ශ්‍රේෂ්ඨ බුදු රදුන් වෙනුවෙන් තැනූ නුවර : බෝරෝබුදුර්

බෝරෝබුදුර් හෙවත් බාරාබුදුර් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයට අයත් මැගලන්ග් හි ගොඩ නංවා ඇති 9 වැනි සියවසට අයත් මහායාන බෞද්ධ විහාරස්ථානයක්. මේ වන විට එය සැලකෙන්නේ ලෝකයේ ඇති විශාලත ම බෞද්ධ විහාරය ලෙස යි. බෝරෝබුදුර් විහාරයේ එකක් මත එකක් පිහිටන සේ නිමවන ලද වේදිකා නවයක් (එයින් හයක් සමචතුරස්‍රයක හැඩයෙන් ද තුනක් වෘත්තාකාර හැඩයෙන් ද යුතු වෙනවා) දක්නට ලැබෙන අතර ඒ මධ්‍යයේ කොතක් සහිත දාගැබක් දක්නට ලැබෙනවා. බෝරෝබුදුර් විහාරස්ථානය අලංකාරවත් කිරීම සඳහා පේකඩ පුවරු (relief panels) 2,672 ක් සහ බුද්ධ ප්‍රතිමා 504 ක් යොදාගෙන ඇති අතර මධ්‍යම දාගැබ වටා නිමවා ඇති බුද්ධ ප්‍රතිමා 72 ක් තැන්පත් කර ඇත්තේ සිදුරු සහිත කුඩා දාගැබ් තුළ යි.

(seekknowledgeeveninchina.wordpress.com)

9 වැනි සියවසේ දී සෛලේන්ද්‍ර රාජ සමයේ දී ගොඩ නංවන ලද බෝරෝබුදුර් විහාරස්ථානය සැලසුම් කර ඇත්තේ ජාවා දූපතට ආවේණික බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව යි. එසේ ම ඉන්දියානු ආභාෂය පෙන්නුම් කරමින් බෝරෝබුදුර් විහාරස්ථානයේ දී ගුප්ත කලා ශිල්පයන් හි බලපෑම දක්නට ලැබුණ ද ඒ මගින් ඉන්දුනීසියානු ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ටත්වය යටපත් වී නැහැ.

බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් එක් සොඳුරු පැතිකඩක් නිරූපණය කරන මේ අපූරු ස්මාරකය බොදු සිද්ධස්ථානයක් ලෙස මෙන් ම බෞද්ධ වන්දනා ගමනාන්තයක් ලෙස ද සැලකෙනවා. වන්දනාකරුවන් සඳහා ගමන් ආරම්භ වන්නේ ස්මාරකයේ පාදම මතින්. එසේ ආරම්භ වන වන්දනා ගමන පටු මංපෙතක් ඔස්සේ ස්මාරකය වටා මට්ටම් ත්‍රිත්වයක් ඔස්සේ මුදුනට ගමන් කරන්නේ බුදු දහමේ ඉගැන්වෙන තුන් ලෝකය සංකේතවත් කරමින්. ඒ අනුව පළමු මට්ටම මගින් කාම ලෝකය ද දෙවැනි මට්ටම මගින් රූප ලෝකය ද තුන් වැනි මට්ටම මගින් අරූප ලෝකය ද නිරූපණය කරනවා.

බොරෝබුදුර්හි සැලැස්ම මෙම මණ්ඩලය මත පදනම් වී තිබෙනවා.
රතු පැහැයෙන් ඇති කොටසෙන් කාමධාතුද,
තැඹිලි පැහැයෙන් රූප ධාතුද,
කහ පැහැයෙන් අරූප ධාතුද නිරුපණය වන අතර, කේන්ද්‍රය විසින් නිර්වාණය නිරුපණය කරයි. (en.wikipedia.org)

වන්දනා ගමනේ යෙදෙන සෑම අයෙක් ම මැනවින් විහිදී ගිය පියගැට පෙළ සංකීර්ණයක් සහ පටු ආලින්දයන් පෙළක් පසු කළ යුතු අතර මේ සියල්ල ම බිත්තිවලට සවි කර ඇති පේකඩ පුවරු සහ කොරවක්ගල් 1,460 ක් යොදාගෙන සරසා තිබෙනවා. දැනට ලෝකය ඇති බෞද්ධ පේකඩ පුවරු අතරින් විශාලත ම සහ පරිපූර්ණත ම පේකඩ පුවරු වෘන්දය බෝරෝබුදුර් විහාරස්ථානය සතු යි.

