Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ලා සමඟ තරගයට ආ සුපිරිම ඉලෙක්ට්‍රික් කාර්

විදුලිය බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ගැන කතා කරද්දී නිතැතින්ම සිහිවෙන නම තමයි ටෙස්ලා කියන්නේ. ලෝකේ මුල්ම විද්‍යුත් මෝටර් රථය නිෂ්පාදනය කළේ ටෙස්ලා සමාගම නොවුණත් අද වෙද්දී ලෝක විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළේ වැඩිම පංගුවක් හිමි කරගෙන සිටින්නේ ටෙස්ලා සමාගමයි. විද්‍යුත් මෝටර් රථවලට මුලින්ම ආප විකාර රූපී අමුතු පෙනුම වෙනුවට අනාගත පෙනුමක් ලබාදෙමින් මෝටර් රථ මාදිලි කීපයක්ම නිර්මාණය කරන්නට 2008 සිට ටෙස්ලා සමාගමට පුළුවන් වුණා. ඒ අතරින් Tesla Model S සහ Model 3 සුවිශේෂියි. හැබැයි අද වෙද්දී මෝටර් රථ ලෝකයේ දැවැන්තයන් වන බෙන්ස්, අවුඩි සහ ෆෝර්ඩ් යන සමාගම් ටෙස්ලා මෝටර් රථ සමඟ කරට කර සටන් කළ හැකි සුපිරි මෝටර් රථ පෙළක් හඳුන්වා දී තිබෙනවා. 2021 වසර සඳහා මේ සමාගම්වලින් වැඩි දියුණු කර ඉදිරිපත් කළ අලුත්ම අලුත් විද්‍යුත් (Electric) මෝටර් රථ ගැන මේ ලිපියෙන් ඔබට කියවන්නට පුළුවන්.

1. පෝර්ශ ටයිකන් ටර්බෝ එස් (Porsche Taycan Turbo S)

Porsche කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ හුරුබුහුටි 911 රේස් කාර් එක. හැබැයි විදුලියෙන් විතරක් ක්‍රියාකරන “ටයිකන්” මාදිලියේ රථ පෙළ ම ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. මේ රථ පෙළේ එන ඉහළම හැකියාවක් දක්වන මෝටර් රථය තමයි Porsche Taycan Turbo S කියන්නේ. පැයට කිලෝමීටර 0 ඉඳන් 100 දක්වා වේගයකට තත්පර 2.9 කින් ගමන් කරන්න මේ රථය සතුව තියෙන අධි බලැති මෝටර් යුගලය උදව් වෙනවා. ඒවා මගින් ඉදිරිපස සහ පසුපස ඇක්සල්වලට අශ්ව බල 750 ක උපරිම බලයක් සහ නිව්ටන් මීටර 1050 ක උපරිම ව්‍යාවර්තයක් ලබා දෙන්න පුළුවන්. මේ රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 260 ක් වෙනවා.

Porsche Taycan Turbo S
පෝර්ශ ටයිකන් ටර්බෝ එස් රථය-motortrend.com

සාමාන්‍යයෙන් විද්‍යුත් කාර් හැම එකකම පාහේ දක්නට ලැබෙන්නේ තනි වේග සම්ප්‍රේෂණයක් (single speed transmission). නමුත් ටයිකන් ටර්බෝ එස් හි වේග දෙකක සම්ප්‍රේෂණ පද්ධතියක් අඩංගු වනවා. මේ නිසා ටෙස්ලා Model S රථයකට වඩා අඩු කාලයකින් සැතපුම් කාලක සීමාව පසුකිරීමට මෙම රථයට හැකියි. ටයිකන් ටර්බෝ එස්ට සැතපුම් කාලක දුරක් ගමන් කිරීමට ගතවන්නේ තත්පර 10.69ක් වන අතර ටෙස්ලා රථය ඒ සඳහා තත්පර 11.08ක් වැය කරනවා.

විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා වැදගත්ම වන කාරණය වෙන්නේ එක්වරක් ආරෝපණය කිරීමෙන් කොපමණ දුරක් ගමන් කරන්න පුළුවන්ද කියන එකයි. පෝර්ශ සමාගමට අනුව Taycan Turbo S රථය සම්පුර්ණ ආරෝපණයකින් කිලෝමීටර 450 ක දුරක් ගමන් කරනවා. එහි බැටරි ධාරිතාව කිලෝවොට් පැය 84ක්. ටෙස්ලා Model S මෝටර් රථයේ කිලෝමීටර 600 ක පරාසය ඉක්මවා නොගියත් කිලෝමීටර 450ත් සැලකිය යුතු අගයක් බව කිව යුතුයි. මෙම රථය ටෙස්ලා රථයකට වඩා වැඩි විදුලි බලයකින් ආරෝපණය කළ හැකියි. කිලෝවොට් 270ක බලයක් ලබාදිය හැකි සරල ධාරා ආරෝපක ස්ථානයක් (Charging station) තිබේනම් 5% සිට 80% දක්වා ආරෝපණය වීමට ගතවන්නේ මිනිත්තු 23 ක් පමණයි. මිනිත්තු 5ක පේනුගත කිරීමකින් කිලෝමීටර 100ක් දක්වා වූ පරාසයක් ලබාගන්න මෙම රථයට හැකියි. ටෙස්ලා රථයකට දැරිය හැකි උපරිම ආරෝපණ බලය කිලෝවොට් 150 ක් පමණයි.

Porsche Taycan Turbo S
පෝර්ශා ටයිකන් ටර්බෝ එස් රථය ඇතුළත-caricos.com

බර කිලෝග්‍රෑම් 2300ක් පමණ වන මෙම රථයේ ඉදිරිපස ඇක්සලය සඳහා ඩබල් විෂ්බෝන් ආකෘතියත් පසුපස ඇක්සලය සඳහා මල්ටි ලින්ක් ආකෘතියත් යොදාගෙන තිබෙනවා. පසුපස රෝද සුක්කානමෙන් හැසිරවීමේ පහසුකමද මෙම මෝටර් රථයේ අමතර ලෙස ලබාගත හැකි පහසුකමක්. මගීන්ගේ ආරක්ෂාව සහ රියදුරුගේ සහාය සඳහා අද වනවිට පවතින සියලුම නවීන අංගෝපාංග වලින් මෙම රථයද සමන්විතයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 98,000 සිට 161,000 දක්වා පවතිනවා.

2. ෆෝර්ඩ් මස්ටෑන්ග් මැක් ඊ ජී.ටී. (Ford Mustang Mach-E GT)

ෆෝර්ඩ් මස්ටෑන්ග් සාමන්‍යයෙන් කූප් (coupe) වාහන මාදිලි පමණක් ඉදිරිපත් කළත් ෆෝර්ඩ් සමාගමේ අලුත්ම මස්ටෑන්ග් විද්‍යුත් මෝටර් රථය SUV මාදිලියේ එකක් වනවා. ෆෝර්ඩ් මස්ටෑන්ග් රථවල එන පෙනුම යම් තරමකින් හෝ මේ අලුත් මැක් ඊ රථයටත් එකතු කරන්න ෆෝර්ඩ් සමාගම අමතක කරලා නැහැ. විශේෂයෙන් දුවන අශ්වයෙකු සහිත ලාංඡනය සහ කොටස් තුනකින් සමන්විත පිටුපස ලාම්පු ආදිය මැක් ඊ රථයේත් දක්නට ලැබෙනවා. මෙම ලිපියේ ඉදිරිපත් කෙරෙන වඩාත් ලාභදායීම මෝටර් රථය වන්නේ මෙයයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 60,000 සිට 70,000 දක්වා වූ පරාසයකයි පවතින්නේ.

Ford Mustang Mach-E GT
ෆෝර්ඩ් මස්ටෑන්ග් මැක් ඊ ජී.ටී. රථය-Mach-e-forum

ෆෝර්ඩ් මස්ටෑන්ග් මැක් ඊ මාදිලි අතර ඉහළම හැකියාව පෙන්වන මෝටර් රථය Mach-E GT මෝටර් රථයයි. එම රථය පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා ගමන් කිරීමට තත්පර 3.7 ක කාලයක් ගන්නවා. ඒ සඳහා අවශ්‍ය බලය සපයන්නේ මෝටර ද්විත්වයකින්. මේවා මගින් සපයන බලය අශ්ව බල 480 ක් වන අතර ව්‍යාවර්තය නිව්ටන් මීටර 860ක් වනවා. පොර්ශා රථයට වඩා කිලෝවොට් පැය 14ක වැඩි බැටරි ධාරිතාවක් මැක් ඊ ජීටී රථය දැක්වුවත් එයට සම්පුර්ණ ආරෝපණයකින් ගමන් කළ හැක්කේ කිලෝමීටර 420 ක දුරක් පමණයි. ෆෝර්ඩ් ආයතනය මුලදී සඳහන් කළ කිලෝමීටර 380 පරාස සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක් වනවා. ෆෝර්ඩ් මස්ටෑන්ග් මැක් ඊ ජීටී රථය කිලෝවොට් 150 ක විදුලි බලයකින් ආරෝපණය කළ හැකි අතර 10% සිට 80% ක් ආරෝපණයකට ළඟ වීමට එයට මිනිත්තු 45ක කාලයක් ගතවනවා.

