළ හැකි ය. ගබඩා කරගැනීමට අමතරව වරින් වර අදාළ මිල දී ගැනීම සිදු කළ වෙබ් අඩවියට හෝ ඩිජිටල් පුස්තකාලයට ගොස් එය පරිශීලනය කිරීමට ද පාඨකයන්ට අවස්ථාව ලැබේ.

යම් කාලසීමාවක් සඳහා ලබා ගැනෙන කෘති වෙත අදාළ කාලසීමාව ඉක්මවීමෙන් පසු පිවිසීම ස්වයංක්‍රීය ව අවහිර වනු ඇත. අපට තවදුරටත් එම කෘතිය පරිශීලනය කරන්නට වුවමනානම් අදාළ කාලය සඳහා යම් ගෙවීමක් සිදු කර එයට පිවිසීමේ කාලය තව දුරටත් දිගු කර ගත හැකි ය.

ඩිජිටල් පුස්තකාලවලට සැලකිය යුතු මුදලක්

සමහර අලෙවිකරුවන් සීමිත කාලයක් හෝ වාර ගණනක් සඳහා පමණක් ඒවායේ ගබඩා කර ඇති පොත් සහ ලේඛන නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව සලසා ඇත. වැදගත් අන්තර්ගතයක් සහිත විශාල ඉල්ලුමක් පවතින පොත්, විශේෂයෙන් ම පර්යේෂණ පදනම් කරගත් ඒවා, පරිශීලනය කිරීම සඳහා ඩිජිටල් පුස්තකාලවලට සැලකිය යුතු මුදලක් ගෙවීමට සිදු වේ. ඇතැම්විට එම මුදල අදාළ කෘතියේ මුද්‍රිත පිටපතෙහි මිල ආසන්නයට ම සමීප ව ඇති පන ද දිස් වන අවස්ථා ද පවතියි.

ඩිජිටල් පොත් පරිශීලනය කිරීමට ඒවා මිල දී ගනිමට සිදු වේ/ www.istock.com

පාඨකයන් අතර ප්‍රචලිත වන ඩිජිටල් පොත්

සාමාන්‍ය පොත් අලෙවිය ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන වර්තමානයේ ඩිජිටල් පොත් පරිශීලනය කිරීමට බොහෝ දෙනෙක් නැඹුරු වෙමින් සිටිති. පොත්හල් හෝ වෙනත් පොත් අලෙවි කරන ස්ථානවලට යාමට කාලය සොයා ගැනීමට නොහැකි වීම, සමහර පොත් සොයා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වීම, පොත් මිල දී ගෙන තබාගැනීමට ඉඩකඩ නොමැති වීම සහ ඇහුම්කන් දීමට හැකි ආකාරයෙන් සකස් කළ පොත්වලට සවන්දීම වෙනත් කාර්යයක යෙදෙන අතරවාරයේ වුව ද කළ හැකි වීම වැනි හේතු නිසා ඩිජිටල් පොත් පරිශීලනය කරන පාඨක සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

ගෝලීය පරිසර සංරක්ෂණය පිළිබඳ ව විශාල කතාබහක් ඇති වී තිබෙන වර්තමානයේ කඩදාසි භාවිතය අවම කිරීමට බොහෝ රටවල අවධානය යොමු වී තිබේ. කඩදාසි භාවිතය අවම කිරීමට නම් මුද්‍රිත පොත් වෙනුවට ඩිජිටල් පොත් භාවිතය ප්‍රචලිත කිරීම ඉතා වැදගත් බව බොහෝ පාර්ශව පෙන්වා දී තිබේ. බොහෝ රටවල පෙරපාසල්, පාසල්, විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු සුහුරු ක්‍රමවේදයක් යටතේ සකස් කිරීම මේ වන විට සිදු වන බැවින් එවැනි තත්ත්වයන්ට සාපේක්ෂව පොතපත ඩිජිටල්කරණය කිරීම ද කාලීන අවශ්‍යතාවක් ව පවතියි.

Audiobook Store වෙතින් Audiobooks මිලදී ගැනීමේ පහසුකම ද සලසා ඇත – www.tunelf.com

අභියෝග

සුරක්ෂිතව තබා ගන්නේ නම් සාමාන්‍ය පොතක් හෝ වෙනත් ලේඛනයක් වසර සිය ගණනකට පසු වුවත් පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි බව අපි දනිමු. ඩිජිටල් පොතක් හෝ ලේඛනයක් දීර්පඝ කාලයක් තිස්සේ පරිශීලනය කිරීම එතරම් පහසු නොවේ. ඩිජිටල් පොත් සහ ඒවා ගබඩා කර ඇති වෙබ් අඩවිවල සර්වර වැනි දෑ විවිධ තාක්ෂණික දෝෂවලට ලක් වීම, නිසි පරිදි නඩත්තු නොවීම සහ පොත් සහ ලේඛන ගබඩා කරගත් උපාංග විවිධ තාක්ෂණික දෝෂවලට ලක්වීම ඊට හේතු වේ.

