අපි අතරින් හුඟදෙනෙක් දැදිගම ආසන්නයෙන් නුවර පාරේ ඕනෑතරම් යන්න ඇති නේද? ඒත් නෙලුම්දෙණියෙන් හැරිලා දැදිගමට ගිහින් ඓතිහාසික කොටවෙහෙර දැකබලාගන්න උනන්දු වුණේ නැති බවට නම් සැකයක් නෑ. මහා පරාක්‍රමබාහු උපන් ස්ථානයේ (සූතිඝරයේ) හදපු කොටවෙහෙර දාගැබ අපේ දාගැබ් ඉතිහාසයටත් වැදගත් මතක සටහනක් එකතු කරන ස්මාරකයක්. ඒ වගේ ම වැදගත් ඓතිහාසික සහ පුරාවිද්‍යා මතක සටහන් රාශියක් පිරිවරාගත් ස්ථානයක්. මහනුවර යුගයේ දී උඩරට දක්වා වූ මාර්ගය තිබී ඇත්තේ ද දැදිගම අරන්දර හරහා යි.

යන්නේ කොහොමද?

 දැදිගම විහාර බිම - කුසුම්සිරි විජයවර්ධන

කොළඹ නුවර පාරේ 66-67 කි. මී. කණු අතර පිහිටි නෙලුම්දෙණිය හන්දියේ දැදිගම කොටවෙහෙරට මඟපෙන්වන පුරාවිද්‍යා නාම පුවරුවක් තිබෙනවා. එතැනින් හැරී ගලපිටමඩ පාරේ කි. මී. 3ක් ගමන් කරන විට අපි පිවිසෙන්නේ දැදිගමට යි. අවිස්සාවේල්ල කෑගල්ල පාරේ පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකියි.  දැදිගම පිටිසර සුන්දරත්වය රැකී පවතින ගම්මානයක්.

සූතිඝර දාගැබ ඇතුළු  පුරාවිද්‍යා නටබුන් පිහිටා තිබෙන්නේ මාර්ගය අද්දර ම යි. දැදිගම කඳු පන්තියකින් වට වූ නිම්න භූමියක්. දාගැබ පිහිටා තිබෙන්නේ ජයලත් කන්ද නම් කඳු බෑවුම පාමුල යි. එයට නුදුරින් කෙත්යාය පිහිටා තිබෙනවා. දැදිගම රජමහා විහාරයත් ඒ අසල ම දැකගත හැකියි.

ඉතිහාසය

කොටවෙහෙරේ පේසා වළලු- කුසුම්සිරි විජයවර්ධන

පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ යනුවෙන්. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම්වලින් පැරැණි ලේඛනයන්හි මෙන්ම වංශ කතාවන්හි දී ද මේ ගම හැඳින්වෙනවා. පාලි භාෂාවෙන් ‘පුංඛ’ යන්නෙහි අර්ථය ඊතලයෙහි පිටුපස නොහොත් පිහාටුව නම් කොටස යි. එය දැත්ත ලෙසින් ද සිංහලෙන් හඳුන්වන අතර ‘පුංඛගාම’ නොහොත් දැතිගම පසු ව කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙනවා.

මානාභරණ නම් යුවරජු දොළොස්වන ශත වර්ෂයේ දී දක්‍ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කරගනිමින් ප්‍රදේශය පාලනය කළ බව සඳහන්. ඒ රජුගේ බිසව වූයේ රත්නාවලී කුමරිය යි. රත්නාවලී බිසව දැදිගම දැනට කොටවෙහර දාගැබ පිහිටි ස්ථානයේ දී කුමරෙකු බිහි කළා.

ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජෙක් වශයෙන් කීර්තිමත් වූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153 – 1186) ලෙස රාජාභිෂේක ලබන්නේ මෙසේ උපදින පුත් කුමරුවා යි. කුමරා උස් මහත් වී මුලින්ම දක්ෂිණ දේශයේ මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වෙනවා.

පේසා වළලු අතර තිබෙන කුඩා ස්තූපය- කුසුම්සිරි විජයවර්ධන

ඔහු තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟනවා. පසු ව මුළු රටම එක්සේසත් කර පොළොන්නරුවේ රජ වූ පසු එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවනු ලබනවා. එය කොටවෙහෙර සම්ප්‍රදායට අයත් දාගැබක්. කොටවෙහෙර කියන්නේ දේවතා කොටු සහ කොත්කැරැල්ල රහිත දාගැබක්. උපන් ස්ථානයේ ඉදිකළ නිසා සූතිඝර චෛත්‍යය වශයෙන් එය ප්‍රකට වෙනවා. ඒ රජු, මෑණියන් ආදාහනය කළ ස්ථානය වූ බුත්තල යුදගනාවේත් රත්නාවලී චේතිය නමින් කොටවෙහෙරක් ඉදිකළා.

