Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝලන්තයේ සුන්දර සංචාරක ඉසව් 5ක්

ලෝකයේ වඩාත් ම සුන්දර රටවල් පිහිටා තිබෙන මහාද්වීප අතුරින් යුරෝපයට ප්‍රමුඛස්ථානයක් හිමි වනවා. එම මහාද්වීපයේ මධ්‍යම කොටසට අයත් රටක් වන පෝලන්තයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එනිසා එරට බොහෝ ප්‍රදේශවල පෞරාණික ගොඩනැගිලි දක්නට ලැබෙනවා.

ඊට අමතර ව පෝලන්තය ආශ්‍රිත ව ස්වභාවික සුන්දරත්වයකින් යුත් ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. එම ස්ථාන දැක බලා ගැනීම සඳහා සැලකිය යුතු තරම් සංචාරකයන් ප්‍රමාණයක් පෝලන්තයට පැමිණෙනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ පෝලන්තයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගෙන තිබෙන සුන්දර ස්ථාන 5ක් පිළිබඳව යි.  

1). අරුම පුදුම කෘක්ඩ් පයින් වනාන්තරය 

පෝලන්තය ආශ්‍රිත ව දක්නට ලැබෙන අපූරු සංචාරක ඉසව් අතුරින් කෘක්ඩ් පයින් වනාන්තරය විශේෂ යි. ඒ එහි තිබෙන වකගැසුණු පයින් ගස් මායා කතාන්දරවල එන අමුතු ම ආකාරයේ වනාන්තරයක් අපගේ සිහියට නඟන නිසා යි. ග්‍රිෆිනෝ නගරය ආසන්නයේ තිබෙන Nowe Czarnowo නම් මේ පිහිටි මෙම අපූරු වනාන්තරයේ පයින් ගස් 400ක් පමණ දක්නට ලැබෙනවා. 1930 දශකයේ මුල් භාගයේ දී  මේ ප්‍රදේශයේ ජීවත් වුණු මිනිසුන් මෙහි දක්නට ලැබෙන පයින් ගස් සිටුවන්නට ඇතැයි විශ්වාස කරනවා. මෙම පයින් ගස් විකෘති ස්වභාවයක් ගැනීමට හේතුව අදටත් සොයාගෙන නැහැ.

වකගැසුණු පයින් ගසක් – gettyimages.com

 

දෙවන ලෝක යුද සමයේ දී මෙම ප්‍රදේශය ආශ්‍රිත ව යුද මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වුණා. එහි බලපෑම නිසා මෙම පයින් ගස් වක ගැසෙන්නට ඇති බවට ඇතැම් උදවිය අනුමාන කරනවා. තවත් උදවිය විශ්වාස කරන්නේ යුද සමයේ දී පයින් පැළ උඩින් යුද ටැංකි ගමන් කිරීම හේතුවෙන් මෙම ස්වභාවය ඇතිවුණු බව යි.

එකල මෙම ප්‍රදේශය අධික හිම පතනයකට ලක්වීම හේතුවෙන් වැඩීගෙන එන පයින් පැළ මතට හිම තට්ටු මඟින් ඇතිවුණු පීඩනය හේතුවෙන් ගස් වක ගැසුණු බව තවත් ප්‍රසිද්ධ මතයක්. උද්භිද විද්‍යාඥයන් පවසන්නේ මෙය යම් කිසි ජාන විකෘතියක් හේතුවෙන් ඇතිවුණු තත්ත්වයක් බවයි. ඒ අනුව මෙම පයින් ගස් වකගැසීමට හේතුව අදටත්  අභිරහසක්. 

පයින් වනාන්තරය ඇතුළත දර්ශනයක් – gettyimages.com

 

2). පෝලන්තයේ වාවල් රාජකීය මාළිගය 

පෝලන්තයේ රජවරුන්ගේ වාසස්ථානය වුණු වාවල් මාළිගය මධ්‍යකාලීන යුගයේ දී ඉදිකළ එකක්. අවස්ථා දෙකක දී මෙම මාලිගය ගින්නෙන් විනාශ වුණු නිසා 17 වන සියවසේ අග භාගය වන විට මෙය අරාජික තත්ත්වයකට පත්ව තිබුණා.

18 වන සියවසේ අග භාගයේ දී මෙම මාලිගය ඔස්ට්‍රියානු හමුදා යටතට පත්වුණා. ඉන් පසුව මාලිගයේ කොටස් හමුදා බැරැක්ක, ගබඩා, සහ රෝහල් බවට පත් කළා. 

වාවල් මාළිගය පිටතට පෙනෙන ආකාරය – gettyimages.com

 

විනාශ වුණු මාලිගය පිළිබඳ පෝලන්ත වැසියන්ගේ අවධානය යළි යොමු වුණේ 20 වන සියවස ආරම්භයේ දී යි. එදා පෝලන්ත සමාජ ක්‍රියාකාරීන් රට පුරා ඇවිදිමින් මුදල් එකතු කළේ ඔස්ට්‍රියාවෙන් එම බළකොටුව මිල දී ගැනීම සඳහා යි.

