ගාලු යන ගමන් බෙන්තොට

කොළඹ සිට කි. මී. 62ක් දුරින් පිහිටි බෙන්තරට ඒ නම වැටුණේ බෙම් ගඟ මුහුදට වැටෙන නිසයි. දැන් නම් මේ ගඟටත් කියන්නේ බෙන්තර ගඟ කියලම තමයි.

ගාලු – කොළඹ මාර්ගයේ බෙන්තර ගංගාවට ඉහළින් අද පාලමක්‌ තිබෙනවා. අතීතයේ දී මෙයින් එගොඩවන්නට තිබී ඇත්තේ ඔරු-පාරුයි.

බෙන්තොට දුම්රිය ස්ථානය-  flickr.com

බෙන්තොට අද සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ ප්‍රදේශයක්. පසෙකින් මහා සාගරයත්, පුළුල් මෝය ප්‍රදේශයත් මෙම ප්‍රදේශයට සංචාරකයන් ආකර්ශනය කරවනවා. හුඟක් සංචාරකයෝ බෙන්තර ගඟේ බෝට්ටු චාරිකා යාමට කැමැත්තක් දක්වනවා.

බෙන්තර නදිය

බෙන්තර ගඟ- atlasandboots.com

එන්. ටී. කරුණාතිලක ලියපු “බෙම් ගඟබඩ විත්ති” පොත ඔබ කියෙව්වා නම් මේ අවට තොරතුරු රැසක් දැනගන්න පුළුවන්. බෙන්තර ගංගාව දිස්‌ත්‍රික්‌ මායිමක්‌ මෙන්ම පළාත් දෙකක්‌ වෙන්කරන මායිමක්‌ ද වෙනවා. ඒ, කළුතර සහ ගාල්ල දිස්‌ත්‍රික්‌ මායිමයි. නැත්නම් බස්‌නාහිර සහ දකුණු පළාත් මායිමයි. බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම ප්‍රදේශයේ හේකොක්‌ කඳුවැටියෙන්.

බෙන්තර ගඟේ සංචාරකයන්- nerdnomads.com

එතැන් පටන් සැතපුම් 18 ක්‌ පුරා ගලා එන නදිය අතු ගංගා කිහිපයකට බෙදී ගලායනවා. අභ්‍යන්තර ජලාශ, කලපු, හා දූපත්වලින් බෙන්තොට පරිසරය අලංකාර කරනවා.

අපි මේ කියන්නට යන්නේ හුඟදෙනෙක් නොදන්නා බෙන්තර පිහිටි ඉපැරණි විහාරාරාම කිහිපයක් ගැනයි.

විහාර පහක්

ගලපාත විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමා- කුසුම්සිරි විජවර්ධන

බෙන්තොට පුරාණයේ එකම මහා විහාරයක් වශයෙන් පැවති බව පැවසෙනවා. බෙන්තොට මහා විහාරයට අයත් විහාර පහක් තිබෙනවා. වනවාස රජමහා විහාරය එකල භික්‌ෂුන් විසූ ස්‌ථානයයි. නැතහොත් භික්‌ෂු අධ්‍යාපනය ලබාදුන් අධ්‍යාපන ආයතනයයි. බෝධිය පිහිටි බෝධිමළු රජමහා විහාරය, කාශ්‍යප ධාතු සහිත ප්‍රධාන විහාරගෙය පිහිටි ගලපාත විහාරය, වෙහෙර වහන්සේ වැඩ විසූ බෙම් වෙහෙර හා අමතර බෝධියක්‌ තිබූ බෝධි සමීප පුරාණ විහාරය මෙම විහාර පහයි.

