පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැරට නුදුරින් පිහිටි බකමූණ හුඟදෙනෙක් චාරිකාවලට යන පැත්තක් නම් නෙවෙයි. නමුත් බකමූණේ දැකබලාගත යුතු තැන් ගොඩක් තිබෙනවා. තැනිතලාව බිඳ ඉහළ නගින කඳුවැටි ඈතින් පෙනෙන අවට පරිසරයත් සුන්දර යි. ටික කාලෙකට ඉස්සර කවුරුත් බකමූණට ගියේ මාතලේ-දඹුල්ල පාරේ නාවුලින් හැරිලා ඇළහැර හරහා යි. දැන්නම් දඹුල්ලේ ඉඳන් කෙළින්ම බකමූණට යන්න පුළුවන් පාරක් වනය මැදින් කපලා තිබෙනවා. දඹුල්ලේ සිට දුර කි. මී. 24 යි. කොළඹ ඉඳින්ම දුර කි. මී. 182 යි.

කුඹුරු ගොවිතැන මුල්කරගත් කෘෂිකාර්මික ජනාවාසයක් වන මේ වනගත ප්‍රදේශයේ ජනාවාස ආරම්භ කරලා තිබෙන්නේ 1940 දශකයේ ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගේ කාලේ. ඒ නිසාම ඩී. ඇස්.ගේ ප්‍රතිමාවක් බකමූණ නගරය මැද ඉදිකරලා තිබෙනවා. පසුව මහවැලි ජී කලාපය යටතේ බකමූණ සංවර්ධනය වුණා. මහවැලි ක්‍රීඩාංගනයක් පිහිටා තිබෙන්නෙ මේ නගරයෙ යි.

අඹන් ගඟ

බකමූණ නගරය- කුසුම්සිරි විජයවර්ධන

බකමූණ අද වන විට දියුණු නගරාංගවලින් සමන්විත ප්‍රදේශයක්. ගිරිතලේ සිට එන ඇළහැර පාරත්, දඹුල්ලේ සිට දිවෙන හෙට්ටිපොළ පාරත් නගරය හරහා දිවයනවා. අසලින් ගලාගෙන යන අඹන් ගඟ ආරම්භ වන්නේ මාතලේ දුම්බර කඳු ආශ්‍රිතව හා නාලන්ද කඳුවලින්. වසභ රජු (ක්‍රි.ව. 67-111) විසින් මහවැලියේ ප්‍රධාන ශාඛාවක්‌ වූ අඹන්ගඟ, ඇළහැර නම් ස්‌ථානයේ අමුණු බැඳ හරස්‌ කිරීමෙන් වාරි තාක්‌ෂණයේ විශිෂ්ට නිර්මාණයක්‌ වන ඇළහැර අමුණ හා ඇළ (දිග කි.මී. 48) ඉදි කළා. පසුව මහසෙන් රජු මේ ඇළ තවත් දික්කළ බව ඉතිහාසයේ සඳහන්.

අඹන් ගඟේ සිරියාව අතරගල්ලෑව අසලදී- කුසුම්සිරි විජයවර්ධන

හීරටි ඔය, අම්බොකු ඔය, හා කළු ගඟ අඹන් ගඟේ අතු ගංගා වෙනවා. හීරටි ඔය සහ කළු ගඟ අඹන් ගංගාවට එකතු වන්නේ බකමූණ අසලින්. ගල් පර්වත පිරුණු නිම්නයක ගලායන අඹන් ගඟ ආශ්‍රිතව නටබුන් රාශියක් පැතිර තිබෙනවා.

ඇළහැර යෝධ ඇළ

ඇළහැර යෝධ ඇළ- කුසුම්සිරි විජයවර්ධන

අඹන් ගඟේම ජලයෙන් පිරී ප්‍රදේශයේ කුඹුරුවලට ජලය ලබාදෙමින් ගලායන මේ ඇළ අවට ඉතා සුන්දර වටපිටාවකින් යුක්ත යි. බොහෝ දෙනෙක් ස්නානය කිරීමට හා පිහිනීමටත් යෝධ ඇළට එනවා. කුඹුක් ඇතුළු ගස්වැල් පිරුණු ඉවුරකින් මේ මේ අවට කදිම තෙත්බිම් පරිසරයක් නිර්මාණය වෙලා.

