Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්විට්සර්ලන්තයේ සුන්දර සංචාරක ඉසව් 5ක්

ලෝකයේ වඩාත් ම සුන්දර රටවල් පිහිටා තිබෙන මහාද්වීප අතුරින් යුරෝපයට ප්‍රමුඛස්ථානයක් හිමි වනවා. එම මහාද්වීපයේ මධ්‍යම කොටසට අයත් රටක් වන ස්විට්සර්ලන්තයට යුරෝපයේ ක්‍රීඩා පිටිය යන අන්වර්ථ නාමය පටබැඳී තිබෙනවා. ඒ  මනස්කාන්ත ඇල්ප්ස්  කඳුකර ප්‍රදේශවලින්  වට වුණු ස්විට්සර්ලන්තය ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක් නිසා යි.  

වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන ස්විට්සර්ලන්තය ආශ්‍රිත ව පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන රැසක් දක්නට ලැබෙනවා. ඒවා නැරඹීම සඳහා විශාල සංචාරකයන් ප්‍රමාණයක් ස්විට්සර්ලන්තයට පැමිණෙනවා. එසේ පැමිණෙන සංචාරකයන් වැඩිපුර නරඹන සංචාරක ඉසව් 5ක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

ජිනීවා විලේ සුන්දරත්වය – goodfon.com

1). ජිනීවා විල 

ඇල්ප්ස් කඳුවැටියේ පිහිටි විශාලත ම විල ලෙසින් සැලකෙන ජිනීවා විල වර්ග කිලෝ මීටර් 580ක් පුරා පැතිරී පවතිනවා. ස්විට්සර්ලන්ත-ප්‍රංශ දේශසීමාවේ පිහිටා තිබෙන මෙම මනස්කාන්ත විලේ ඉතිහාසය රෝම ශිෂ්ටාචාර යුගය දක්වා දිව යනවා. එකල ජූලියස් සීසර් අධිරාජ්‍යයා මෙම විල Lacus Lemanus යන නමින් හැඳින්වූ බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල ලියැ වී තිබෙනවා.

ජිනීවා විලේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ රෝන් ගංගාව යි. රෝන් ගංගාවට අමතර ව ඩ්‍රැන්ස් ගංගාව මඟින් ද මෙම  විල පෝෂණය වෙනවා. ජිනීවා විලේ භූගෝලීය පිහිටීම අනුව එය ප්‍රධාන කොටස් තුනකට වෙන් වී තිබෙනවා. ඒවා ප්‍රධාන විල, ඉහළ විල සහ පහළ විල ලෙසින් හැඳින්වෙනවා. සාමාන්‍ය ගැඹුර මීටර් 155ක් වන මෙම විලේ සමහර ස්ථානවල ගැඹුර මීටර් 300 ඉක්මවා යනවා. ගැඹුරින් වැඩි එවැනි ස්ථාන ප්‍රධාන විල්  කොටසේ දක්නට ලැබෙනවා. 

ජිනීවා විල් ඉවුරේ විනෝද වන සංචාරකයන් – lakegenevanews.net

ගිම්හාන කාලයේ දී ජිනීවා විල ආශ්‍රිත ප්‍රදේශය සංචාරකයන්ගෙන් පිරී යනවා. එසේ පැමිණෙන  සංචාරකයන් බෝට්ටු පැදීම, මාළු බෑම, පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවෙමින් හොඳින් වෙනවා. ඒ වාගේම රාත්‍රී විනෝද උත්සව, සංගීත සහ නැටුම් සංදර්ශන ආදිය එහි පැවැත්වෙනවා. ඊට අමතරව ජූනි සහ ජූලි මාසවල දී ජිනීවා විල ආශ්‍රිත ව Montreux Jazz නමින් විශේෂ සංගීත සංදර්ශනයක් පැවැත්වෙනවා. 1967 වසරේ සිට පැවැත්වෙන එය ලොව ප්‍රමුඛත ම ජෑස් සංගීත සංදර්ශනවලින් එකක්.