වසර කිහිපයක් ඇතුළත එකතු කර ගත් මුදලෙන් ඔස්ට්‍රියාවෙන් නිදහස් කරගත් මාලිගය කෞතුකාගාරයක් බවට පසුව පරිවර්තනය කළා. වාවල් කෞතුකාගාරයේ වැදගත්කම ගැන සැලකූ යුනෙස්කෝව එය ලෝක උරුමයක් ලෙස නම් කළා.

මාලිගයේ ඇතුළත දර්ශනයක් – gettyimages.com

 

වර්තමානය වන විට වාවල් කෞතුකාගාරය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා. එහි පැමිණෙන සංචාරකයන්ට රාජකීය ලේඛනාගාරය, පිඟන් භාණ්ඩ එකතුව, සිතුවම් සහ කැටයම් එකතුව, වටිනා ගෘහ සහ ලෝහ භාණ්ඩ එකතුව, වීදුරු සහ රෙදිපිළි එකතුව, පැරණි ආයුධ එකතුව, රන් සහ රිදී භාණ්ඩ එකතුව, ඔරලෝසු එකතුව වැනි කෞතුක භාණ්ඩ ප්‍රදර්ශන නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

ඊට අමතර ව මෙම මාලිගයේ ඉතිහාසය සහ එය ගොඩ නැඟුණු ආකාරය පිළිබඳ ව ප්‍රදර්ශනයක් කෞතුකාගාරය තුළ  පැවැත්වෙන බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

වාවල් කෞතුකාගාරය ඇතුළත- gettyimages.com

 

3). ටාට්‍රා ජාතික වනෝද්‍යානය

පෝලන්තයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම නරඹන ස්ථාන අතරට ටාට්‍රා ජාතික වනෝද්‍යානය ද අයත්. 1954 දී පිහිටු වූ මෙම ජාතික වනෝද්‍යානය වර්ග කිලෝ මීටර් 211.64ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතිනවා. ඉන් වර්ග කිලෝ මීටර් 151.91ක් වනාන්තරයෙන් වැසී පවතිද්දී ඉතිරි ප්‍රදේශය පුරාවට තණබිම් දක්නට ලැබෙනවා. 1

992 දී යුනෙස්කෝ ජෛවගෝල රක්ෂිතයක් ලෙසින් නම් කළ මෙම වනෝද්‍යානය පසු කලෙක රැම්සා තෙත්බිමක් ලෙසින් ද නම් කළා. එනිසා මෙය පෝලන්තය තුළ පිහිටා තිබෙන දැඩි ආරක්ෂිත වනාන්තරයක්. 

ටාට්‍රා ජාතික වනෝද්‍යානය – gettyimages.com

 

කඳුකර ප්‍රදේශවලින් සමන්විත වන මෙම වනෝද්‍යානය තුළ රයිසි කඳු මුදුන පිහිටා තිබෙනවා. උසින් මීටර් 2499ක් වන එය පෝලන්තයේ උස ම කඳු මුදුන යි. වනෝද්‍යානය ආශ්‍රිත ව දක්නට ලැබෙන ස්වභාවික ගුහා පද්ධතිය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා තවත් එක් ස්ථානයක්. එහි ගුහා 650ක් පමණ දක්නට ලැබෙනවා.

ඒ අතුරින් විල්කා ස්නීස්නා ගුහා පද්ධතිය කිලෝ මීටර් 18ක් පමණ දුරට විහිදී පවතිනවා. එම පද්ධතියේ ගුහා 6ක් මහජනතාවට විවෘත ව පවතිනවා. මෙම වනෝද්‍යානය ආශ්‍රිත ව විසිරී පවතින දිය ඇලි, විල් සහ ගංගා මනස්කාන්ත දසුන් මවනවා. එනිසා වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් එම ඉසව්වල වැඩි කාලයක් ගත කිරීමට කැමැත්තක් දක්වනවා.

වනෝද්‍යානය ආශ්‍රිත ව පිහිටා තිබෙන සුන්දර විලක් – gettyimages.com

 

සිල්වර් ෆර්, යුරෝපීය බීච්, ස්විස් පයින්, යුරෝපීය ස්පෘස් වැනි ශාක විශේෂ මෙම වනෝද්‍යානය තුළ බහුල ව දක්නට ලැබෙනවා. ඊට අමතර ව තරමක් ඉහළ ප්‍රදේශ ආශ්‍රිතව තණබිම් ද ඊටත් වඩා ඉහළ උන්නතාංශවල ඇල්පයින් වෘක්ෂලතා දැකගන්නට පුළුවන්.

