මිහිදුම් සළු අතර සැඟවුණු ලිප්ටන් අසුන

හිමිදිරි උදෑසනක හපුතලේ දඹේතැන්න වතු යාය ඔස්සේ හෝ බණ්ඩාරවෙල නායබැද්ද වතු යාය ඔස්සේ ඇදෙන පටු මංපෙත් මතින් පූනාගල කඳු වැටියේ මුදුනට ළඟා වෙන අයෙක්ට ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ සතු මනස්කාන්ත දර්ශනයන් දැක ගැනීමට ලැබෙන බවට සැකයක් නැහැ. හෝටන් තැන්නේ පිහිටා ඇති ලෝකාන්තයට පමණක් දෙවැනි වන්නේ යැයි කියන මේ අපූරු ස්ථානය පිහිටා ඇත්තේ මුහුද මට්ටමේ සිට අඩි 6,000 ක් පමණ උසින්.

© James Crystler

මේ ලිපිය පූනාගල කඳු මුදුනේ සිට ශ්‍රී ලංකාවේ පළාත් 7 ක් පමණක් නොවෙයි හඳපාන්ගල වැව, චන්ද්‍රිකා වැව, උඩවලවේ වැව, වැඩිහිටිකන්ද කඳුවැටිය මෙන් ම හම්බන්තොට වරාය ද දැක ගත හැකි හපුතලේ ලිප්ටන් අසුන ගැන යි.

තෝමස් ලිප්ටන්ගේ තේ වතු යාය

තේ බොන්න ප්‍රිය කරන අයට ‘ලිප්ටන්’ කියන්නේ ආගන්තුක නාමයක් නෙමෙයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ඉපදී හැදී වැඩුණු තෝමස් ලිප්ටන්, ක්‍රිස්තු වර්ෂ 1890 දී ශ්‍රී ලංකාවට පැමිණ අක්කර 5,500 කින් යුතු දඹේතැන්න වතු යාය මිල දී ගන්නේ තමන්ගේ ම තේ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණෙන්. එසේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය හා සම්බන්ධ වූ ඔහු, තේ සඳහා ලෝක ප්‍රසිද්ධ ලිප්ටන් වෙළඳ නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ම දඹේතැන්න වතු යායේ තේ කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කළා.

තෝමස් ලිප්ටන්. © Library of Congress Prints and Photographs Division Washington, D.C.

පූනාගල කඳු මුදුනේ පිහිටා ඇති තමන්ගේ තේ කර්මාන්ත ශාලාවට නිතර ආ ගිය තෝමස් ලිප්ටන්, කඳු මුදුනේ දී දුටු සොඳුරු දර්ශනයෙන් වශී වූ බව සඳහන් වෙනවා. මේ නිසා ම විවේකයක් ලද විටෙක තේ කෝප්පයක් රස විඳිමින් ඒ මනරම් දසුන නැරඹීම සඳහා පූනාගල කඳු මුදුනේ ඔහු අසුනක් පිළියෙළ කර තිබෙනවා. අද ‘ලිප්ටන් අසුන’ නමින් හඳුන්වන්නේ එය යි.

ලිප්ටන් අසුනට යන පාර දිගේ

© R. Igor

ඌව පළාතේ මිහිදුමෙන් වැසුණු කඳුවැටි අතරේ සැඟ වී ඇති හපුතලේ නගරයේ සිට කිලෝ මීටර් 9 ක් ඈතින් දඹේතැන්න වතු යාය පිහිටා තිබෙනවා. එහි සිට තවත් කිලෝ මීටර් 6 ක් පමණ පූනගල කඳු මුදුනේ දඹේතැන්න තේ කම්හල ගොඩ නගා ඇති අතර එයට ළඟා විය හැක්කේ තේ වතු මැදින් වැටී ඇති පටු මංපෙතක් ඔස්සේ යි. ඊට අමතර ව බණ්ඩාරවෙල නායබැද්ද වතු යාය මැදින් ද පූනාගල කඳු මුදුනට ළඟා විය හැකි මාර්ගයක් පවතිනවා.

© Michael Wachs

මේ මාර්ග ද්විත්වය මනාව නඩත්තු කරන ලදුව හොඳ තත්ත්වයේ පැවතුණත් බස් රථයකින් ගමන් කළ හැක්කේ මුළු දුරෙන් කිලෝ මීටර් 4.7 ක ප්‍රමාණයක් පමණ යි. ඉන් පසු ව ගමනේ ඉතුරු කොටස පා ගමනින් හෝ කුඩා මෝටර් රථයකින් සම්පූර්ණ කළ යුතු වෙනවා. ලිප්ටන් අසුනට ඇතුළු වන මෝටර් රථ සඳහා රු. 100/- මුදලක් අය කරනු ලබනවා. පා ගමනින් යන අය සඳහා තේ වතු මැදින් අඩි පාරවල් වැටී ඇති නිසා මීටර් 500 – 800 ක් පමණ දුරක් මග හැරීමට ද හැකි යි. මෙසේ ලිප්ටන් අසුනට ළඟා වෙන අයෙක් ඒ සඳහා රු. 50/- ක ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම අනිවාර්ය යි.

