Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෙදර්ලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් 5ක තොරතුරු

වයඹදිග යුරෝපයට අයත් රාජ්‍යයක් වන නෙදර්ලන්තය වර්ග කිලෝ මීටර් 41543ක භූමියක් පුරා පැතිරී පවතිනවා. විශාලත්වය අතින් බැලූ විට නෙදර්ලන්තය,  ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටක්. නෙදර්ලන්තයට සැලකිය දීර්ඝ ඉතිහාසයක් තිබෙන නිසා පැරණි  ගොඩනැඟිලි රැසක් එහි  දක්නට ලැබෙනවා.

ඒ වාගේම නෙදර්ලන්තය යුරෝපයේ තිබෙන සුන්දර ම රටවල් අතුරින් එකක්. එනිසා සෑම වසරක ම බොහෝ සංචාරකයන් නෙදර්ලන්තයේ අසිරිය විඳ ගැනීමට පැමිණෙනවා.  මෙතැන් සිට ඔබට කියන්නේ නෙදර්ලන්තයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන ප්‍රසිද්ධ සංචාරක ඉසව් පහක් පිළිබඳව යි. 

1). කෝකන්හෝෆ් උද්‍යානය 

අද වන විට යුරෝපයේ තිබෙන වඩාත් සුන්දර මල් උයන් අතරට නෙදර්ලන්තයේ ලිස් ප්‍රදේශයේ පිහිටා තිබෙන කෝකන්හෝෆ් උද්‍යානය ද අයත්. යුරෝපයේ උද්‍යානය ලෙසින් හඳුන්වන මෙය අක්කර  79ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතිනවා. සියවස් 7කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන මෙම උද්‍යානය 1949 වසරේ දී ආරම්භ වුණා. මෙම උද්‍යානය ආරම්භ කිරීම සඳහා නෙදර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ මල් වගාකරුවන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වුණා.

එදා සැලසුම් සහගත අයුරින් නිර්මාණය වුණු උද්‍යානය 1950 වසරේ දී සංචාරකයන් සඳහා විවෘත වුණා. මල් උයනේ තිබුණු අලංකාර බවට ආකර්ශනය වුණු සංචාරකයන් වැල නොකැඩී මල් උයන නැරඹීම සඳහා පැමිණියා. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු වසර ඇතුළත 236,000ක පිරිසක් කෝකන්හෝෆ් උද්‍යානය නැරඹීමට පැමිණ තිබුණා.

කෝකන්හෝෆ් උද්‍යානය – worldatlas.com

 

එදා සිට නෙදර්ලන්තයේ ප්‍රධානත ම උද්‍යානය  බවට පත්වුණු මෙය වසන්ත සමයේ දී සුරලොවක් මෙන් දිස්වෙනවා. ඒ වසන්තයේ දී වර්ණවත් මල්වලින් උද්‍යාන භූමිය පිරී යන නිසා යි. මෙම උයන තුළ විවිධ ප්‍රභේදයන්ට අයත් ටියුලිප් මල් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.

රෝස, ඩැෆඩිල්, කානේෂන්, ලිලී, අයිරිස්, ඕකිඩ් වැනි මල් වර්ගත් සුලබ ව මෙහි දී දැකගන්නට පුළුවන්. මෙම උද්‍යානයේ වසරකට මල් පැළ මිලියන 7ක් පමණ සිටුවනවා. ඒ  සඳහා පූර්ණකාලීන සේවයේ නිරත වන 30 දෙනකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් මෙහි සිටිනවා.

උද්‍යානයේ සුන්දරත්වය – youtube.com

 

කෝකන්හෝෆ් උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන්නේ වසන්ත සමයේ දී පමණ යි. සාමාන්‍යයෙන් මෙය මාර්තු 24 සිට මැයි 15 දක්වා විවෘත කර තබනවා. එම කාල සමයේ දී ටියුලිප් මල් ප්‍රදර්ශනයක් මෙම උද්‍යානයේ පැවැත්වෙනවා. එය නැරඹීම සඳහා ලොව පුරා ම සිටින සංචාරකයන් මෙහි පැමිණෙනවා. ඒ අනුව 2019 වසන්ත කාලයේ දී මිලියන 1.5ක් තරම් විශාල  සංචාරකයන් ප්‍රමාණයක් මෙහි පැමිණ තිබුණා. එය වසරක දී මෙම උද්‍යානය නැරඹීමට පැමිණි වැඩි ම පිරිස ලෙසින් සටහන් වුණා. 