ඒ අනුව මේ ප්‍රදේශයේ ඓතිහාසිකත්වය අනුරාධපුර යුගය දක්වා ඇදීයනවා. ඈත අතීතයේ දී මෙම විහාර සම්බන්ධ කරමින් යා හැකි උමං මාර්ගයක් තිබු බවට ජනප්‍රවාද පවතිනවා. අදටත් සමහර විහාරවල උමංවල සාධක දැකගත හැකියි. මෙම විහාර පහම පිහිටා තිබෙන්නේ බෙන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ එකිනෙකට ආසන්නව නිසා ඔබට ඒවා පහසුවෙන් නැරඹීමටත් පුලුවන්.

වනවාස රජමහා විහාරය

වනවාස විහාරයේ ප්‍රතිමා ගෙය- mihithuru.lk

බෙන්තර පාලම පසුකර කි. මී. 1ක් පමණ ගාල්ල දෙසට ගොස් කහඹිලියාකන්ද හන්දියෙන් හැරී තවත් කි. මී. 1ක් යාමෙන් යාත්‍රාමුල්ල වනවාස විහාරයට පැමිණිය හැකියි. මෙහි ඉතිහාසය දෙවන පෑතිස් රජ යුගය දක්වා ඇදීයන බව පැවසෙනවා. සද්ධාතිස්ස රජ සමයේදී එය තවත් වර්ධනය වී තිබෙනවා. මුලින්ම මෙහි යෝගාවචර භික්ෂුන් වහන්සේලාට තපෝවනයක් තිබුණ බවයි පැවසෙන්නේ. පසුව එය අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ බව පේනවා. කෝකිල, ගිරා, තිසර හා පරෙවි සංදේශවලදී සංදේශකරු “වනවාසය” ගැන ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

18 වන සියවසේ අගභාගයේ දී මෙම විහාරය නැවතත් පුනර්ජීවයක් ලබනවා. මෙහි තිබූ දෙතිස් ඵලරුහ බෝධීය විනාශවී යාමෙන් පසු නැවත ශ්‍රී මහා බෝධීයේ ශාඛාවක් රෝපණය කර තිබෙනවා.

විහාරයේ නූතන සිතුවම්- sulakkhana.blogspot.com

අද මෙහි දක්නට ඇති ප්‍රතිමා මන්දිරය මහනුවර යුගයේ ඉදිකළ එකක්. සැතපෙන බුදු පිළිමයක්, හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි පිළිමයක් ද මෙහි දැකගත හැකියි. මෑතකදී විහාරාරාංග රැසක් ද විහාරයට එක්කර තිබෙනවා.

විල්හෙල්ම් ගයිගර්, රයිස්‌ ඩේවිඩ් වැනි අපරදිග පඬිවරුන් මෙම විහාරය ආශ්‍රයෙන් සිංහල හා පාලි බස උගත් බව සඳහන් වෙනවා. රාමඤ්ඤ නිකාය පිහිටවූ අඹගහවත්තේ ඉන්ද්‍රසභ මාහිමියන් උගත්තේ ද වනවාස විහාරයෙන්.

ගලපාත විහාරය

දාගැබ සහ ප්‍රතිමා මන්දිරය- කුසුම්සිරි විජවර්ධන

බෙන්තර හමුවන පැරණිම නටබුන් අද දැකගත හැකි විහාරය වන්නේ ගලපාත විහාරයයි. එයට පැමිණීමට කහඹිලියාකන්ද හන්දියෙන් ඇල්පිටිය පාරට හැරී කි. මී. 2ක් ගොස් ආරච්චිමුල්ල හන්දියෙන් හැරී තවත් කි. මී. 2ක් පියමං කළ යුතු වෙනවා. විහාරය පිහිටා ඇත්තේ කහගල්ල කියන ගමෙයි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක්‌ වැඩ සිටින ලොව එකම ස්‌ථානය මෙය බව බෞද්ධ පිළිගැනීමයි. සද්ධාතිස්ස රජු මෙහි පැමිණ මහා කාශ්‍යප ධාතු වන්දනා කර අංගසම්පූර්ණ සංඝාවාසයක් කරවූ බව මහාවංශය සඳහන් කරනවා. දඹදෙනි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී මෙම විහාරයට පොල් උයනක් පූජා කළ බව සඳහන්. දේවපතිරාජ ඇමැතිවරයා විහාරස්ථානයට පැමිණ පූජා පවත්වා දළදා පූජා උත්සවයක් ද පවත්වා තිබෙන බව පුජාවලියේ සඳහන් වෙනවා. කුරුණෑගල සිව්වන පරාක්‍රමබාහු රජුත් මේ දළදා පූජා සඳහා නියෝග පනවා තිබෙනවා. විශේෂ මණ්ඩපයක වැඩහුන් කාශ්‍යප දළදා වහන්සේ මහනුවර යුගයේ දී දාගැබක් කරවා තැන්පත් කර තිබෙනවා.

