Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉර බසින හැන්දෑවේ සංචාරයකට ඔබින ශ්‍රී ලංකාවේ සොඳුරු දූපත්

නිවාඩුවක් ලැබුණා ම සංචාරයේ යෙදෙන්න අපි කවුරුත් කැමති යි. සංචාරයේ යෙදෙන්න කැමති කෙනෙක්ට ලෝකයේ යා හැකි චමත්කාරජනක තැන් නම් බොහෝම යි. නමුත් මොන තරම් ආස වුණත් ලෝකය පුරා සංචාර‍යේ යන්න තිබෙන ලොකු ම බාධාවක් තමයි, දැවැන්ත මූල්‍ය අර්බුද කියන්නේ.

එහෙම වෙලාවකට හිතේ දුක යන්නත් එක්ක ලස්සන දූපතකට බෝට්ටු සවාරියක් යන්න තිබෙනවා නම් කොයි තරම් අපූරු ද? ඉර බැහැගෙන යනකොට තැඹිලි පාට අහසට ටිකෙන් ටික දම් පාටට හැරෙන හැටි බලන්න, ගල් පරවල හැපිලා බිඳෙන රළ සුදෝසුදු පෙණ කැටි නගන අපූරුව දකින්න එහෙමත් නැත්තම් මුහුදු සුළඟේ දැවටුණු ලුණු සුවඳ විඳගන්න කැමති කෙනෙක්ට යන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සුන්දර දූපත් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

බෝන් දූපත

නැගෙනහිර පළාතේ මඩකලපු වෙරළ තීරය ආසන්නයේ පිහිටා ඇති පුංචි දූපතක් මේ නමින් හැඳින්වෙනවා. ගොඩබිම සමග කිසිම සම්බන්ධයක් නොමැති මෙයට ළඟා විය හැකි එක ම ක්‍රමය වන්නේ බෝට්ටුවක් මාර්ගයෙන්. මඩකලපු මුහුදේ මසුන් මරන ධීවරයින් අතර ජනප්‍රිය බෝන් දූපත අද වන විට ස්වදේශික සංචාරකයින් ද නිතර යන එන තැනක්.

ක්‍රිස්තු වර්ෂ 1833 – 1837 දක්වා කාලය තුළ දී මඩකලපුවේ සහකාර දිසාපති ලෙස කටයුතු කළ ජේ. ඒ. බෝන් මැතිතුමා විසින් ඔහුගේ නිවාඩුව ගත කිරීම සඳහා එහි කුඩා බංගලාවක් ඉදි කර තිබෙනවා. ඒ නිසා ම එම දූපත නම් කර ඇත්තේ ද ඔහුගේ නමින්.

සෝබර් දූපත්

(homestaysrilanka.blogspot.com)

ප්‍රංශ ජාතිකයින් විසින් මුල් වරට අත්පත් කර ගන්නා ලද සෝබර් දූපත, පැරිස් ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන්ට පවරා දී ඇති අතර මුල් කාලයේ දී එය යොදාගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලාස්ථානයක් ලෙස යි. කොඩ්ඩියාර් බොක්කේ පිහිටා ඇති එය තරුණ වියේ දී ම මිය ගිය එස්. සෝබර් නම් බ්‍රිතාන්‍ය ලුතිනන්වරයාගේ නමින් නම් කර ඇති අතර දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී පෙරදිග රාජ්‍යයන් කරා ගමනේ යෙදුණු බලඇණි සඳහා නවාතැන්පොළක් ලෙස ද භාවිතා කර තිබෙනවා.

අක්කර 175 ක් පමණ වපසරියකින් යුතු සෝබර් දූපත් සමූහයට දූපත් ද්විත්වයක් අයත් වන අතර වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ මහා සෝබර් දූපත යි. එහි පැරණි ප්‍රංශ සොහොන් ගල්, දෙවැනි ලෝක සංග්‍රාම සමයේ නටබුන් සහ පොළොව යට ඉදි කර ඇති අවි ගබඩාවන් තවමත් ඉතිරි වී තිබීම එයට හේතුව යි. මීට අමතර ව සෝබර් දූපතට ත්‍රිකුණාමල වරායේ සම්පූර්ණයෙන් ම දර්ශනය වන අතර එහි ඇති සොඳුරු නවාතැන්පොළ සියවසකට පමණ පෙර දී ගොඩනංවන ලද්දක්.

