කොළඹට නුදුරු සොඳුරු නාන තැන්

අපි කවුරුත් සතියේ දවස් පහක් අවිවේකයෙන් රාජකාරි කරලා සති අන්තයේ විනෝදයක් ලබාගන්නටට කැමතියි. ඒ සඳහා කොළඹ අවට වසන වැඩිදෙනෙක් හුරු වී ඇත්තේ අවටක පිහිටන තැනක සුන්දර පරිසරයක නාන්න, පිහිනන්න යන්නට යි. මේ නිසා කොළඹ හා ගම්පහ අවට සොබා සුන්දරත්වයෙන් පිරි ස්ථාන කිහිපයක්ම සංචාරක නාන තටාක ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. කෑම ටිකකුත් හදාගෙන ගිහිල්ලා, දූ දරුවන්, මිතුරු මිතුරියන් ද සමඟ නාලා, කෑම කාලා එන්න අද බොහෝ දෙනෙක් මේ තැන්වලට එනවා. කැලණි ගඟ, කළු ගඟ, හා අත්තනගලු ඔයේ ශාඛාවලින් තමයි මේ බොහොමයක් තැන් හැදෙන්නේ. හැබැයි ඉතින් සමහරු අනවශ්‍ය ලෙස මත්පැන් ගැනීම නිසා මේ තැන්වල දී විවිධ අලකලංචි හා අනතුරුවලටත් මුහුණ පානවා. ඉතින් විනෝදයට ගියත්, ඒ තැන් වලදී වගකීමකින් යුතුව හැසිරීම ඔබේ වැඩක්.

මේ, එවැනි ස්ථාන කිහිපයක් ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක්.

කුමාරි ඇල්ල

කුමාරි ඇල්ල ගලා හැලෙමින්- amazinglanka.com- Sarath Wijayathilaka

මුලින්ම අපි යන්නේ ඓතිහාසික පුරාවෘත්ත පිරිවරා ගත් දියඇල්ලක් සහිත නාන තොටකට. ඒ සඳහා කොළඹ-අවිස්සාවේල්ල පාරේ පුවක්පිටිය හන්දියෙන් හැරී, තුම්මෝදර පාරේ රබර්වතු අතරින් කි. මී. 3ක් ගමන් කළ යුතුයි. දියඇල්ලට හැරෙන හන්දියෙන් අතුරු පාරක තවත් මීටර 600ක් විතරත් යන්න ඕනෑ. දියඇල්ලේ උස මීටර් 4ක් පමණක් වුණත් එහි අපූරු සුන්දරත්වයක් තිබෙනවා. ඇල්ල වැටෙන තැන “කුමාරි වළ” කියලා හඳුන්වනවා.

ඇල්ල අසල ජල තටාකය -refresh.lk

සීතාවක රාජසිංහ රජුගේ දියණිය මේ ඇල්ලට නෑමට පැමිණි බවත්, ඇය එහි වැටී, දියේ ගිලී මියගිය බවත් පැවසෙනවා. අවශ්‍ය නම්, නුදුරින් පිහිටන ඉලුක්ඕවිට තෙත් කලාපීය උද්භිද උද්‍යානය දැක බලාගැනීමටත් ඔබට යා හැකියි.

රන්මුදු ඇල්ල

දිය ප්‍රවාහය ගලා හැලෙන අයුරු – io.wp.com.

කුමාරි ඇල්ලෙන් නාලා එන ගමන් හයිලෙවල් පාරේ හංවැල්ලට නුදුරින් පිහිටි කළුඅග්ගලින් හැරී, තුම්මෝදර දක්වා වැටී ඇති පාරේ තුම්මෝදර හන්දියට ගමන් කරන්න. රන්මුදුඇල්ල පිහිටන්නේ මේ හන්දියට නුදුරින්. දියඇල්ල පිහිටා ඇත්තේ හල්පේ වතුයායට අයත් රබර් යාය මැද යි. ඇල්ල කොටස් දෙකකින් යුක්ත යි. එහි ඉහළ කොටස වෙන්කර තිබෙන්නේ ග්‍රාමීය පානීය ජල යෝජනා ක්‍රමයක් සඳහා බීමට ගන්නා ජලය ලබාගැනීමට යි. අවට පිහිටා තිබෙන නිවෙස් ගණනාවකට ඉන් පානීය ජලය සැපයෙනවා. දිය නෑමට මාර්ගයේ සිට ඇල්ලෙන් එගොඩ වීමට දමා තිබෙන පාලමට පහළින් පිහිටි කොටසට යා යුතුයි. අලංකාර ලෙස පිහිටා තිබෙන ගල්තලාවන්ගෙන් සහ විශාල වෘක්ෂයන්ගෙන් මෙය වට වී තිබෙන අතර, මෙහි උස මීටර් 15ක් පමණ වෙනවා.

