Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාර්සල් පිට බැඳන් රටවටා යන සුද්දෝ

බැක් පැකින් යනු සැබැවින්ම සංචාරක ක්‍රමවේදයකි. අඩු මිලකට සංචාරක ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ලැබුණත් එලෙස පැමිණෙන සියලුම දෙනා මුදල් හදල් අතින් අගහිඟ අයවලුන් නොවෙති. රටක සාමාන්‍ය ජන දිවිය වඩාත් හොදින් ග්‍රහණය කරගැනීමට පැකේජ සංචාරකයින්ට වඩා බැක්පැකර්ස්ලාට අවස්ථාව ලැබේ.

බැක්පැකින් සහ පැකේජ ක්‍රමය අතර වෙනස්කම්

පැකේජ සංචාරක කර්මාන්තය යනු තෝරාගත් ස්ථාන කීපයකට හා තෝරාගත් විනෝද වැඩවලට සංචාරකයින් යොමුකරන, කාලසටහනක් සහිත වූ සංචාරක විදියකි. එහි දී ටුවර් ඒජන්තවරයා මගින් ප්‍රවාහනය, ඉදුම් හිටුම් සහ නරඹන ස්ථාන ආදිය තෝරා පිළියෙල කරන බැවින් මනසට ඇති බර අඩුය. එහෙත් එම ක්‍රමයට කැමති අය මෙන්ම අකමැති අයද බොහෝ වෙති. පැකේජ සංචාරවල ඇති අවාසිය නම් එවිට අපිට හසුකරගත හැකි වන්නේ සංචාරක ඒජන්තවරයා මගින් පෙන්වන චිත්‍රයක් පමණක් වීම යි. එතනින් එහා ගිය යමක් ඉගෙන ගැනීම, දැකබලා ගැනීම, අධ්‍යනය කිරීම පැකේජ සංචාරවලදී අපහසු කාරණාවකි.

ආරුක්කු පාලම නරඹන සංචාරකයින්

පැකේජ සංචාරක බස්රියක සේවක මහතෙකු පැවසූ පරිදි එම බස්රිය අදාළ ඒජන්සිය මගින් GPS හරහා නිරන්තර සෝදිසියකට ලක් වේ. එවිට බස්රිය යන මාර්ගය, සහ කෑමට බීමට, නැරඹීමට නවතන තැන් සියල්ලම කලින් නියම වූ පරිදිම සිදු විය යුතු අතර, GPS එසේ නොවන අවස්ථාවලදී ඒවාට උත්තර බැදීමට බස් රිය රියදුරු මහතාට සිදුවේ. ඒ අනුව ඇතැම් පැකේජ කෙතරම් සංවෘත අවකාශයක චාරිකා සංවිධානය කරන්නේද යන්න පිළිබඳව යම් වැටහීමක් ගත හැකිය.

බොහෝ සමෘද්ධිමත් විදේශිකයෝ පැකේජ සංචාර තෝරාගනිති. ඔවුන් විශාල ටුවරිස්ට් බස්රියවල හෝ කාර් වෑන්වලින් ගමනේ යෙදෙන අතර කන බොන, යන එන තැන් සියල්ලම ඉහළ මට්ටමේ ඒවා වන නිසා සාමාන්‍ය ජනතාවට හා මුහු නොවී මුළු සංචාරයම හමාර කොට නැවත මව්රට බලා යති. එහෙත් බැක්පැකර්ස්ලා එසේ නොවේ. ඔවුහු බස්රිය දුම්රිය වල නැගී, විටෙක ත්‍රී රෝද රථ කරුවන් සමග හෙට්ටු කරමින්, හොස්ටල් හෝ ලාබ හෝටලවල රැය පහන් කරමින්, සාමාන්‍ය සමාජය සමග ගැටී සිය සංචාරක කටයුතු සිදු කරති.

බැක්පැකර්ස්ලා ගේ ගති පැවතුම්.