යෝධ ඇළේ අමුණ- Wikipedia.org

මේ ඇළ බකමූණ නගරය මැදින් ගලා බසින අතර නගරය අසල එහි අමුණක් ද තිබෙනවා. එගොඩ මෙගොඩ වීමට බොහෝ තැන්වල ඇළ හරහා පාලම් තනා තිබෙනවා.

ඔරුබැඳි සියඹලාව

කඩාවැටුණු ඔරුබැඳි සියඹලාව- කුසුම්සිරි විජයවර්ධන

යෝධ ඇළ ඉවුරේ පිහිටි මේ සියඹලා ගස බකමූණේ තවත් වැදගත් සිහිටවනයක්. පුරාවිද්‍යා ආරක්ෂිත ශාකයක් වශයෙන් ද ප්‍රකාශිත මේ ගස පසුගිය දා කඩා වැටුණා. දැන් එහි කඳ දිරාපත් වෙමින් තිබෙනවා. මහසෙන් රජු ඇළහැර ඇළ දිගේ ගමන් කරන අතර මේ ගසේ ඔරුව බැඳ තැබූ බව ජනප්‍රවාද පවසනවා.

සියඹලාව මහසෙන් දේවාලය- කුසුම්සිරි විජයවර්ධන

මහසෙන් රජුට කැප කළ දේවාලයක් ද මේ අසල තිබෙනවා. මේ ගම හඳුන්වන්නෙත් “සියඹලාව” කියලයි.

බුදුරුවයාය

ශෛලමය සැතපෙන පිළිමය- කුසුම්සිරි විජයවර්ධන

බකමුණ නගරයේ සිට හෙටිටිපොළ මහා මාර්ගයේ  කිලෝමීටර් 6ක් පමණ ගමන් කරන විට, බුදුරුවයාය සැතපෙන බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින නටබුන් සහිත විහාර බිමට ළඟා වීමට හැකියි. පුරාවෘත්ත කියන්නේ මේ පිළිමය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් බව යි. පිහිටි ගලක නෙළා ඇති පිළිමය දිගින් අඩි 25ක්. එය සියුම්ව නිමාකර ඇති බව පේන්නෙ නැහැ. මුහුණ පසුකාලීනව විනාශ කර තිබෙනවා. ඒ නිදන් හොරු බව පේනවා. මෙවැනි විශාල කළුගල් පිළිම තවත් ඇත්තේ පොළොන්නරුව ගල් විහාරයේ සහ තන්තිරිමලේ පමණ යි.

නටබුන් වූ දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

විහාරය පිහිටා ඇත්තේ අඹන් ගඟ ඉවුරේ වස්ගමුව ජාතික උද්‍යානයට මායිම් වෙමින්. වස්ගමුව අලි විදුලි වැට විහාර බිම මායිමේ සිට පැතිර යනවා. හීරටිය ඔය මේ විහාරය අසලින් අඹන් ගඟට එක්වෙනවා. පිළිමයට නුදුරින් දාගැබක නටබුන් තිබෙනවා. එය වටා යනසේ ගඩොලින් කළ මළුවකින්ද යුක්ත යි. ගල්කණු, ගල් මලසුන් ආදියත් මෙහි දක්නට ලැබෙනවා. තවත් කුඩා දාගැබක් ද ඒ අසල පිහිටා තිබෙනවා.

පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගයක් බවට විශ්වාසකරන ස්ථානයක නටබුන් දක්නට ලැබෙන්නේ මෙම සැතපෙන පිළිමයට කිලෝමීටර් හයක් පමණ මහා වනාන්තරයක් තුළ යි.

