Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊයම් එක්ක ගනුදෙනුව පරෙස්සමින්!

ඊයම් මෑතක් වන තුරු, කර්මාන්ත ලෝකයේ ඉතා බහුල ව භාවිත වූ ලෝහයක්.  එසේ ම ලෝකයේ වැඩිපුර ම මිනිසුන් සංඛ්‍යාවක් විසවීම්වලට ලක් කරන ද්‍රව්‍යයක් ලෙස ද ඊයම් සැලකෙනවා. මෑත අතීතයේ සිට හිතුමතේට තම නිෂ්පාදනවලට ඊයම් යොදා ගැනීමට නිෂ්පාදකයන්ට නොහැකි වන ලෙස ලෝකය පුරා නීති සම්පාදනය වී තිබෙනවා. 

අපේ රටේ ද වැඩිදෙනෙක් නොදැන සිටියත් ඊයම් භාවිතයට අදාළ නීති ක්‍රියාත්මක යි. මේ නිසා ලෝක සෞඛ්‍ය  සංවිධානය හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන එක් ව ජාත්‍යන්තර වශයෙන්   ඊයම් විස වීම් වලක්වාලීමේ ජාත්‍යන්තර සතියක් ද ක්‍රියාත්මක අතර එය ඔක්තෝබර් අග සතියට යෙදී තිබුණා.

දත්වල එනැමලය හානියට පත් ව ඇති අයුරු- healthjade.net

ඊයම් විසට ගොදුරුවන්නෝ

ඊයම් විසවීම්වලට වැඩිපුර ම ලක් වන්නේ වාහන බැටරි නිෂ්පාදනය, ලෝහ ඊයම් යොදා පෑස්සීම, තීන්ත ආලේප කිරීම, මුද්‍රණ කර්මාන්තය, ස්වර්ණාභරණ නිෂ්පාදනය ආදී වෘත්තීන්වල නියැළී ඉන්න අය යි. එම වෘත්තීන්වලට යොදාගන්නා නිෂ්පාදනවල ඊයම් අඩංගු වීම එයට හේතුව යි. ටික කලකට පෙර ළදරු තොටිලි, අල්මාරි, බිත්ති ආදියෙහි ආලේප කළ තීන්තවල වැඩි ඊයම් ප්‍රමාණයක් තිබීම නිසා  නොදන්නාකමට ඒවා තොල ගෑ, අතගෑම සිදු කළ කුඩා දරුවන් ද ඊයම් විසවීම්වලට ලක් වූ බව වාර්තා වෙනවා.  වර්තමානයේ පවා රථ වාහන වැඩි ප්‍රමාණයක දැවෙන පෙට්‍රල් ඉන්ධනවල ඊයම් මිශ්‍ රවී තිබෙන නිසා ඒවායින් පිටවන  වායුවෙහි ද ඊයම් පවතිනවා. අප නොදැනුම්වත්ව ම ඒවා ආඝ්‍රාණය සිදු වෙනවා.

   ඒ වගේ ම පෝසිලේන් භාණ්ඩ, ප්ලාස්ටික් හෝ රබර් සෙල්ලම් භාණ්ඩ, පාසල් උපකරණ, ලිප්ස්ටික් වගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අවිධිමත් ලෙස ඊයම්-ඇසිඩ් බැටරි නැත්නම් කාර් බැටරි ප්‍රතිචක්‍රීකරණයත් ඊයම් විෂවීමට බලපානවා.    ඊයම් විෂවීම් වැඩිහිටි පුද්ගලයන්ට සාපේක්ෂව ළදරුවන් කෙරෙහි වැඩි බලපෑමක් පෙන්වන අතර ම එම බලපෑම දීර්ඝකාලීනව සිදුවීමට ඉඩ තිබෙනවා.

ලෝකයේ ඊයම් භාවිතය- Unep.org

ඊයම් භාවිතය

ඊයම් පිළිබඳ ව බොහෝදෙනා දන්නේ  එය පාස්සන්නට ගන්නා ලෝහයක් විදිහට යි. නැත්නම් වාහන බැටරිවල ඇති ඊයම් නිසා යි. ඊයම් බහුල ව ම භාවිත කරන්නේ වාහනවල බැටරිවලට වුණත් ඊයම් ඉතා බහුල ව භාවිත කරන තවත්  කර්මාන්තයක් වන්නේ තීන්ත නිපදවීම යි. ඊයම් සහ විනාකිරි යොදාගෙන තීන්ත නිෂ්පාදනය කිරීම බොහෝ කලකට පෙර සිදුවූ දෙයක්. ඊයම් අඩංගු තීන්තවලට ලැබෙන දීප්තිමත් සුදු පැහැය නිසා එය චිත්‍ර ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය ව තිබුණා.  ඊයම් යොදා තීන්ත නිෂ්පාදනය කිරීම ඉතා අවදානම් බව පසුකාලීනව අනාවරණය වුණා. අතීතයේ  පටන් ම ඊයම් විස වීම හේතුවෙන් කම්කරුවන් අතර වලිප්පුව, හිසදරය සහ අපස්මාරය වැනි රෝග දක්නට ලැබුණු බව පැරණි වාර්තාවල සඳහන් වෙනවා.

