Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුද්දන් නම ඇසීමට පවා බියවූ, ගාල්ලේ “බේලි කන්ද වලව්ව”

“ගාල්ල” කියද්දී බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ගාලු කොටුවත්, එය වරින් වර පාලනය කළ ලන්දේසීන් සහ ඉංග්‍රීසින් වැනි බටහිර ජාතීනුත්. මේ ලිපියෙන් කියැවෙන “බේලි කන්දේ වලව්ව” පිළිබඳ කතාවටත් ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා.

වලව්වේ පිහිටීම සහ එම පිහිටීමේ ‌වැදගත්කම

ගාල්ලේ නගරයේ  ඉදලා මාතර දෙසට කිලෝමීටර්  දෙකක් වැනි දුරක් ගමන් කරන විට හමුවෙන “මාගාල්ල” කියන ගමේ තමයි මේ කියන ‌‌බේලි කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ. ඒත් අද ඔබ ගාල්ලේ ජීවත් වෙන කෙනෙකුගෙන් වුවත් මේ නම කියලා විමසුවාට තොරතුරක් දැනගන්න ලැ‌බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද, අද එම වලව්ව ප්‍රසිද්ධ “Closenberg Hotel” යන නමින්.

මෙම වලව්වේ ඉතිහාසය ගැන මුලින්ම සඳහන් වන්නේ ලන්දේසි යුගයේ දී යි. 1719 අවුරුද්ද වෙද්දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරගෙන ගිය ලන්දේසීන් ගාලු මුහුදේ දකුණු පැත්තට වෙන්න කඳුගැටයක් වැනි තුඩුවක් මත බලකොටුවක් හැදුවා. ලන්දේසීන් එම බලකොටුව හඳුන්වන්න යොදාගත් නම වෙන්නේ “Klossenburg” (ක්ලොසෙන්බර්ග්). එහි තේරුම වන්නේ “මුහුදේ ඝෝෂාව මධ්‍යයේ පිහිටි බලකොටුව” යන්න යි. නමුත් ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව අතර මේක ප්‍රසිද්ධ වුණේ “අලුත් කොටුව” යන නමින්. මොකද ගාලු කොටුවට පසුව ගාලු මුහුද ආසන්නයේ අලුතින් ඉදිකළ කොටුව මෙය වූ නිසා. විශාල කාල තුවක්කු දෙකකුත් සහිත මේ බලකොටුව, බ්‍රිතාන්‍ය ආගමනයෙන් පසුව එතරම් පාවිච්චියක් නොතිබූ බැවින් අතහැර දැමීමට ලක්වුවත්, ඔවුන් ද මෙම ස්ථානය හැඳින්නුවේ “Closenberg” ‍යන නමින්.

සී.ඕ. බ්‍රයන් විසින් අඳින ලද කඳුගැටයේ සිතුවම/defonseka.com

 

මේ කඳුගැටයේ පැරණිතම සිතුමවක් මේ වන විට හමු වී තිබෙන අතර, එය බ්‍රිතාන්‍ය යුගයට අයත් වන එකක්. ඒ් කාලයේ අපේ රටේ ප්‍රථම මැනුම්පති වශයෙන් කටයුතු කළ කපිතාන් සී. ඕ බ්‍රයන් විසින් අඳින ලද එම සිතුවමේ ක්ලොසෙන්බර්ග් කඳුගැටය වම්පස පහළ කෙලවරේ දිස්වන අතර, ඉන් මඳක් ඔබ්‌‌බෙන් පිහිටා තිබෙන ගිබට් දූපතත්, ඉන් එපිට ගාලු කොටුව සහ පැරණි ගාලු වරායත් දිස් වෙනවා. මෙම  සිතුවම 1864 වසරේ දී මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දී මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වා තිබෙන බව මූලාශ්‍රයයන්හි සඳහන් වෙනවා.