උද්‍යානය නරඹන සංචාරකයන් – viator.com

 

2). කින්ඩර්ඩැක් ප්‍රදේශයේ පැරණි සුළං මෝල් 

“සුළං මෝල්” යන නම ඇසූ සැනින් බොහෝ දෙනකුගේ මතකයට නැගෙන්නේ නෙදර්ලන්තය යි. ඒ සියවස් ගණනාවක සිට ඔවුන් විවිධ කාර්යයන් සඳහා සුළං මෝල් භාවිත කිරීම නිසා යි. නෙදර්ලන්තය අපූරු භූ විෂමතා ලක්ෂණවලින් සමන්විත රටක්. එහි සමහර වෙරළබඩ ප්‍රදේශ පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළින්. එනිසා  දිගු කාලයක සිට නෙදර්ලන්තය ගංවතුර තර්ජනවලට ලක් වුණා. 

නෙදර්ලන්තය නිතර ගංවතුරවලට ගොදුරු වීම නිසා විශාල පිරිසක් මියගියා සේ ම තවත් පිරිසක් අවතැන් වුණා. නිතර ඇතිවුණු ගංවතුර තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිත කළා. එහි දී නෙදර්ලන්ත ජාතිකයන් යොදා ගත් එක් උපක්‍රමයක් වුණේ සුළං මෝල් මඟින් බලය නිපදවා, අතිරික්ත ජලය ඉවත් කිරීම යි. ඒ අයුරින් ඉදි කළ සුළං මෝල් 19ක් කින්ඩර්ඩැක් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 

කින්ඩර්ඩැක් සුළං මෝල්වල පැරණි ඡායාරූපයක් – gettyimages.com

 

කින්ඩර්ඩැක් ප්‍රදේශයේ දී ලෙක් සහ නූර්ඩ් නම් ගංගා එකට එකතු වෙනවා. එනිසා ඈත අතීතයේ සිට එම ප්‍රදේශයට ගංවතුර තර්ජන තිබුණා. එමඟින් ආරක්ෂා වීම විශාල ඇළවල් හෑරුවත් එය සාර්ථක වුණේ නැහැ.  18 වන සියවස වන විට කින්ඩර්ඩැක් ප්‍රදේශය නිතරම ගංවතුර තත්ත්වයන්ට ගොදුරු වුණා. එනිසා 1738-1740 කාල සමයේ කින්ඩර්ඩැක් ප්‍රදේශය ආශ්‍රිතව මෙම සුළං මෝල් 19 ඉදි කළා.

අක්කර 800 පුරා විසිරී පවතින මෙම සංකීර්ණයේ තිබෙන සුළං මෝල්වල රුවල් අඩි 92ක් තරම් දිගකින් යුක්ත යි. පසු කලෙක ඊට වඩා විශාලත්වයෙන් වැඩි සුළං මෝල්  සංකීර්ණ නෙදර්ලන්තය තුළ නිර්මාණය වුණත් අදටත් එහි තිබෙන වඩාත් ජනප්‍රිය සුළං මෝල් සංකීර්ණය මෙය වීම විශේෂත්වයක්. 

සුළං මෝල් සංකීර්ණයේ වර්තමාන තත්ත්වය – bigseventravel.com

 

කින්ඩර්ඩැක් ප්‍රදේශය නෙදර්ලන්තයේ දකුණු ප්‍රදේශයට අයත්. සුප්‍රසිද්ධ රොටර්ඩෑම් නගරයේ සිට කිලෝ මීටර් 15ක් නැගෙනහිරින් පිහිටි කින්ඩර්ඩැක් ප්‍රදේශය වෙත දුම්රියෙන්, මෝටර් රථයකින්, බස් රථයකින් පමණක් නොව බෝට්ටුවෙන් පවා පහසුවෙන් ළඟාවන්නට පුළුවන්. එනිසා අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා පවතින සංචාරක සමයේ දී බොහෝ සංචාරකයන් මෙය නැරඹීම සඳහා පැමිණෙනවා.