Ford Mustang Mach-E GT interior
ෆෝර්ඩ් මස්ටෑන්ග් මැක් ඊ ජී.ටී. රථය ඇතුළත-Slashgear

ෆෝර්ඩ් මෝටර් රථයේ ඉදිරිපස මෙහෙයුම් තිරය (Infotainment Screen) ටෙස්ලා රථවල එන ආකාරයට බොහෝ සෙයින් සමානයි. එම සිරස් තිරය මඟින් රථයේ බොහෝ කටයුතු පාලනය වනවා. මෙම රථය සාමාන්‍ය SUV රථයක බර මෙන් කිලෝග්‍රෑම් 2200 ක බරකින් යුක්තයි.

3. ජගුවර් අයි පේස් (Jaguar I Pace)

2018 දී ජගුවර් අයි පේස් SUV රථය මුල්වරට හඳුන්වා දීමේදී BMW, Audi සහ Mercedes යන සමාගම් ඒ වන තෙක් නිෂ්පාදනය කර තිබූ විද්‍යුතයෙන් ක්‍රියාකරන මෝටර් රථ සියල්ල අභිබවා යන්නට එය සමත් වුණා. 2021 වසරේ එළි දැක්වුණේ ඔවුන්ගේ පෙර රථයේම වැඩි දියුණු කළ එකක්. මේ නිසා අද වන විට අයි පේස් රථය බොහෝ පැතිවලින් අනෙක් විද්‍යුත් මෝටර් රථවලට වඩා අඩු හැකියාවක් පෙන්වනවා. මේ ලිපියේ එන රථ අතරින් අඩුම වේගයක් ඇති මෝටර් රථය ජගුවර් සමාගමේ අයි පේස් රථයයි. එයට පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා ගමන් කිරීමට ගතවන කාලය තත්පර 4.8ක්. එහි උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර 200ක් පමණයි. ජගුවර් අයි පේස් රථය තරමක් බරින් අඩු රථයක් ලෙස දැක්විය හැකියි. එහි බර කිලෝග්‍රෑම් 2170ක් පමණ වනවා.

Jaguar I Pace
ජගුවර් අයි පේස් රථය-caranddriver.com

ත්වරණය සහ උපරිම වේගය අඩු වුවත් ජගුවර් සමාගමට අනුව කිලෝමීටර 470 ක් ගමන් කිරීමට එහි කිලෝවොට් පැය 90ක ධාරිතාවක් ඇති බැටරිය ප්‍රමාණවත් වනවා. එය කිලෝවොට් 100ක බලයකින් ආරෝපණය කළ හැකි අතර මේ නිසා මිනිත්තු 15-30 අතර කාලයක් තුළ කිලෝමීටර 100ක පරාසයක් ගමන්කළ හැකි ආරෝපණයක් පමණයි ලබාගත හැක්කේ. එය වර්තමානයේ විද්‍යුත් මෝටර් රථ තරගයට සාපේක්ෂව ඉතාම අඩු අගයක් බව කිව යුතුයි. ජගුවර් අයි පේස් සතුව ඇත්තේ ද මෝටර යුගලයක්. ඒවායින් අශ්ව බල 396ක බලයක් සහ නිව්ටන් මීටර 696 ක ව්‍යාවර්තයක් ඉදිරිපස සහ පසුපස ඇක්සලවලට ලබාදෙනවා. ජගුවර් අයි පේස් රථයක මිල නියම වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 90,000 සිටයි. ඉහළම අමතර අංගෝපාංග සමඟ එහි මිල ඇමෙරිකානු ඩොලර් 107,000ක් දක්වා ඉහළ යා හැකියි.