දැනට හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව 9 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන ලද බෝරෝබුදුර් විහාරස්ථානය 14 වැනි සියවසේ දී පමණ ජාවා දූපත් හි පැවති හින්දු රාජධානිය බිඳ වැටීමෙන් පසු ව ජාවා වැසියන් ඉස්ලාම් දහම වැළඳ ගැනීමත් සමග අත් හැර දමා තිබෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1814 දී එවකට ජාවා හි බ්‍රිතාන්‍ය පාලකයා ව සිටි ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් ස්වදේශීය ඉන්දුනීසියානුවන්ගේ මඟ පෙන්වීම මත යළිත් වරක් බෝරෝබුදුර් විහාරස්ථානය අනාවරණය කර ගැනීමෙන් පසු ව ඒ කෙරෙහි ලෝක අවධානය යොමු වුණා. එම සොයා ගැනීමෙන් පසු ව බෝරෝබුදුර් විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් ඔස්සේ ම සංරක්ෂණය කරන ලද අතර එයින් දැවැන්ත ම ප්‍රතිසංස්කරණ වැඩසටහන දියත් වුණේ 1975 සිට 1982 අතර කාලයේ දී යි. ඉන්දුනීසියානු රජය සහ යුනෙස්කෝ සංවිධානය එක් ව එම වැඩසටහන දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසු කාලීන ව 1991 වසරේ දී බෝරෝබුදුර් විහාරස්ථානය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ලන්දේසි හමුදා ඉංජිනේරු තියොඩෝර් වෑන් අර්ප් විසින් වර්ෂ 1911දී බොරෝබුදුර් ප්‍රතිසංස්කරණය කළ පසු. මෙහි මධ්‍යයේ වෑන් අර්ප් අර්ධ ලෙස යලි ගොඩ නැංවූ ඡත්‍ර ස්ථුපය දැක්වේ. එම ස්ථුපය අවසන් කිරීමට පුරාණ ගඩොල් ඇති තරම් නොවීමෙන් වෑන් අර්ප් එය නැවත ගලවුයේය. දැන් එම ඡත්‍ර ස්ථුපය බොරෝබුදුර් අසල ඇති කර්ම විභ්භංග කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. (akairan.com)

වර්තමානයේ ද බෝරෝබුදුර් විහාරස්ථානය වැඩි වශයෙන් යොදා ගන්නේ වන්දනා ගමනාන්තයක් ලෙස යි. එයට අමතර ව සෑම වසරක වෙසක් උත්සව වෙනුවෙන් එහි විශේෂ වැඩසටහනක් පවත්වනු ලබනවා. එසේ ම ඉන්දුනීසියාවේ වැඩි ම සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානය ලෙස සැලකෙන්නේ ද බෝරෝබුදුර් විහාරස්ථානය යි.

ශ්‍රේෂ්ඨ බුදු රදුන් වෙනුවෙන් තැනූ නුවර

ඉන්දුනීසියානු බසින් පැරණි විහාරස්ථාන හැඳින්වීම සඳහා ‘චණ්ඩි’ යන වදන යොදා ගන්නා අතර ඒ අනුව ස්වදේශිකයන් බෝරෝබුදුර් විහාරස්ථානය හඳුන්වන්නේ ‘චණ්ඩි බෝරෝබුදුර්’ යන නාමයෙන්. නමුත් විහාරස්ථානය ‘බෝරෝබුදුර්’ යනුවෙන් හඳුන්වන්නේ ඇයි ද යන්න තවමත් පිළිතුරු නොලද පැනයක්. මුල් ම වරට එය හැඳින්වීම සඳහා ‘බෝරෝබුදුර්’ යන නාමය සඳහන් කර ඇත්තේ ජාවා දූපත් හි ඉතිහාසය ගැන ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් රචනා කරන ලද ග්‍රන්ථයේ යි.

කුහර සහිත කුඩා අනු ස්ථුප වල විවිධ මුද්‍රා සහිත බුද්ධ ප්‍රතිමා ඇත. (boldtravel.com)

ජාවා දූපත් හි භාවිතා වී ඇති පැරණි භාෂාවන්ට අනුව ‘බෝරෝ’ යන වදන මගින් ශ්‍රේෂ්ඨ හෝ ගෞරවනීය යන අර්ථය හැඟවෙන අතර ‘බුදුර්’ යන්නෙන් බුදුන් වහන්සේ ව හැඳින්වෙන්නට ඇතැයි සැලකෙනවා. තවත් අදහසක් වන්නේ බුදුන් වහන්සේ ව හැඳින්වීම සඳහා යොදා ගත් ‘බුදු’ යන්නට නගරය යන වදන සඳහා යොදා ගන්න ලද ‘උර්’ එක් වී බුදුන් වහන්සේගේ නගරය යන අරුතෙන් ‘බුදුර්’ යන්න නිර්මාණය වන්නට ඇති බව යි. කෙසේ හෝ දැනට පිළි ගත් මතය අනුව ශ්‍රේෂ්ඨ බුදු රදුන් වෙනුවෙන් තැනූ නුවර යන අරුතින් මෙය බෝරෝබුදුර් ලෙස හැඳින්වෙනවා.

