කාටත් අමතකව ගිය, බණ්ඩාරනායක සමාධියේ සැඟවුණු දොර

යමෙකු මියගිය පසු ඔවුන් වෙනුවෙන් සොහොන් කොතක් ඉදිකිරීම බොහෝ රටවල සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල, මියගිය පුද්ගලයාට හෝ එම පවුලට අයත් ඉඩමක අවසන් කටයුතු සිදු කිරීම අතීතයේ දී බහුලව දැකිය හැකි වුණා. සාමාන්‍යයෙන් මෘත දේහය භූමදානයකොට ඒ මතින් පස් කන්දක් ගොඩගසනවාට අමතරව, සමහරු බදාමයෙන් තරමක් විශාල සොහොන් කොත් නිර්මාණය කළා. සාමාන්‍ය ජනතාව කුඩා සොහොන් කොත් ඉදිකිරීමට හුරුවුණ අතර, ධනවතුන් සහ බලවතුන් විශාල සොහොන්කොත් ඉදිකළා. 

මේ ලිපියෙන් කියන්නට යන්නේත් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති, දෙවැනි වර්ගයේ එක් සුවිශේෂී සොහොනක් ගැන යි.

පිහිටීම

බණ්ඩාරනායක සමාධිය/Gayan Samaraweera

කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වට අයත් භූමියේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි මෙම සුසානය ඔබ දැක තිබෙන්නට ද පුළුවන්. “බණ්ඩාරනායක සමාධිය” නමින් හැඳින්වෙන මෙම සුසානය තුළ ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය, සහ ලංකාවේ අමාත්‍යවරයෙකු, විපක්ෂ නායකවරයෙකු මෙන්ම කථානායකවරයෙකු වූ තැනැත්තෙකු ද මිහිදන් වී සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. කෙසේ නමුත් මෙම ලිපියෙන් අපි ඔබ දැනුවත් කරන්නේ කවුරුත් දන්න බණ්ඩාරනායක සමාධිය පිළිබඳව කවුරුත් නොදන්න කතා කිහිපයක් ගැන යි.

(හොරගොල්ල වලව්ව ගැන කියවන්න: ලාංකික දේශපාලකයින් බොහෝ බිහිකළ “හොරගොල්ල වලව්ව”)

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ඝාතනය සහ අවසන් කටයුතු සිදු වූ අයුරු

වර්ෂ 1899 ජනවාරි 8 වැනිදා හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ උපත ලැබූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක වර්ෂ 1956 දී මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණා. නමුත් ධුරයට පත් වී වසර තුනක් වැනි සුළු කාලයක් ඇතුළත 1959 සැප්තැම්බර් මස 25 වන දින, කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් නිවසේ දී, තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවකගේ වෙඩි පහරකට ලක් වන්නට බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට සිදු වුණා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට පවා භාජනය කළ ද ඊට පසු දින, එනම් 1959 සැප්තැම්බර් 26 වන, අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වුණා.

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ දේහය කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ (වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය) මහජන ගෞරවය සඳහා දින දෙකක් පමණ තැන්පත් කර තිබූ අතර, පසුව දේහය හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ තැන්පත් කර තිබුණා. ඉන් අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් දේහය හොරගොල්ල බණ්ඩාරනායක වලව්වට ආසන්නයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටා ඇති භූමිභාගයක මිහිදන් කෙරුණා.

අවසන් කටයුතු සිදුකර දින කිහිපයක් ඇතුළත අගමැතිවරයා සිහිවීම පිණිස විශේෂ ස්මාරකයක් ඉදි කිරීම සඳහා කතිකාවතක් ගොඩනැගුනු අතර, ඒ අනුව 1959 වසරේ දීම මෙම විශේෂ ස්මාරකයේ ඉදිකිරීම් ආරම්භ කෙරුනා. එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් සපයා ගත් ආකාරය ද සුවිශේෂී යි.

