නැගෙනහිර පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන්නේ සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය යි. එය විශාලත්වයෙන් ලංකාවේ හතරවන දාගැබ ලෙස සැලකෙනවා. අම්පාරට යන කවුරුත් දීඝවාපිය වැඳපුදා ගැනීමට යාම සිරිතක්. බෞද්ධයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේගේ නිය ධාතුව දීඝවාපී චෛත්‍යයේ නිදන්කර ඇති බවට යි. මෙම දාගැබ දශක ගණනාවක් තිස්සේ පවතින්නේ සංරක්ෂණය නිම නොකළ තත්ත්වයක යි.  මේ නිසා එහි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දීඝවාපී චෛත්‍යය ජනතාවගේ වන්දනාවට කඩිනමින් පත් කිරීම සඳහා පවතින ප්‍රධාන බාධාව සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් මිලියන 25ක් සපයාගැනීම බවත් එබැවින් සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම ගැටලුවක් බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පසුගිය දා සඳහන් කර සිටියා. දීඝවාපී චෛත්‍යය පෙර තිබූ තත්ත්වයට යළි ගොඩනැගීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 667ක්.

පිහිටීම

දීඝවාපි පුදබිම ගුවනේ සිට- youtube.com

නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පිහිටි දීඝවාපියට දැන් හොඳ මාර්ග පහසුකම් තිබෙන නිසා පහසුවෙන් ළඟාවිය හැකියි. අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි. මී. 6ක් පමණ ගමන් කළ විට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි. මී. 12ක් ගමන් කිරීමෙන් දාගැබට පිවිසීමට පුළුවන්. අම්පාර නගරයේ සිට විහාරයට දුර කි. මී. 18ක්.

අතීතයේ දී රුහුණු ජනපදයට අයත්ව තිබූ දීඝවාපිය “දිග් වූ වැව“, “දිගා වැව“, “දීඝවාපිය” ලෙස ජන ව්‍යවහාරයේ පවතිනවා. ලිඛිත සාධක අනුව දිගාවැව, දීඝවාපි මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඩුළු, දිගාවෑ, දිගාමඩුල්ල ආදී වශයෙන් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා.

ඉතිහාසය විපරම් කරමු

වාහල්කඩක නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

දීඝවාපිය පිළිබඳ ව ප්‍රථමයෙන්ම ඓතිහාසික තොරතුරු අනාවරණය වන්නේ බුදුන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය පිළිබඳ තොරතුරුවලින්. බුදුහිමියන් කැලණිය, සමන්කූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී දිගාවැවට වැඩම කර සමාපත්ති සුවයෙන් වැඩ සිටි බව දීපවංශය සහ මහාවංශය සඳහන් කරනවා.

දීඝවාපිය ජනාවාස වීම මෙරට මුල්ම ජනාවාස අතරට ඇදී යනවා. පණ්ඩුවාසුදේව රජුගේ බිසව වූ භද්දකච්චායනාගේ සොයුරන් 8 දෙනෙක් ඉන්දියාවෙන් මෙහි පැමිණි බව ද, ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය නම්වලින් ජනාවාස පිහිටුවා ගන්නා ලද බව ද මහාවංය සඳහන් කරනවා. මෙම සොයුරන් අතරින් දීඝායු කුමරා ඇති කළ ජනාවාසය “දීඝායුගාම” නමින් හැඳින්වුණා. පසු ව එය දීඝවාපිය වූ බව පැවසෙනවා.

දාගැබේ දසුනක්- කුසුම්සිරි විජයවර්ධන

1953 දී දීඝවාපියට නුදුරින් කොණ්ඩවට්ටවන වැව අසලින් හමු වූ ටැම් ලිපියට අනුව මෙතෙර දිගාමඩුල්ල නම් පැරණි නාමය නිශ්චිත ව හඳුනාගත හැකියි. කාවන්තිස්ස රජු විසින් තම පුත්‍රයා වූ සද්ධාතිස්ස දිවයිනේ කෘෂි සංවර්ධනය සඳහා යැවූ අතර ඔහු දිගාමඩුල්ල පාලනය කරමින් සංවර්ධනය කර තිබනවා. පිය රජුගේ මරණින් පසු ගැමුණු කුමරු සමග ආරාවුලක් ඇතිකර ගත් සද්ධාතිස්ස කුමරා, තම මව වන විහාරමහා දේවිය රැගෙන පැමිණියේත් දිගාවැවට බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. දුටුගැමුණු රජ වූ පසු ව යළිත් සද්ධාතිස්ස කුමරා දිගාමඩුල්ලට යවා තිබෙනවා.

