නිදහස් දාට භේද දුරලා නඟින අලගල්ල කන්ද

රංචු පිටින් එකතු වෙලා ජාති භේදයෙන් තොර ව නිදහස් දවසට තරණය කරන අපූරු කන්දක් ගැන ඔබ සමහරවිට අහලත් ඇති. ඒ තමයි අලගල්ල කන්ද. දහස් ගණනන් තරුණ වැඩිහිටි පිරිස එකතු වී මේ කන්ද  පෙබරවාරි 4 වැනි දා තරණය කරන්නේ 1948 දී ඉඳන් පැවතෙන සිරිතක් අනුව බවයි පැවසෙන්නේ.

නිදහසේ කන්ද

උඩරට ජනතාව හතරලියැද්ද හා තුම්පනේට මායිම්ව  ඉහළ නගින මේ කඳු පර්වත අතර සැඟ වී  අතීතයේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ගේ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර සිදු කළ බවත් පැවසෙනවා. උඩරට රාජධානියේ කඩඉමක පිහිටා තිබෙන බලන බළ කොටුව ද, අලගල්ල හා කඩුගන්නාව අතර පිහිටි නිසා, එහිදී ද සතුරාට එරෙහි ව ආක්‍රමණ එල්ල කිරීමට අලගල්ල කන්ද බෙහෙවින් ඉවහල් වී පැවති බව පේනවා.

 කන්ද ඈතට පෙනෙන අන්දම- සිලදීප  facebook page

අපේ රටට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීම සහ අලගල්ල කන්ද අතර ලස්සන උපහාස කථාවක් තියෙනවා. ඒක අහල ම කන්ද නගිමු:

1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබෙන බව‍ආරංචිය රට පුරා ගිහිං තියෙනවා. හැබැයි අලගල්ල පාමුල තුම්පනේ ගමේ මිනිසුන්ට ‘නිදහස’කියන්නේ මොකක්ද කියලා තේරිලා නෑ. සුද්දන්ගෙන් නිදහස ලබා දීමේ උත්සවය පවත්වන්නේ කොළඹ දි කියලා ගැමියන්ට ආරංචි වුණා. ගමේ තරුණ හා වැඩිහිටි පිරිස එකතු වෙලා නිදහස දෙන දින උදෙන් ම අලගල්ල නැඟ කොළඹ දිහා බලා ඉන්න තීරණය කෆළ් නිදහස දැක බලා ගැනීමට යි.

 අලගල්ල බෑවුමෙන් ගමන් කරන දුම්රිය- alaye.lk

පිරිස 1948 පෙබරවාරි 04 දින හිමිදිරියේ ම අලගල්ල කන්ද නැඟලා හවස් වනතුරු ම කොළඹ දිහා බලා හිටියත් මුකුත් දැකලා නෑ.  රෑ බෝ වෙනකොට මෙයාලා කන්ද බැහැලා එනවා දකින අනිත් ගම්වැසියන් ඔවුන්ගෙන් අහලා තියෙනවා “හැබෑට කොයි බොලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද?” කියලා. ඊට පස්සේ කඳු නැග්ග කට්ටිය “බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් නම් අපේ උපන්තේකට දැක්කෙ නෑ” කියලා කිව්ව ලු. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඉඳලා ගම අවට අනිත් කට්ටිය නිදහස් දා නිදහස කොහොමද  බලන්න අලගල්ලට නගින්න පටන් ගත්ත ලු.  ඒත් වෙලා තියෙන්නේ අර වැඩේ ම තමයි.

දශක ගණනාවක් තිස්සේ මහනුවර අවට අය විතරක් නොවෙයි, කෑගල්ල, මාවනැල්ල වගේ ම කොළඹිනුත් පසුගිය කාලේ අලගල්ල නගින්න යාම විනෝදයක් වුණා.

 කඳු තරණය අරඹමින් – සිලදීප  facebook page

කඳු තරණයට සූදානම් වීම

පසුගිය අවුරුදුවල කොවිඩ් අවදානම නිසා අලගල්ල නැගීම මඟ හැරුණත් මේ අවුරුද්දේ සමහර තරුණ පිරිස් කඳු තරණයට සූදානම් වෙනවා. කඳු පාමුල ගම්වල ජනතාව මානා, ඉලුක් වැනි තණ පඳුරු මෙන් ම වන පඳුරු ද වැවී මූකලානක් බවට පත් ව තිබෙන අලගල්ලට පිවිසෙන අඩි පාර එළිපෙහෙළි කරන්නේ පෙබරවාරි ළං වනවිට ම යි. ඒ නිදහස් දවසට කන්ද නගින්න පහසුවීමට යි. මේ නිසා පෙබරවාරි මාසය පුරා ම අලගල්ලට නගින්න කාටත් ඉඩ ලැබෙනවා. එම මාසය පුරාවට පවතින වියළි කාලගුණයත් එයට ඉඩ සලසනවා. මේ කාලෙට කූඩැල්ලන්ගෙන් වන පීඩාවත් අඩුයි.

