Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටා අපූරු ආපන ශාලා

අතට සල්ලි කීයක් හරි වැඩිපුර ලැබුණාම හොඳ ආපන ශාලාවකට (සිංහල අක්ෂර වින්‍යාසය අනුව ආපන ශාලාව යනුවෙන් දක්වන්නේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැලක් වන අතර ආපාන ශාලාව ලෙස සුරාසලක් හැඳින්වෙනවා) ගිහින් දිව පිනවන ආහාර වේලක් රස විඳින්න කවුරුත් කැමතියි. ඉඳලා හිටලා හෝ තමන්ගේ ආපන ශාලාවට ගොඩවෙන පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට ආපන ශාලා හිමියන් කැමති ඒ අපූරු අත්දැකීම් කටින් කට ගිහින් අලුත් පාරිභෝගිකයන් පිරිසකුත් බිහි කර ගතහැකි නිසාවෙන්.

(mgmgrand.com)

ඇතැම් ආපන ශාලා හිමියන් පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙන්න ගන්නා ලද මේ උත්සාහයන් කොතරම් දුරදිග ගිහින්ද කියනවා නම් ඔවුන්ගේ ආපන ශාලා අමුතු අවන්හල් විදියට සංචාරකයන් අතර මෙන්ම ලෝකය පුරාද ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ ඒවායේ දක්නට ලැබෙන අපූරු ලක්ෂණ හේතුවෙන්. මේ එවැනි ආපන ශාලා කිහිපයක් ගැන තොරතුරු.

Ithaa Undersea Restaurant

මුහුදු මට්ටමේ සිට අඩි දහසයක් පමණ යටින් ගොඩ නංවා ඇති මේ අපූරු අවන්හල පිහිටා ඇත්තේ මාලදිවයිනට අයත් රැංගාලි නම් දූපතේ. 2005 වසරේ විවෘත කරන ලද මෙහි හිමිකාරීත්වය දරන්නේ හිල්ටන් හෝටල් සමූහය යටතේ පාලනය වන කොන්රාඩ් හෝටල් සමූහය වන අතර මෙහි එකවර පුද්ගලයින් 14 දෙනෙකුට ආහාර ගැනීමට ඉඩ පහසුකම් සලසා තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම අවන්හල මගින් දහවල් සහ රාත්‍රී ආහාර පිළි ගන්වන අතර ඒවා බොහෝමයක් මාලදිවයිනේ සහ බටහිර රටවල ආහාර සංයෝග කිරීමෙන් සැකසූ ඒවා.

(valenaovale.com.br)

විනිවිද පෙනෙන ඇක්‍රිලික් වීදුරු යොදා ගනිමින් සිලින්ඩරයක හැඩයට සකස් කර ඇති මෙය, අවන්හල තුළ සිටින පුද්ගලයන්ට මුහුද යට අංශක 270 ක මනස්කාන්ත පරිදර්ශනයක (panoramic view) අපූර්වත්වය විඳ ගැනීමට ඉඩ සලස්වනවා. මේ අපූරු අවන්හල පිවිසෙන දොරටුව මුහුදු මට්ටමෙන් ඉහළ පිහිටා ඇත්තේ පිදුරු සෙවිලි කළ කුඩා මණ්ඩපයක් ලෙසයි. මුහුදු ජලය මගින් අවන්හල් ගොඩනැගිල්ලට සිදු කරන ඛාදනය සහ ඒ මත වැඩෙන විවිධ මුහුදු පැළෑටි වැනි සාධක සලකා බලා ඉංජිනේරුවන් විසින් මෙම අවන්හල වසර 20 ක ජීව කාලයකින් යුක්ත වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. දැනට ම දොළොස් වසරක් ඉක්ම ගොස් තිබෙන නිසා Ithaa Undersea Restaurant හි ආහාර වේලක් රස විඳින්න කැමති අය හැකි ඉක්මනින් ඉඩක් වෙන් කරවා ගැනීම ඇඟට ගුණයි.