උඩරට සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා- කුසුම්සිරි විජවර්ධන

පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස්‌හි තම ආක්‍රමණය පතුරුවද්දී එහි ගොදුරක්‌ බවට මෙම වෙහෙර ද පත්වුණා. 1568 නොවැම්බර් 5 වැනිදා විහාරයට එල්ලවූ පෘතුගීසි ප්‍රහාරයේදී සියල්ල විනාශ වී ගිය බව සඳහන්.

පැරණි සඳකඩ පහණ, කොරවක් ගල්, ගල්කණූ කොටස් ආදිය විහාර භූමිය පුරා දැකගත හැකියි. විහාරයට පිවිසෙන පියගැට පෙළ පාමුල පිහිටා තිබෙන්නේ 1 වන පරාක්‍රමබාහු යුගයට අයත් සෙල්ලිපියක්. එය පිහිටුවා තිබෙන්නේ දෙමළ අධිකාරිවරයකු විසින්.

කැටයම් සහිත ගල්උළුවස්ස- කුසුම්සිරි විජවර්ධන

මෙහි නටබුන් අතර විශිෂ්ට කැටයම් සහිත ගල් උළුවස්ස ඉහළ තැනක් ගන්නවා. ගලින් කැටයම් කළ ලියවැල් රටා සහ නාටිකාංගනාවන්ගේ රූ සහිත එය නරඹන්නා තුළ පුදුමයක් දැනවීමට සමත් නිර්මාණයක්. මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත වර්ෂ 270ක් පැරණී  විහාර මන්දිරයක්ද දැකගත හැකියි. මෙහි තිබූ ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක් හොරු රැගෙන ගිය බවත් වාර්තා වුණා. පැරණි දාගැබ, විහාරය, ආනන්ද ප්‍රතිමාලය නම් නව  විහාරය, පැරණි ධර්ම ශාලාව, පැරණි පොකුණ, ඝන්ඨාර කුලුන, පැරණී ළිඳ හා උමඟක්ද මෙහි පිහිටා තිබෙන ස්මාරක වශයෙන් සැලකිය හැකියි. වාර්ෂිකව මහා කාශ්‍යප දළදා පෙරහැර ද මෙම විහාරස්ථානය විසින් පවත්වනු ලබන සංස්කෘතික අංගයක්.

බෝධිමළුව විහාරය

විහාරයේ නූතන සිතුවම්- mihithuru.lk

ගලපාත විහාරයත් වැඳපුදාගෙන යළිත් ආරච්චිමුල්ල හන්දියට පැමිණ වඩුමුල්ල පාරේ කි. මී. 2ක් යනවිට ඔබට බෝධිමළුව විහාරයට ළඟාවීමට පුලුවන්. මෙම ගම්මානය හඳුන්වන්නේ ද බෝධිමළුව කියන නමින්මයි.  එදා බෝධීන් වහන්සේ පිහිටි තැන හා රහතන් වහන්සේලා සක්මන් කරන ලද මළුව පිහිටියේ මෙම බෝධිමළුව විහාරයේයි. රහතන් වහන්සේලා පැන් ගත් පොකුණ ලෙස හැඳින්වෙන හැල හැදි වත්ත මෙහි පිහිටා තිබෙනවා.  අද පොකුණක් ලෙස නොපෙනෙන තරමට එය වල් බිහි වී ගිහින්. අද මෙය භික්ෂු අධ්‍යාපනයට කැපවූ විහාරයක්.   බෝධිමළුව පිරිවෙන මේ වන විට කැපී පෙනෙන අධ්‍යාපන ආයතනයක් බවට පත් වෙලා.

