සුන්දර වියට්නාමයේ රවුමක් යමු

ස්විස්ටර්ලන්තය, නවසීලන්තය වගේ ආර්ථික වශයෙන් පොහොසත් නොවුණාට වියට්නාමය සොබා සෞන්දර්යය අතින් නම් ඉතාම පොහොසත් රටක්. විශේෂයෙන්ම ඝර්ම කළාපීය දේශගුණයත්, ශ්‍රී ලංකාවේ අපට ඉතා සමීප සංස්කෘතියත්, ප්‍රසන්න හා ආගන්තුක සත්කාරයට ලැදි මිනිසුනුත් නිසා වියට්නාමයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයෙක් නම් සතුටට සැනසීමට පත් නොවෙන්නේ හරිම කලාතුරකින්. අවුරුද්ද මුළුල්ලේම හොඳින් හිරු රැස් හා උණුසුම ලැබෙන වියට්නාමයේ තිබෙන සුන්දර වෙරළ තීර ඇතුළු ස්වභාවික දර්ශන ඔවුන්ගේ ප්‍රෞඪ ඉතිහාසයට හා සංස්කෘතියට මුසු වී මවන්නේ දිව්‍යමය චමත්කාරයක්.

වියට්නාමයේ ඉතිහාසය

hueprivatecars.com

වියට්නාමයට ඉතාම දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අදින් වසර 2000 කට පමණ පෙර උතුරු වියට්නාමයේ රතු ගංගා නිම්නයේ මිනිසුන් වී වගා කිරීමෙහි යෙදුණු බවට ඉතිහාසය සාක්ෂි දරනවා. මේ ප්‍රදේශය අාශ්‍රිතව ‘වැන් ලැන්ග්’ නමින් රාජධානියක්ද පැවතුණු අතර ක්‍රි. ව 2 වන සියවසේදී උතුරු වියට්නාමය චීන ජාතිකයන් විසින් අත්පත් කරගනු ලැබුවා. ඉන් පසු අවුරුදු 1000ක් පමණ පාලනය ගෙන ගියේ ඔවුන් විසිනුයි.

දකුණු වියට්නාමය ක්‍රි. ව පළමු සියවසේ සිට 6 වන සියවස දක්වා ෆුනාන් නම් ජනපදයක කොටසක් ලෙස පැවතුණා. මධ්‍යම වියට්නාමය තුළ ක්‍රි. ව දෙවන සියවසේ පමණ ඉන්දීය සම්භවයක් සහිත ‘චම්පා’ නම් ප්‍රදේශයක් ගොඩනැගී ඇති බවත් පැවසෙනවා.

උතුරු වියට්නාමය ක්‍රි. ව 938 දී “න්ගො කුයෙන්” නැමති නායකයෙක් චීන ජාතිකයන්ගෙන් මුදා ගන්නා අතර 13 වන සියවසේදී මොන්ගෝලියානුවන් විසින්ද, 15 වන සියවසෙදී නැවතත් චීන ජාතිකයන් විසින්ද වියට්නාමය ආක්‍රමණය කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වෙනවා.

වියට්නාමයට 1516 දී පෘතුගීසීන්ද, 19 වන සියවසේදී ප්‍රංශ ජාතිකයින්ද පැමිණෙන අතර කෙටි කාලීනව ජපාන හා ඉංග්‍රීසි පාලනයට නතු වුවද පසුකාලීනව “හෝ චි මින්ග්” ගේ නායකත්වයෙන් ස්වාධීන වන තුරුම ප්‍රංශ ජාතිකයන්ට නතුව තිබුණා.

ඇමෙරිකා-වියට්නාම යුද්ධය (history.com)

වියට්නාමය පසු කාලීනවද යුද්ධ වලට මුහුණ දුන් රටක්. වියට්නාමය ගැන කතා කරන විට වියට් මින්ග් හා වියට් කොන්ග් ගරිල්ලන් සමග 1960 දශකයේ ඇමෙරිකාව කළ යුද්ධය අමතක කරන්නට බැහැ. ඉතිහාසය පුරාම විවිධාකාර පාලනවලට නතු වෙමින් හා වෙනස් වෙමින් තිබුණු වියටනාමයේ දේශපාලනික හා සංස්කෘතීක බෙදීම් ගැන ගැන වෙනම දීර්ඝ ලිපියක් ලියන්නට තරම් කරුණු කාරණා තිබෙනවා.

