Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාතලේ ගිහින් යායුතු පුරාණ විහාරාරාම

මාතලේ නගරය වටා පිහිටි ඔබ යායුතු තැන් කිහිපයක් ගැන කියන්න යි මේ ලිපිය ලියන්නේ. මෙයට පෙර මාතලේ නගරයේ දැකගත යුතු තැන් කිහිපයක් ගැනත් අප පැවසුවා (ඒ ලිපිය කියවීමට මෙතැන ක්ලික් කරන්න). 

කඩයිම් පොත්වලට අනුව මාතලේ මුල්වරට ජනාවාස වී ඇත්තේ ශ්‍රී මහා බෝධින් වහන්සේ සමග පැමිණි බ්‍රාහ්මණ වංශිකයන්ගෙන්. මහාවංශයෙහි මේ පෙදෙස මාතුල රට්ඨ ලෙස හැඳින්වෙනවා. උඩරට රාජධානි සමයේ දී රාජධානියේ ප්‍රධාන දිසාවනියක් ලෙස මාතලේ සැලකුණා. එකල මාතලේ ධනවත් සහ බලවත් දිසාවක් වුණා. උඩරට සෙනරත් රජ කාලයේ දී විජයපාල කුමරු යටතේ මාතලේ ගොඩපොල නුවර ප්‍රාදේශීය රාජධානියක් ලෙස පැවතුණා.

රජමහා කොහොන් විහාරය

සැතපෙන බුදු පිළිමය – youtube.com

මෙය මාතලේ සිට කූඹියන්ගොඩ හරහා මහනුවර පාරේ කි. මී. 4ක් දුරින් පිහිටා තිබෙන රජමහා විහාරයක්. ජනප්‍රවාදවලට අනුව මෙම විහාරය කරවා තිබෙන්නේ දේවානම්පියතිස්ස රජුගේ සොයුරු මහානාග යුවරජු. ඔහු තිස්ස නම් රහත් තෙරනමකට මෙම විහාරය සාදා පූජා කළ බව පැවසෙනවා. ක්‍රි. පූ. 1 සියවසේ සිටි වලගම්බා රජ කාලෙ දී කොහොන්තිස්ස නම් රහත් තෙර නමක් මෙහි වැඩසිටි බවත් කියවෙනවා. එකල මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී මෙම විහාරයේ දායකත්වයත් ලැබී තිබෙනවා. ත්‍රිපිටකය පුස්කොළවල ලියා නිමකිරීමෙන් පසු කොහොන් විහාරයේ සිට අළු විහාරය දක්වා මඟ දෙපස සරසා, පහන් පූජාවක් සහ පෙරහරක් පැවැත්වූ බව පැවසෙනවා. කොහොන්තිස්ස හිමි වැඩ විසූ නිසා මෙම විහාරයට ද “කොහොන්” නම ලැබී තිබෙනවා. 

පුරාණ බෙදීම් අනුව මේ ප්‍රදේශය කොහොන්සිය පත්තුවට අයත් වුණා. නම්පොතේ මෙම විහාරය සඳහන් වන්නේ කොහොන නමින්. රාජාධිරාජසිංහ රජු කොහොන් විහාරයේ තෙරනමකගෙන් බණ අසා පැහැදී ගම්බිම් විහාරයට පූජා කළ බව තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා. උඩරට යුගයේ දී හලංගොඩ දිසාව මේ විහාරය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

ඇඹිල්ල ලෙන් විහාරය

ලෙන් විහාර මන්දිරය-  budusarana.lk

මාතලේ හුලංගමුව සන්නස් කන්දේ ගල්පර්වත ආශ්‍රිතව පිහිටි දැකුම්කළු රජමහා විහාරයක්. මෙය පසුගිය කාලයේ කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වීම නිසා පිළිම ආදියට හානි පැමිණුනා. ලෙන් විහාරය ඉදිරිපිට ගල් උගුලක් ද තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ හුලංගොමුව දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ යි. මාතලේ සිට දුර කි. මී. 4ක් පමණ වෙනවා. පුරාණ අටුවා ග්‍රන්ථවල අම්බරිය විහාරය ලෙස හැඳින්වෙන්නේ ඇඹිල්ල විහාරය බවට මතයක් තිබෙනවා. විහාරය මුලින්ම ආරම්භ වූයේ දෙවන පෑතිස් රජකල බව එක් විශ්වාසයක සඳහන් වන අතර තවත් කතාවක කියැවෙන්නේ එය වලගම්බා සමයේ ආරම්භ වූ බව යි. අලු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරද්දී එයට සහභාගි වූ භික්ෂූන්වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස ද ඇඹිල්ල විහාරය සැලකෙනවා.