කුමාරයා පැන්න වළ

කුමාරයා පැන්න වළ අවට- කුසුම්සිරි විජයවර්ධන

බුදුරුවයාය විහාරය අසලින් අඹන් ගඟට පිවිසීමෙන් දැකගත හැකි ස්ථානයක්. නමුත් ගම්වැසි කෙනකුගේ උපකාරයකින් තොරව ගමන් කිරීම නම් අවදානම් වන්නේ අලි වැට පැන වස්ගමුව වනාන්තරය ඔස්සේ යා යුතු නිසා. මෙහි දී විශාල පර්වත දෙකක් මැදින් අඹන් ගඟ ගලාගෙන යන්නේ අඩි කිහිපයක විවරයක් තුළින්. ඒ අවට ගඟ ඉතා ගැඹුරට හෑරී වළක් නිර්මාණය වී තිබෙනවා. පුරාණ රජ සමයේ මෙහි පාලමක් තිබූ බවට සලකුණු ගල් පර්වතවල හාරා තිබෙන කණු සවිකළ සලකුණුවලින් පේනවා. මහසෙන් රජගේ පුතකු වූ නාමල් කුමාරයා මේ ප්‍රදේශය පාලනය කළ බවත් ඔහු යුද්ධයක් පැරදීමෙන් පසු බිසව ද සමඟ මෙතැනින් ගඟට පැන දිවි නසාගත් බවත් ජනප්‍රවාද පවසනවා. මෙම වළෙහි වස්තුව නිධන් කර ඇති බවට විශ්වාසයක් ද ගැමියන් අතර තිබෙනවා.

ජල මණ්ඩපය

වනගත සුන්දරත්වය- කුසුම්සිරි විජයවර්ධන

කුමාරයා පැන්න වළට නුදුරින් ගංගා ඉවුරේ පිහිටි සුදු පැහැති තිරුවානා ගල් පර්වතයක් මත තැනූ මණ්ඩපය, රජ කාලේ ජල ක්‍රීඩාවලට භාවිත කළ බවයි පේන්නේ. දිගින් හා පළලින් මීටර් දෙකහමාරක් පමණ වන එහි සිට දියට බැසීමට පිටගැට කපා තිබෙනවා. හතර පැත්තේ වූ සිදුරුවලින් පේන්නේ කණු සවිකර පියස්සක් සකසා තිබෙන්නට ඇති බවයි. නිතර ජලයෙන් බැටකෑම නිසා මේ නිමවුම ඉතා සුමටව ඔපවත් වෙලා.

කළු ගඟ මෝය

මෝයට නුදුරින් අඹන් ගඟ- කුසුම්සිරි විජයවර්ධන

දුම්බර කඳුවැටියේ කළුපහන කන්දෙන් ආරම්භ වන කළු ගඟට වනමැදින් ගලා එන අඹන් ගඟ එක්වන්නේ ජල මණ්ඩපයට නුදුරින්. මෝයට පහළින් ගඟේ ජලය වැඩි අතර ගඟ පළලින් ද වැඩියි. ගං මෝයෙන් ඉහළට අඹන් ගඟ ගලායන්නේ ගල්පර්වත පිරුණු පටු නිම්නයක් ඔස්සෙයි.

කුමාරඇල්ල නටබුන්

ඡන්තාඝරයේ නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

බකමූණට නුදුරින් පිහිටි ගම්මානයක් හඳුන්වන්නේ කුමාරඇල්ල කියලයි. එහි ළඟ දී හදපු හෙට්ටිපොළ පාර අද්දර අතරගල්ලෑව පාලම ළඟ පිහිටි නටබුන් බිම මතුකර ගෙන ඇත්තේ 2004 වර්ෂයේ දී. හෙට්ටිපොළ පාර හදන විට එම නටබුන් මතු වූ නිසා පසුව මාර්ගය නටබුන්වලින් පිටතින් දිවයන පරිදි තනා තිබෙනවා. නටබුන් අසලින් අඹන් ගඟ ගලාගෙන යනවා. මෙහි දක්නට ලැබෙන්නේ පැරණි ඡන්තාඝරයක්. එය භික්ෂූන් වහන්සේ රෝගී අවස්ථාවන් වල දී උණුපැන් ස්නානයට සහ ඔසු ජලය ස්නානයට යොදාගත් තැනක්. බෝධිඝරයක් ද ඒ අසල තිබෙනවා.