ඇල්ල අවට දසුන්- ranmudufalls FB page

මෙම ඇල්ලට ද අතීත ජනකතාවක් තිබෙනවා. නුදුරින් පිහිටා තිබුණු සීතාවක රාජධානියේ රජ කළ රාජසිංහ රජුගේ පාලන සමයම එයටත් සම්බන්ධ වෙනවා. ඒ රජුගේ අන්තඃපුර බිසෝවරුන් දිය නෑමට මෙම ස්ථානයට පැමිණ ඇති අතර, එහි දී එක් බිසවකගේ රන් මුදුවක් මෙම ස්ථානයට වැටී සැඟවී ගොස් ඇති නිසා මෙම ස්ථානය “රන්මුදු ඇල්ල” යනුවෙන් හඳුන්වනු ලබන බව පැවසෙනවා.

අවට සවිකර ඇති නාම පුවරු ranmudufalls FB page

කැළණි ගඟේ ශාඛාවක් වන වක් ඔයට එක්වන මෙම ඇල්ල නිර්මාණය වන්නේ කලටුවාව රක්ෂිතයෙන් ඇරඹෙන බිසෝවක ඇල්ලෙන්.

අල්ගම උඩුවක ඇල්ල

උඩුවක ඇල්ලේ සුන්දරත්වය- dinamina.lk

කොළඹ-නුවර පාරේ පස්යාල හන්දියෙන් හැරී, අත්තනගල්ල පාරේ කිලෝමිටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි එල්ලක්කල හන්දියෙන් වමට තිබෙන්නේ අල්ගම පාර. මේ පාරේ අල්ගමට විත් උඩුවක මාර්ගයේ මීටර් 500ක් පමණ ගමන් කරන විට මේ කියන සුන්දර ඇල්ලට ළඟා වීමට පුලුවන්. ගමන් මාර්ගය පෙන්වන පුවරු දිගටම සවිකර ඇති නිසා මෙතන සොයාගැනීම අපහසු නෑ. ග්‍රාමීය සුන්දර වටපිටාවක් ඔබට මෙහි දී විඳගත හැකියි.

ඇල්ලට යාබද දිය කඳුරු- hotelnasevana.lk

වසරේ ජනවාරි සහ පෙබරවාරි අතර කාලයේ ඇල්ලේ ඇත්තේ අඩු ජල ප්‍රමාණක්. එබැවින් දියනෑම සඳහා එම කාලය වඩාත් සුදුසු බවයි අපට නම් හිතෙන්නේ. වර්ෂා කාලයේ දී ඇල්ලේ ජල මට්ටම බොහෝ ඉහළ යන බැවින්, දිය නෑමේ දී ප්‍රවේසම් විය යුතුයි. දියඇල්ල ඉහළට වන්නට ඇත්තේ ගල් පර්වත සහිත ප්‍රදේශයක්. එබැවින් පිහිනීම සඳහා සුදුසු නැහැ. පිහිනීම සඳහා ඇල්ල පහළ ප්‍රදේශය තෝරා ගැනීම වඩාත් යහපත්. මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් කිසිවිටක ඇල්ල අසලට දියනෑම සඳහා නොයාමයි. එම ප්‍රදේශයේ තටාකය ගැඹුරින් වැඩියි.

මේ දියඇල්ල අවටත් පරිසරය පිරිසිදුව තබා ගැනීම ගැන සඳහන් පුවරු සවිකර තිබුණත්, සමහරු කසළ දමා වටපිටාව අපවිත්‍ර කර ඇති අන්දම පේනවා.