අගමැති බණ්ඩාරනායක/Daily News

 

රුපියලේ අරමුදල

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ දේහය මිහිදන් කළ ස්ථානයේ මෙම සමාධිය ඉදි කිරීම සඳහා තීරණය කිරීමෙන් අනතුරුව ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා අරමුදලක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වුණා. ඒ අනුව “රුපියලේ අරමුදල” පිහිටුවනු ලැබූ අතර එම අරමුදලේ පාලන කටයුතු සිදු කරනු ලැබුවේ එහි භාණ්ඩාගාරිකවරයා වශයෙන් කටයුතු කළ පී. බී. ජී. කළුගල්ල යි. ලංකාවේ ජනයා සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් භේදයකින් තොරව තමන්ට හැකි පමණින් (උපරිමය රුපියලක්) මෙම අරමුදලට දායක වූ අතර මෙම සමාධිය ඉදි කිරීම සඳහා එවකට රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වී තිබෙනවා.

අවශ්‍ය අරමුදල් සපයා ගැනීමෙන් අනතුරුව සමාධිය ඉදිකිරීම සඳහා නිර්මාණ ශිල්පියෙක් තෝරා ගැනීමට අවශ්‍ය වුණා. එනිසා තරගයක් පවත්වා, ඉන් ජයග්‍රහණය කරන තැනැත්තාට මෙම සමාධියේ ඉදිකිරීම් කටයුතු භාරදීමට කටයුතු කෙරුනා. අදාල තරගයෙන් එවකට ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ පාණි තෙන්නකෝන් ජයග්‍රහණය කළ අතර සමාධියේ ඉදිකිරීම් කටයුතු ඔහුට පැවරුණා.

බණ්ඩාරනායක දිවියේ විවිධ අවස්ථා පිළිබිඹු කරන සමාධිය

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් පිළිබිඹු වෙන අයුරින් සමාධියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ගෘහ නිර්මාණ ශිල්පී තෙන්නකෝන් කටයුතු කළා. සමාධිය බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා කුඩා වියේ දී කෙළි සෙල්ලම් කළ සුවිසල් නුග රුකක් ආසන්නයටම වන්නට ඉදිකිරීමට ඔහු සැලසුම් කළා.

සමාධිය මත සිටුවා ඇති ශෛලමය කුලුනු පහක් දැකිය හැකි අතර, එමඟින් නිරූපණය කරන්නේ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ප්‍රවාහයට උරදුන් සඟ, වෙද, ගුරු, ගොවි, සහ කම්කරු යන පංච මහා බලවේගය බව කියැවෙනවා. එම ශෛලමය කුලුනුවලට ඉදිරියෙන් රළු විශාල කළු ගලක් ඇති අතර ඊට යටින් දැකීමට ඇත්තේ කපා ඔපමට්ටම් කරන ලද කළු ගලින් තනන ලද වේදිකාවක්. මේ කළු ගල් වේදිකාවෙන් හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ ඉපිද සියලු සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුණු බණ්ඩාරනායක අගමැතිවරයාගේ සුඛෝපභෝගි ළමාවිය පිළිබිඹු කෙරෙනවා. ඒ මත තබා ඇති රළු කළු ගලින් පිළිබිඹු කිරීමට අදහස් කර ඇත්තේ සියලු සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුණු බණ්ඩාරනායක තරුණයා ඒ සියලු සැප සම්පත් අත්හැර, තමන්ට මාපිය උරුමයෙන් හිමි වූ දේපළ පවා අහිමිකර ගනිමින්, පොදු ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීම සඳහා දියත් කරන ලද කටු කොහොළින් පිරි දේශපාලන අරගලය යි. සමාධිය දෙපස ඇති දිය පොකුණුවලින් නිරූපණය වන්නේ සාමය සහ සමාදානය බව යි කියැවෙන්නේ.