මෙම සුළං මෝල් සංකීර්ණයට පෞරාණික වටිනාකමක් තිබෙනවා. එය හඳුනා ගත් යුනෙස්කෝ සංවිධානය 1997 වසරේ දී මෙය යුනෙස්කෝ සංස්කෘතික ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.

සුළං මෝල් සංකීර්ණය නරඹන සංචාරකයන්- theguradian.com

 

3). අල්ක්මාර් චීස් වෙළෙඳපොළ 

නෙදර්ලන්තය ලෝකයේ ඉස්තරම් ම චීස් නිපදවන රටවල්වලින් එකක්. එනිසා මහා පරිමාණයේ චීස් වෙළෙඳපොළවල් එරට බොහෝ ප්‍රදේශවල දී දැක ගන්නට පුළුවන්.

නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් නගරයට කිලෝ මීටර් 40ක් පමණ වයඹදිගින් පිහිටි අල්ක්මාර් ප්‍රදේශයේ එවැනි චීස් වෙළෙඳපොළක් දක්නට ලැබෙනවා. 1593 වසරේ සිට පවත්වාගෙන යන එම චීස් වෙළෙඳපොළ නෙදර්ලන්තයේ තිබෙන වඩාත් පැරණි චීස් වෙළෙඳපොළවලින් එකක්. 

අල්ක්මාර් චීස් වෙළෙඳපොළ – pinterest.com

 

මෙම සුප්‍රසිද්ධ චීස් වෙළෙඳපොළ සෑම වසරක ම මාර්තු මාසයේ අග සිට සැප්තැම්බර් මාසයේ මුල දක්වා පැවැත්වෙනවා. එහි දී වෙළෙඳපොළ විවෘත ව පවතින්නේ සිකුරාදා දිනවල උදෑසන 10 සිට සවස 3 දක්වා පමණ යි. අතීතයේ සිට සම්ප්‍රදායක් ලෙසින් සිකුරාදා දිනවල පමණක් පැවැත්වුණු චීස් වෙළෙඳපොළ පසුගිය වසරවල දී අඟහරුවාදා සවස ද පැවැත්වීම විශේෂත්වයක්.

ගවුඩා සහ එඩම් නෙදර්ලන්තයේ වඩාත් ජනප්‍රිය චීස් වර්ග යි. එනිසා චීස් අල්ක්මාර් චීස් වෙළෙඳපොළට එන උදවියට ඉස්තරම් වර්ගයේ ගවුඩා සහ එඩම් චීස් මිලදී ගන්නට අවස්ථාව ලැබෙනවා. 

චීස් විකුණන තරුණියන් – sightseeingscientist.com

 

4). බෝර්ටැන්ජ් බළකොටුව 

17 සහ 18 යන සියවස්වල දී ඕලන්දය (වර්තමානය නෙදර්ලන්තය) යුද ශක්තිය අතින් ඉදිරියෙන් සිටියා. එනිසා රටවල් ගණනාවක් ඔවුන්ගේ පාලනය යටතේ පැවතුණා. ඕලන්ද ජාතිකයන් 1658 සිට 1796 දක්වා අප රටත් යටත් කර ගෙන සිටියා. එදා ඕලන්ද ජාතිකයන් අප රට තුළ අලංකාර බළකොටු රැසක් නිර්මාණය කළා.  එලෙස බළකොටු නිර්මාණය කිරීමට සුවිශේෂී හැකියාවක් තිබුණු ඕලන්ද ජාතිකයන් නිර්මාණය කළ තේජාන්විත බළකොටු රැසක් නෙදර්ලන්තය ආශ්‍රිත ව අදටත් දක්නට ලැබෙනවා. ඒ අතුරින් බෝර්ටැන්ජ් බළකොටුවට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. 

බෝර්ටැන්ජ් බළකොටුව – rachelsruminations.com 

 

1568-1648 අතර කාලයේ ඕලන්දය සහ ස්පාඤ්ඤය අතර යුද්ධයක් පැවතුණා. එය 80 අවුරුදු යුද්ධය ලෙසින් පසු කලෙක ප්‍රසිද්ධියට පත්වුණා. එම යුද්ධය පැවති කාලයේ දී බෝර්ටැන්ජ් ගම ආශ්‍රිත ව ඉදි කළ බළකොටුව අද බෝර්ටැන්ජ් බළකොටුව ලෙසින් හැඳින්වෙනවා.