4. මර්සිඩීස් බෙන්ස් ඊ.කිව්.එස් (Mercedes Benz EQS)

මර්සිඩීස් බෙන්ස් සමාගම නිර්මාණය කළ ඉහළම තාක්ෂණයෙන් යුතු මෝටර් රථය Mercedes Benz EQS රථය වනවා. එහි ඉහළම හැකියාවන්ගෙන් යුත් රථය වන්නේ EQS 580 4 Matic රථයයි. එම රථය සතුව ඇති විද්‍යුත් මෝටර යුගලයෙන් අශ්ව බල 523 ක බලයක් සහ නිව්ටන් මීටර 855 ක ව්‍යවර්තයක් සපයනවා. මේ නිසා තත්පර 4.3 කදී පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගැනීමට මෙම රථයට හැකියි. ඉදිරියේදී ඔවුන් අශ්ව බල 750ක බලයක් ඇති මෙම රථයේම වැඩිදියුණු කළ මෝටර් රථයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.

Mercedes Benz EQS
මර්සිඩීස් බෙන්ස් ඊ.කිව්.එස් රථය-mbhuntington.com

ටෙස්ලා රථ හා සැසඳීමේදී මෙහි ත්වරණය අඩු වූවත් එක් වරක් ආරෝපණය කිරීමෙන් ගමන් කළ හැකි උපරිම පරාසය දෙවැනි වන්නේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත ටෙස්ලා Model S Plaid + රථයට පමණයි. මර්සිඩීස් බෙන්ස් ඊ.කිව්.එස් 580 ෆෝ මැටික් රථය සතුව ඇති කිලෝවොට් පැය 108 ක ධාරිතාවයෙන් යුතු බැටරියෙන් කිලෝමීටර 770 ක උපරිම දුරක් ගමන් කළ හැකියි. ටෙස්ලා Model S Plaid + සඳහා මෙම අගය කිලෝමීටර 830ක් පමණ වන බවයි පැවසෙන්නේ.

බැටරිය නැවත ආරෝපණය සඳහා කිලෝවොට් 200 දක්වා වූ බලයක් යෙදවිය හැකි නිසා මර්සිඩීස් බෙන්ස් ඊ.කිව්.එස් රථයකට මිනිත්තු 15 කින් කිලෝමීටර 300ක පරාසයක් සඳහා අවශ්‍ය බැටරි ආරෝපණයක් ලබාගත හැකියි. අමෙරිකානු ඩොලර් 110,000 සිට 145,000 දක්වා වූ පරාසයක මෙම රථයේ මිල ගණන් විහිදෙනවා. කිලෝවොට් පැය 108 බැටරිය වෙනුවට මිලෙන් අඩු කිලෝවොට් පැය 90 ක ධාරිතාවක් සහිත බැටරියක් අඩංගු EQS රථයක් නිකුත් කිරීමට ද මර්සිඩීස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Mercedes Benz EQS interior
මර්සිඩීස් බෙන්ස් ඊ.කිව්.එස් රථය ඇතුළත-mbhuntington.com

මෙම නව විද්‍යුත් මෝටර් රථයේ ඉදිරිපස අඟල් 12 බැගින් වූ තිර දෙකක් සහ අඟල් 18 ක තිරයක් අඩංගුයි. මේ නිසා අනාගත මෝටර් රථයක පෙනුමක් මෙයට ලැබී තිබෙනවා. රියදුරු සහ මගීන්ගේ පහසුව සඳහා අවශ්‍ය උපරිම ස්වයංක්‍රිය පහසුකම් මෙම රථයට ඇතුළත් කර ඇති බව කිව යුතුයි. සංවේදක 350කට අධික ප්‍රමාණයක් යොදාගනිමින් කෘතිම බුද්ධියකට ඉතා ආසන්න හැකියාවක් මෙම රථයට ලබාදී තිබෙනවා. මේ නිසා ඉහළම ආරක්ෂාවක් ගමන් කරන්නන් හට හිමිවන අතර වාහනය පැදවීමට සහයක් ලබදීම සඳහාත් එම පද්ධතිය උදව් වනවා.

5. අවුඩි ඊ-ට්‍රෝන් ජී.ටී. (Audi E-tron GT)

අවුඩි මෝටර් රථය ඊ-ට්‍රෝන් ජී.ටී. බොහෝ සෙයින් පෝර්ශ ටයිකන් ටර්බෝ එස් රථයේ හැකියාවන්ට සහ අංගෝපාංගවලට සමාන වනවා. ඒ අවුඩි සහ පෝර්ශා ආයතන ද්විත්වයම ෆොක්ස්වැගන් මව් සමාගමට අයත් වීම හේතුවෙන්. අවුඩි රථය සතුව ඇත්තේ අවුඩි රථවලටම ආවේණික පිටත සහ ඇතුළත පෙනුමක්. එය බොහෝ සෙයින් අවුඩි RS රථවලට සමානයි. විදුලියෙන් ක්‍රියාකරන රථයකට ඔබින පෙනුමක් මෙයට ලබාදී තිබෙනවා.

