Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්මිත ගල් වඩුවන්ගේ දෑතින් නිමවූ අසිරිමත් ඉසුරුමුණිය

“ඉසුරුමුණියේහී පැතලි ගලක ඒ ආලයෙ ලීලය පෑ…

විශ්මිත ගල් වඩුවාණෙනි ඔබ හට අපි ණයගැති නොවෙදෝ…”

මේ ගී පද පේළිය වර්තමානයේ නම් අපට වැඩිය අහන්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ඉසුරුමුණිය ගැන ගීතයකින් ගායනා කරන්නේ චිත්‍රා සෝමපාල කියන ගායිකාව.

“මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා, මා ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා… “ මේ ගී පද පෙළ නම් මට වගේම ඔබටත් හොඳට අහල පුරුදුයි නේද? ඒ අපි කවුරුත් දන්න සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ගීතයක ගී පද පෙළක්. “මේ තරම් සියුමැලිද කළු ගල්” ගීතයේ තවත් තැනක මෙහෙම කියවෙනවා.

“ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතනද කියා,

මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා,

කලා වැව ළඟ ඉළුක් හෙවනේ මැටි පිලක පැදුරක් එලා,

රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා…”

අතීතයේදී වගේම වර්තමනයේදිත් මේ විදිහට ඉසුරුමුණියේ සුන්දරත්වය ගීතයට නංවලා තියෙනවා. මේ ගීත වලින් කියවෙන්නේ අතීතයේ නිර්මාණශීලි ගල් වඩුවාගේ දෑතින් නිම වුන ලෝ පතල අසිරිමත් ඉසුරුමුණි කැටයම් ගැනයි.

අතීතයේ ජිවත් වුන නිර්මාණකරුවන්ගේ දෑතින් නිම වුන අති විශිෂ්ඨ නිර්මාණ අතරින් අදටත් ගොඩක් ප්‍රසිද්ධ නිර්මාණ තමයි ඉසුරුමුණිය, අවුකන බුදු පිළිමය, සමාධි බුදු පිළිමය වගේම ගල් විහාරයේ පිළිම. අද මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකික අපිට වටිනා සම්පතක් වෙන ඉසුරුමුණිය ගැන ඔබවත් දැනුවත් කරන්නයි.

ඉසුරුමුණි කැටයම් අති විශිෂ්ඨ කැටයම් බවට පත්වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි ඒ කැටයම් සියල්ල ජීවමාන රූප ලෙසින් දිස් වෙන තරමටම ඒවා අතිශය සියුම් විදිහට නිර්මාණය කර තිබීම. මේ නිසා ආගමික පදනම නැතිව වුණත් උසස් ඝනයේ කලා කෘතීන් විදිහට ඒවා කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තිබෙන ඓතිහාසික හා රමණිය ස්ථාන අතරින් ඉසුරුමුණියට හිමිවෙන්නේ අද්විතීය ස්ථානයක්. අනුරාධපුරයට පැමිණෙන සංචාරකයන් හා බැතිමතුන් කවුරුත් ඉසුරුමුණිය නරඹන්න අමතක කරන්නේ නැහැ. ඉසුරුමුණිය මේ තරම්ම ප්‍රසිද්ධ එහි ගල් කැටයම් නිසාමයි. සැබෑ රූප තරමටම ජීවමාන ගුණයක් තියෙන ඒ කැටයම් අදටත් මිනිස්සුන්ගේ හදවත් තුල ජීවමානව පවතිනවා.

ඉසුරුමුණියේ ඉතිහාසය

ඉසුරුමුණිය විහාරස්ථානය අද දිස් වන ආකාරය. රූපය: විකිපීඩියා Isurumuniya.jpg

ඉසුරුමුණිය විහාරස්ථානය අද දිස් වන ආකාරය. රූපය: විකිපීඩියා Isurumuniya.jpg

මුලින්ම ඉසුරුමුණියේ ඉතිහාසය ගැන හොයලා බැලුවොත් දැනට ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් බවට පත් වෙලා තියන මේ ඉසුරුමුණිය 19 වන සියවසේ මැද භාගය වෙනකම්ම ඝන කැලෑවකින් වැහිලා තමයි තියෙන්නේ. H. W. කේව් (H.W. Cawe) නමැති විදේශීය පඬිවරයා පසුගිය ශතවර්ෂයේ අග භාගයේදී ඉසුරුමුණියට යන අවස්ථාවේදී ඒ අවට ප්‍රදේශයේ කුඹුරු හා වැව් බැමි වල කිඹුලන් විශාල ගණනක් හිටපු බව ඔහු ලියු ග්‍රන්ථයක සඳහන් කරලා තියනවා.