1593 වසරේ දී නිර්මාණය වුණු මෙම බළකොටුව උඩු ගුවනට තරුවක් සේ දිස්වෙනවා. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ හැකියාව ලොවට ම පෙන්වන මෙම බළකොටුව තුළ හමුදා බැරැක්ක, ආරක්ෂිත උමං මාර්ග පද්ධතියක් සහ දිය අගල් පද්ධතියක් ඉදිකර තිබුණා. එනිසා ඕලන්දයේ තිබුණු ආරක්ෂිත ම බළකොටුවක් බවට මෙය පත් ව තිබුණා. 

බෝර්ටැන්ජ් බළකොටුව උඩු ගුවනට පෙනෙන ආකාරය-thousandwonders.net

 

1593-1851 කාල සමය දක්වා භාවිත කළ මෙම බළකොටුව 20 වන සියවසේ මැද භාගය වෙද්දී අභාවයට ගියා. මෙහි තිබෙන පෞරාණික වටිනාකම පිළිබඳ ව අවබෝධ කරගත් එරට රජය 1960 වසරේ දී මෙය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා.

එම ප්‍රතිසංස්කරණයේ දී මෙම බළකොටුවේ පෞරාණික බව ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම විශේෂත්වයක්. ඉන් පසු ව කෞතුකාගාරයක් බවට පත්කළ එම සුවිසල් බළකොටුව අද වන විට මනාව ආරක්ෂා වී තිබෙනවා.  

බළකොටුව ඇතුළත වර්තමාන තත්ත්වය – amusingplanet.com

 

5). අයිසල්මේයර් විල 

නෙදර්ලන්තයේ පිහිටා තිබෙන විශාලත ම විල වන අයිසල්මේයර් වර්ග කිලෝ මීටර් 1100ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. ඇම්ස්ටල්, රයින්, අයිසල් සහ වෙක්ට් යන ගංගා හතරෙන්  පෝෂණය වන මෙම විල මීට වසර 2000කට පමණ එපිට දී නිර්මාණය වුණු බවට විශ්වාසයක් පවතිනවා. නමුත් 12 වන සහ 13 වන සියවස්වල දී මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ඇතිවුණු ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මෙම විලට කරදිය මුසු වුණා.

එනිසා පසු කලෙක අයිසල්මේයර් විල  උතුරු මුහුදේ බොක්කක් බවට පත්වුණා. එදා මෙම විලේ තිබෙන වැදගත්කම තේරුම් ගත් ඕලන්ද ජාතිකයන් විලට කරදිය මුසුවීම වැලැක්වීම සඳහා විශාල බැම්මක් ඉදි කළා. නමුත් එය විටින් විට කඩාගෙන වැටුණු නිසා ගැටලුවට ස්ථීර විසඳුමක් ලැබුණේ නැහැ. 

අයිසල්මේයර් විල – goodfon.com

 

ඒ  අයුරින් සියවස් ගණනාවක් පැවති එම ගැටලුවට 1927-1932 කාලයේ දී විසඳුමක් ලැබුණා. ඒ කිලෝ මීටර් 32ක් දිග අෆ්ස්ලෝඩෙක් වේල්ල ඉදිකරමින් විලට කරදිය මුසුවීම වැලැක්වීමත් සමඟ යි. ඉන් පසුව මිරිදිය විලක් බවට පත්වුණු අයිසල්මේයර් අද වන විට ධීවර කටයුතු සඳහා යොදා ගන්නවා.

සංචාරකයන්ට ජල ක්‍රීඩාවල නිරත වීම සඳහාත් මෙය කදිම ස්ථානයක්. 2000 වසරේ දී රැම්සා තෙත්බිමක් ලෙසින් නම් කළ මෙම ප්‍රදේශය නෙදර්ලන්තය තුළ පිහිටා තිබෙන වටිනා ස්වභාවික උරුමයක්. 

අෆ්ස්ලෝඩෙක් වේල්ල – discoverholland.com

කවරයේ ඡායාරූපය- කෝකන්හෝෆ් උද්‍යානයේ අසිරිය - travel.earth 

මූලාශ්‍ර:

planetware.com 

theculturetrip.com 

europeforvisitors.com 

Related Articles