Cat Café Nekorobi

පූසන්ට ආදරේ කරන අය අනිවාර්යයෙන්ම යා යුතු මේ අවන්හල පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරයි. කෝපි කෝප්පයක් බොන අතරේ පූස් සුරතලෙක් එක්ක විවේකයෙන් කාලය ගත කරන්න හැකි ආකාරයටයි මේ අවන්හල නිර්මාණය කර තිබෙන්නේ. ඊට අමතර ව මේ අවන්හලට පැමිණෙන ගනුදෙනුකරුවන්ට පොත් කියවන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සංගීතයට සවන් දෙන්න වගේ ම චිත්‍රපට නරඹන්න අවශ්‍ය කරන පහසුකම් අවන්හල් හිමියන් සලස්වා දී තිබෙනවා.

(greatlost.com)

පූස් සුරතලුන්ට අමතර ව Cat Café Nekorobi ජපන් ජාතිකයන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔවුන් විසින් සපයන මීසෝ සුප් බඳුන (එනම් සහල්, බාර්ලි, සෝයාබෝංචි සහ මුහුදු ආහාර යොදාගෙන සකස් කරන සාම්ප්‍රදායික ජපන් ආහාරයක්) නිසායි. ඒ වගේම රාත්‍රී ආහාර වේලට මේ අවන්හලට ගොඩ වුණොත් බිම් විදුලි පහනක් වටේට රවුමට වාඩි වෙලා පූස් සුරතලුන් සන්සුන්ව තම තමන්ගේ රාත්‍රී ආහාරය භුක්ති විඳින ආකාරය දැක බලා ගන්න පුළුවන්.

Safe House Restaurant

(pinterest.com)

1966 දී විවෘත කරන ලද මේ අවන්හල පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ විශාලතම නගරය වන මිල්වෝකි නගරයේයි. අවන්හල තුළ දක්නට ඇති සෑම දෙයක් ම රහස් ඔත්තු සේවයට සම්බන්ධ තේමාවක් මත පදනම් වෙමින් නිර්මාණය කර ඇති අතර ඩේවිඩ් ජේ. බෝල්ඩ්වින් විසින් මේ අපූරු අවන්හල සැලසුම් කිරීමේ දී පාදක කර ගෙන තිබෙන්නේ ලෝක ප්‍රකට රහස් ඔත්තු සේවා මගින් යොදා ගන්නා Safe House හෙවත් ආරක්ෂිත නිවාස (එනම් පිටතට සාමාන්‍ය නිවසක් මෙන් පෙනෙන නමුත් බුද්ධි අංශ නිලධාරීන්ට රහසිගත ව එක්රැස් වී තම කටයුතු සැලසුම් කළ හැකි ස්ථානයක්) නම් සංකල්පයයි.

සත්‍ය ආරක්ෂිත නිවාසයකදී මෙන්ම මේ අවන්හලට ඇතුළු වීමේ දී ද මුරපදයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. අවන්හලට ඇතුළත් වන ගනුදෙනුකරුවෙක් සියල්ලටම ප්‍රථමයෙන් ‘ජාත්‍යන්තර අපනයන’ යනුවෙන් සඳහන් වන දොරටුව පිටුපස රැඳී සිටින විශේෂ නියෝජිතයාගෙන් මුරපදය අසා දැන ගත යුතු බවයි අවන්හලේ වෙබ් පිටුවේ සඳහන් වන්නේ. එසේම එක් වරෙකට අවන්හල තුළ රැස් විය හැක්කේ පුද්ගලයින් 12 දෙනෙකුට පමණයි.

Grotta Palazzese

දකුණු දිග ඉතාලියේ Polignano a Mare යනුවෙන් හැඳින්වෙන කුඩා ධීවර නගරය සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙන්නේ Grotta Palazzese අවන්හල නිසා කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. සියවස් ගණනකට කලින් (හරියටම කිව්වේ ක්‍රිස්තු වර්ෂ 1,700 දී පමණ) මුල් වරට මේ අවන්හල ගොඩ නංවා ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 74 ක් පමණ ඉහළින් පිහිටි හිරිගල් ගුහාවක් තුළයි.

(grottapalazzese.it)

මුල් කාලයේදී මෙම අවන්හල වංශවතුන්ගේ සැදෑ සාද පැවැත්වීම සඳහා යොදාගෙන තිබුණා. නමුත් වර්තමානයේදී ඕනෑම කෙනෙක්ට මැයි සිට ඔක්තෝම්බර් අතර කාලය තුළ (එනම් වසන්ත ඍතුවේ දී) මේ අවන්හලට ගොඩ වැදී තමන් ප්‍රිය කරන ඉතාලි ආහාර වේලක් රස විඳින්න පුළුවන්. ආහාර ගන්න කලින් ඇවිදින්න යන්න කැමති කෙනෙක්ට තවමත් ඉතුරු වී තිබෙන මධ්‍යතන යුගයේ පැවති නගරයේ පටු වීදි අතර සැරිසරන්න අවැසි පහසුකම් අවන්හල මගින්ම සපයා තිබෙනවා.