කණිට්ඨතිස්ස රජුගේ රන්පත

පැරණි මල් ආසනයක්- කුසුම්සිරි විජයවර්ධන

දීඝවාපී චෛත්‍ය නිශ්චිත ව කුමන කාලයක ඉදිකරන ලද්දක් ද යන්නට සෙල්ලිපි සාධක හමුවන්නේ නැහැ. මහාවංශය සඳහන් කරන්නේ සද්ධාතිස්ස රජු (ක්‍රි. පූ. 137- 119) “දිගා වෑ වෙහෙර ද සෑයක් සහිත කොට කර වීය. ඒ සෑය වසා එලන සත් රුවන් ඇමුණූ සැට්ටයක් කරවන ලදී.” ආදි වශයෙන්. දිගනකාදි වෙහෙර සද්ධාතිස්ස රජු විසින් කරවන ලද බව දඹදෙණි යුගයේ ලියන ලද පූජාවලියේ ද සඳහන් වෙනවා. දාගැබේ බටහිර වාහල්කඩෙන් හමු වූ කණ්ට්ඨතිස්ස රජුගේ (ක්‍රි. ව. 164-192) රන්පතකට අනුව ඔහු දාගැබ ප්‍රතිසංස්කරණයට දායකත්වය දක්වා තිබෙන බව හෙළි වෙනවා.  නක මහරජුගේ පුත්‍ර මලිතිස රජුගේ රන් දාගැබ යි යනුවෙන් රන්පතේ සඳහන්. මේ රන්පත සමග කුඩා කරඬු කිහිපයක් ද ලැබුණු අතර, ඒ අනුව දාගැබ්වල කොත් කැරැල්ල 2 වන සියවසේ දී නිර්මාණය වූ බවත් හෙළි වුණා.

වාහල්කඩක කල්ප වෘක්ෂ කැටයම්- කුසුම්සිරි විජයවර්ධන

මහාපරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි. ව. 1153 - 1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවැති බව මහාවංශයේ සඳහන් වෙනවා. දීඝවාපියෙහි ඇති වු කැරලි මර්දනයට පරාක්‍රමබාහු රජ සේනාධිපතිවරු යවා තිබෙනවා. ඒ කාලයේ දීඝවාපී විහාරය ද දියුණු මට්ටමක තිබෙන්නට ඇති බව පේනවා.

මහනුවර සමයේ දී ලියන ලද නම් පොත හෙවත් විහාර අස්න නම් ලේඛනයේ නඛා වෙහෙර ලෙස සඳහන් වන්නේ දීඝවාපී දාගැබ යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 - 1780) “නඛ” චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ සඳහන් වෙනවා. රජු විහාරයට කළ ප්‍රදානයක් ගැන ද සඳහන්. උඩරට සෙනරත් රජු ද (ක්‍රි. ව. 1604-1635)  මෙම විහාරයට පැමිණ වැඳපුදාගෙන තිබෙනවා.

නැවත සොයාගැනීම

පා දෝවනයට තැබූ පාදොනි- කුසුම්සිරි විජයවර්ධන

උඩරට රාජධානිය පිරිහී ගිය පසු ව ජරාවාස වූ දීඝවාපිය නැවත සොයාගන්නා ලද්දේ    මඩකලපු දිස්ත්‍රික්කයේ දිසාපති වශයෙන් සිටි සෝවිස් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් 1810 දී යි. පසු ව 1896 දී මඩකලපුව දිසාපතිවරයාගේ නියෝගයක් පරිදි දාගැබ හාරා තිබෙනවා. ඉන් දාගැබට විශාල හානියක් වූ බව පැවසෙනවා. ඒ අවධියේ දාගැබ් බිමේ තිබූ ගඩොල් සහ කළුගල් කණු වීරඅඩි අමුණ වැනි වාරිමාර්ග වැඩබිම්වලට ගෙනගිය බව සඳහන් වෙනවා. 1916 දී ගොඩකුඹුරේ රේවත හාමුදුරුවෝ මෙම ස්ථානයට විත්, ආවාසයක් තනාගෙන වැඩ වාසය කර තිබෙනවා. විහාරය දියුණු කිරීමට මුල් වූ උන්වහන්සේ 1950 දී වෙඩිතබා ඝාතනය කෙරෙනවා. එවකට එම ඝාතනය රට ම කනගාටුවට පත්කළ සිදුවීමක් වුණා.