 ඉහළ කෝට්ටේ දුම්රිය නැවතුම- Tharanayalk.blogspot.com

අලගල්ලට යන මාර්ග

අලගල්ලට යන මාර්ගවලින් එක් පාරක් වැටී ඇත්තේ කඩුගන්නාව පොත්තපිටිය මාර්ගයේ පැමිණි විට හමුවන, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලිනු යි.  එසේ නොමැති නම්, කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ පැමිණ, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස, අලගල්ල තේ කර්මාන්ත ශාලාව අසලට වැටෙන මාර්ගයේ පැමිණ ගමන් කිරීමටත් පුළුවන.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ වේදිකාවේ කෙළවරින් වම් පසට ඇති ගම්මාන හරහා යන  පඩි පේළිය ඔස්සේ ගමන් කිරීමෙන් ද කන්දට යන මාර්ගයට පිවිසිය හැකි ය. එම මාවතේ කිලෝ මීටර් තුනක් විතර පැමිණෙන විට අලගල්ල තේ කර්මාන්ත ශාලාව දැක ගැනීමට ලැබෙනවා. එතැනින් හැරී ඇති පටු මාර්ගයේ ගමන්කොට වනපෙතට පිවිසීමෙන් අලගල්ල මුදුනට ළඟාවිය හැකියි. එසේත් නොමැති නම්, ඉහළ කෝට්ටේට පෙර පිහිටි ගංගොඩ දුම්රියපළෙන් බැස, අලගල්ල නැගීමටත් පුළුවන්.

 ගංගොඩ දුම්රිය ස්ථානය- Tharanayalk.blogspot.com

 

අලගල්ල කන්දෙහි උස ම ස්ථානය වන පර්වතය තරණය කිරීම ඉතා දුෂ්කර කටයුත්තක්.  තරමක සුමට ගල් තලාවක් ඔස්සේ අඩි 30 ක් පමණ උසක් නැඟීමෙන් පසු, උරගයකු මෙන් බඩගා උඩට නැගිය යුතු වෙනවා. කඳු මුදුනේ සිය ගණනකට රැස් වීමට ඉඩකඩ සහිත තැනිතලාවක් පිහිටා තිබෙනවා.  

 පළාත් දෙකක් යා කරන කන්ද – සංචාරේ facebook page

අලගල්ල කන්ද

මධ්‍යම පළාත සහ සබරගමු පළාත් දෙකට අයත් ව පැතිර පවතින අලගල්ල කන්ද උඩරට දුම්රිය මාර්ගයේ යන විට පොල්ගහවෙල පසු වූ විට වම්පසින් මොල්ලියක හැඩයෙන්  දැක බලා ගැනීමට ලැබෙනවා. රඹුක්කන දුම්රියපොළ පසු වූ විට  මේ කඳු මුදුන වඩාත් සමීප ව දැකීමට හැකි යි. මේ කන්ද   මුහුදු මට්ටමින් අඩි 3586 ක් උසයි.  මේ කඳුවැටියේ කඳු හතරක් පිහිටා තිබෙනවා.  පළවෙනි කන්ද තමයි අලගල්ල කන්ද කියන්නේ. එක් කඳු මුදුනක් හඳුන්වන්නේ පූජා ගල කියලයි. අලගල්ල කන්ද රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් වෙනවා.   

උඩරට දුම්රිය ගමන් කරන්නේ  අලගල්ල කන්ද හාරා සකස් කළ බිංගෙයක් මැද්දෙන්.  උඩරට දුම්රිය මාර්ගයේ අංක 5 බිම්ගෙය වන හේනේපොළ බිංගෙයට පසුව ඇත්තේ කදුරාදෙණිය දුම්රියපොළයි. එතැන සිට හමුවන පර්වතයේ බිංගෙයත් සමඟ කැපුමක් හරහා කන්ද මැදින් දුම්රිය පාර නිර්මාණය කර තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ දී කන්ද හාරා ඇති අයුරු කදිමට දැකගත හැකි යි. ඉහළ කෝට්ටේ දුම්රිය පොළ මුලින් ම නම් කර තිබුණේ අලගල්ල කියලයි. 1976 දි අලගල්ල නම අයින් කර ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය ලෙස නම් කර තිබෙනවා.  