වියට්නාමයේ ස්වභාවික පිහිටීම

වියට්නාමය පිහිටා ඇත්තේ ඉන්දු-චීන අර්ධද්වීපයේ ඝර්ම කලාපයට අයත්වයි. විශාලත්වයෙන් වර්ග කිලෝමීටර තුන් ලක්ෂයකට වඩා වැඩි භූමි භාගයකට හිමිකම් කියන වියට්නාමයේ මුහුදු වෙරළ කිලෝමීටර 3,444 ක් දිගු වෙනවා. මුහුදු වෙරළට අමතරව මෙහි භූමි භාගයෙන් 40% ක කඳු සහිත බවත් 42% ක වන වැස්මත් නිසා වියට්නාමය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක් බවට පත් වී තිබෙනවා. රතු නදියට හා මීකොං නදිය අයත් ඩෙල්ටාවන් නිසා මේ සෞන්දර්යය තවත් වැඩි වී තිබෙනවා.

මෙවැනි සුන්දර කුඹුරු යායවල් වියට්නාමයේ සුලබ දසුනක් (vietnam-travel.org)

වියට්නාමය උතුරු අක්ෂාංශ 10 සිට 24 දක්වා විහිදී තිබෙනවා සේම උස්ම කඳු මුදුන වන පන් සි පැන්ග් (Fansipan) මීටර 3,143 ක උසකින් යුක්තයි. මේ භූ විෂමතා නිසා විවිධාකාරයේ දේශගුණික කලාප මෙහි දැකගන්නට පුළුවන්. ඒ ඒ දේශගුණික කලාපවලට අයත් ශාක හා සත්ත්ව ප්‍රජාව වෙනස් නිසා වැඩි ජෛව විවිධත්වයක් වියට්නාමයේ දකින්නට හැකියි.

සංචාරකයෙක් වශයෙන් වියට්නාමයට පිය නඟන්නෙකුට සංචාරය කළ හැකි ආකර්ෂණීය ස්ථාන රැසක් රට පුරාම පිහිටා තිබෙනවා. මේ ස්ථානවල විවිධත්වය නිසා සමහර විටෙක රටවල් කීපයකම සංචාරය කරනවා වැනි හැඟීමක් ඔබට ඇති වේවි.

හෝ චි මින්ග් නුවර

vietnam-guide.com

සිය නිදහස් සටනේ පුරෝගාමියා අනුව යමින් නම් කර ඇති වියට්නාමයේ විශාලම නගරයත් සංචාරකයින්ගේ තෝතැන්නක්. මෙහි ඔබ මොබ යන්නෙකුට පැරණි ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදන ලද නිවාස හා පුළුල් මං මාවත් දැකිය හැකියි. මීට අමතරව යුධ මතකයන් ප්‍රදර්ශනයට තබා ඇති කෞතුකාගාරයත්, ජේඩ් අධිරාජ්‍යයාගේ විහාරස්ථානයත්, බෙන් ට්තන් වෙළඳ මධ්‍යස්ථානයත් සංචාරකයෙක් යා යුතුම ස්ථාන හැටියට සැළකිය හැකියි. මීකොං ඩෙල්ටාව මවන්නේ හරිම සුන්දර දසුනක්. සයිගොන් බෝට්ටුවක නැඟී මෙහි කුඩා චාරිකාවක් යන්නට වුණත් ඒ හැටි මුදලක් වියදම් වෙන්නේ නැහැ

හෝ චි මින්ග් (asiaone.com)

පොන්ග් නා – කෙ බන්ග් ජාතික උද්‍යානය

පොන්ග් නා ස්වභාවික ගුහාව (getawayhanoi.com)

පොන්ග් නා – කෙ බන්ග් ජාතික උද්‍යානය යුනෙස්කෝ සංවිධානය විසින් ස්වභාවික ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. වර්ග කිලෝමීටර 1000 කට වඩා වැඩි වපසරියක් තුළ විහිදී ඇති මෙම උද්‍යානයේ ස්වභාව සෞන්දර්යය නැරඹීමට මෙන්ම පිහිනමින් ස්නානය කර විනෝද වීමට පවා ස්ථාන තිබෙනවා.