කපිතාන් බේලි විසින් ඉඩම මිළ දී ගැනීම

1859 වසරේ දී මෙහි ඉතිහාස කතාව වෙනස් වෙන්නේ “හින්දුස්ථාන්” කියන වාශ්ප නෞකාවෙන් ලංකාවට පැමිණි කැප්ටන් ෆ්‍රැන්සිස් ‌‌බේලි නිසා. ඔහු එකල කටයුතු කළේ ජනප්‍රිය වෙමින් පැවති නෞකා සමාගමක් වූ “Peninsular and Oriental Steam Navigation Company” (පෙනින්සියුලර් ඇන්ඩ් ඔරියෙන්ටල් ස්ටීම් නැවිගේෂන් කොම්පැනි) හෙවත් P&O සමාගමේ ලංකාවේ නියෝජිතයා වශයෙන්. ඔහු ගාල්ලට පැමිණීමෙන් අනතුරුව වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් සොයන අවස්ථාවේ දී ක්ලොසන්බර්ග් කඳුගැටය පිළිබඳව දැන ගන්නට ලැබී එය මිල දී ගෙන තිබෙනවා.

සමහර මූලාශ්‍රයයන්හි ඇතැම් තැන්වල එය මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙතින් මිල දී ගත් බව සඳහන් වුවත්, එය නිවැරදි නොවන බව යි පෙනෙන්නේ. මාජරී ද මෙල් “A Family Memoir” කියන පොතේ සදහන් කරන ආකාරයට, 1800 වන විට මෙම භූමිය “අඹරන්වත්ත” යන නමින් හඳුන්වලා තිබෙනවා. 1810 මැයි 3 වෙනි දා ගෙරිට් ජෝන් හියුබර්ටස් නම් පුද්ගලයෙකු විසින් මෙම ඉඩම විකුණලා තියෙනවා කොරනේලිස් ද සිල්වා ගුණරත්න රණසිංහ ආරච්චි නම් පුද්ගයාට. කැප්ටන් ‌‌‌‌‌බේලි මේ ඉඩම මිල දී ගන්නේ මේ කොරනේලිස් ද සිල්වාගෙන්.

වලව්වේ ආරම්භය

වලව්වේ පැරැණි ඡායාරූපයක්/ www.defonseka.com

1860 වසර වෙද්දී ලන්දේසීන්ගේ බලකොටුවේ නටඹුන් මතින් බොහොම ලස්සන, ගාම්භීර පෙනුමක් සහිත මන්දිරයක් ඉදි කරන්න ආරම්භ කරපු කැප්ටන් ‌බේලි ඒකට “විලා මරීනා” කියන නම දුන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ සිහිවෙන්න යි. මෙහි විශේෂත්වය වෙන්නේ මේ ඉදිකිරීමේ ප්‍රධාන ඉදිකිරීම් ශිල්පියා බවට පත්වුණේත් කැප්ටන් බේලි වීම යි. ලන්දේසි වගේම බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාවේ බොහෝ ලක්ෂණ මේ ගොඩනැගිල්ලෙන් මනාව පේන්න තිබුණා විතරක් නෙවෙයි, හරිම අපූරු ලී කැටයම් පවා දැකගන්න තිබුණා.

උද්‍යානය

අලංකාර මන්දිරයක් ඉදි කිරීමෙන් නොනැවතුන කපිතාන් බේලි තම නැව් සමාගම ලවා විවිධ රටවලින් විවිධ වර්ගයේ පැළෑටි ගෙන්වාගෙන ඉතාමත් අපූරු උද්‍යානයක් ද නිර්මාණය කරා. උද්‍යානයේ කෙලවරට වන්නට මුහුද අපූරැවට දර්ශනය වන ස්ථානයක ගිම්හාන කුටියකුත් නිර්මාණය කෙරුනා. 1871 වසරේ දී ඔහු මෙම මන්දිරය P&O සමාගමේ මෙරට නියෝජිතයාගේ නිවහන ලෙස භාවිතයට ගැනීමට තාවකාලිකව සමාගමට භාරදෙනු ලැබුවා. 1870 දශකයේ දී කොළඹ වරායේ පහසුකම් දියුණු කළ පසු 1889 වසරේ දී කැප්ටන් ‌‌‌බේලිට ගාල්ලෙන් සමුගැනීමට සිදුවූ අතර, එය ඔහුට එක්තරා ආකාරයකට දුක්ඛදායක වුණා.