දේවීන් පැන්න ඇල්ල

නිට්ටඹුවෙන් හැරී අත්තනගල්ලට පැමිණ ගලපිටමඩ මාර්ගයේ යන ඔබට අලවල පෙදෙසට ළඟාවත්ම ඈතින් ඇතාඋඩකන්ද පර්වතය දිස්වෙනවා. දෙපස හරිත පැහැගත් තුරුලිය අතරින් තව මදක් ඉදිරියට ගොස් වම්පස කඳුගැටය මත පිහිටි අලවල පන්සල ළඟ වංගුව හැරෙන විටම, දේවීන් පැන්න ඇල්ල ඒ අසලින්ම ගලා හැලෙන අපූරුව ඔබට දැකගත හැකියි. මෙය ගම්පහ දිස්ත්‍රික්කයට අයත්. කෑගල්ල දිස්ත්‍රික් සීමාවේ පිහිටි දුනුමඩලා කඳුවැටි වලින් තමයි මේ ජල මාර්ගය ආරම්භ වන්නේ. එය මීගමුවෙන් මුහුදට වැටෙන අත්තනගලු ඔයේ ආරම්භක අවස්ථාව යි.

සොළී සේනාවන් සමඟ කළ යුද්ධයෙන් වලගම්බා රජු පරාජය වූ බව දැනගත් රජුගේ බිසෝවරු, එය දරාගත නොහැකිව මෙම ඇතාඋඩ කන්දේ සිට ඇල්ලට පැන දිවි නසාගත් නිසාවෙන්, මෙම ඇල්ල “දේවින් පැන්න ඇල්ල” යනුවෙන් නම් කර ඇති බව ජනප්‍රවාද පවසනවා (මේ ජනප්‍රවාදය තවත් ස්ථාන කිහිපයක් ගැනම ගෙතී තිබෙනවා). මෙහි කඩාහැලෙන දියඇල්ලක් දක්නට නැහැ. ගල්පර්වත අතරින් ගලනා අත්තනගලු ඔයට ඒ නම ලබා දී තිබෙනවා.

දුර සිට බලන විට ඇතෙකුගේ ස්වරූපයෙන් දිස්වෙන නිසා මෙම කන්ද ඇතාඋඩ කන්ද නම් වී යැයි ද කියැවෙනවා. මෙයට නුදුරින් ඇතාඋඩකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටන අතර එහි ඇතුබැඳි ලෙන නමින් ලෙනක් තිබෙනවා. වළගම්බා රජුගේ ඇතා එහි බැඳ ඇති බව ජනප්‍රවාද වලින් කියැවෙනවා.

නාච්චිමලේ

නාච්චිමලේ දොළ- io.wp.com

නාච්චිමලේ ඉංගිරිය ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධම නාන ස්ථානය යි. මෙම ස්ථානය කළු ගඟේ ශාඛාවක් වන නාච්චිමලේ දොළ හෙවත් නම්බපාන ඇළේ ඉතාමත් සුන්දර නාන තොටුපොළක්. ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ කි. මී. 2ක් පමණ ගොස්, මහඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ කි. මී. දෙකහමාරක් ගිය විට වම්පසින් ගලායන දොළපාර දැකගත හැකියි. වනගත වටපිටාවක් මැදින් ගල්පර්වත බහුල තටාකවලින් කුඩා දියඇලි නිර්මාණය වී තිබෙන්නේ අලංකාර දසුනක් මවාපාමින්. අප රටට ආවේණික මසුන් වර්ග රාශියක් ද මෙහි ජීවත් වෙනවා. කලන්දා (Schismatogobius deraniyagalai), තොල රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), දෙපුල්ලියා (Puntius cumingi), හිත මස්සා (Puntius pleurotaenia), ‍ලේ තිත්තයා (Puntius titteya), බුලත් හපයා (Puntius nigrofasciatus), කොළකනයා (Channa orientalis), ඉරි අහිරාවා (Acanthocobitis urophthalmus), කඳුකර අභිරාවා (Schistura notostigma) ආදී මසුන් ඒ අතර සිටිනවා.

