ඊජිප්තුවේ අපූරු සංචාරක ඉසව් 5ක තොරතුරු

මීට වසර දහස් ගණනකට පෙර ඊජිප්තුව ආශ්‍රිත ව නයිල් නිම්න ශිෂ්ටාචාරය බිහි වුණා. ඉතාමත් දියුණු මට්ටමේ ශිෂ්ටාචාරයක් වුණු එය වසර 4000කටත් වඩා වැඩි කාලයක් පැවතුණා. එම කාල සමයේ දී ඊජිප්තුව ආශ්‍රිත ව ඉදිවුණු සුවිසල් නිර්මාණ අදටත් දක්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා සිටින සංචාරකයන් පැරණි නටබුන් නැරඹීම සඳහා ඊජිප්තුවට පැමිණෙනවා. ඒ වාගේ ම ඊජිප්තුවේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඊජිප්තුවේ සුන්දර සංචාරක ඉසව් 5ක් පිළිබඳ තොරතුරු යි. 

1). ගීසා හි යෝධ පිරමීඩ 

පැරණි ලෝකයේ පුදුම 7ට අයත් වුණු ගීසා හි යෝධ පිරමීඩ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට නුදුරින් ඇති ගීසා නිම්නයේ පිහිටා තිබෙනවා. වසර 4600කට වඩා පැරණි මෙම පිරමීඩ කුෆූ, කාෆ්රේ සහ මෙන්කූරේ යන පාරාවෝ රජවරුන්ගේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ඉදි කළා. මෙම පිරමීඩ අතුරින් මුලින් ම ඉදිකළේ කුෆූ පිරමීඩය යි. ලොව විශාලත ම පිරමීඩය වන එය අඩි 481ක උසකින් යුක්තයි. ඒ වාගේ ම එහි පාදම අක්කර 13ක් පුරා විහිදී යාම විශේෂත්වයක්. එක් පැත්තක් දිග අඩි 756ක් පමණ වන මෙය මහා පිරමීඩය ලෙසින් ද හැඳින්වෙනවා.

කුෆූ පිරමීඩය – gettyimages.com

 

ගීසා හි තිබෙන ඉතිරි පිරමීඩ දෙකෙන් එකක් කුෆූ රජතුමාගේ පුත් කාෆ්රේ ද, අනිත් පිරමීඩය කුෆූ රජුගේ මුණුබුරු මෙන්කූරේ ද ඉදිකර තිබෙන බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා. මෙම මහා පිරමීඩ අතුරින් කුෆූ පිරමීඩය ඉදි කිරීම සඳහා වහලුන් ලක්ෂයකගේ පමණ සේවය ලබා ගන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වාගේම හුණුගල් කුට්ටි මිලියන 2.3ක් යොදාගෙන මෙය නිර්මාණය කිරීම සඳහා වසර 20ක් පමණ ගතව තිබෙනවා.

එදා ගීසා නිම්නයේ ඉදිකෙරුණු මෙම මහා පිරමීඩ සහ ඔරායන් තරු රටාව අතර අපූරු සම්බන්ධයක් තිබෙනවා. ඒ ඔරායන්ගේ බඳ පටියේ පිහිටා ඇති ඇල්නිටක්, ඇල්නිලම්, සහ මින්ටාකා යන තාරකාවන්ට සමපාත වන අයුරින් මෙම පිරමීඩ ත්‍රිත්වය නිර්මාණය කර තිබීම යි. 

ගීසා හි මහා පිරමීඩ ත්‍රිත්වය – gettyimages.com

 

ඒ වාගේම ඔරායන් තරු රටාවේ තිබෙන රිජෙල්, මින්ටාකා, සහ බෙලට්‍රික්ස් යන තාරකාවලට සමපාත ව අනුරාධපුරයේ රුවන්වැලි සෑය, ජේතවනාරාමය, සහ මිරිසවැටිය ඉදි කර තිබෙන බවට ද මතයක් පවතිනවා. එදා ජීවත් වුණු මිනිසුන් එම නිර්මාණ ඔරායන් තරු රටාවේ තාරකාවලට සමපාත වන අයුරින් නිර්මාණය කළේ ඇයි දැයි යන කාරණය අදටත් අභිරහසක්. 