ක්‍රි.ව. 1213දි මාඝගේ ආක්‍රමණයෙන් පස්සෙ සිංහලයන් නිරිත දිගට සංක්‍රමණය වුණා. මේ නිසා රජරට වල් බිහිවීම සමඟ ඉසුරුමුණිය වන සතුන්ගේ කෙලි බිමක් බවට පත් වුනත් අනුරාධපුර-පොළොන්නරු යුග වලදී මෙම ස්ථානය සිංහලයන් අතර ඉතා ජනප්‍රිය හා වැදගත් ස්ථානයක් බවට පත් වෙලා තිබුණේ.

ඉසුරුමුණි විහාරය

ඉසුරුමුණිය විහාරස්ථානයට පිවිසෙන ස්ථානයේ තියෙන මේ ඉපැරණි පඩිපෙළ. රූපය: Panoramio.com

ඉසුරුමුණිය විහාරස්ථානයට පිවිසෙන ස්ථානයේ තියෙන මේ ඉපැරණි පඩිපෙළ. රූපය: Panoramio.com

ක්‍රි.පූ. 250 – 210 කාලයේදී දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණියේ මුලින්ම බෞද්ධ විහාරයක් කරවූ බව මහා වංශයේ සඳහන් වෙනවා. 500ක් ඉසුරුමත් පුරුෂයින් මිහිඳු මහා රහතන් වහන්සේ වෙතට ඇවිත් පැවිදි වෙලා මේ විහාරයේ වැඩ විසූ නිසා මේ වෙහෙර “ඉසුරුමුණිය” කියලා හඳුන්වල තියනවා.

වසභ රජතුමා තමයි මුලින්ම ඉසුරුමුණි විහාරයේ පොහෝ ගෙයක් කරවලා තියෙන්නේ. ඒ වගේම තමයි ක්‍රි.ව. 209 – 231 කාලයේදී වෝහාරක තිස්ස රජතුමා ඉසුරුමුණිය වටා පවුර ඉඳිකරලා තියනවා.

මේ ස්ථානයේ තිබෙන විශේෂත්වය තමයි ඉසුරුමුණි පෙම් යුවල, මිනිසා සහ අශ්ව හිස, ඇත් රූප, දිය නාන ඇත් රජ හා දුටුගැමුණු රජ පවුල යන සියලුම රූප ශෛලමය (ගලින් නෙලන ලද) රූප වීම.

මිනිසා සහ අශ්ව හිස

මේ කැටයමේ දකින්න ලැබෙන මිනිසාගේ ඉරියව්ව ඉතාම දුර්ලභ, අසාමාන්‍ය එකක්. රූපය : amazinglanka.com

මේ කැටයමේ දකින්න ලැබෙන මිනිසාගේ ඉරියව්ව ඉතාම දුර්ලභ, අසාමාන්‍ය එකක්. රූපය : amazinglanka.com

ඉසුරුමුණියේ තිබෙන කැටයම් අතර “මිනිසා සහ අශ්ව හිස” අන්තර්ජාතික කීර්තියට පත් කලා නිර්මාණයක්. මේ කැටයම ගැන ලොව පුරා වෙසෙන අය විවිධ අදහස් පළ කරලා තියෙනවා. ලෝරන්ස් බෙනියොන් (Laurence Benyon) කියන ප්‍රකට කලා විචාරකයා මේ කැටයම හඳුන්වලා තියෙන්නේ එක් වරක් දැක්ක කෙනෙක්ට වුනත් කවදාවත් අමතක නොවෙන අන්දමේ විශිෂ්ට කලා නිර්මාණයක් ලෙසයි.

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහස් වලට අනුව මේ කැටයමින් පිළිබිඹු කරන්නේ කපිල සෘෂිවරයා බව සඳහන් වෙනවා. මේ කැටයම් ගැන දීර්ඝ වශයෙන් පර්යේෂණාත්මක ලිපියක් ඉදිරිපත් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාරණ ශුරීහු මේ කෘතියෙන් පෙන්නුම් කරන්නේ “පර්ජන්‍ය” හා “අග්නි” (පර්ජන්‍ය කියන්නේ වැස්ස වලාහක දෙචියන්, අග්නි යනු ගින්නට අධිපති දෙවියන්) ලෙසයි.

දිය නාන ඇත් රජ හා ඇත් රූප

රාජකීය ලක්ෂණ සහිත දිය නාන ඇත් රජුගේ කැටයම. රූපය : Albinger.me

රාජකීය ලක්ෂණ සහිත දිය නාන ඇත් රජුගේ කැටයම. රූපය : Albinger.me

මේ කැටයම් ඇති පර්වත පාමුල තිබෙන ගල් පොකුණේ ජල ක්‍රීඩා කරමින් සිටින ආකාරය කැටයම් කර ඇති ඇත් රූප වලින් පෙන්නුම් කරන්නේ වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයාගේ (පර්ජන්‍යගේ) පැමිණීම නිසා සතුටු වන ඇතුන් බව ආචාර්ය පරණවිතාරණ මහතාගේ මතයයි.