මඩකඩ ආරණ්‍යය- Wikipedia.org

සති අන්තවලට දහස් ගණනින් පිරිස් මේ ස්ථානයට පැමිණෙන නිසා ඔවුන් සඳහාම ඇරුණු අවන්හල් කිහිපයක් ද මෙහි දැකගත හැකියි. දශක දෙකකට පමණ පෙර නිසංසල ගැමි පෙදෙසක් වූ නාච්චිමලේ දොළ පෙදෙස අද නම් නාගරික රස්නය වැදුණු පැත්තක් වෙලා. මේ අවට විශාල පරිසර හානියක් ද සිදුවෙනවා. ඒ, පොලිතීන් හා මත්පැන් බෝතල් දැමීම නිසයි. එමෙන්ම අනාරක්ෂිතව බීමත්ව ස්නානය කිරීමට ගොස්, ජීවිත හානි කිහිපයක් ද පසුගිය කාලයේ සිදුවුණා.

මඩකඩ ආරණ්‍ය සේනාසනය පිහිටි මඩකඩ වනාන්තරය ද මෙහි දී දැකගත හැකියි. එය පහතරට තෙත් කලාපීය නිවර්තන වනාන්තරයක්. වර්තමානයේ නේවාසික භාවනායෝගී භික්ෂූන් වහන්සේලා 16 නමක් සහ නේවාසික භාවනායෝගී ගිහියන් විසින් එහි විපස්සනා භාවනාව ප්‍රගුණ කරනු ලබනවා.

පරෙයිතොට

පරෙයිතොටින් ගලනා නම්බපාන ඇළ-  wikipedia.org

මෙම නාන තොටද නම්බපාන ඇළේම පිහිටි සුන්දර ස්ථානයක්. එය නාච්චමලේට ඉහළින් පිහිටා තිබෙනවා. ඒ වෙත ගමන් කිරීමට නම් ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ කි. මී. එකහමාරක් ගොස්, නම්බපාන පාසැල් මාවතේ පියමං කළ යුතුයි. ගල් පර්වත සහිත තටාක අතරින් දියඇලි සාදමින් ඇළ ගලාබසින්නේ සුන්දර දසුන් මවමින්. මෙම ස්ථානය ද සංචාරකයන් නිසා විශාල පරිසර හානියකට ලක්වෙලා.

දුම්බර කළු වළ

කළුවළ -hitnews.lk

මෙය බොහෝ දෙනෙක් නොදන්නා සුන්දර ස්වභාවික තටාකයක්. පිහිටා තිබෙන්නේ ඉංගිරිය දුම්බර රබර්වතු යායට නුදුරින්. එයට ළඟාවීමට ඉංගිරිය පත්තිනි දේවාලය අසලින් හැරී යන දුම්බර වත්ත පාරේ ගමන් කළ යුතුයි. එය අසලට වාහනයක් ගමන් කිරීම අසීරු නිසා කිලෝමීටර බාගයක් පමණ පා ගමනින් යා යුතුයි. ඉංග්‍රීසි පාලන සමයේ වතුයායේ සුද්දන් මෙහි පැමිණ දියනෑමට දැඩි කැමැත්තක් දැක්වූ බව පැවසෙනවා. කළුගල් වලින් වට වූ ස්වභාවික තටාකයේ එක් අන්තයක් ගැඹුරින් වැඩියි. අනෙක් අන්තයට එන විට ගැඹුර අඩුවෙනවා. එයට කුඩා දියඇල්ලක් මවමින් දොළ පාරක් වැටෙනවා. ප්‍රදේශය අපිරිසිදු කරන්නන්ට දේව කෝපය එල්ල වී නොයෙකුත් අනතුරු සිදුවෙන බව මෙහි ප්‍රදේශවාසීන් විශ්වාස කරනවා. එනිසා මෙහි යනවා නම් ප්‍රවේශමෙන්!

අප ඔබ සමඟ මේ තොරතුරු බෙදාගන්නේ ඔබ මෙම ස්ථානයන්ට ආලය කරනු ඇති හා මෙම ස්ථානයන් රැකගනු ඇතිය යන විශ්වාසය නිසා යි. මෙම තැන් අපිරිසිදු කිරීමෙන් විපතක් වන්නේ ඔබටමයි. එයත් සිහි තබාගෙන, වගකීමෙන් යුතුව, මේ නිවාඩු සමයේ මේ තැන් වලට යන්න. විනෝද වෙන්න.

ආශ්‍රිත මූලාශ්‍ර:

කොළඹ දිස්ත්‍රික්කයේ දියඇලි- ධර්මන් වික්‍රමරත්න

වැනසෙන වනපෙත්- කුසුම්සිරි විජයවර්ධන

පුවත්පත් ලිපි

Related Articles