(homestaysrilanka.blogspot.com)

මන්නාරම

සුදු වැලි තලාවන්ගෙන්, තල් රුප්පාවන්ගෙන්, මුහුදු ලිහිණින්ගෙන් සහ නිදහසේ සැරිසරන බූරුවන්ගෙන් ගහන මන්නාරම, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින් ම දිනා ගත් දූපතක්. පෝක් සමුද්‍ර සන්ධියෙන් මන්නාරම් බොක්ක වෙන් කරන ආදම්ගේ පාලම එහි ඇති ප්‍රසිද්ධ ම ස්ථානයක් ලෙස සැලකෙනවා.

මන්නාරම් දූපතේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති තලෙයිමන්නාරම සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩි ම සුළං සහිත ප්‍රදේශය ලෙස යි. මුහුදු රළ මත ලිස්සා යමින් සරුංගල් යැවීමට කැමති සංචාරයකින් අතර තලෙයිමන්නාරම ජනප්‍රිය මේ හේතුවෙන්.

(flickr.com)

මීට අමතර ව පක්ෂීන්ට නිරීක්ෂණයට කැමති උදවිය යා යුතු ම තැනක් විදියටත් මන්නාරම හැඳින්විය හැකි යි. විශේෂයෙන් ම සැප්තැම්බර් – අප්‍රේල් අතර කාලය තුළ දී මන්නාරම් දූපතේ සංචාරයේ යෙදෙන්නෙකුට නොයෙක් ආකාරයේ තාරාවුන්, කොකුන් මෙන් ම වර්ණවත් රණහංසයින් ද දැක බලා ගන්නට ලැබෙන බව නම් නොඅනුමාන යි.

ඩෙල්ෆ්ට් දූපත

දෙමළ බසින් නේදුන්තීව් යනුවෙන් හඳුන්වන ඩෙල්ෆ්ට් දූපත, පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති නොගැඹුරු කරදියෙන් සහ කොරල් කැබලි මුසු වූ වැල්ලෙන් වැසුණු දිවයිනක්. Rijcklof van Goens නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා නේදුන්තීව් දූපත නම් කර ඇත්තේ ඩෙල්ෆ්ට් නම් සුන්දර ලන්දේසි නගරයේ නමින්. එහි නැගෙනහිර වෙරළ තීරය සම්පූර්ණයෙන් ම මිනිස් වාසය සඳහා වෙන් වී තිබෙනවා.

(en.wikipedia.org)

නමුත් සංචාරයකින්ට වැදගත් වන්නේ දූපතේ බටහිර ඉවුර යි. එහි දී වසර දහසක් පමණ පැරණි චෝළ රජ සමයට අයත් කෝවිලක නටබුන් මෙන් ම කඩා වැටුණු ලන්දේසි බලකොටුවක් ද දැක ගන්න පුළුවන්. ඒ වගේ ම ලන්දේසි පාලන සමයේ දී අත් හැර දමන ලද පෝනීන්ගෙන් පැවතගෙන එන කැළෑ පෝනීන් රැළකුත් ඩෙල්ෆ්ට් දූපත වාසය කරනවා.

මේ සියල්ලට ම අමතර ව ලන්දේසි පාලන කාලයේ දී ගොඩ නංවන ලද ‘රැජිනගේ කුලුන’ නමින් හඳුන්වන කණුවක් ද ඩෙල්ෆ්ට් දූපතේ ගිනිකොන දිග වෙරළ තීරයේ දී දැක ගැනීමට ලැබෙනවා. එය ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් විසින්  බ්‍රිතාන්‍ය ඔත්තු බැලීමේ කුලුනක් ලෙස මෙන් ම ප්‍රදීපාගාරයක් ලෙස ද භාවිතා කරන ලද්දක්. එහි ‘රජුගේ කුලුන’ නමින් කණුවක් ද තිබී ඇති අතර වර්තමානයේ දී එහි පාදම පමණ යි ඉතිරි වී ඇත්තේ.

(slam.lk)

පරෙවි දූපත

නිලාවේලි වෙරළ තීරණයට කීලෝමීටරයක් පමණ ඈතින් පිහිටා ඇති පරෙවි දූපත ඒ නමින් හඳුන් වන්නේ එහි ජනපද පිහිටුවාගෙන සිටින දහස් ගණනක් වූ පරෙවියන් නිසාවෙන්. දැනට ලංකාවේ ඉතුරු වී ඇති හොඳ ම කොරල් පර දක්නට ලැබෙන ස්ථානයක් ලෙස සැලෙකන පරෙවි දූපත, 1963 දී අභය භූමියක් ලෙස නම් කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවේ ඇති සමුද්‍රික ජාතික උද්‍යානයන් ද්විත්වයෙන් එකක් වන පරෙවි දූපත, ජාතික උද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ 2003 වසරේ දී යි.