මිනිසා සහ අශ්ව හිස කැටයම වගේම දියකෙලිනා හස්තීන්ගේ කැටයම් දෙකත් භාරත දේශයේ පල්ලව කලා ශිල්ප සම්ප්‍රදායේ බලපෑම් පෙන්නුම් කරනවා.

දුටුගැමුණු රජ පවුල

මේ මූර්තිය පිටත සිට මෙහි ගෙන එන ලද්දක් බවට මත පළ වෙලා තියෙනවා. රූපය : Flickr.com

මේ මූර්තිය පිටත සිට මෙහි ගෙන එන ලද්දක් බවට මත පළ වෙලා තියෙනවා. රූපය : Flickr.com

ඉසුරුමුණියේදී අපිට දකින්න ලැබෙන තවත් ප්‍රසිද්ධ කැටයමක් තමයි දුටුගැමුණු රජ පවුල. මේ කැටයමෙන් පිළිබිඹු වෙන්නේ රජ වාසල දර්ශනයක් බව පරණවිතාරණ මහතාගේ මතයයි. මේ මුර්තිය පිටින් ගෙනවිත් මේ ස්ථානයේ සවිකරන ලද එකක් කියල සමහරු විශ්වාස කරනවා. දුටුගැමුණු රජ පවුල නමින් හඳුන්වන මේ කැටයමින් දැක්වෙන්නේ දුටුගැමුණු රජු ඔහුගේ බිසව සමඟ සාලිය කුමරුන්ගේ මාලිගයට ගොස් සාලිය – අශෝකමාලා සමඟ පිළිසදරේ දී සිටින ආකාරය කියලත් මහාචාර්ය පරණවිතාරණ මහතා ප්‍රකාශ කරලා තියෙනවා.

ඉසුරුමුණි පෙම් යුවල

ඉසුරුමුණිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වෙන්න ප්‍රධානතම හේතුව වුණේ  ඉසුරුමුණි පෙම් යුවලගේ කැටයම. රූපය : mysrilankatravel.com

ඉසුරුමුණිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වෙන්න ප්‍රධානතම හේතුව වුණේ  ඉසුරුමුණි පෙම් යුවලගේ කැටයම. රූපය : mysrilankatravel.com

ඉසුරුමුණියේ ඇති අතිශයින් ජනප්‍රිය, ලෝක ප්‍රකට කලා නිර්මාණය තමයි මේ ඉසුරුමුණි පෙම් යුවල දැක්වෙන කැටයම. මේ කැටයමින් පිළිබිඹු වෙන්නේ සාලිය – අශෝකමාලා යුවල බව විද්වතුන්ගේ මතයයි. ඒ වගේම ජනප්‍රවාදයේ පවතින තවත් මතයක් තමයි සටන් බිමට යන්න සුදානම් වෙලා ඉන්න සෙබලෙක් තම පෙම්වතියගෙන් සමුගන්නා මොහොත බවයි. හෙළ කලා කරුවන්ගේ අතින් නිමවුනු අති විශිෂ්ට නිර්මාණයක් විදිහට මේ “ඉසුරුමුණි පෙම් යුවල” හදුන්වන්න පුළුවන්. මේ මුර්තිය, අසල තිබෙන රන්මසු උයනෙන් ගෙනවිත් පස්සේ කාලේක දී මේ ස්ථානයේ සවි කරන ලද්දක් කියලා සමහරුන් විශ්වාස කරනවා.

5 වන සියවසට අයිති මේ අති විශිෂ්ට කලා නිර්මාණය ගුප්ත ශෛලියට නෑකම් කියනවා.

ඉසුරුමුණිය කියලා කියන්නේ ශ්‍රී ලාංකික අභිමානය ලොවට විදහාපාන තවත් ගොඩක් වැදගත් ස්ථානයක්. බොහෝ ප්‍රදේශ වල වනචාරීන් විදිහට නොදියුණු මිනිසුන් ජීවත් වුණු කාලයේ වුණත් අපි වගේ පුංචි රටක කලා ශිල්පීන් අදටත් හිතා ගන්න අපහසු විශිෂ්ට නිර්මාණ කරන්න සමත් වෙලා තියෙනවා. වර්තමාන කාලයේ මේ වගේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් දේවල් නැතිම තරම්.

ඒ නිසා මේ වගේ අසිරිමත් ස්ථාන රැක ගෙන මතු පරපුරටත් දායාද කිරීම අප සතු යුතුකමක් හා වගකීමක් නේද?

Related Articles