2). අබු සිම්බල් දෙවොල

දෙවන රැම්සිස්  ඊජිප්තුවෙන් බිහිවුණු අවසන් මහා පාරාවෝ රජු සේ සැලකෙනවා. සටන්කාමී නරපතියකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි මෙම රජතුමා ඊජිප්තු අධිරාජ්‍යය තව තවත් ව්‍යාප්ත කිරීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ සටන් කළා.

ඔහු කළ සටන් අතුරින් හිටයිට්ස් රාජ්‍යයට එරෙහි ව සිදුකළ කිඩෑෂ් සටන විශේෂ යි. එදා දේවත්වය ළඟා කරගැනීමේ ආශාවෙන් පසුවුණු දෙවන රැම්සෙස් ඊජිප්තුව පුරා දේවස්ථාන ඉදි කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ 1260 දී පමණ  අබු සිම්බල් දේවස්ථානය නිර්මාණය වුණා. 

ප්‍රධාන දෙවොල – gettyimages.com

 

ඊජිප්තු ජාතිකයන්ගේ හිරු දෙවියන් සේ සැලකූ රා දෙවියන් වෙනුවෙන් කැපවුණු ප්‍රධාන දෙවොල ඉදිරිපස අඩි 67 බැගින් උස අලංකාර පිළිම 4ක් ඉදි කර තිබෙනවා. එම පිළිමවලින් දෙවන රැම්සෙස් රජතුමා නිරූපණය වෙනවා.

ප්‍රධාන දෙවොලේ ඇතුළුවීමේ දොරටුව ගොඩනංවා ඇත්තේ වසරේ පෙබරවාරි 22 සහ ඔක්තෝබර් 22 යන දිනයන් හි හිරු එළිය දෙවොල තුළ ඇති ප්‍රතිමා ත්‍රිත්වය මතට වැටෙන ආකාරයට යි. ඒ පිළිබඳ ව පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ එයින් දෙවැනි රැම්සිස් රජුගේ උපන්දිනය සහ ඔහු මියගිය දිනය නිරූපණය වන බව යි. 

ප්‍රධාන දෙවොල ඇතුළත – gettyimages.com

 

අඩි 98ක් උස සහ අඩි 115ක් පළල ප්‍රධාන දෙවොලට වඩා ප්‍රමාණයෙන් කුඩා දෙවොලක් නෙෆර්ටිටි රැජන වෙනුවෙන් ඉදිකර තිබෙනවා. අඩි 40ක් දිග, අඩි 92ක් පළල එම දෙවොල ඉදිරිපස රජුගේ ප්‍රතිමා 4ක් සහ රැජනගේ ප්‍රතිමා 2ක් නිර්මාණය කර තිබෙනවා.

ඒ වාගේම එම පිළිමවලට පහළින් කුඩාවට ඔවුන්ගේ දරුවන් ඇතුළත් පිළිම නිර්මාණය කර තිබෙනවා. රජ කුමරියන්ගේ ප්‍රතිමා, රජ කුමාරවරුන්ගේ ප්‍රතිමාවලට වඩා උසින් වැඩිවීම එහි දක්නට ලැබෙන විශේෂත්වයක්. 

කුඩා දෙවොල – gettyimages.com

මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වුණු අබු සිම්බල් දෙවොල 1960 දශකයේ දී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදු වුණා. ඒ අස්වාන් වේල්ල ඉදිකිරීම සඳහා නයිල් ගං ඉවුර ආශ්‍රිත බිම් ප්‍රදේශ ලබා ගැනීමට අවශ්‍ය වුණු නිසා යි. එදා කම්කරුවන් 3000කගේ දායකත්වයෙන් වසර 5ක පමණ කාලයක් ඇතුළත අබු සිම්බල් දෙවොල ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට හැකි වුණා.