මා ඇල්ල ගිය කල නැවතුණේ විදෙස් සංචාරකයින් වැඩිපුර භාවිත කරන හොස්ටල් එකකය. එහි හිමිකරුවාට බැක්පකර්ස්ලා ගැන කියන්නට බොහෝ කතාන්දර තිබුණි.

“මල්ලි මේ මගේ හොස්ටල් එක. බුකින් එකේ මිල අඩුම වගේම රේටින් වැඩිම එක. මේකට එන අය ලෝකේ හතර අතින් එනවා. මේ දැන් ඔය ඉන්න ඊජිප්තු කාරයා සහ ප්‍රංශ කාරයා බලන්න. මුන් දෙන්නා දවසට ඩොලර් 10ක් වියදම් කරන්නේ නෑ. මුන් මගෙන් බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා. ඉන් පස්සේ ඇවිදින්න යනවා. එන ගමන් කොහෙන් හරි අඩුවට පලතුරු ටිකක් අරං ඇවිත් සලාද හදාගෙන කනවා. මගේ නවාතැනට යන ගාන විතරයි මුන්ට වියදම්.”

ඇල්ලේ සංචාරකයින් පිරිසක්

පසුගිය දිනක මාතර සිට තංගල්ලට පැමිණෙන ත්‍රීවිල් කාර මහතකුද මට මුණ ගැසුණි. “මේ ත්‍රීවීල් එක රන්නේ ඉදලා තංගල්ලට ආවෙ හයර් එකක්. මං ඒ පාර කතා කරලා තංගල්ලට වඩා මිරිස්ස ලස්සනයි කියල උන් මිරිස්සට එක්කරං ගියා. උන් ඇහුවා කොච්චර වෙලා යයිද කියලා. මං පැයක් කිව්වේ. හොඳ වෙලාවට ට්‍රැෆික් නෑ, උන් පැයට ගෙනිහින් දැම්මා මිරිස්සට. හයර් එක 2000/=යි. මගේ ඉතිං අද දවසෙ ගාන ෂේප්. දැන් ඇවිල්ල එන සුද්දෝ මල්ලි හරි කපටියි. උන් ලේසියෙන් අහු වෙන් නෑ. අපිටත් වඩා තැන් ගැන දන්නවා. සමහරු නම් පල් හිඟන්නෝ.”

මේ ගැන අදහස් දැක්වූ තවත් තරුණයෙකු පැවසුවේ මෙවැන්නකි. “ඉස්සර සුද්දෝ අඩුතරමේ එයාපෝට් එකෙන් බැහැල ත්‍රීවිල් එකක්, කාර් එකක් අරං බස් ස්ටෑන්ඩ් එකටවත් යනවා කටුනායක. දැන් එන පෙළක් එවුන් මල්ල කරේ දාන් පයිං කිලෝමීටර දෙක තුන ගෙවල හොටෙල් වලට යනවා ඒ ළඟපාත තියෙන. ඉතිං හිතාගන්න අපිවත් එයාපෝට් එකෙන් එහෙම එනවද? දැන් එන උන් නම් හිඟනම බුවාල.”

ඩොලර් 10ක් හෙවත් රුපියල් 1500කින් ලංකාවේ අපිටවත් සංචාරයක් කිරීම අමාරු වුවත් විස්තර කියවා පැමිණෙන බැක්පැකර්ස්ලා එකතු වී ගෙවල් කුලියට ගෙන, හොස්ටල් සහ ලාබ කාමරවල නැවතී, කෑම උයා පියා කමින්, කොත්තු, රයිස්වලින් කෑම වේල් ගොඩදමමින්, දවසකට ඩොලර් දහයටත් අඩුවෙන් සිය සංචාරක වියදම සීමා කරගනිති. අප යන්නට බැලූ විට ඉලක්කම් පහේ මිල ගණන්වල හෝටල් කාමර පෙන්වුවද අන්තර්ජාලයේ බැක්පැකින් අඩවිවල ලැයිස්තු අනුව අඩුම මිලට සංචාරය කළ හැකි රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ඉහළම ස්ථානයකි.