පරණ වාහන බැටරි ප්‍රතිචක්‍රියකරණය ඊයම් විස වීමට ප්‍රධාන හේතුවක්- Wikipedia.org

ඊයම් ශරීරගත වන්නේ කොහොමද?

ස්නායු ආබාධ, දේහ වර්ධන දුර්වලතා සහ වකුගඩු අකර්මණ්‍යතා හට ගැනීමට මේ ලෝහය දායක වන බව විද්‍යාත්මක ව සොයා ගෙන තිබෙනවා. ඊයම් විවිධ මාර්ග ඔස්සේ ශරීරගත විය හැකි යි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ ආහාර මාර්ගය සහ ස්වසන මාර්ගය යි.

ඊයම් භාවිත කිරීමෙන් පසු ව කෑම ගන්නා  අවස්ථාවල ඒවා අත්වල රැඳී සිට කුසට ඇතුළු වෙනවා.  ශරීරයට ඇතුළු වන ඊයම් අවසානයේ අස්ථිවල තැන්පත් වී රුධිර සෛල නිෂ්පාදන ක්‍රියාවලියට බාධා එල්ල කරනවා.  මෙය ඌණ ප්‍රතිශක්තිය සහ රක්තහීනතාව ඇතිවීමට හේතුවක්. ඊයම් පිළිකාකාරකයක් බවට ද සැකයක් තිබෙනවා.

ඊයම් සහිත තීන්ත එපා – Vox.com

 ඊයම් විස වීම් වලක්වාලීමේ ජාත්‍යන්තර සතිය  

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මිනිස් සිරුරට අහිතකර බැර ලෝහ අතර ඊයම් ඉදිරියෙන් ම සිටින බව යි. ඊයම් විස වීම නිසා සෑම අවුරුද්දක ම මියයන සංඛ්‍යාව මිලියනයක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. සෑම වසරක ම ඔක්තෝබර් මස අවසන් සතියට යෙදී තිබෙන මෙම සතියේ බලාපොරොත්තුව ඊයම් නැමති හානිකර බැර ලෝහයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු ගැන ජනතාව දැනුම්වත් කිරීම යි.  ඒවායින් වැලකීම පිළිබඳව මහජනතාව, රජයන්, ව්‍යාපාරිකයන් ඇතුළු, ඊයම් විස වීම් වැලැක්වීමට දායක විය හැකි සියලු පාර්ශවකරුවන් දැනුම්වත් කිරීම සහ බල ගැන්වීම යි.

2013 වසරේ තමයි මෙම  ඊයම් විස වීම් වලක්වාලීමේ ජාත්‍යන්තර සතිය ආරම්භ වුණේ. මෙවර මෙම සතිය සමරමින් පරිසර යුක්ති කේන්ද්‍රය වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ විකුණන සියලු ම තීන්ත වර්ගවල ඊයම් ප්‍රමිතිය මිලියනයට කොටස් 90ක් ලෙස සංශෝධනය විය යුතු බව යි.

ළමා උද්‍යානවල තීන්තවලට බලපාන ඊයම් නීතිය – Who.int

 2013 සිට ශ්‍රී ලංකාවේ විකුණන තීන්ත සඳහා නෛතික ප්‍රමිතියක් නියම වුණා. මේ නීතිය තියෙන්නෙ තීන්ත වර්ග කිහිපයකට විතර යි. ලෝකයේ මේ වෙනකොට තීන්තවල ඊයම් සඳහා ප්‍රමිතියක් තියෙන රටවල් 19 ම   මිලියනයට ඊයම් කොටස් 90 මට්ටම නීතිගත කර තිබෙනවා.

 ඊයම් ගැන ශ්‍රී ලංකාවේ නීතිය

2009 වසරේ දී පරිසර යුක්ති කේන්ද්‍රය, ඉන්දියානු Toxics link ආයතනයත් සමඟ සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල පාදක කර ගනිමින් ගොනු කළ නඩුවට පිළිතුරු වශයෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මෙම නීති සම්පාදනය කළේ 2011 වසරේදී යි. ඒ අනුව එනැමල් සහ බිම ආලේප කරන තීන්ත සඳහා සම්මත මට්ටම කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 600ක් සහ දරුවන්ගේ භාණ්ඩ සහ ඉමල්ෂන් තීන්ත සඳහා එම මට්ටම කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 90ක් වෙනවා. එය 2013 වසරේ සිට ක්‍රියාත්මක යි. 