මෙහි පිළීම ගෙය විශාල ගල්ලෙනක් තුළ ඉදිකර තිබෙනවා. දහඅට රියන් සැතපෙන පිළිමයක් ද හිටි බුදු පිළිම තුනක් ද සමන් සහ විභීෂණ දේව රූප ද ප්‍රතිමා මන්දිරය අලංකාර කරනවා. මෙහි උඩරට යුගයේ සිතුවම් අතර දක්නට ලැබෙන වෘෂභ කුඤ්ඤරය විශේෂත්වයක් ගන්නවා. සූවිසි විවරණය, බෝසත් චරිතයේ අවස්ථා, දළදා පෙරහර ආදී සිතුවම් පිළිම ගෙය අලංකාර කරනවා. විහාරය අසල ඇති ගිරිකුල “බැලුම්ගල” නමින් හඳුන්වනවා. මෙම ගල්තලාව පිටුපසින් ඇඹිල්ල විහාරයේ සිට අළු විහාරය දක්වා උමගක් තිබූ බවට ද ජනප්‍රවාදයක් පවතිනවා. පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් වන ඇඹිල්ල විහාරය සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් සිද්ධස්ථානයක්.

උරුලෑවත්ත ලෙන් විහාරය

හිඳි බුදු පිළිමය – youtube.com

මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත හන්දියෙන් කි. මී. බාගයක් ඔබ්බෙන් තමයි මෙම විහාරය පිහිටා තිබෙන්නේ. ඒ ගම හඳුන්වන්නේ ගලගම කියල යි. අස්ගිරි විහාරයේ ප්‍රථම සංඝනායක උරූලෑවත්තේ ධම්මසිද්ධි නාහිමි වරින්වර මෙම විහාරයට වැඩම කර විවේක සුවයෙන් කල්යැවූ බව සඳහන් වෙනවා. කඳු බෑවුමක පිහිටි විහාරයට පිවිසීමට පඩි 130කින් යුත් පියගැට පෙළක් ද තිබෙනවා. 

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය ඉදිකළ බව සැලකෙනවා. ඒ රජු පූජා කළ පල්ලැක්කියක් ද මෙහි දැකගත හැකියි. සියුම් කැටයමින් යුත් මකර තොරණ සහ නාථ දේව රූපය ද මෙහි පුරාණත්වයට දෙස් දෙනවා. පුරාණ සංඝාවායක් ද විහාරයේ පිහිටා තිබෙනවා. පසුකාලීන නවීකරණ නිසා මෙහි පිළිම සහ බිතුසිතුවම්වල පෞරාණිකත්වය නම් වැනසිලා බව යි පේන්නේ. පැරණි බිතුසිතුවම් වෙනුවට මෑත අතීතයේ ඇඳි චිත්‍ර රාශියක් විහාරයේ දී දැකගත හැකියි.

තල්ගහගොඩ රජ මහා විහාරය

දෙවන ලෙන් විහාරය- ronde.lk

මාතලේ සිට බිරිදවෙල පාරේ ගොස් වලාවෙලින් හැරී කඳු සහිත පාරක  තල්ගහගොඩට ගමන් කළ යුතු යි. මේ ගම පිහිටා තිබෙන්නේ ඇතිපොල කන්දේ එක් බෑවුමක යි. මාර්ගයේ අවසාන කොටස නම් අබලන් වෙලා. පුරාණ ප්‍රතිමා සහ බිතුසිතුවම් සුරැකී පවතින මෙම විහාරයත් කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ තැනක්. කටාරම් කෙටූ පැරණි ගල්ලෙන් 18ක් පමණ විහාරයේ හා අවට වනගත වටපිටාවේ පැතිර තිබෙනවා. ඒ අතරින් ක්‍රි. පූ. යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් කෙටූ ලෙන් ලිපි 5ක් පමණ දැකගත හැකියි.

ප්‍රතිමා සහ සිතුවම් – ronde.lk

එක් ලෙනක ඇති සෙල්ලිපියක ද්‍රවිඩ හිමිනමක් ලෙනක් පුජා කරවූ බව සඳහන් වෙනවා. පුරාණයේ දෙමළ භික්ෂූන්වහන්සේ සිටි බවට සාධක සපයන සෙල්ලිපි කිහිපය අතරට එම සෙල්ලිපිය ද අයත්. තවත් ලෙනක සඳහන් වන රජු වලගම්බා රජු බව (මහ රජශ පති දිතෙ) ඉතිහාසඥයන් පවසනවා.