උඩකොටුව බෝධිසමීප රජමහා විහාරය

පුරාණයේ බෙන්තොට මහා විහාරයට අයත්ව තිබූ බෝධිසමීප විහාරය “නම්පොත” හෙවත් විහාර අස්නේද සඳහන් වන පුදබිමක්. පුරාණයේ බෙන්තොට මහා විහාර වන්දනාවට පැමිණෙන භික්ෂුන් වහන්සේලාට නවාතැන් පහසුකම් සැපයූ ආරාමය ලෙස මෙය ප්‍රකටයි. මෙහි උඩරට සම්ප්‍රදායේ සිතුවම් සහිත ප්‍රතිමා මන්දිරයක් හා පැරණි ධර්ම ශාලාවක්ද දැකගත හැකියි. පැරණි ළිඳ හා ශෛලමය වැසිකිලි ගලක්ද මෙහි පිහිටා තිබෙනවා. ඕලන්ද යුගයට අයත් මැටි වළලුවලින් කළ වැසිකිලි වළක්ද පැරණි අවශේෂ අතර වෙනවා.

ගලපාත විහාරයේ උළුවස්සේ කැටයම්- කුසුම්සිරි විජවර්ධන

බෙම් වෙහෙර රජමහා විහාරය

කහඹිලියාකන්ද හන්දියෙන් හැරී ඇල්පිටිය පාරේ කි. මී. 1ක් දුරින් මේ විහාරය පිහිටා තිබෙනවා. මෙය ගණේ විහාරය නමින්ද හඳුන්වනවා. මෙය පිහිටා ඇත්තේ දෝපේ ගම්මානයේ. පැරණි බෙම්තොට මහා විහාරයේ දාගැබ හෙවත් වෙහෙර මෙම භූමියේ පැවති බව තහවුරු කරමින් පැරණි දාගැබක නටබුන් අදත් දැකගත හැකියි. පැරණි සඳකඩ පහණක්ද මෙහි තිබෙනවා. අද මෙය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් සිද්ධස්ථානයක්. විහාර භූමියේ පැරණි උමඟක්ද පවතිනවා. එම උමඟ, ස්තූප ගොඩැල්ල හා විහාර මන්දිරය පුරාවිද්‍යා ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නිල්ගල්තලා විහාරය

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ ඉදිකොට ඇති තවත් පුරාණ රජමහා විහාරයකි. මල්මඩුවාකන්ද (මල්මාලා කන්ද) නිල්ගල්තලා පුරාණ රජමහා විහාරය. බෙන්තොට පසුකර ගමන් කරන විට ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ හැට අටවන සහ හැට නවවන කිලෝමීටර් කණු අතර පිහිටි මහ ඉඳුරුව දුම්රිය ස්‌ථානය අසලින් හැරී සුදුවැලිපත පාරේ කි. මී. 1ක් පමණ‌ ගිය තැන මල්මඩුවාකන්ද පුරාණ රජමහා විහාරයට පිවිසෙන මකර තොරණ හමුවෙනවා විහාරය පිහිටියේ කුඩා කඳුගැටයක අක්‌කර දෙක තුනක පමණ භූමි භාගයක්‌ පුරා විහිදුණු මහා කළුගල් තලාවක්‌ මතයි. පර්වතය මත දාගැබ් දෙකක් පිහිටා තිබෙනවා. මෙහි සිට මහ සමුදුරද කදිමට දිස්වෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර:

රජමහා විහාරාරාම- කුසුම්සිරි විජවර්ධන

පෞරාණික ස්ථාන සහ ස්මාරක- ගාල්ල දිස්ත්‍රික්කය- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

Related Articles