(grottapalazzese.it)

Restaurant en Kwekerij De Kas

නැවුම් එළවළු සහ පලතුරු භුක්ති විඳින්න නම් යා යුතු ම තැනක් තමයි නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නුවර පිහිටි මේ අවන්හල. මෙහි තිබෙන විශේෂත්වය තමයි ගනුදෙනුකරුවෙක් යම් ආහාරයක් ඇණවුම් කළ පසු අවන්හලට අයත් ගොවිපොළේ සහ හරිතාගාරවල වැවෙන එළවළු ඒ අවස්ථාවේ දී නෙළාගෙන අදාළ ආහාර වේල සකස් කිරීම. ඒ අනුව නැවුම් එළවළු යොදා ගනිමින් සකසන තමන්ගේ ආහාර ඇණවුම එළවළු නෙළන අවස්ථාවේ දී සිට රසවත් ආහාරයක්ව මේසයට පැමිණෙන තෙක් ම මනා ව අධීක්ෂණය කිරීමට ගනුදෙනුකරුවෙකුට ඉඩ සැලසෙනවා.

(restaurantdekas.nl)

මේ අවන්හල පිහිටි ගොඩනැගිල්ල සහ ගොවිපොළ 1926 වසරේ දී ගොඩ නංවා තිබෙන්නේ ඇම්ස්ටඩෑම් හි නගර සභාවට අයත් පැළ තවානයක් ලෙසයි. 2001 දී කඩා දැමීමට නියමිත වූ මෙය ගර්ට් ජෑන් හේජ්මන් නම් සූපවේදියා විසින් මිලට ගෙන Restaurant en Kwekerij De Kas නිර්මාණය කර තිබෙනවා. අද වනවිට අඩි විසි හයක පමණ උසකින් යුතු අවන්හ‍ලේ හරිතාගාරය තුළ සාමාන්‍ය එළවළුවලට අමතර ව ඖෂධමය පැළෑටි, මධ්‍යධරණී ශාඛ මෙන්ම ආහාරයට ගත හැකි මල් වර්ගද වගා කරනවා.

A380 In-Flight Kitchen

තායිවානයේ තායිපේ අගනුවර පිහිටා ඇති මෙම අවන්හලේ කරුණු කාරණා සියල්ලක්ම සිදු වෙන්නේ ගුවන් යානයක් තුළ කටයුතු සිදු වෙන ආකාරයටයි. නමුත් ගුවන් යානා තුළ දී සපයන ආහාරවලට වඩා රසවත් සහ විවිධත්වයකුත් යුතු ආහාර තම ගනුදෙනුකරුවන්ට සැපයීමට මෙහි කළමනාකාරීත්වය සැලකිලිමත් වී තිබෙනවා. තායිපේ අගනුවර පිහිටි සාමාන්‍ය වාණිජ ගොඩනැගිල්ලක පිහිටා ඇති මෙහි අභ්‍යන්තර මෝස්තර සඳහා වැය වී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2 ක් පමණ වෙනවා.

(fishki.net)

එකවර පුද්ගලයන් 84 දෙනෙකුට මෙහි ආහාර ගත හැකි අතර එම අසුන් 84 න් 20 ක් සැබෑ ගුවන් යානයක මෙන් ම පළමු පන්තියට අයත් ඒවා ලෙස නම් කර තිබෙනවා. පළමු පන්තියේ ආහාර වේලක් රස විඳින්නට කැමති අයෙක් කල් තබා තමන්ගේ අසුන වෙන් කර ගැනීම සිදුකළ යුතුයි. දහවල් සහ රාත්‍රී ආහාර සපයන මෙම අවන්හලේ ආහාර පිළිගැන්වීම සිදු කරන්නේ ගුවන් සේවිකාවන් මෙන් සැරසුණු හෝටල් සේවිකාවන් විසින්.

මූලාශ්‍ර: en.wikipedia.org, reuters.com, rd.com, oddstuffmagazine.com, placestoseeinyourlifetime.com

Related Articles