පුරාවිද්‍යා කැණීම්

කැණීම්වලින් මතුකරගත් නටබුන් -srilankantravelnotes.com

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දීඝවාපිය හා තදාසන්න ප්‍රදේශ ගවේෂණය කර තිබෙනවා. දීඝවාපිය පැරණි ජනාවාසය ව. කි. මී. 64ක භූමියක් පුරා විසිරී තිබෙනවා. මේ භූමි ප්‍රදේශය තුළ ප්‍රධාන ආරක්ෂිත ස්මාරක 38 පිහිටා තිබෙනවා. ආයතචතුරස්‍රාකාර මල් ආසනයක් ද මෙහි තිබී හමුවුණා. පොළොන්නරුවේ රජ කළ ලීලාවති රැජනට සහ සාහසමල්ලට අයත් කාසි රාශියක් ද මෙහි කැණීම්වලින් හමුවුණා. එකල සියලු අංගවලින් පරිපූර්ණ මහා විහාරයක් වූ දීඝවාපි විහාරයට අයත් පුරාවස්තු අක්කර 1000කට ආසන්න පෙදෙසක පැතිර තිබෙන බව 1996-1999 දක්වා කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී හෙළිවුණා. ප්‍රතිමා ගෘහ, වාහල්කඩ, මල් ආසන, කවන්ධ බුද්ධ ප්‍රතිමා, නටබුන් ගොඩනැඟිලි, සිරිපතුල් ගල්, සඳකඩ පහණ, කොරවක්ගල්, පාදෝවන, ඡත්‍රගල්, පියගැටපෙළ, පැරණි පොකුණු, දාගැබ් ගොඩැලි, ප්‍රාකාර බැමි, කටාරම් ලෙන්, රාශියක් ද මෙම පුදබිම ආශ්‍රිත ව දැකගත හැකියි. දාගැබට නැගෙනහිරින් හමු වූ බෙහෙත් ඔරුවෙන් මෙහි රෝහලක් පැවති බව හෙළි වෙනවා.

මෑත සොයාගැනීම්

දාගැබ් බිමේ පැරණි ගොඩනැගිලි නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

2010 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ විධිමත් පර්යේෂණවලින් සලපතළ මළුවේ නටබුන් බොහොමයක්‌ අනාවරණය කර ගත්තා. ඇතුළු ප්‍රාකාරය, පිට ප්‍රාකාර, වැලිමළුව මෙන්ම පිවිසුම් දොරටු ද මෙම පර්යේෂණවල දී හෙළිදරව් වී තිබෙනවා. මෙම කැණිම්වලින් උක්‌කුටිකයෙන් සිටින රුවක්‌, ලැග සිටින ගවරුවක්‌, බුද්ධ ශිර්ෂයක්‌ මෙන්ම ලෝකඩ බෝධිසත්ව හා දේවරූප 07ක්‌ ඇතුළු පුරාවස්‌තු රැසක්‌ හමුවුණා. ඊට අමතර ව මෙම කැණීම් කටයුතුවල දී සලපතළ මළුවේ ගල් මත තිබී සෙල්ලිපි තුනක්‌ ද සොයාගත්තා. මෙම ලිපිවල අක්‌ෂරවලට අනුව ඒවා ක්‍රි .ව. 09 වන සියවසට අයත් බව කිව හැකියි. ඒ අනුව ක්‍රි .ව. 09 වන සියවසේ දී මෙහි සලපතළ මළුව ප්‍රතිසංස්‌කරණයට ලක්‌ වී ඇති බව පැහැදිලි වුණා.

දීඝවාපී චෛත්‍යයේ දැනට දැකගත හැක්කේ ගර්භය පමණයි. එහි උස මීටර් 22.41ක් වෙනවා. චෛත්‍ය කැණීමේ දී ප්‍රමාණ දෙකක ගඩොල් හමු වී තිබෙනවා. ගඩොල් සමහරක බ්‍රාහ්මීය අක්ෂර සටහන් කර තිබෙනවා. චෛත්‍යයේ ඉතිහාසය අනුරාධපුර මුල් යුගය දක්වා පැරණි බව පැවසීමට එම ගඩොල් සාධක සපයනවා.

මූලාශ්‍රයයන්:

අම්පාර දිස්ත්‍රික්කයේ පෞරාණික ස්මාරක- පුරාවිද්‍යා දෙපා.

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය - එල්ලාවල මෙධනන්ද හිමි

පුරාවිද්‍යා පාලන වාර්තා 1962-65

දැන් ඔබට මේ ලිපිය අපේ ස්මාර්ට් ඇප් එකෙන් පහසුවෙන් කියවන්න පුළුවන්.