බක්අමුණ පතහ

බක්අමුණ පතහ වැවක් බවට පත්ව- කුසුම්සිරි විජයවර්ධන

බකමූණට නම ලැබුණේ මෙම ජලාශය හින්දයි. එහි විශාල පතහක් (ජලාශයක්) තිබුණු නිසා බක් අමුණ පතහ කියල තිබෙනවා. පසුව එය බකමූණ බවට පත්වෙලා. අද මේ ජලාශය වැවක් ලෙස ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. එය අයත් වන්නේ මින්නේරිය ගිරිතලේ රක්ෂිත වනාන්තරයට යි. ඒ අවට බහුලව අලිඇතුන් ගැවසෙන නිසා අලි විදුලි වැටක් ද ඉදිකර තිබෙනවා. මෙයට ගමන් කිරීමට නම් බකමුණ දඹුල්ල පාරේ මඳ දුරක් ගොස් හැරී යා යුතු යි.

පුවක්ගහ උල්පත

උල්පතෙන් තැනූ වැව- කුසුම්සිරි විජයවර්ධන

මෙය වනාන්තරය මැද තිබුණු දිය නොසිඳෙන උල්පතක්. පසුව එහි ජලය යොදාගෙන වනසතුන්ට දියබීමට වැවක් තනා තිබෙනවා. බකමූණ-දඹුල්ල පාරේ ගොස් ගුරු පාරක ගමන් කර අලිවිදුලි වැට පැන මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිතයට ඇතුළුවීමෙන් මේ උල්පතෙන් තැනූ වැව නැරඹීමට පුලුවන්. අපට නම් මියගිය අලින්ගේ ඇටසැකිලිත් එහි දැකගන්නට ලැබුණා. අපූරු වනගත පරිසරයක් මෙහි පිහිටා තිබුණත් අලිඇතුන් බහුල නිසා ගම්වැසියන්ගේ උපකාරය නැතුව ගමන් කිරීම සුදුසු නැහැ.

වස්ගමුවේ නටබුන්

වස්ගමුව- කුසුම්සිරි විජයවර්ධන

වස්ගමුව වනාන්තරය බකමූණට යාබදව පැතිර යනවා. අඹන් ගඟෙන් එතෙර වූ විට පැතිර යන්නේ ඝන වනාන්තරය යි. මේ වනය මැද සුදුකන්ද කඳුවැටිය දක්නට පුලුවන්. ගම්මාන අවට පිහිටි වනාන්තරය වවේටම විදුලි වැටක් ඉදිකර තිබෙන්නේ අලි ගම්වැදීම වැළැක්වීමට යි. මේ වනාන්තරය තුළ පොළොන්නරු යුගයට අයත් නටබුන් රාශියක් පැතිර තිබෙනවා. ඒවා සංරක්ෂණය කර නැහැ. ගමන් කිරීමත් දුෂ්කර යි.

මැණික් ගැරීම නිසා අඹන් ගඟ දෙපස ඉවුරට විශාල වශයෙන් හානි වී තිබෙනවා. මේ නිසාම වනජීවී කාර්යාලයක් ද බුදුරුවයාය අසල වන මැද පිහිටුවා තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර:

ගිරිදුර්ග ඔස්සේ- කුසුම්සිරි විජයවර්ධන

ලංකාවේ පුරාතන වාරිමාර්ග- ආර්. එල්. බ්‍රෝහියර්

කවරය:

ගල්පර්වත අතරින් වනමැදින් ගලනා අඹන් ගඟ- කුසුම්සිරි විජයවර්ධන