බණ්ඩාරනායක අගමැති කුඩාකල කෙළිසෙල්ලම් කළ ස්ථානයේ ඇති නුගරුක/Gayan Samaraweera

ඔබ බණ්ඩාරනායක සමාධිය අසලට යම් දිනෙක ගොස් තිබේ නම්, එහි සිව් දිසාවෙන්ම පියගැටපෙළ හතරක් තිබෙන බව දැක ඇති. එම පියගැටපෙළ හතරෙන් කිසිදු ජාති, ආගම්, හෝ කුල භේදයකින් තොරව සතර දිසාවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට ළඟා වීමට හැකියාව සහ අවස්ථාව තිබෙන බව නිරූපනය කෙරෙන බව පැවසෙනවා.

ඉහත පියගැටපෙළ හතරෙන් එක් පියගැටපෙළක් සුවිශේෂී වන්නේ බණ්ඩාරනායක සමාධිය තුළට පිවිසීමට අවශ්‍ය වූ විටෙක එම පියගැටපෙළ ගලවා ඉවත් කිරීමට හැකි නිසා යි. එය ගලවා නැවැත සවි කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.

අමතකව ගිය පිවිසුම් දොර

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ දේහය 1959 වසරේ දී සමාධිය තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව යළිත් සමාධිය විවෘත කිරීමට සිදුවූයේ ඊට වසර හතළිස් එකකට පසුව, 2000 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි. ඒ, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූත්, බණ්ඩාරනායක අගමැතිවරයාගේ සහකාරිය වූත් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 2000 වසරේ ඔක්තෝබර් මස අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය ද බණ්ඩාරනායක සමාධිය තුළ තැන්පත් කිරීමට තීරණය කෙරීමෙන්.

කෙසේ නමුත්, සමාධිය තුළට පිවිසීම සඳහා ගලවා ඉවත්කළ යුතු පියගැටපෙළ අවසන් වරට ගලවා ඉවත්කර ඒ වන විට වසර හතළිහකට වැඩි කාලයක් ගත වී තිබුණා. එනිසා ඉවත්කළ යුත්තේ කුමන පියගැටපෙළදැ යි ඒ වන විට කිසිවෙකුටත් නිවැරදි මතකයක් නොතිබූ බැවින් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. අවසානයේ හොරගොල්ල ප්‍රදේශයේ ජීවත් වූ වැඩිහිටියන් විසින් ලබාදුන් උපදෙස් අනුව ගලවා ඉවත්කළ යුතු පියගැටපෙළ හඳුනාගත් අතර, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ දේහය ද සමාධිය තුළ තැන්පත් කෙරුනා.

ඉන් අනතුරුව, 2008 වසරේ මාර්තු 16 වන දින අභාවප්‍රාප්ත වූ, බණ්ඩාරනායක යුවළගේ පුත්‍ර, ලංකාවේ අමාත්‍යවරයෙකු, විපක්ෂ නායකයෙකු, සහ කථානායකයෙකු වූත් අනුර ප්‍රියදර්ශි ඩයස් බණ්ඩාරනායකගේ දේහය ද බණ්ඩාරනායක සමාධිය තුළ කෙරුනා.

සමාධියට පිවිසීමට ඇති එක් පියගැටපෙළක්/ Gayan Samaraweera

 

බණ්ඩාරනායක සමාධිය තුළ කාමර කීපයක්ම තිබෙන අතර, මේ වන විට ඒවායෙන් තුනක බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගේ සහ අනුර බණ්ඩාරනායකගේ දේහයන් තැන්පත් කර තිබෙනවා. වර්තමානයේ දී සෑම වසරකම සැප්තැම්බර් මස 26 වන දින දිවංගත අග්‍රාමාත්‍ය බණ්ඩාරනායකගේ ගුණ සමරු උළෙලක් එම ස්ථානයේ දී පැවැත්වෙනවා. ගම්වැසියන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු පවුලේ ඥාතීන් සහ දේශපාලඥයින් රැසක් ද සහභාගී වෙනවා.

 

Related Articles