දුඹුරු වලසුන්, යුරේසියානු ලින්ක්ස්, ලෙසර් ස්පොටඩ් රාජාලියා, අළු වෘකයා, උකුස්සන් මෙහි දී දැක ගන්නට පුළුවන් සත්ත්ව විශේෂ අතරට අයත්. 

වනෝද්‍යානය තුළ ජීවත් වන සතුන් – gettyimages.com

 

4). වීලිස්කා රාජකීය ලුණු පතල 

13 වන සියවසේ දී ආරම්භ වුණු මෙම වීලිස්කා රාජකීය ලුණු පතල පෝලන්තයේ ක්‍රාකෝව් නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. මෙම පතල හෑරීම ආරම්භ කර ටික කලක් යන විට පතල ඇතුළත භූගත නගරයක් නිර්මාණය කෙරුණා. ඒ සඳහා රාජකීය අනුග්‍රහය ලැබුණා.

එනිසා මෙයට “වීලිස්කා රාජකීය ලුණු පතල” යන නම පට බැඳුණා. පතලේ ඉදි වුණු භූගත නගරය තුළ ලුණුවලින් කැටයම් කළ ආසන දෙව්මැඳුරක්, තවත් දේවස්ථාන 3ක්, උමං මාර්ග පද්ධතියක්, කාමර පෙළක්, ලුණුවලින් සෑදූ පිළිම ආදී දේ දක්නට ලැබෙනවා. 

ලුණු පතල ඇතුළත නිර්මාණය කර තිබෙන දේවල් – gettyimages.com

 

13 වන සියවසේ සිට 1996 වසර දක්වා ම වාණිජ ලුණු කැණීම සඳහා මෙම පතල යොදා ගත්තා. පහත වැටෙන ලුණු මිලත්, පතලට පැමිණෙන ගංවතුරත් නිසා 1996 වසරේ සිට මෙහි වාණිජ ලුණු කැණීම් කටයුතු නවතා දැමුවා.

පතල 2007 වසර දක්වා ම ක්‍රියාත්මක වුණා. අද වන විට මෙම අපූරු ලුණු පතල පෝලන්ත ඓතිහාසික ස්මාරකයක් බවට පත් ව තිබෙනවා. ඈත අතීතයේ දී ලුණු කැණීමට භාවිත කළ තාක්ෂණය මෙහි දී දැක ගන්නට පුළුවන්.

පතල ඇතුළත දර්ශනයක් – gettyimages.com

 

5). ඕජොව් ජාතික වනෝද්‍යානය

මෙම වනෝද්‍යානය පිහිටා තිබෙන ප්‍රදේශයට ඓතිහාසික වැදගත්කමක් තිබෙනවා. ඒ පැලියොලිතික් යුගයේ සිට මෙහි මිනිස් ජනාවාස පැවති බවට සාධක ලැබී තිබෙන නිසා යි.

ඒ අනුව මීට වසර 120,000ක පමණ කාලයක සිට ජනාවාස පැවති මෙම භූමි ප්‍රදේශයේ අමුතු ම ආකාරයේ හුණුගල් කඳු දක්නට ලැබෙනවා. ඒවා අලංකාර කුළුණු මෙන් දිස්වෙනවා. ගුහා 400කට අධික ප්‍රමාණයක් පිහිටි මෙම ප්‍රදේශයේ දී ගංගා නිම්න 2ක් දැක ගන්නටත් පුළුවන්.

අලංකාර හුණුගල් කඳු – gettyimages.com

 

ඕජොව් ප්‍රදේශය ආශ්‍රිත ව ජාතික වනෝද්‍යානයක් පිහිටුවීමට පෝලන්ත රජය 1956 දී කටයුතු කළා.වර්ග කිලෝ මීටර් 21.46ක භූමි ප්‍රමාණයක් පුරා විහි දී පවතින මෙම වනෝද්‍යානය එරට කුඩා ම වනෝද්‍යානය යි. මෙහි පවතින හුණුගල් කඳු සහ ගුහා ආශ්‍රිත ව කුඩා සතුන් විශේෂ සැලකිය යුතු තරම්  ප්‍රමාණයක් ජීවත් වෙනවා.

ඒ අනුව කෘමි විශේෂ 4600ක්, සමනල් විශේෂ 1075ක්, කුරුළු විශේෂ 135ක් මෙහි දී දැක ගන්නට පුළුවන්. එනිසා පෝලන්තයට පැමිණෙන සංචාරකයන් සමනලුන් සහ කුරුල්ලන් නැරඹීමට වැඩි වශයෙන් පැමිණෙන්නේ මෙම වනෝද්‍යානයට යි. 

වනෝද්‍යානයේ ඇතුළත දර්ශනයක් – gettyimages.com

කවරයේ ඡායාරූපය- මායාකාරී කෘක්ඩ් පයින් වනාන්තරයේ සුන්දර දසුනක් (mustseespots.com)

මූලාශ්‍ර- 

planetware.com 

theculturetrip.com 

discovercracow.com 

Related Articles