ජිනීවා විල අවට ප්‍රදේශයේ සුපිරි පැළැන්තියේ හෝටල් රැසක් ඉදිකර තිබෙනවා. එනිසා මෙහි පැමිණෙන සංචාරකයන් ඒවායේ නවාතැන් ගෙන දවස් කිහිපයක් විවේක සුවයෙන් ගත කරනවා. ජිනීවා විල ආශ්‍රිත පරිසර පද්ධතියට ඉහළ වටිනාකමක් තිබෙනවා. 1991 දී එය රැම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කළ බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

රයින් දිය ඇල්ල ගලා බසින ආකාරය – pinterest.com

2). රයින් දිය ඇල්ල 

ස්විට්සර්ලන්තයේ ෂෆ්හවුසන් (Schaffhausen) නගරය සමීපයේ පිහිටා තිබෙන සුන්දර රයින් දිය ඇල්ල යුරෝපයේ විශාලත ම දිය ඇල්ල ලෙසින් සැලකෙනවා. පළලින් අඩි 492ක්, උසින් අඩි 76ක් වන මෙම දිය ඇල්ල හරහා ඝන අඩි 21,189ක් තරම් විශාල ජල කඳක් ගලා බසිනවා. ශීත කාලයේ දී මෙම දිය ඇල්ල හරහා ගලා බසින ජල ප්‍රමාණය ඝන අඩි 8,800 දක්වා අඩු වෙනවා. යුරෝපයේ පිහිටි වඩාත් සුන්දර ගංගාවක් වන රයින් ගඟ ආශ්‍රිත ව නිර්මාණය වී තිබෙන මෙම දිය ඇල්ල වසර 14000ක්වත් පැරණි බව භූ විද්‍යාඥයන්ගේ අනුමානය යි. 

 

ජූනි සහ ජූලි මාසවල දී රයින් දිය ඇල්ල මත තිබෙන අයිස් තට්ටු සම්පූර්ණයෙන් ම දිය වී යනවා. එනිසා එම මාසවල දී දිය ඇල්ල නැරඹීම සඳහා වැඩි පිරිසක් පැමිණෙනවා. ඔවුන්ට පහසුවෙන් දිය ඇල්ල නැරඹීමට හැකිවන අයුරින් නැරඹුම් වේදිකා තනා තිබෙනවා. රයින් දිය ඇල්ලේ අසිරිය නරඹන බොහෝ දෙනෙක් ඒ හරහා බෝට්ටු සවාරියක් යාමට අමතක කරන්නේ නැහැ. දිය ඇල්ලේ වතුර වැඩි කාලයට එවැනි බෝට්ටු සවාරියක යෙදීම ත්‍රාසජනක අත්දැකීමක් වන බව සංචාරකයන් පවසා සිටිනවා.  

දිය ඇල්ල හරහා යන බෝට්ටු සවාරියක් – rheinfall.ch

 

රයින් දිය ඇල්ල නැරඹීමට මීට සියවස් ගණනාවක සිට විදෙස් සංචාරකයන් පැමිණියා. ඒ අතුරින් ජෝශප් ටර්නර් නම් ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියා රයින් දිය ඇල්ල සිතුවමට නැඟුවා. එහි දී ඔහු විවිධ කෝණ ඔස්සේ දිය ඇල්ල සිතුවමට නඟා තිබීම විශේෂත්වයක්. ජර්මානු ගීත රචකයෙකු වුණු එඩුවාඩ් මෝර්කි රයින් දිය ඇල්ලේ චමත්කාරය පිළිබඳව කවියක් රචනා කර තිබෙනවා. එකල මෙම ඇල්ල අදටත් වඩා අලංකාර අයුරින් දිස්වන්නට ඇති බව එමඟින් අනුමාන කරන්නට පුළුවන්.

ජෝශප් ටර්නර්ගේ සිතුවමක් – wikimedia.org

 

3). ස්විස් ජාතික වනෝද්‍යානය

1914 අගෝස්තු 1 වැනිදා ආරම්භ කළ ස්විස් ජාතික වනෝද්‍යානය යුරෝපයේ තිබෙන පැරැණිත ම වනෝද්‍යානවලින් එකක්. වර්ග කිලෝ මීටර් 172ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මෙය ස්විට්සර්ලන්තයේ ප්‍රධානත ම ජාතික වනෝද්‍යානය යි. එනිසා මෙම වනෝද්‍යානය ආශ්‍රිත ව දැඩි නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව වනෝද්‍යානය ඇතුළත ගිනි දැල්වීම, එහි සලකුණු නොකළ මාර්ගවල ගමන් කිරීම, එතුළට සුනඛයන් රැගෙන යාම වැනි දේවල් තහනම් කර තිබෙනවා.