ඉන් අනතුරුව දැදිගම රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නේ ගම්පොළ යුගයේ දී.  ගම්පොළ 5 වන පරාක්‍රමබාහු රජු (1344-1359) දැදිගම සිට පාලන කටයුතු ගෙනගොස් තිබෙනවා. ගම්පොළ යුගයේ දී දැදිගම විශාල ආගමික ප්‍රබෝධයක් තිබූ ස්ථානයක් ද  වුණා. එහි ගතාරා නමින් පිරිවෙනක් ද තිබුණා.

සෙල්ලිපිය

විහාරයේ ඇති දැන්වීම් පුවරු- කුසුම්සිරි විජයවර්ධන

දැදිගම අභයදාන සෙල්ලිපිය අද දැදිගම විහාර භූමියේ පිහිටුවා තිබෙනවා. එය හයවන බුවනෙකබාහු (1469-1480) රජ දවස පිහිට වූ සෙල්ලිපියක්. දැදිගම කැරැල්ලකට සම්බන්ධ පිරිසකට රජු විසින් සමාව දී අභයදානය ලබාදීම ගැන එහි සඳහන්.

කොටවෙහෙර

දාගැබේ ගර්භය-1bp.blogspot.com

මේ ප්‍රදේශයේ 1890 දී මුලින්ම ගවේෂණය කළ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ගඩොලින් හා ලදු කැලයකින් වැසීගිය ගඩොල් ගොඩැල්ලක් ගැන සඳහන් කරනවා. කිසිදිනක සම්පූර්ණ කර නැති එය දැනුදු ගැමියන් කොටවහෙර නමින් හඳුන්වන බව ද ඔහු සඳහන් කරනවා. පෘතුගීසි පාලන සමයේ මේ දාගැබේ ගඩොල් ගෙන ගොස් මැණික්කඩවර සහ හොලොම්බුව බලකොටුවලට යොදාගත් බව බෙල්ට අසන්නට ලැබී තිබෙනවා.

පසු ව 1930 දී එච්. ඩබ්. කොඩ්රිංටන් මත පළ කරන්නේ, මේ දාගැබ පළමුවන පරාක්‍රමබාහු රජු උපන් ස්ථානයේ ඉදිකළ දාගැබ බවට යි. වර්ෂ 1947 දී දාගැබේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරනවා. එහි දී පස් අතර තිබී පළමුවන පරාක්‍රමබාහු නම සඳහන් කාසියක්, සාහසමල්ල නම සඳහන් කාසි, සහ තුන්වන රාජරාජ චෝල රජුගේ කාසියක් හමු වී තිබෙනවා. පස් ඉවත්කර මතුකර ගත් විට දාගැබේ උස අඩි 47ක් සහ වට ප්‍රමාණය අඩි 804ක් වූ විශාල දාගැබක් හෙළි වෙනවා.

පේසාවළලු තුනක් සහිත ගර්භයකින් දාගැබ සමන්විත යි. දාගැබ මතුපිට තැනිතලා ස්වරූපයකින් යුක්ත යි. එම දාගැබේ පේසා වළලු අතර කැණීම් කරන විට 1958 දී  කුඩා දාගැබක් ද හමුවෙනවා. කුඩා දාගැබ පේසාවළලු තුනකින් සමන්විත යි. දැනටත් එය අපට දැකගත හැකි ලෙස ඉතිරිකර තිබෙනවා. පරාක්‍රමබාහු රජු මුලින්ම ඉදිකළ දාගැබ එය බවට විශ්වාස කරනවා.

පුරාවස්තු

දාගැබෙන් හමු වූ මහාමේරු ගලක්- කුසුම්සිරි විජයවර්ධන

1947 සිට සිදුකළ කැණීම්වලින් සහ පසු ව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කළ කැණීම්හි දී කොටවෙහෙර සම්බන්ධ ව තොරතුරු රාශියක් අනාවරණය කරගැනීමට හැකි වුණා. 1951 දී චෛත්‍ය තුළ වූ ධාතු ගර්භවලින් පුරාවස්තු රාශියක් හමුවුණා. දාගැබෙන් ප්‍රධාන නිධන් කොටුවක් සහ ඒ වටා තවත් නිධන් ගර්භ 8ක් හමුවුණා. මේ නිධන් කොටුවල රේඛාවලින් නොයෙන් චිත්‍ර ඇඳ තිබුණා. දේව රූප, රහත් රූප, මල් මෝස්තර ඒ චිත්‍ර අතර තිබුණා. පුරාවස්තු අතරින් වැදගත්ම වන්නේ ලෝකඩ ඇත්පහන් යුගල යි.

