Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව දිල්ලියේ පැය 24 ක්

අසල්වැසි ඉන්දියාවේ අගනුවර, නව දිල්ලිය මිලියන 26 ඉක්ම වූ ඉන්දියානුවන්ගේ ස්ථිර වාසස්ථානය යි. 1911 දෙසැම්බර් 12 වැනි දින පැවති දිල්ලි දර්බාර් සමුළුවේ දී මහා බ්‍රිතාන්‍යයේ සිහසුන දැරූ පස් වැනි ජෝර්ජ් රජු ඉන්දියවේ අගනුවර දිල්ලියට මාරු කරන තුරු ම කල්කටාව ඉන්දියාවේ ලෙස අගනුවර පැවතුණා. නමුත් දිල්ලිය ඉන්දියාවේ අගනුවර ලෙස පිළිගනිමින් පැවැත් වූ සමාරම්භක උළෙල පවත්වන්නට කටයුතු සූදානම් කෙරුණේ එයින් විසි වසරකට පසුව 1931 දී යි.

(en.wikipedia.org)

මෙසේ ඉන්දියාවේ අගනුවර ලෙස නම් කරන්නට යෙදුණු නව දිල්ලියේ මෝගල් අධිරාජ්‍යයේ පාලනය යටතේ ගොඩ නැංවුණු මනස්කාන්ත මැදුරු, ස්මාරක සහ පල්ලි මෙන් ම බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ අභාෂය ලත් ප්‍රතාපවත් ගොඩනැගිලි ද දක්නට ලැබෙනවා. මේ කිසිවෙක් එක් දිනකින් බලා නිම කළ හැකි ඒවා නම් නොවෙයි. නමුත් රාජකාරී කටයුත්තක් හෝ අධ්‍යාපන චාරිකාවක් අතරේ හදිසියේ හෝ පැය 24 ක් නව දිල්ලියේ ගත කරන්නට ලැබුණොත්; මේ පැය 24 කින් නව දිල්ලියේ සොඳුරු බව අත් විඳින්න මාර්ගෝපදේශකයක්.

පළමු දිනය : පස්වරු 6.00

රාත්‍රියේ දී කොනෝට් පෙදෙස (en.wikipedia.org)

නව දිල්ලියේ ඇති විශාලත ම ආර්ථිකමය, මූල්‍යමය සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ කොනෝට් පෙදෙස යි. එසේ ම බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ එඩ්වින් ලචන්ස්ගේ සිත් වසඟ කරවන ගෘහ නිර්මාණ ශිල්පයේ අනර්ඝ ම ප්‍රදර්ශන අංගයක් විදියට සැලකෙන මෙය, නව දිල්ලි සංචාරය අරඹන්න කදිම ස්ථානයක්. විලාසිතා ප්‍රදර්ශනාගාර, සිනමා ශාලා, ආපනශාලා, උමං වෙළඳසැල් සහ කඩ සාප්පුවලින් පිරී ගිය කොනෝට් පෙදෙස, සවස් යාමේ ඇවිදීමට යන්න පමණක් නෙමෙයි නව දිල්ලියේ කාර්යබහුල ජීවිත අතර සුන්දරත්වය සහ රිද්මය විඳින්න කැමති කෙනෙක්ට ඉතාමත් සුදුසු තැනක් විදියට හඳුන්වා දිය හැකි යි.

ලෝදි උද්‍යානය (en.wikipedia.org)

අවිවේකී වීදි අතරේ ටික වේලාවක් ඇවිදින්න ගිය කෙනෙක් ඊළඟට යා යුතු තැන තමයි, ඛාන් වෙළඳසැල සහ සෆ්දාර්ජංගේ සොහොන් ගැබ අතරමැද පිහිටා ඇති ලෝදි උද්‍යානය. ඒ දුර යන්න රික්ෂෝවක් අල්ලා ගත්තොත් ඒ අත්දැකීම තවත් සුන්දර කර ගත හැකි බවට සැකයක් නැහැ. හරිත පැහැයෙන් වර්ණවත් වූ ලෝදි උද්‍යානය යෝගා අභ්‍යාසවල යෙදීම සඳහා ස්වදේශිකයන් අතර ජනප්‍රිය යි. මෙහි දී කුඩා බොන්සායි උද්‍යානයක් මෙන් ම 15 වැන සියවසේ දී ඉන්දියාව පාලනය කළ ඇෆ්ඝන් පාලකයන් සොහොන් කොත් දක්නට ලැබෙනවා. සවස් යාමයේ රසවත් කොක්ටේල් පානයක් රස විඳින්න කැමති නම් ඒ සඳහා ලෝදි උද්‍යාන ආපනශාලාව අපූරු යි.