එම කාර්යය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42ක පමණ මුදලක් වැය වුණු බව පැවසෙනවා. මෙම පූජනීය ස්ථානයේ තිබෙන වැදගත්කම පිළිබඳ ව සැලකූ යුනෙස්කෝ සංවිධානය 1979 වසරේ දී එය ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.   

අබු සිම්බල් දෙවොල වෙනත් තැනකට ගෙනයමින් – gettyimages.com

 

3). රාස් මොහොමඩ් ජාතික උද්‍යානය 

රාස් මොහොමඩ් ජාතික උද්‍යානය ඊජිප්තුවේ තිබෙන තවත් ජනප්‍රිය සංචාරක ඉසව්වක්. සීනයි අර්ධද්වීපය ආශ්‍රිත ව පිහිටා තිබෙන මෙය සමුද්‍ර රක්ෂිතයක්. 80 දශකය වන විට එම ප්‍රදේශයේ ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාගර ජීවීන් සහ කොරල්පර විනාශයට පත්වුණා. එම විනාශය වැළැක්වීම සඳහා 1983 වසරේ දී මේ සමුද්‍ර රක්ෂිතය ස්ථාපිත කළා.

ටිරාන් සහ සනාෆිර් දූපත් ආශ්‍රිත ව පිහිටි මෙම උද්‍යානයට ගොඩබිමෙන් වර්ග කිලෝමීටර් 135ක් ද, මුහුදෙන් වර්ග කිලෝමීටර් 345ක් ද අයත්. භූමිකම්පාවල බලපෑමෙන් නිර්මාණය වුණු දිය යට ගුහා මෙම උද්‍යානය තුළ දී දැකගන්නට පුළුවන්. ඒ වාගේම හෙක්ටයාර 0.9ක් පුරා විහිදුණු කඩොලාන පරිසර පද්ධතියක් ද මෙහි පිහිටා තිබෙනවා.

දිය යට ගුහාවල සුන්දරත්වය – gettyimages.com

 

මෙම උද්‍යානයේ සාගර කොටස ආශ්‍රිත ව අලංකාර කොරල්පර පද්ධතියක් දක්නට ලැබෙනවා. එම ප්‍රදේශයේ තාරකා මසුන්, මුහුදු ඉකිරියන්, මෝරුන්, ඩොල්ෆින්, මොලුස්කාවන්, ගල්පර මත්ස්‍යයන්, කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජිවීන් රැසක් වාසය කරනවා. මෙම අපූරු සාගර ප්‍රදේශය කිමිදුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ මෙය කොරල්පර නැරඹීම සඳහා වඩාත් සුදුසු ප්‍රදේශයක් වන නිසා යි.

රාස් මොහොමඩ් ජාතික උද්‍යානය වෙත පැමිණෙන බොහෝ සංචාරකයන්ට ද දිය යට කිමිදෙමින් කොරල්පර නැරඹීමේ අවස්ථාව හිමි ව තිබෙනවා. කොරල්පර සහ මුහුදු ජීවීන්ට අමතර ව මෙම සාගර ප්‍රදේශයේ දී තවත් විශේෂිත දෙයක් දැක ගන්නට පුළුවන්. ඒ මුහුදුබත් වුණු තිස්ටල්ග්‍රෝම් නම් නෞකාව යි. බ්‍රිතාන්‍යයට අයත් වුණු එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ජර්මානු ප්‍රහාර හමුවේ මුහුදුබත් වුණු බවත් මෙහි දී කිව යුතු යි. 