ඒ වාගේම වනෝද්‍යානය තුළ සිටින සතුන්ට හිංසා පීඩා කිරීම සහ එහි තිබෙන ශාකවල කොටස් කඩා දැමීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් සේ සලකනවා. එනිසා ස්විස් ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. 

ස්විස් ජාතික වනෝද්‍යානය නරඹන සංචාරකයන් – geo.uzh.ch

 

මෙම වනෝද්‍යානය ආශ්‍රිත ව උසින් මීටර් 3000 ඉක්මවා ගිය කඳු මුදුන් රැසක් දක්නට ලැබෙනවා. එයින් උසින් වැඩි ම කඳු මුදුන වන්නේ පිසොක්, ටවුරු, සහ ක්වාටර්වල්ස් යන කඳු මුදුන් ත්‍රිත්වය යි. ස්විස් ජාතික වනෝද්‍යානයේ ගස් රේඛාව මීටර් 2200ක පමණ උසකින් පිහිටා තිබෙනවා.

එහි වැඩි වශයෙන් කේතුධර ශාකය දක්නට ලැබෙනවා. වනෝද්‍යානය තුළ පිහිටි තණබිම්වල කුඩා මල් වර්ග දක්නට ලැබෙනවා. මෙම වනෝද්‍යානය තුළ දී  අයිබෙක්ස්, රන් රාජාලියන්, රැවුල් සහිත ගිජුලිහිණියන්, මාමොට්, චමොයිස් සහ එල්ක් වැනි සත්ත්ව විශේෂත් දැකගන්නට පුළුවන්.

වනෝද්‍යානයේ සුන්දරත්වය – protraveloholic.com

 

එම සත්ත්ව විශේෂ අතුරින් රැවුල් සහිත ගිජුලිහිණියා එක්තරා යුගයක එරටින් සම්පූර්ණයෙන් ම වඳ වී ගියා. 1991 දී එම ගිජුලිහිණි විශේෂයට අයත් පක්ෂීන් කිහිපදෙනෙක් මෙම වනෝද්‍යානයට ගෙනැවිත් දැමුවා.

ඒ රැවුල් සහිත ගිජුලිහිණි පක්ෂියා යළි බෝ කිරීමේ අරමුණෙන්. එම උත්සාහය සාර්ථක වුණු නිසා අදටත් ස්විට්සර්ලන්තය තුළ රැවුල් සහිත ගිජුලිහිණියා දක්නට ලැබෙනවා. 

රැවුල් සහිත ගිජුලිහිණියා – wired.com

 

4). චිලන් මාලිගය 

ස්විට්සර්ලන්තයේ තිබෙන පෞරාණික ගොඩනැගිලි අතුරින් චිලන් මාලිගාවට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. ජිනීවා විල ආසන්නයේ පිහිටි මොන්ට්‍රියූක්ස් ප්‍රදේශයේ සුන්දර භූමි භාගයක මෙම අපූරු මාලිගය ඉදිකර තිබෙනවා. 12 වන සියවසේ දී නිර්මාණය කළ මෙම මාලිගයේ විවිධ ආකාරයේ ගොඩනැගිලි 25ක් දක්නට ලැබෙනවා.

ඒවා ගොතික් සහ රොමේනියානු ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමවලට නිර්මාණය කර තිබෙනවා. විසිතුරු කැටයම්වලින් සැරසූ විශාල ශාලා, සැප පහසු නිදන කාමර, නැටුම් ශාලා, භෝජන ශාලා, ගබඩා කාමර, සිර මැදිරි, 14 වන සියවසට අයත් බිතුසිතුවම්වලින් සරසා ඇති දේවස්ථානය මෙම මාලිගය තුළ දී දැක බලා ගන්නට පුළුවන්. 