විහාර පිට මාලයේ අපාය සිතුවම් – Kusumsiri Wijayawardhana

මහනුවර යුගයේ සේනාසම්මත වික්‍රමබාහු රජුගේ මව වූ චන්ද්‍රවතී දේවිය කලක් රහසිගතව මෙහි වාසය කළ බව පැවසෙනවා. මෙහි ප්‍රධාන පිළිමගෙයට අමතරව තවත් පිළිමගෙයක් ද දැකගත හැකියි. ප්‍රධාන පිළිමගෙය පිට මාලයේ මෙන්ම ඇතුළත ද සිතුවමින් අලංකාර කර තිබෙනවා. දෙවන ලෙන් විහාරය ද පුරාණ පිළිම හා සිතුවම් සහිත යි. මෙහි සංඝාවාසය ද ලෙනකට සම්බන්ධ කර ඉදිකර තිබෙනවා. ධර්ම ශාලාව ද පුරාණ කාලය සිහිපත් කරවන ස්මාරකයක්. ඉතා අලංකාර වටපිටාවක තමයි මේ විහාරය පිහිටා තිබෙන්නේ.

අම්බොක්ක අම්බලම

ගලින් කළ අම්බලම -amazing lanka.com

අම්බොක්ක ගම්මානය මාතලේ පුරාණ ගම්මානයක් බවට සාධක පවතින අතර එහි පවතින ගලින් කළ අම්බලමත් තිබෙනවා. මාතලේ සිට පලාපත්වල හරහා පල්ලෙපොලට පැමිණ මාදිපොල පාරේ ගමන් කිරීමෙන් අම්බොක්කට ළඟාවිමට පුළුවන්. 

මේ අම්බලම අවුරුදු 300ක් පැරණි බව පැවසෙනවා. ප්‍රමාණයෙන් කුඩා සමසතරුස් ආකාරයෙන් නිම කළ අම්බලමේ පියස්ස ගල්කණු හතරක් මත ඉදිකර තිබෙනවා. තිරස්ව තැබූ තවත් කුලුනු හතරක හිඳ ගැනීමට පිල සකසා තිබෙනවා. පුරාණයේ පෙතිඋළු සෙවිලි කළ බව සිතිය හැකි මෙහි අද නම් දක්නට ලැබෙන්නේ සිංහල උළු යි.

අම්බොක්ක පත්තිනි දේවාලය

දේවාල ගොඩනැගිලි – මහතලාව Fb page

ගජබා රජු ගෙනෙන ලද පත්තිනි දේවියගේ පා සලඹ මිල්ලවානේ සපු ගසක බෙනයක තබා, පසුව අම්බොක්කේ පත්තිනි දේවාලයක් ඉදිකර එහි තැන්පත් කළ බව ජනප්‍රවාද පවසනවා. පසුව වාර්ෂිතව පෙරහර, දොඩම් කෙලි ආදී උත්සව පවත්වමින් පත්තිනි දෙවියන් සැමරීම ආරම්භ කර බව යි විශ්වාස කරන්නේ. පත්තිනි ඇදිහිල්ල ආශ්‍රයෙන් බිහිවූ අංකෙළියේ සහ පොර පොල් කෙළියේ උපත මේ ප්‍රදේශයේ සිදුවූ බව පැවසෙනවා.

දේවාල දොරටුවේ මකර තොරන- මහතලාව Fb page

උතුරු මාතලේ එලෙස අංකෙළි පැවැත්වූ කඳු දොබොක්ක අංබොක්ක වූ බව යි විශ්වාස කරන්නේ. මහනුවර යුගයේ දී අම්බොක්ක පත්තිනි දේවාලය වඩාත් ප්‍රකට පූජනීය ස්ථානයක් බවට පත්ව තිබෙනවා. අදත් මේ දේවාලය ප්‍රකට පුදබිමක්.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

පෞරාණික ස්ථාන සහ ස්මාරක- මාතලේ දිස්. අනුර මනතුංග

කඳුරට ප්‍ර වේණිය- ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන

මාතලේ විහාර වංශය- රම්‍ය සිරිවංශ

කවරය- තල්ගහගොඩ ලෙන් විහාරය සහ ධර්ම ශාලාව -Kusumsiri Wijayawardhana

Related Articles