මීට අමතර ව වසර 2016 දී නිකුත් කළ අංක 1985/38 සහ වර්ෂ 2016ක් වූ සැප්තැම්බර් 23 වැනි දින දරන අතිවිශේෂ ගැසට්පත්‍ර ප්‍රකාරව සෑම තීන්ත වර්ගයක ම, ඊයම් මට්ටම සම්මත මට්ටමට වඩා අඩු බව ලේබලයේ සටහන් කළ යුතුව තිබෙනවා.

ඊයම් විස සිරුරට බලපාන තැන් – Who.int

ඊයම් විස වීමෙන් ඇති වන මරණ

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාර්ෂිකව විස වීම් නිසා සිදුවන මරණ අතුරෙන් ඊයම් විස වීම් නිසා සිදුවන මරණ ප්‍රමාණය 1.5% (මරණ 900,000ක්) පමණ වෙනවා. ඊයම් අන්තර්ගත විවිධ ද්‍රව්‍ය හරහා පසට, ජලයට මෙන් ම වායුගෝලයට ඊයම් අංශු මුදා හැරෙනවා. ඒවා දරුණු ලෙස ළදරුවන්, කිරිදෙන මව්වරුන් හා ගැබිණි කාන්තාවන් කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනවා.

ප්‍රධාන ලෙස ම ඊයම් අන්තර්ගත තීන්ත, ඊයම් – අම්ල බැටරි, ඊයම් අඩංගු කෘත්‍රිම ආභරණ, ඊයම් අඩංගු ඖෂධ හා විලවුන්, ඊයම් අඩංගු තීන්ත ආලේපිත ළමා උද්‍යාන , පිඟන් භාණ්ඩ, පාසල් උපකරණ, ඊයම්වලින් පෑස්සූ භාජන සහ ඒවායේ ගබඩා කළ ආහාර, ඊයම් උණුකිරීම්,පෑස්සීම්, හා නිස්සාරණ කටයුතු හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරහා ඊයම් පරිසරයට මෙන් ම මිනිස් ශරීරයට ඇතුළු වීම සිදුවන ආකාර කිහිපයක්. නයිජීරියාවේ දී පසුගිය කාලයේ ඊයම් විස වීමෙන් බොහෝ මරණ සිදු වූ බව වාර්තා වුණා.

 මොළයට වන බලපෑම

අධික ඊයම්වලට නිරාවරණය වීමෙන් මොළයට සිදුවන හානිය වැඩි යි. රක්තහීනතාව, වකුගඩුවල ආබාධ සහ මොළයට හානිවීමත් ඉන් සිදුවීමට පුළුවන්. ඊයම් විස වීම හේතුවෙන් මොළයට සිදුවන බලපෑම් නැවත යථා තත්ත්වයට පත් කර නොහැකි බලපෑම් ලෙස සැලකෙනවා. එය ඉතා භයානක තත්ත්වයක්. එසේම ඊයම් යනු, ශරීරයේ සමස්ත ක්‍රියාවලියට බලපෑම් ඇති කරවන රසායනික දහය අතුරෙන් එකක්.  

ඊයම් විෂවීමක් සිදුවු විට:

මෙවැනි තත්ත්වයක් හටගත් විය ශරීරයට විවිධ සංකූලතා ඇතිවිය හැකියි. මේ එහි දී සිදුවන ආබාධ සමහරක්.

හිසරදය

අධික රුධිර පීඩනය

මස්පිඩු වේදනාව

අධික වෙහෙස

ආහාර අරුචිය

මතකය හීනවීම

දත්වල එනැමලය වැඩීම දුර්වල කිරීම

මේ නිසා ඔබත් ඊයම් භාවිතයට පෙර දෙවරක් සිතිය යුතු යි. එමෙන් ම හැකිතරම් ඊයම් අඩංගු භාණ්ඩ පරිහරණයෙන් වැලකී සිටීමත් අවශ්‍ය යි.

කවරයේ ඡායාරූපය - පරණි බැටරිවලින් ඊයම් වෙන්කරන පිරිසක්- bbc.com
මූලාශ්‍ර:
පරිසර යුක්ති කේන්ද්‍රයේ පුවත්පත් නිවේදන
Lankadeepa.lk
cdc.gov
mayoclinic.org

Related Articles