වලව්වේ පිටත පැරැණි ඡායාරූපයක්/defonseka.com

ලාංකිකයන්ට හිමිවීම හා ඔවුන්ගේ සමාජ තත්ත්වය

කැප්ටන් ‌බේලි 1884 – 1889 කාලයේ දී විලා මරීනා මන්දිරය පොදු ජනතාවට විවෘත කරන්නේ එය මිල දී ගැනීම සඳහා උනන්දු ගැනුම්කරුවකු සොයාගැනීමේ අරමුණෙන්. එකල නෞකා සදහා ගල් අඟුරු, සහල් සහ සැපයුම් කොන්ත්‍රාත්තුකරුවකු ලෙස කටයුතු කළ සයිමන් ප්‍රේරා අ‌‌බේවර්ධන නම් ශ්‍රී ලාංකිකයා මෙය මිල දී ගැනීමට තරම් වත්කමක් තිබූ අයෙක්. ඔහු 1889 වසරේ දී විලා මරීනා මන්දිරය මිල දී ගත්තා. එවක පටන් මෙම මන්දිරය ‘ක්ලෝසන්බර්ග්’ නම් වුවත්, සාමාන්‍ය ජනතාව අතර මෙය ප්‍රසිද්ධ වුණේ “බේලි කන්දේ වලව්ව” නමින්.

වලව්ව ආශ්‍රිත ප්‍රදේශයේ පැරැණි ඡායාරූපයක්/defonseka.com

සුද්දන් පවා බිය වූ හේතුව

සයිමන් ප්‍රේරා අ‌‌බේවර්ධනයන්‌ට දරුවන් ති‌දෙනකු වූ අතර, ඉන් වැඩිමහලු පුතු වූ ඩැනිස්ටර් පෙරේරා විදේශිකයන්ට කිසිදු ගරුසරුවක් දැක්වූ අයෙකු නොවෙයි. සුද්දන් කිහිප දෙනෙකුටම ඔහුගෙන් පහර කෑමට සිදුවූ බවත්, එබැවින් සුද්දන් පවා මෙම වලව්වට යම් බියක් දැක්වූ බවත් වලව්ව ආශ්‍රිතව ජීවත්වන ගම්වැසියන් අදටත් පවසනවා.

කොළඹ රෙජීනා වලව්ව සමග ඇති සම්බන්ධය

සයිමන්ගේ දෙවැනි පුත්‍රයා වූ ප්‍රැන්සිස් පෙරේරා, සී. එච්. සොයිසාගේ දියණියක විවාහ කරගන්නා ලද අතර, ඔවුන් දෙපළගේ දියණිය වූ මාජරී පෙරේරා ද මැල් ප්‍රකට සමාජ සේවිකාවක් වුණා. සයිමන් පවුලේ දියණිය වූ රෙජීනා ප්‍රකට දානපති චාල්ස් හෙන්රි ද සොයිසාගේ පුත්‍රයා සමග විවාහ වූ අතර, ඔහු ඇගේ නම යොදා ඉදිකළ “රෙජීනා වලව්ව” වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයයේ “කොලේජ් හවුස්” ගොඩනැගිල්ල ලෙස භාවිතා වෙනවා.