පළමු දිනය : පස්වරු 8.00

ඉපැරණි හජ් කාස් ගම්මානය (en.wikipedia.org)‍

ලෝදි උද්‍යානයේ අඩ හෝරාවක් ගත කළ කෙනෙක්ට රික්ෂෝවක් අල්ලා ගත්තොත් නම් රාත්‍රී ආහාරය සඳහා හජ් කාස් ගම්මානයට ළඟා වීම අපහසු දෙයක් නෙමෙයි. විලාසිතා සහ සිතුවම් ප්‍රදර්ශනාගාර, පොත් සල්පිල්, පුරාවස්තු අලෙවිසැල් පමණක් නොව ආපනශාලා, බීමහල් සහ රාත්‍රී සමාජ ශාලා ද මෙහි දක්නට ලැබෙනවා. මෙයට අමතර ව 13 වැනි සියවසේ දිල්ලි සුල්තාන් පාලනය යටතේ ගොඩ නංවන ලද දැවැන්ත ගොඩනැගිලිවලින් ද හජ් කාස් ගම්මානයට අඩුවක් නැහැ.

හජ් කාස් හි නූතන ආපණශාලා (alivotec.ru)

ඒ වගේ ම නොයෙක් සංස්කෘතීන්ට අයත් ආහාර වර්ග රස විඳින්නත් හජ් කාස් ගම්මානය අපූරු යි. නූතන යුරෝපීය ආපනශාලාවල සිට සාම්ප්‍රදායික මධ්‍යධරණී තැබෑරුම් ද සවාන්වල දමා පිළි ගන්වන උතුරු ඉන්දියානු ආහාරවල සහ පදමට මිරිස් යොදා සකස් කරන නැගෙනහිර ආසියානු ආහාර ද මෙහි දී රස විඳීමේ හැකියාව තිබෙනවා. ඒ කිසිවකට කැමති නැති නම් හිමාලයානු ආපනශාලාව මගින් පිළි ගන්වන සාම්ප්‍රදායික එළු මස් සුප් සහිත නේපාල සහ ටිබෙට් ආහාර වේල හොඳ විකල්පයක්.

දෙවැනි දිනය : පෙරවරු 10.00

ජමා මස්ජිදය (commons.wikimedia.org)

උදෑසන මාර්ග තදබදය මග ඇරලා නව දිල්ලියේ ගත කරන දෙවැනි දින ආරම්භ කළ යුතු චමත්කාරජනක තැනක් තමයි, ඉන්දියාවේ විශාලත ම සහ වඩාත් ප්‍රකට මුස්ලිම් පල්ලිය ලෙස සැලකෙන ජමා මස්ජිදය. ක්‍රිස්තු වර්ෂ 1644 – 1656 කාලයේ දී රුපියල් මිලියනයක මුදලක් වැය කරමින් එය ගොඩ නංවා ඇත්තේ ටජ් මහල නිර්මාණය කරවූ ෂා ජහන් අධිරාජ්‍යයා යි. පල්ලියට ඇතුළු වන විට හිස, උරහිස් සහ දණහිස් ආවරණය වන ලෙස පිළිවෙළකට ඇඳ පැළඳ සිටීම අනිවාර්ය වෙනවා.

චාන්දනී චෝක් (roadcast.in)

පල්ලියේ විසිතුරු නැරඹීමෙන් පසු ව ඉන්දියානු සළුපිළි සහ ආභරණ මිල දී ගන්නවා නම් ඒ ආසන්නයේ ම ඇති චාන්දනී චෝක් හෙවත් සඳපහන් වෙළඳසැළට යාමට හැකි යි. ඒ අතරේ පොඩි බඩගින්නක් හැදුනොත් රසවත් ඉන්දියානු ආහාර මිල දී ගත හැකි කුඩා ආපනශාලා බොහෝමයක් ඒ අවට විසිරී තිබෙනවා.