චිලන් මාලිගය – sworld.co.uk

එදා සැවෝයි ආදිපාදවරුන්ගේ ගිම්හාන මාලිගය ලෙසින් භාවිතා වුණු මෙය ප්‍රසිද්ධ ලේඛකයන් කිහිප දෙනකුගේ සිත් ගත් ස්ථානයක් බවට පත්වුණා. එනිසා ජීන් ජැක් රූසෝ, වික්ටර් හියුගෝ, ඇලෙක්සැන්ඩර් ඩූමාස්, ගුස්ටාව් ෆ්ලෝබෙයාර්, බයිරන් සාමිවරයා වැනි ප්‍රසිද්ධ ලේඛකයන් සිය නිර්මාණවල මෙම මාලිගය පිළිබඳව සඳහන් කිරීම විශේෂත්වයක් වුණා.

ඒ අයුරින් ලෝ ප්‍රකට නිර්මාණකරුවන්ගේ අවධානයට ලක් වුණු මෙම අපූරු මාලිගය අද වන විට ස්විට්සර්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ඉසව්වක් බවට පත් ව තිබෙනවා.  

මාලිගය ඇතුළත දසුනක් – flickr.com

 

5). මැටර්හෝන් කඳු මුදුන 

මීටර් 4478ක උසකින් යුත් මැටර්හෝන්, ස්විට්සර්ලන්තයේ තිබෙන උස ම කඳු මුදුන්වලින් එකක්. එය ස්විට්සර්ලන්තයේ වඩාත් ම ප්‍රසිද්ධ කඳු මුදුන බවටත් පත් ව තිබෙනවා. මැටර්හෝන් කඳු මුදුනට එතරම් ජනප්‍රියත්වයක් ලැබී තිබෙන්නේ එහි ආසන්න වශයෙන් සමමිතික පිරමීඩ හැඩය පවතින නිසා යි. එහි කඳු බෑවුම් ආසන්න වශයෙන් මාලිමාවේ දිශාවලට අනුව පිහිටා තිබීම විශේෂත්වයක්.  

මැටර්හෝන් කඳු මුදුන – westend61.com

 

19 වන සියවසේ මැද භාගය වන විට මැටර්හෝන් කඳු මුදුන තරණය කිරීම සඳහා බොහෝ දෙනෙක් උත්සාහ කළා. ඒ අතුරින්  සමහර උදවිය මීටර් 3500ක පමණ උසක් තරණය කිරීමෙන් පසුව ආපසු පැමිණියා.

තවත් සමහර උදවිය අනතුරුවලට මුහුණ දුන්නා. 1865 දී  එඩ්වඩ් වයිම්පර් ඇතුළු හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මුල් ම වරට කන්ද සාර්ථක ව තරණය කිරීමට සමත් වුණා. නමුත් ඉන්  සිව්දෙනකු කන්දෙන් බැසීමට ගොස් මරණයට පත්වීම කනගාටුදායක සිදුවීමක් වුණා.

වයිම්පර් ඇතුළු පිරිස කන්ද තරණය කළ ආකාරය – pixels.com

 

වර්තමානය වන විට මැටර්හෝන් කඳු මුදුන ආශ්‍රිත ප්‍රදේශය සංචාරක පුරවරයක් බවට පත්ව තිබෙනවා. සුඛෝපභෝගි සංචාරක හෝටල්, තරු පන්තියේ අවන්හල්, විනෝද උද්‍යාන ආදිය  කඳු පාමුල ඉදි කර තිබෙනවා. ගිම්හාන කාලයේ දී එම සංචාරක පුරවරයට පැමිණෙන උදවියට බයිසිකල් පැදීම, කඳු තරණය, පිහිනීම, මාළු බෑම වැනි ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව ලැබෙනවා. ශීත ඍතුවේ මැටර්හෝන් කඳුකර ප්‍රදේශයට පැමිණෙන උදවියට හිම මත ලිස්සා යාමේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබෙන බවත් කිව යුතුයි. 

හිම මත ලිස්සා යන තරුණියක් – snowboardguides.com

කවරයේ ඡායාරූපය- රයින් දිය ඇල්ලේ බෝට්ටු පදින උදවිය- pinterest.com

මූලාශ්‍ර:

planetware.com

theculturetrip.com

expatica.com

globalgrasshopper.com

Related Articles