මෙහි ඇති පොන්ග් නා ස්වභාවික ගුහාව ජීවිතයේ කලාතුරකින් අත් දකින්නට ලැබෙන රමණීයත්වයක් සහිත ස්ථානයක්.

හොඉ අන් පෞරාණික නගරය

vietvisiontravel.com

තු බොන් නදිය අසබඩ පිහිටා ඇති මේ පෞරාණික නගරය ඉතාම අලංකාර එකක්. මෙහි ඉදි කිරීම් සියල්ලම පාහේ දැවයෙන් නිමවා ඇති අතර සාම්ප්‍රදායික වියට්නාම ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව ජපාන හා චීන ලක්ෂණයන්ගෙන් යුතු ගොඩනැගිලි දැකිය හැකියි. 1999 වසරේදී මෙය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර තිබෙනවා.

විවිධ, සමරු ඵලක, පෞරාණික භාණ්ඩ, සේද රෙදි හා සිතුවම් මිල දී ගත් හැකි ස්ථානයක් ලෙසත් වර්තමානයේ මේ නගරය සංචාරකයන් අතර ප්‍රසිද්ධයි. මීට අමතරව රාත්‍රියේ දැකිය හැකි වර්ණවත් ආලෝක පහන්වල ආලෝකයත් ආගන්තුක සත්කාරයට ලැදි මිනිසුනුත් ඔබව අමන්දානන්දයට පත් කරාවි.

ඩා ලත්

ඩා ලත් සොබා සෞන්දර්යයෙන් පොහොසත්. එහි මෙවැනි දර්ශන බහුලයි (vietnam-guide.com)

මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක් පමණ උසකින් යුතුව, හෝ චි මින්ග් නගරයට කි.මී 200 ක් පමණ ඊසාන දිගින් පිහිටි මෙම නගරය ස්වභාවික සෞන්දර්යයෙන් පිරිපුන් එකක්. විල්, කඳුවලින් අලංකාර වී ඇති මෙහි පරිසරයේ සෞම්‍ය බව නිසා ඕකිඩ්, රෝස, ලිලී, කැමේලියා වැනි මල් හොඳින් වැඩෙනවා. තුයෙන් ලාම් හා තැන් තෝ විලුත්, මීටර 2165 ක් උසැති ලැන්ග් බියන් කඳු පන්තියත් මේ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් තැන්වලින් කිහිපයක්.

හා ලොන්ග් බොක්ක

halongbay.holiday

හා ලොන්ග් බොක්ක ලොව පුරාම සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ රමණීය ස්ථානයක්. මෙහි පිහිටා ඇති ගල් පරවල විශේෂ හැඩයන් ලෝකයේ වෙනත් ස්ථානයක දැක ගත නොහැකි තරම් අලංකාර රූප මවනවා. සිඹින ගල් පර, පුදුම උපදවන ගල් ගුහාව, හොවැන්ග් ටැන් දූව, හොන් ට්‍රොන්ග් මයි, බයි තෝ කන්ද, දිව්‍යමය ගුහාව, කැට් හේ දූපත මෙහි දැකගත හැකි දේවල්වලින් කිහිපයක්. මෙය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කර ඇති අතර 2012 වසරේදී ලෝකයේ ස්වභාවික පුදුම 7 අතරටද ඇතුළත් කෙරුණා.

පූ ක්වොක් දූපත

vietnam-travel.org

මෙම දූපත සංචාරකයන් අතර ප්‍රසිද්ධ වුණේ මෑතකදියි. බොහෝ දෙනා මෙහි පැමිණෙන්නේ බෝට්ටු සවාරි යාමට හා ස්වභාවික සෞන්දර්යය විඳ ගැනීමටයි. මෙය පිහිටා ඇත්තේ ප්‍රධාන ගොඩබිමට කිලෝමීටර් 50ක් පමණ දුරකින් මුහුද මැදට වන්නටයි.