දෙවැනි දිනය : පෙරවරු 11.30

රතු බලකොටුව (indiaandbeyond.com.au)

ඉන්දියානු සාප්පු සවාරියෙන් අනතුරු ව යා යුත්තේ රතු බලකොටුවට යි. රතු ගඩොලින් ගොඩ නංවන ලද මෙය ක්‍රිස්තු වර්ෂ 1857 ඉන්දියානු කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස විනාශ වන තෙක් සියවස් දෙකකට ආසන්න කාලයක් මෝගල් අධිරාජ්‍යයාගේ ස්ථිර නිවස ලෙස භාවිතා කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1639 දී ෂා ජහන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය මත එය සැලසුම් ඇත්තේ උස්තාද් අහමද් ලහෝරි නම් ගෘහ නිර්මාණ ශිල්පියා යි. 2007 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය මගින් එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

දෙවැනි දිනය : පස්වරු 1.30

(you.ctrip.com)

රතු බලකොටුව නැරඹීමෙන් පසු ව ඒවට ඇති ආපනශාලකින් දකුණු ඉන්දියානු ආහාර වේලක් රස විඳලා හෙමින් සැරේ නූතන කලාව පිළිබඳ ජාතික ප්‍රදර්ශනාගාරයට ළඟා වුණොත් තෝමස් ඩැනියෙල්, රාජා රවි වර්මා, රබීන්ද්‍රනාත් තාගෝර්, නන්දලාල් බෝස් වැනි ඉන්දියානු කලා ශිල්පීන්ගේ මෙන් ම විදේශීය කලා ශිල්පීන්ගේ ද කලා කෘතීන් 14,000 ක පමණ එකතුවක් දැක බලා ගැනීමට හැකි යි. 1954 දී ස්ථාපිත කරන ලද මෙහි ඇති පැරණි ම කලා කෘතිය ක්‍රිස්තු වර්ෂ 1857 වර්ෂයට අයත් එකක් ලෙස සැලකෙනවා.

ඉන්දියානු දොරටුව (twitter.com)

නූතන කලාව පිළිබඳ ජාතික ප්‍රදර්ශනාගාරයට පැමිණෙන අතරතුර දී නෙත ගැටෙන තවත් මනහර දසුනක් තමයි, තේජවන්ත පෙනුමෙන් යුතු ඉන්දියානු දොරටුව. 1931 වර්ෂයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද එය ගොඩ නංවා ඇත්තේ පළමු වැනි ලෝක සංග්‍රාමයේ දී දිවි පිදූ ඉන්දියානු හමුදා සාමාජිකයන් සිහි කිරීම සඳහා යි.

දෙවැනි දිනය : පස්වරු 3.00

(youtube.com)

නව දිල්ලියේ ගත කරන අවසන් සවස් යාමය වෙන් කළ යුත්තේ මෝගල් අධිරාජ්‍යයේ දෙවැනි පාලකයා සහ මහා අක්බර් අධිරාජ්‍යයාගේ පියාණන් වූ හුමායුන්ගේ සොහොන් කොත නැරඹීම සඳහා යි. ඔහුගේ පළමු බිරිඳ සහ ප්‍රධාන රැජින වූ හාජි බෙගම්ගේ මෙහෙයවීම යටතේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව එය ගොඩ නගා තිබෙනවා.

ඉන්දියානු අර්ධද්වීපයේ දක්නට ලැබෙන විශාලත ම උද්‍යාන සොහොන් කොත ලෙස කිරුළු හිමි කරගෙන සිටින එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1993 වසරේ දී යි.

දෙවැනි දිනය : පස්වරු 4.30

කුටුම් මිනාර් හි අරාබි අභිලේඛන (en.wikipedia.org)

පැය 24 ක නව දිල්ලි සංචාරය අවසන් කිරීමට හොඳ ස්ථානය ලෙස කුටුබ් මිනාර් හැඳින්විය හැකි යි. රතු පැහැ වැලිගල් සහ කිරිගරුඬ යොදා ගනිමින් නිර්මාණය කර ඇති එය අඩි 240 ක උසින් යුතු පස් මහල් කුලුනක්. 11 වැනි සියවසේ දී මුල් කාලීන මුස්ලිම් පාලකයන් විසින් එය ගොඩ නංවා ඇත්තේ අවසන් හින්දු රාජධානියේ බිඳ වැටීම සැමරීම සඳහා යි.

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එය දකුණු අෆ්ගඝනිස්ථානයේ ජෑම් හි ප්‍රාසාදශෘංගය අනුගමනය කරමින් ගොඩ නංවන්නට ඇතැයි සැලකෙනවා.

කවරයේ පින්තූරය : dailydetroit.com

මූලාශ්‍ර :

  1. theculturetrip.com
  2. en.wikipedia.org
  3. lonelyplanet.com

Related Articles