හිමිදිරියේ සොඳුරු දසුන්

© Ben Tildesley

මේ විදියට පැහැදිලි දිනෙක ලිප්ටන් අසුනට ළඟා වෙන අයෙක්ට ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර, බදුල්ල, රත්නපුර සහ මොණරාගල දක්වා දැකිය හැකි බව පැවසෙනවා. එසේ ම කිරින්ද, මඩකලපු මෙන් ම මාතර දෙවිනුවර ප්‍රදීපාගාර ද ලිප්ටන් අසුනේ සිට දැක ගත හැකි යි. නමුත් මේ සුන්දරත්වය දැක ගත හැක්කේ හිමිදිරි උදයේ ම ලිප්ටන් අසුනට ළඟා වෙන අයෙක්ට පමණ යි. එයට හේතුව උදෑසන 8 වන විට පූනාගල කඳු මුදුන මිහිදුමෙන් වැසී යාම යි. නමුත් උණුසුම් කාලගුණයක් සහිත දිනයක දී නම් වාසනාවක් තිබුණොත් උදෑසන 10 ට පමණ ද ශ්‍රී ලංකාවේ කඳුකර සුන්දරත්වය දැක බලා ගැනීමට හැකියාව පවතිනවා.

© R. Igor

ලිප්ටන් අසුන ආසන්නයේ කළු තේ අලෙවි කරන තේ පැන්හලක් ද තිබෙනවා. මේ නිසා දශක ගණනාවකට ඉහත දී තෝමස් ලිප්ටන් සිදු කළා සේ ම උණු උණුවේ පොල් රොටී සමග තේ කෝප්පයක් රස විඳින ගමන් කඳුකරයේ මනහර දර්ශනයන්ගෙන් මුසපත් වන්නට සංචාරකයන්ට හැකි යි. එසේ ම ආඩම්බරකාර තේ වතු හිමිකරුවෙකුගේ ස්වරූපය මැනවින් විදහා දක්නට තෝමස් ලිප්ටන්ගේ අනුරුවක් ද ලිප්ටන් අසුනේ දී දැක ලබා ගන්නට ලැබෙනවා.

සිතුවම් පරදන සුන්දරත්වය

© Cecil Perera

තමන්ගේ සේයා රූ එකතුව උඩරට කඳුකරයේ සුන්දරත්වයෙන් පුරවා ගැනීමට ඡායාරූප ශිල්පියෙකුට ලැබෙන අනගි අවස්ථාවක් විදියට ලිප්ටන් අසුනට යන ගමන හැඳින්විය හැකි යි. අංශක 360 ක දර්ශන තලයකින් යුතු ලිප්ටන් අසුනේ සිට දැකිය හැකි හිරු උදාව, හරිත පැහැයෙන් වැසී ගිය තේ වතු මෙන් ම ජීවන ගමනට අත්වැලක් වන්නට තේ දළු නෙලන්නියන් ද කැමරාවට හසු කර ගැනීමට මෙහි දී හැකියාව ලැබෙනවා.

© Rochel Nilendra

එසේ ම ලිප්ටන් අසුනට ළඟා වෙන අතරතුර දී හමු වෙන තවත් සොඳුරු ආකර්ෂණයන් ද්විත්වයක් ලෙස කැතරින්ගේ අසුන සහ ළැමතොට දිය ඇල්ල සැලකෙනවා. එතරම් ජනප්‍රිය නොවන ළැමතොට දිය ඇල්ල පිහිටා ඇත්තේ දඹතැන්න වතු යායේ ම යි. නායබැද්ද වතු යායේ පිහිටා ඇති කැතරින්ගේ අසුනට බණ්ඩාරවෙල, දියතලාව සහ නමුණුකුල කඳුවැටිය දක්වා වන ඌව නිම්නය මනස්කාන්ත ලෙස දර්ශනය වන බව කියැවෙනවා.

© Daniel Schneider

කැතරින්ගේ අසුන ඒ නමින් හඳුන්වන්නේ තෝමස් ලිප්ටන්ගේ බිරිඳගේ නාමයෙන්. තේ අපනයන නිසා ධනවතෙකු බවට පත් වූ තෝමස් ලිප්ටන් නිරන්තරයෙන් ම තමන්ගේ මිතුරන් සමග ලිප්ටන් අසුනේ දී සන්ධ්‍යා සාද පවත්වා තිබෙනවා. මේ සාදයන්ට දෙස් විදෙස් නව යොවුන් තරුණියන්ගෙන් අඩුවක් පැවතී නැහැ. තමන්ගේ සැමියාගේ විනෝදකාමී ජීවිතය ගැන කලකිරීමට පත් වූ කැතරින්, නායබැද්ද වතු යායට ගොස් දුකෙන් කල් ගෙවූ ස්ථානය යි, අද ‘කැතරින්ගේ අසුන’ ලෙස හඳුන්වන්නේ.

සොබාදහමට ආදරය කළ පරිසරවේදියා

විනෝදකාමී ජීවිතයක් ගත කළ ද තෝමස් ලිප්ටන් සොබාදහමට ආදරය කළ පුද්ගලයෙකු බව පැවසෙනවා. ලිප්ටන් අසුනට ළඟා වන මාර්ගය දෙපස ඇති ගල් බැමිවල ලියා ඇති පරිසරයේ සහ ජලයේ ඇති වටිනාකම දැක්වෙන ඉංග්‍රීසි බසින් දක්වා ඇති නොයෙකුත් වැකි එයට සාක්ෂි සපයනවා. එසේ ගල් පුවරුවක් මත ලියා ඇති මේ වැකිය අදටත් වලංගු යි.

© Daniel Schneider

“කිසියම් පුද්ගලයෙක් යහපත් මිනිසෙකුට වීමට සිතන්නේ නම් ඔහු විසින් ප්‍රථමයෙන් ම ඉටු කළ යුත්තේ සත්ත්ව හිංසාවෙන් වැළකීම යි. අප සියලු දෙනා ම ජීවත් වන භූමිය එක ම සමාජයක් ලෙස සිතමින් එය ආදරය සහ ගෞරවය පැතිර වීම සඳහා යොදා ගන්න.”

කවරයේ පින්තූරය : (© Jayamal Cooray)

Related Articles