මෙහි වැඩියෙන්ම සංචාරකයින් ගැවසෙන්නේ නොවැම්බරයේ සිට මාර්තු දක්වා කාලයේදීයි. දිය යට කිමිදීමට අගනා ස්ථාන සහිත මෙම දූපත ආගන්තුක සත්කාරයට ලැදි ගැමියන්ගෙන් පිරි එකක්. මෙම දූපත ජාතික උද්‍යානයක් ලෙස ද නම් කර තිබෙනවා.

හුයි බලකොටුව

amaritaco.com

හුයි නුවර අතීත වියට්නාමයේ දකුණේ පිහිටි රාජධානියේ අගනුවර වශයෙන් අවුරුදු 400 ක පමණ කාලයක් භාවිත කර තිබුණා. මෙහි පිහිටා ඇති බලකොටුව ගෘහ නිර්මාණ ශිල්පයෙන් පොහොසත් අතර ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කළේ 1993 වසරේදී යි.

විලවුන් නදියේ වම් ඉවුරේ හෙක්ටයාර් 500 ක භූමි භාගයක් පුරා විහිදුණු මෙය පිටත සිට ඇතුළතට පිළිවෙලින් ප්‍රධාන බලකොටුව, රාජකීය බලකොටුව හා තහනම් බලකොටුව වශයෙන් අදියර තුනකට අනුව ඉදි කර තිබෙනවා

න්හා ට්‍රැන්ග් මුහුදු වෙරළ

livingnomads.com

තවමත් ඒ තරම් මිනිස් ක්‍රියාකාරකම්වලින් කිළිටි වී නැති මේ මුහුදු වෙරළ හවායි හි මුහුදු වෙරළක් සිහි ගන්වනවා. ඈතින් පෙනෙන කඳු පන්ති මෙහි සුන්දර බව තවත් වැඩි කරනවා.

ටැම් කොක් ගල් කඳු

ටැම් කොක් හි හුණු ගල් හා කුඹුරු නරඹමින් බෝට්ටුවෙන් යාම අමුතුම අත්දැකීමක් (arokatravel.com)

මෙය හඳුන්වන්නේ ගොඩබිම ඇති “හා ලොන්ග්” බොක්ක ලෙසටයි. එයට හේතුව හා ලොන්ග් බොක්කේ ලෙසම පොළොවෙන් උඩට නෙරා ආ හුණු ගල් මෙහි පිහිටා තිබීමයි. කර දිය වෙනුවට මෙහි තැනිතලා පෙදෙස ආවරණය කරන්නේ හොඳින් අස්වද්දන ලද කුඹුරු යායවල් වීම විශේෂයක්. මෙහි සංචාරය කළ හැකි ගුහා 3ක් පවතින අතර කුඹුරු යායවල් මැදින් කෙරෙන බෝට්ටු සංචාරය ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වේවි.

මුයි නේ වැලි පර

vietnam-guide.com

සාමාන්‍යයෙන් වැලි කඳු දකින්නට ලැබෙන්නේ කාන්තාර පරිසරයක වුවත් මෙහිදී දකින්නට ලැබෙන වැලි කඳු වටකර තිබෙන්නේ නිල්වන් කෙත් වතු හා කඳු යායවල් වීම විශේෂත්වයක්. මීට අමතරව කුඩා විල් කිහිපයක්ද මේ අවට පවතිනවා. හිරු නඟින විට හා බැස යන විට සංචාරකයින් වැඩි වශයෙන් මෙහි සංචාරය කරනවා.

පුළුවන් දවසක වියට්නාමයේ සංචාරයක් යන්න ඔබටත් අවස්ථාවක් ලැබුණොත් කිසිම විදියකින් ඒ ගමන මග හරින්න නම් එපා. වියට්නාමය කියන්නේ ඇත්තටම  කවුරුත් කවදා හෝ යා යුතුම රටක්. මේ කියන කතාවේ ඇත්ත තේරුම් ගන්න වියට්නාමයට ගිහින්ම බැලිය යුතුයි.

(කවරයේ පින්තූරය -crossingtravel.com)

මූලාශ්‍ර:

  1. beautyscenery.com
  2. roughguides.com
  3. romancingtheplanet.com
  4. en.wikipedia.org
  5. seevietnamdifferently.com

Related Articles

Exit mobile version