ආසියානු රටවල සිඟා කන බැක්පැකර්ස්ලා

බැක්පැකින් යනු අඩු මිල සාංචාරක ක්‍රමයක් බැවින් ශ්‍රී ලංකාව සහ නේපාලය වැනි දකුණු ආසියාතික රටවලටත්, තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, ලාඕසය වැනි අග්නිදිග ආසියාතික රටවලටත්, රුසියානු ජාතිකයින්, යුක්‍රේන ජාතිකයින් මෙන්ම සමෘද්ධිමත් නොවූ යුරෝපා රටවලින් ද සංචාරකයන් ඇදී එති. සමහර අවස්ථාවලදී කුඩා මුදලක් උපයාගෙන, එහෙත් නැතිනම් ශිෂ්‍යයින් වශයෙන් සුළු රැකියා කොට උපයාගන්නා සුළු මුදලෙන් ගුවන් ටිකට් පත් ලබා ගන්නා ඔවුන් දිනකට ඩොලර් කිහිපයක් වියදම් කොට සනීප ගැනීමට දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් කරා ඇදෙති.

සිගමන් යදින බැක්පැකර්ස්ලා (pbs.twimg.com)

මේ අතර තායිලන්තයේ හා සිංගප්පූරුවේ සංචාරක ස්ථාන ආශ්‍රිතව අලුතින් ඇතිවූ මෝස්තරයක් ලෙස සංචාරකයින් සිඟමන් යැදීම දැක්විය හැකිය. මෙය අප්‍රේල් මස දෙවන සතියේ අන්තර්ජාතික මාධ්‍යයන් ගණනාවක ජනප්‍රිය වූ පුවතකි. සිඟමන් යැදීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් මහ මග වාඩි වී ගීත කියමින්, සංගීත භාණ්ඩ වයමින්, තමුන්ගේ දුක සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින්, තමුන්ගේ සංචාරවල පෝසට් කාඩ් විකුණමින් විශාල මුදල් ප්‍රමාණ ඉල්ලා සිටීමයි. ඔවුන් මෙසේ කරන්නේ තමුන්ගේ සංචාර සම්පූර්ණවල වියදම් පියවා ගැනීමටයි.

අග්නිදිග ආසියාතික රටවල ප්‍රකට සංචාරක ස්ථාන සහ ගුවන් තොට ආසන්නයේ එවැනි සිඟමන් යදින පිරිස් ඡායාරූප සහිතවම එම වෙබ් අඩවිවල අවඥාවට ලක් කොට තිබුනි. මිල අධික කැමරා, අයි ෆෝන්, අයි පෑඩ් සහිත ඔවුන්ගේ විනෝදය වෙනුවෙන් අනෙක් මිනිසුන්ට මුදල් වියදම් කරන්නට වීම කමෙන්ට් කළ බොහෝ දෙනෙකු තරයේ හෙළා දැක තිබුණි.

යම්කිසි හදිසි ලෙඩ රෝගයක් හෝ අසරණවීමක් නිසා සිඟමන් යැදීමට සිදු වීම සාධාරණ වුවත් තමුන්ගේ සංචාරය සම්පූර්ණ කරගැනීමට, නැවත සිය රට යෑමට ගුවන් ටිකට් ගැනීමට, ඊළඟ දවස ගත කරගැනීමට සිඟමන් යැදීම මූලික සමාජ නීතිරීතිවලටත් පටහැනි බව බොහෝ ලිපි කතුවරුන් සහ කමෙන්ට් කළ පිරිස් පවසා තිබුණි.