කොරල්පරවල සුන්දරත්වය – gettyimages.com

 

4). සුදු කාන්තාරය 

බටහිර ඊජිප්තුවේ ෆරාෆ්රා ප්‍රදේශයේ පිහිටා තිබෙන සුදු කාන්තාරය ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ප්‍රදේශයක්. ස්වභාවික තත්ත්වයන් යටතේ දිගු කලක් තිස්සේ ඛාදනයට ලක් වුණු පාෂාණ කොටස් මෙම භූමිය පුරා විසිරී පවතිනවා. මෙම භූමිය තිබෙන වැදගත්කම සලකා 2002 වසරේ දී මෙය ජාතික උද්‍යානයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.

වර්ග කිලෝමීටර් 3010ක් තරම් විශාල ප්‍රදේශයක් එම උද්‍යානයට අයත්. හිරු උදා වන අවස්ථාවේ තැඹිලි පැහැයෙන් දිස්වන මෙම පාෂාණ කොටස් හිරු බැස යද්දී රෝස පැහැයක් ගන්නවා. එය මෙම කාන්තාර නැරඹීම සඳහා පැමිණෙන බොහෝ සංචාරකයන් ප්‍රිය කරන දර්ශනයක්. 

සුදු කාන්තාරයේ සුන්දරත්වය – gettyimages.com

 

මෙම උද්‍යානයේ උස ම ස්ථානය වන එල් කෙස් අබු සයිඩ් මුහුදු මට්ටමේ සිට මීටර් 353ක පමණ උසකින් පිහිටා තිබෙනවා. සුදු කාන්තාරය ආශ්‍රිතව දොර්කස් සහ රිම් මුව ප්‍රභේද, රෆල්ස්, රතු, සහ ෆෙනෙක් යන හිවල් ප්‍රභේද, බාර්බරි බැටළුවන්, වැලි බළලුන් වැනි සත්ත්ව විශේෂ ජීවත් වෙනවා.

එනිසා මෙහි පැමිණෙන සංචාරකයන්ට ඛාදනයට ලක් වුණු සුන්දර පාෂාණ කොටස් නරඹන අතරේ සතුන් නැරඹීමට ද අවස්ථාවක් හිමි ව තිබෙනවා. 

කාන්තාරයේ ජීවත් වන සත්තු – gettyimages.com

 

5). තල්මස් නිම්නය 

වාඩි අල් හිටාන් හෙවත් තල්මස් නිම්නය බටහිර ඊජිප්තුවේ පිහිටා තිබෙනවා. එයට තල්මස් නිම්නය යන නම ලැබී තිබෙන්නේ තල්මසුන්ගේ ෆොසිල විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමු වුණු නිසා යි. 1902 වසරේ ශීත ඍතුවේ දී මෙම ප්‍රදේශයෙන් මුල්ම වරට තල්මස් ෆොසිල හමු වුණා.

එම යුගයේ දී මෙම භූමි ප්‍රදේශයට පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් නොතිබුණු නිසා දිගින් දිගට ම පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. පසු කලෙක මෙම බිම් ප්‍රදේශය වෙත පහසුවෙන් ළඟා විය හැකි වාහන නිර්මාණය වුණා. ඉන් පසුව මෙම ප්‍රදේශයට පැමිණි විවිධ කණ්ඩායම් පර්යේෂණ කටයුතුවල නිරත වුණා.

 තල්මස් නිම්නය (gettyimages.com)

එහි දී තල්මස් ෆොසිල  තවත් විශාල ප්‍රමාණයක් හමුවුණා. එම ෆොසිල සත්ත්වයන්ගේ පරිණාමය පිළිබඳව වැදගත් සාක්ෂ්‍ය රැසක් ලබාදුන්නා. අක්කර 50,000කට ආසන්න ප්‍රදේශයක් පුරා විසිරී පවතින මෙම නිම්නයේ ඇති වැදගත්කම හඳුනා ගත් යුනෙස්කෝ සංවිධානය 2005 වසරේ දී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා. 

කවරයේ ඡායාරූපය- අබු සිම්බල් දෙවොල - gettyimages.com

මූලාශ්‍ර:

globalgrasshopper.com

planetware.com

traveltriangle.com

whc.unesco.org 

Related Articles