Audi E-tron GT
අවුඩි ඊ-ට්‍රෝන් ජී.ටී. රථය-audi.com

මෙම රථයේත් දක්නට ලැබෙන්නේ ද්විත්ව මෝටර පද්ධතියක්. මේ නිසා ලැබෙන බලය අශ්ව බල 640ක් පමණ වනවා. ඉන් ලබාදෙන ව්‍යාවර්තය නිව්ටන් මීටර 830ක්. පැයට කිලෝමීටර 0-100 දක්වා යාමට තත්පර 3.3 ක කාලයක් ගතවනවා. උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර 250ක්. පෝර්ශ ටයිකන් ටර්බෝ එස් රථයට වඩා වැඩි උපරිම බැටරි ධාරිතාවක් මෙම රථය සතුයි. එය කිලෝවොට් පැය 94ක් වනවා. මේ නිසා කිලෝමීටර 488 ක උපරිම දුරක් ගමන් කිරීමට අවුඩි ඊ-ට්‍රෝන් ජී.ටී. රථයට හැකියාව තිබෙනවා. මෙම රථය ද පෝර්ශ ටයිකන් රථය මෙන්ම කිලෝවොට් 270ක් දක්වා වූ බලයකින් ආරෝපණය කළ හැකියි. මේ නිසා 0%-80% දක්වා ආරෝපණයක් වෙනුවෙන් වැයවන්නේ මිනිත්තු 30ක් පමණයි.

කිලෝග්‍රෑම් 2350 කට ආසන්න ස්කන්ධයක් ඇති මෙම රථය ස්පෝර්ට් රථයක් ලෙසයි අවුඩි සමාගම වර්ග කරන්නේ. පිටුපස විදුලි පහන් ද්විත්වය එකට ඈඳා නිර්මාණය කර තිබීම එම පෙනුම තවත් වැඩි කරනවා. ඒවා රථය අගුල් දැමීමේදී හා අගුල් ඉවත් කිරීමේදී විවිධ රටා පෙන්වන ආකාරයටයි නිර්මාණය කර ඇත්තේ. රථයේ වහලය කාබන් ෆයිබර් පැනලයක් ලෙසද ලබාගැනීමේ අවස්ථාව තිබෙනවා. පිටුපස රෝද ද අංශක 4.5ක් දක්වා හැරවීමේ පහසුකම ද මෙහි ඇතුළත්. අවුඩි ඊ-ට්‍රෝන් ජී.ටී. රථය අමෙරිකානු ඩොලර් 100,000 සිට ඩොලර් 164,000 දක්වා වූ මිලකටයි අලෙවි කෙරෙන්නේ.

Audi E-tron GT interior
අවුඩි ඊ-ට්‍රෝන් ජී.ටී. රථය ඇතුළත-autonoid.com

මෙම රථයද ඇතුළුව ඉහත සඳහන් කළ සියලුම රථ සාමාන්‍ය ඉන්ධනවලින් ක්‍රියාකරන රථවල ප්‍රායෝගිකභාවය රඳවා ගැනීමට උත්සාහ කර තිබීම පැසසිය යුතුයි. විශේෂයෙන් ටෙස්ලා රථවල අතට දැනෙන (physical) ලීවර හෝ බොත්තම් ආදිය අඩු නිසා රථය පදවන අවස්ථාවේදී පරිගණක තිරයක් මඟින් රථයේ අමතර කටයුතු පාලනය කිරීමට සිදුවීම බොහෝ දෙනා විවේචනය කරනවා. ඒ වෙනුවට මෝටර් රථ නිෂ්පාදනයේ ඉහළම අත්දැකීම් සහිත ඉහත සමාගම් විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේත් ඉදිරියට පැමිණීම රථ වාහන පැදවීමේ ආරක්ෂාව අතින් වැදගත් වනවා. මේ හේතුවෙන් විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන වෙළෙඳපොළේ තරඟයක් නිර්මාණය වීමත් වඩා දියුණු රථවාහන නිර්මාණය වීමෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා.

කවරයේ ඡායාරූපය: පෝර්ශ ටයිකන් ටර්බෝ එස් සහ අවුඩි ඊ-ට්‍රෝන් ජී.ටී. රථ-flipboard.com

මූලාශ්‍ර:

caranddriver.com

motortrend.com

tesla.com

carwow.co.uk

porsche.com

audiusa.com

ford.com 

Related Articles