(asiaone.com)

පාලනය

අප රටේද පසුගිය කාලයේ එවැනි සිඟාකෑමට උත්සාහ කිරීම් කිහිපයක් වාර්තා විය. අඩු මිලට වීසා ලබාගත හැකි වීම සහ එ් රටවල්වලට සාපේක්ෂව අඩු මිලට ජීවත් විය හැකි නිසා අප වැනි රටවල්වලට ඇදෙන මෙවැනි සංචාරකයින් ප්‍රමාණය වැඩිය. මෙම බැක්පැකර්ස්ලාට සේවා සැපයීම මගින් දැනට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බැක්පැකින් ස්ථාන දෙකක් වන ඇල්ල සහ මිරිස්ස ආසන්නයේ ජනයාට නව ආදායම් මාර්ග ද ලැබී තිබේ.

මීට වසර දහයකට පහළොවකට පෙර ගාලු පාරේ ගාල්ල මාතර අතර සංචාරක හෝටල් තිබුණා නම් ඒ අත්වල ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. නමුත් වර්තමානයේ දී ගාල්ල සිට මාතරට සංචාරක නවාතැන් සිය ගණනක් බිහිව තිබෙන බව දැක ගැනීමට හැකි ය. පානදුර සිට මාතර දක්වා යන විට ගාලු පාර දෙපස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පුවරුම පනහකට වඩා ලෙහෙසියෙන්ම බලාගත හැකිය. ඇල්ල, මිරිස්ස වැනි ප්‍රදේශවල ඇතැමෙක් සිය නිවසේ කාමරයක් දෙකක් තනා කුලියට දෙති. තවත් අය බයිසිකල් බයික් කුලියට දෙති. ත්‍රීවිල් කරුවන්ටද මෙම සුද්දෝ හයර් නිසා වෙනදාට වඩා අතමිට සරුය. අලුතින් පැමිණෙන මෙම අඩුමිල සුද්දන්ට සාමාන්‍ය මිලට කෑම බීම විකුණන කඩ ආදියද බිහිව තිබේ. මෙම බැක්පැකර්ස්ලා ස්පර්ශ කරන්නේ සමාජයේ පහළම ස්ථරය වන අතර එයින් අපේ රටේ පිරිසකට ද ආර්ථිකමය වාසියක් ලැබෙන නිසා බැක්පැකර්ස්ලා යනු නොවටිනා පිරිසකැයි නොසලකා හැරිය නොහැක.

නේපාලයේ කඳුවල ඡායාරූප ගන්නා සංචාරකයෙක්

නේපාලයේ නම් සංචාරකයින්ට යෙදිය හැකි ක්‍රියාකාරකම් බොහෝමයකි. ‘වෝටර් රාෆ්ටින්’, බයිසිකල් සවාරි, කඳු නැගීම්, දිය ඇළිවලින් පහළට බැසීම්, කඹ මත ඇවිදීම්, පියාසර කිරීම් ආදී ක්‍රියාකරකම් සංචාරකයින්ට ලබාදීමෙන් නේපාලියෝ නිකරුණේ ඔබ මොබ ඇවිදින සංචාරකයන්ගෙන් තවත් වැඩිපුර මුදල් ලබාගැනීමට ක්‍රියා කරති. ඉතාම අඩු මිලකින් දවසක් ගෙවා දමා ඔහේ එහෙ මෙහෙ ඇවිද නැවත සියරට යන්නට යන්නට ලංකාවට එන සංචාරකයින්ගෙන් තවත් මුදල් උපයාගැනීමට අපටද හැකිවිය යුතුය.

එසේ නොමැති වුවහොත් දිගින් දිගටම පැමිණෙන බැක්පැකින් සංචාරකයින් පිරිස ඉහළ යන නිසා සංචාරකයින් ගණන වැඩිවූවාට අපේ රටට ලැබෙන ආදායම නම් විශාල ලෙස වැඩිවෙන්නේ නැත.

Related Articles