වලව්වේ පිවිසුමේ දක්නට ඇති කැටයමක්/R. Windsor

සයිමන් ප්‍රේරා පසුකාලීනව වතු වගාවට ද යොමු වන අතර වලහන්දූව වතු යාය නමින් ප්‍රසිද්ධ වතු යායක් ඔහු සතුවුණා. එපමණක් නොව ‌‌‌‌‌බෞද්ධ ආගමික කටයුතුවල ද ප්‍රමුඛත්වය ගත් ඔහු ගාල්ල මාගාල්ල ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන දායක ධුරයට පත්ව, එම විහාරස්ථානයට නව විහාරාංග රාශියක් කරවා දෙනු ලැබුවා. ඒ අතර විහාරස්ථානයේ තිබෙන සම්පූර්ණ කළුවර ලීයෙන් කළ පිරිත් මණ්ඩපය විශේෂ යි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන විට පිළිගැනීම සදහා ගාලු වරායට ගිය දේශීය ප්‍රධානීන් කිහිපදෙනා අතරින් කෙනෙකු වන සයිමන් ප්‍රේරා ගාලු පරම විඥානාර්ථ සමිතියේ භාණ්ඩාගාරිකධුරයත් දරමින් ‌‌‌බෞද්ධ පාසල් ඇති කිරීම සඳහා ද පෙරමුණ කටයුතු කර තිබෙනවා.

සයිමන් ද ප්‍රේරාට ඔහුටම අනන්‍ය වූ ධජයක් ද තිබී ඇති අතර එහි ඉහළ කෙළවරේ දක්නට ලැබෙන නැගෙන ඉරක් සහිත ලාංඡනය P&O නැව් සමාගමේ ද ලාංඡනය වුණා. වර්තමානයේ දී වුව ද එම නිවසේ ස්ථාන කිහිපයක එම ලාංඡනය කැටයම් කර තිබෙනු දැකිය හැකියි. එම ධජය ද මේ වන විටත් හෝටලයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

සයිමන් ද ප්‍රේරා ගේ ධජය/R. Windsor

වලව්වේ වර්තමාන තත්ත්වය

පෙරේරා අ‌‌‌බේවර්ධන පවුලට අයත්ව මේ අයුරින් ගාම්භීරව පවත්වාගෙන ආ ‌‌‌‌බේලි කන්ද වලව්ව, 1965 වසරේ දී හෝටලයක් බවට පත්කරන්න එම පවුල තීරණය කරනවා. හෝටලයක් බවට පත්වීමේ දී සමහර අංග වෙනසකට ලක්වුණත් තවමත් පැරණි වලව්වක් විදිහටම පවත්වගෙන යන නිසා ‌බොහෝ දෙනෙකු ප්‍රිය කරන තැනක් බවට මෙය පත්වෙලා තියෙනවා. මෙහි වර්තමාන අයිතිකරු වෙන්නෙත් පෙරේරා පවුලේම සාමාජිකයෙකු වන කුමාර් පෙරේරා අ‌බේවර්ධන.

වලව්වේ ඇතුළත වර්තමාන ඡායාරූපයක්/Facebook

ටික කලකට පෙර රූපවාහිනියෙන් විකාශය වූ කළුවර ගෙදර වැනි ටෙලි නාට්‍ය ගණනාවකම රූගතකිරීම් මෙම හෝටලය ආශ්‍රිතව සිදුකර තිබෙනවා. වර්තමානයේ ‌‌බොහෝ දෙනා අතර මේ හෝටලය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි මුහුදත් සමග එක මට්ටමේ ජලය තිබෙන අයුරින් දිස්වම පිහිනුම් තටාකය. ඉතින් ඔබත් ගාල්ලට යනවා නම් රූමස්සල කදුවැටිය, ගාලු කොටුපවුර වැනි සංචාරක ස්ථාන රැසක් අසල පිහිටි මේ බේලි කන්ද වලව්ව බලන්න යන්න ‌අමතක කරන්න එපා.

මූලාශ්‍රයයන් - www.defonseka.com
Galle as Quiet As Asleep/ Norah Roberts
සද්ධම්මයුක්තික භික්ෂු වංශය- පූජ්‍ය. මාගාල්ලේ පියතිස්ස හිමි
අවට ගම්වැසියන්ගේ කතන්දර ද භාවිතා කෙරුණි.

Cover Photo- hotelscombined.com

Related Articles