කන්දේ මුදුන ආසන්නය දක්වා ම රබර් වතු හා තේ වතු පැතිර තිබෙනවා. බොහෝ දුරක් යන තෙක් ජනාවාසත් දැකගත හැකියි. මහා වනාන්තරයක් නම් අද වන විට ඉතිරි ව නැහැ. කන්දේ තැනින් තැන වනාන්තර කුට්ටි ඉතිරි ව පවතිනවා. පුරාණ ජන කවියා අලගල්ල ගැන කියූ කවියක් අහල ම ඉතිරි ටික කියවමු:

අලට කන්න බැරි අලගල්ලේ    කන්ද
බතට කන්න බැරි බතලේගල  කන්ද
හූනට කන්න බැරි හුන්නස්‌ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද

කඳු මුදුනට පෙනෙන සොඳුරු දසුන් – සංචාරේ facebook page

කඳු තරණය

සෑම වසරක ම නිදහස් දා නිදහස බැලීමට අලගල්ල කන්ද නගින්න පුරුදු ව සිටියේ  කඩුගන්නාව හතරලියද්ද, මැණික්දිවෙල, අස්වැද්දුම හා තුම්පනේ ආදි වූ ගම්මානවල වැසියන් වුණත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. අද හුඟ දෙනෙක් අලගල්ල නැගීම විනෝදාංශයක් ලෙස සිදුකරනවා.

කඳු මුදුන මහනුවර අවට කඳුකරය මෙන් ම සබරගමු කඳුකරයත් අලංකාර ව දැකගත හැකි ස්ථානයක්. පොත්තපිටිය, හතරලියද්ද, මාවනැල්ල, රඹුක්කන,ඉහළ කෝට්ටේ ආදී පෙදෙස් කඳු මුදුනට සුන්දර ව දර්ශනය වෙනවා. 

ඈතින් කොළඹ නගරයේ ගොඩනැඟිලි අහස පැහැදිලි දිනවල පේනවා.  පහළින් පිහිටි උතුවන්කන්ද, බතලේගල කන්ද, ඌරාකන්ද ඉතා සුන්දර ව මෙහි දී දිස් වෙනවා. අලගල්ල මුදුනේ සිට ඇති කටුසු කොන්ද නම් දුෂ්කර මගේ  ගමන් කර කන්දේ තවත්  මුදුනක් වූ පූජාගල කන්ද මුදුනට ළඟාවීමට පුළුවන්.  පූජාගල කන්ද ඔස්සේ  වෙනත් මඟකින් ගංගොඩ දුම්රිය ස්ථානය පිහිටි තැනට බැසීමට හැකියාව පවතිනවා. 

පූජාගල කන්දේ දාගබ- alaye.lk

කන්දේ එක් කොටසක් වන  පුජා ගල පිහිටා ඇත්තේ අලගල්ල කඳු මුදුනේ ඉහළ කොටසේයි. මෑතක දී තැනූ කුඩා දාගබක්, ගලේ කෙටූ නූතන සිරිපතුලක් සහ කුඩා පොකුණක් එහි දකින්නට පුළුවන්. දාගබ  ඉදි කිරීම සඳහා ගල්, වැලි රැගෙන ගියේ, අලගල්ල තරණය කිරීමට යන මිනිසුන් බවයි කියවෙන්නේ.  

නිදහස් දිනයට පමණක් අලගල්ල කන්දට යන අඩි පාරේ ජංගම කඩපිල් ද දැකගත හැකියි. පසුගිය අවුරුදුවල (කොවිඩ් අවදානමට පෙර) ඒ කඩවල ටොපි, චොක්ලට් රටකජු,  වතුර බෝතල්, සිසිල්බීම රොටී, වඩේ, දොඩම්, තැඹිලි කුරුම්බා හා තැම්බූ බඩ ඉරිඟු ආදී ද්‍රව්‍ය අලෙවිය සිදු වුණා.  මේ නිසා අවට ගම්වැසියන්ට අමතර ආදායමක් සොයා ගැනීමටත් අලගල්ල නිදහස් කඳු තරණය හේතු වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- අලගල්ල කඳු තරණය- Roshan- සංචාරේ facebook page

මූලාශ්‍ර :

Dinamina.lk

Silumina.lk

Related Articles