ඩිජිටල් පොත් නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත කාලයේ දී සිදු නොවන්නේ නම් ඒවායේ ගබඩා කර ඇති අන්තර්ගතය විනාශ වීමේ අවදානමක් පවතියි. වර්තමානය වන විට මුද්‍රිත පොත් සහ ලේඛන අභිබවා ඩිජිටල් පිටපත් පරිශීලනය කිරීම ඉහළ යමින් පවතින බැවින් බොහෝ ඩිජිටල් පොත් අලෙවිකරුවෝ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන්නට වග බලා ගනිති. කෙසේ වෙතත් ඒ සඳහා විශාල කාලයක් සහ මුදලක් වැය කළ යුතු වීම ඔවුන් මුහුණ දෙන අභියෝගවලින් එකකි.

වැඩියෙන් ම අලෙවි වන ඩිජිටල් පොත් කිහිපයක් – www.razorpay.com

පොත් සහ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ දී ඉතා ප්‍රවේශම් සහගත විය යුතු ය. ඊට හේතුව මුද්‍රිත පොත්පත්වල ඩිජිටල් පිටපත් අනවසරයෙන් සකස් කළ බොහෝ දෙනුට විරුද්ධ ව බුද්ධිමය දේපළ හිමිකම් යටතේ අදාළ නිර්මාණවල හිමිකරුවන්, ප්‍රකාශකයන් හෝ කතුවරුන් නීති මාර්ගයට එළැඹ තිබීම ය. මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඩිජිටල් අවකාශයේ අනාගතය තහවුරු කිරීමට ඊට ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අවශ්‍ය වේ. ආයතන සහ ප්‍රකාශක හැසිරීම් වෙනස් කිරීම, අරමුදල් සපයා ගැනීම සඳහා වන ක්‍රම, බුද්ධිමය දේපළ හිමිකම් සුරැකෙන වාතාවරණයක් හා රාමුවක් බලාත්මක කිරීම හා ඒ උදෙසා යම් යම් නීති හා අණපනත් හඳුන්වා දීම ඒ අතර ප්‍රධාන වේ.

පාඨක අවශ්‍යතා

ඩිජිටල් පොත් අලෙවි කිරීමේ දී පාඨකයන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම ඉතා වැදගත් කරුණකි. ඩිජිටල් පොත් වෙත පිවිසීමට පාඨකයා භාවිත කරන උපාංගය, ඩිජිටල් අවකාශයේ පොතක් පරිශීලනය කිරීමට වෙන් කළ හැකි කාලය සහ යම් වෙබ් අඩවියක් හරහා පොතක් හෝ ලේඛනයක් සොයා ගැනීමට සහ මිල දී ගැනීමට ගත වන කාලය හා වියදම වැනි කරුණු මත ඩිජිටල් පොත් පරිශීලනය කරන පුද්ගලයන් සංඛ්‍යාව තීරණය වනු ඇත. නිරන්තරයෙන් වෙනස් වන එවැනි පාඨක අවශ්‍යතා හඳුනා ගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ පහසුකම් සැලසීමට නොහැකි වුවහොත් පාඨකයන් ඉතා ඉක්මනින් වෙනත් වේදිකාවක් වෙත යොමු වීම වැලැක්විය නොහැකි වනු ඇත.

හැරී පොටර් පොත් මාලාව මුල්වරට ඩිජිටල්කරණය කළේ මීට වසර හතකට පෙර ය දී ය – www.wizzardingworld.com

වාර්තා තැබූ හැරී පොටර් ඩිජිටල් පිටපත්

ඩිජිටල් පොත් පරිශීලනය කොතෙක් දුරට ප්‍රචලිත වී තිබේ ද යන්න තහවුරු වන පුවතක් පසුගිය දා වාර්තා විය. ඒ “පොටර්මෝ” සමාගම, ප්‍රකාශයට පත් කළ හැරී පොටර් ග්‍රන්ථ මාලාවේ ඩිජිටල් (ශ්‍රව්‍ය) පිටපත්වලට පාඨකයන් ඇහුම්කම් දී ඇති කාලය පැය බිලියනයක් බව වාර්තා වීම යි. එය යම්කිසි පුද්ගලයෙක් වසර ලක්ෂයක් පුරාවට යමකට ඇහුම්කන් දුන් කාලයට සමාන වේ.

හැරී පොටර් කෘති මාලාව මුල්වරට ඩිජිටල්කරණය කළේ මීට වසර හතකට පෙර ය. එම පිටපත් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ජපාන, ඉතාලි, ස්පාඤ්ඤ සහ තවත් භාෂා කිහිපයකින් ඩිජිටල්කරණය කර ඇත. ලොව පුරා වෙසෙන පාඨකයන් එම සියලු භාෂා ඔස්සේ හැරී පොටර් පොත් මාලාවේ ඩිජිටල් පිටපත්වලට සවන් දී ඇති පැය ගණන එකතු කර, මෙම අදාළ පැය බිලියනයක අගය ගණනය කර තිබේ.

කවරයේ ඡායාරූපය - පොතක් ඩිජිටල් මාධ්‍යයක් හරහා පරිශීලනය කළ හැකි ආකාරයෙන් සකස් කිරීම ඩිජිටල් පොතක් ලෙස නිර්වචනය කළ හැකි ය - www.gettyimages.com
මූලාශ්‍ර - www.bloomsberg.com
www.britannica.com
www.pcmag.com

Related Articles