(en.wikipedia.org)

පරෙවි දූපත ද සෝබර් දූපත් මෙන් මූලික වශයෙන් දූපත් දෙකකින් සමන්විත වන අතර විශාල දූපත කොරල් පරයන්ට ද කුඩා දූපත ගල් කැබලිවලට ද මැදි වී තිබෙනවා. ගැඹුරු මුහුදු කිමිදීමට කැමති සංචාරකයන් අතර ජනප්‍රිය පරෙවි දූපත ආශ්‍රිත මුහුදේ දී කොරල් පර විශේෂ සියයක් පමණ ද ඒ ආශ්‍රිත ව වාසය කරන මත්ස්‍ය විශේෂ තුන් සියයක් පමණ ද දැක ගැනීමට හැකි යි. මීට අමතර ව පොතු කැස්බෑවා, ගල් කැස්බෑවා සහ බටු කැස්බෑවා වැනි කැස්බෑ විශේෂ ද පරෙවි දූපතේ වාසය කරනවා.

බත්තලංගුණ්ඩුව

(pixeltrail.blogspot.com)

මේ නම ඇසූ පමණින් ම කාගේත් සිහියට නැගෙන්නේ මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ ග්‍රන්ථය බව නම් කිසිදු සැකයක් නැහැ. කතා පොතට පාදක වූ  බත්තලංගුණ්ඩුව පිහිටා ඇත්තේ කල්පිටිය වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 20 ක් පමණ ඈතින්. ශ්‍රී ලංකාව සතු වෙරළ තීරයන්ගෙන් සුන්දර ම වෙරළ තීරයක් හිමි දූපතක් ලෙස බත්තලංගුණ්ඩුව හැඳින්විය හැකි යි. දූපතට ළඟා වීම සඳහා පාලම් පාරුවෙන් පැය තුනක් පමණ ගමන් කළ යුතු වෙනවා.

බොහෝම දර්ශනීය මුහුදු ගමනක් වන මෙහි දී එක් පසෙකින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ද අනෙක් පසින් ගොඩබිමට සමාන්තරව පිහිටා ඇති රන්වන් වැල්ලෙන් සමන්විත දූපත් ද දැක ගැනීමට ලැබෙනවා. ධීවර ගම්මානයක් වන බත්තලංගුණ්ඩුවේ ජනගහනය 3,000 ක් පමණ වෙනවා. හලාවත සහ මීගමුව ප්‍රදේශවලින් පැමිණ පදිංචි වූ ඔවුන් බොහෝමයක් දෙනා කතෝලිකයන්.

මඩොල් දූව

(charithad.blogspot.com)

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කියවන උදවියට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ හැදුනු වැඩුණු ඕනෑම කෙනෙක්ට ‘මඩොල් දූව’ කියන්නේ ආගන්තුක නමක් නෙමෙයි. කොග්ගල කලපුව මධ්‍යයේ පිහිටා ඇති මඩොල් දූව, දකුණේ සංචාරය කරන කෙනෙක් අනිවාර්යයෙන් ම යා යුතු ස්ථානයක්. මඩොල් දූවේ ලස්සන බලන්න නම් යා යුත්තේ ඉර නැගෙන එන හිමිදිරියේ හෝ ඉර බැස ගන සැඳෑ සමයේ දී යි.

බොට්ටුවෙන් මඩොල් දූවට ළඟා වෙන අයෙක්ට කඩොලාන වගුරක් අතරේ සැඟ වී තිබෙන තොටුපළ දැක ගැනීමට පුළුවන්. අද වන විට සංචාරයකන්ගේ පසු ව තකා එහි කුඩා දැවමය නැව් තටාකයක් මෙන් ම දූපතට ඇතුළු වීම සඳහා කැළෑව කතා අඩිපාරක් ද තනා තිබෙනවා.

කවරයේ පින්තූරය: allswalls.com

මුලාශ්‍ර:

  1. en.wikipedia.org
  2. soberislandresort.lk
  3. lonelyplanet.com
  4. tripadvisor.com
  5. yamu.lk
  6. sri-lankan-travelogue.blogspot.com
  7. serendib.btoptions.lk

Related Articles