කැණීමෙන් හමු වූ කාසි sirimunidasa.files wordpresscom

එසේම රන් තහඩුවෙන් කළ බුද්ධ ප්‍රතිමා හතරක් ද හමු වී තිබෙනවා. ඒවා මකර තොරණ ද සහිත අලංකාර මූර්ති. පොළොන්නරු යුගයේ කාසි, පද්මාකාර දාගැබේ ආකෘතියක්, මැණික් ගිල් වූ ධාතු කරඬුවක්, ලෝකඩ සහ මැටි පහන්, වටිනා පාෂාණ ආදී නිධන් වස්තූන් ද ධාතු ගර්භයෙන් හමු වී තිබෙනවා. මේ අතර අපූරුම දෙය වන්නේ කුඩා ස්තූපයේ දා ගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ යි. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ කිරිකැටි පැරකුම් කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කරගන්නට ඇති බව යි. කුමරා උපන් තිඹිරිගෙය මත මෙවන් මහා ස්තූපයක් ගොඩනංවා ඒ තුළ මැටි කොරහ ද නිධන් කරමින් රජතුමා තිඹිරිගෙයත්, නෑවූ කොරහත් පූජනීය ස්මාරකයන් වශයෙන් සලකා ඇති බව පේනවා. ලෝකඩ පහන් කණු, මහමේරු පර්වතය, මැටි පහන් කණු, ලෝකඩ නාග මූර්ති, පිත්තල බුදු පිළිම ආදී පුරාවස්තු රාශියක් ද මෙහි නිධන් ගර්භවලින් ලැබුණා. මෙහි යන්ත්‍රගල තුළ තිබී 12 වන සියවසට අයත් අක්ෂරයෙන් ලියූ මහායානික පිරිතක කොටසක් කෙටූ සෙල්ලිපියක් ද ලැබුණා.

ඇත්පහන

 අලංකාර ඇත්පහන Wikipedia.org

දැදිගම ඇත්පහන ජාත්‍යන්තර ව පවා ප්‍රසිද්ධියට පත් පුරාවස්තුවක්. දැනට මෙම ඇත්පහන් දෙකෙන් එකක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ද, අනෙක දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරයේ ද තැන්පත් කර තිබෙනවා.

1951 වසරේ පළමු නිධන් කොටුවේ තිබී හමු වූ පොළොන්නරු යුගයට අයත් මෙම පහන් දෙක එල්ලා තැබීමට මෙන්ම බිම තැබීමට ද හැකි සේ නිර්මාණය කර තිබෙනවා. මෙහි එල්ලන දම්වැල නර්තන ඉරියව් සහිත පෙරහරක් මූර්තිමත් කරනවා. එය විශිෂ්ට කලා කෘතියක් සේ ම එවකට පැවති ඉහළ තාක්ෂණය ද පෙන්නුම් කරන නිර්මාණයක්. අචල ජල විද්‍යාව අනුව මෙම පහනේ ඇතාගේ කුසට දමන තෙල් පාලනය වෙනවා. ඇතාගේ දකුණු පාදයේ යටි පතුලේ ඇති සිදුරකින් පාලනයකින් යුක්ත ව පහනට තෙල් පැමිණෙනවා. පහන් වැටියට තෙල් ගලායන්නේ ඇතාගේ ලිගුව හරහා යි. තෙල් අඩුවන විට නැවත තෙල් ගලා එනවා.

කෞතුකාගාරය

කැණීම්වලින් හමු වූ මැටි කොරහ- පැරකුම් රජු ළදරු වියේ නෑවූ බව පැවසේ- කුසුම්සිරි විජයවර්ධන

  දාගැබේ කැණීම් කටයුතු නිමවීමත් සමග ඉන් ලැබුණු අගනා පුරාවස්තු සමූහය ප්‍රදර්ශනය කිරීමට මෙම ප්‍රාදේශීය කෞතුකාගාරය පිහිටවූවා. මෙය ලංකාවේ ප්‍රාදේශීය කෞතුකාගාරයක් ඇරඹිමේ අරමුණින් ඉදිකළ පළමු ගොඩනැගිල්ල ලෙස සැලකෙනවා. එතෙක් කටුගෙවල් ලෙස පාවිච්චි කළේ පැවති ගොඩනැගිලි ම යි. අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවලින් හමුවූ පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන මින් දැනුවත්වීමට ඔබට පුළුවන්.

රජමහා විහාරය

විහාරයේ පිළිමගෙය- කුසුම්සිරි විජයවර්ධන  

ගම්පොළ යුගයේ දී ආරම්භ කළ බව සැලකෙන මේ විහාරය කෝට්ටේ යුගයේ දී වර්ධනය වී තිබෙනවා. 1890 බෙල්ගේ පුරාවිද්‍යා වාර්තාව අනුව එහි ටැම්පිට විහාරයක් පැවති බව සඳහන්. ගල් කුලුනු, ගල් කැටයම්, සහ අභයදාන සෙල්ලිපිය මෙහි දැකගත හැකියි. විහාරයේ දක්නට ලැබෙන මූර්ති නම් උඩරට නිර්මාණ ලක්ෂණ පළ කරනවා.

මූලාශ්‍රයයන්:

සූතිඝර දාගැබ සහ දැදිගම- පුරාවිද්‍යා දෙපා.

ශ්‍රී ලංකාවේ රජමහා විහාර - කුසුම්සිරි විජයවර්ධන

සබරගමුව ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

Archaeological Survey of Ceylon- Kegalle 1890 H.C.P. Bell