තුන් ලොව සංකේතවත් කරන බෝරෝබුදුර්

තාප්ප වල කොටා ඇති කැටයම් වලින් බුද්ධ චරිතය හා ජාතක කතා නිරූපණය කරයි. (hpgrumpe.de)

බෝරෝබුදුර් හි පළමු මට්ටමේ පිහිටා ඇති විහාරයේ පාදම මගින් පෙන්නුම් කරන්නේ කාම ලෝකය යි. මේ මගින් කම්මවිභංග සූත්‍රයේ දේශනා කර ඇති අවස්ථා 160 ක් නිරූපණය කරන අතර එහි ඇති පේකඩ පුවරු බෝහෝමයක හේතු-ඵල සම්බන්ධය, මනුෂ්‍ය ජීවිතයේ විවිධ අවස්ථා සහ සොරකම් කිරීම, ප්‍රාණගාතය සහ වැරදි කාම සේවනය වැනි අකුසල් ක්‍රියා දක්වා තිබෙනවා.

පඩිපෙළක් සේ නිර්මිත තට්ටු (en.wikipedia.org)

දෙවැනි මට්ටමේ දී හමු වන රූප ලෝකය මගින් එදිනෙදා ජීවිතයෙන් මිදී ඇති බැතිමතුන්ගේ ජීවිතය නිරූපණය වෙනවා. සමචතුරස්‍රාකාර වේදිකා පහකින් සමන්විත මෙහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා සංඛ්‍යාව ගණනින් 432 ක් වෙනවා.

(panoramio.com)

අරූප ලෝකය නිරූපිත තුන් වැනි මට්ටමේ ඇති වෘත්තාකාර වේදිකා ත්‍රිත්වය සහ ඒ මැද පිහිටි දාගැබ පෙන්නුම් කරන්නේ විශ්වයේ සියලු දුක් කරදරවලින් මිදීම යි. මෙම කොටස සරල කැටයම් සහිත ව නිර්මාණ කර ඇති අතර තැන තැන විසිරී ඇති බුද්ධ ප්‍රතිමා තැන්පත් කරන ලද කුඩා දාගැබ් දැක ගැනීමට ලැබෙනවා. මෙහි ප්‍රධාන දාගැබ තුළ බුදු රුවක් නොමැති අතර එය තුළ ධාතු තැන්පත් කර තිබෙන්නට ඇතැයි සැලකෙනවා.

බෝරෝබුදුර් විහාර ත්‍රිත්වය

ප්‍රධාන ගොඩනැගිල්ලට අමතර ව බෝරෝබුදුර් විහාර සංකීර්ණයේ මෙන්දුත් හා පාවොන් යන නමින් තවත් කුඩා විහාරස්ථාන ද්විත්වයක් දක්නට ලැබෙනවා. මෙම විහාරස්ථාන ත්‍රිත්වය ම එක පෙළට පිහිටා ඇත්තේ ඍජු රේඛාවකින් යා එක හැකි ලෙස යි. දැනට පිළිගෙන ඇති මතය වන්නේ සමස්ත බෝරෝබුදුර් විහාර සංකීර්ණය ම 9 වැනි සියවසේ දී සෛලේන්ද්‍ර රාජ සමයේ දී ගොඩ නංවන්නට ඇති බව යි.

මෙන්දුත් විහාරය (en.wikipedia.org)

20 වැනි සියවසේ මුල් කාලයේ දී සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දී අනෙක් විහාරස්ථාන ද්විත්වය ද හඳුනා ගත් අතර විහාරස්ථන ත්‍රිත්වය ඍජු රේඛාවක් ලෙස පැවතීම බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු වුණා. ජනශ්‍රැතියේ සඳහන් වන අන්දමට ඈත අතීතයේ දී විහාර ත්‍රිත්වය එකිනෙක සම්බන්ධ කරමින් ගඩොල් අතුරන ලද මංපෙතක් පැවතී අතර ඒ දෙපස කැටයම් කරන ලද බිත්ති පිහිටි බව සඳහන් වෙනවා. විහාර ත්‍රිත්වයේ ම දක්නට ඇති සමාන ගෘහ නිර්මාණ ශිල්පයන් මගින් ඒ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පැවතෙන්නට ඇති බව තහවුරු වුව ද එයට හේතුව තවමත් පැහැදිලි ව හඳුනාගෙන නැහැ.

පාවොන් විහාරය (en.wikipedia.org)

දාගැබ් හි තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා

බෝරෝබුදුර් විහාරස්ථානය අලංකාර කිරීම සඳහා යොදා ගන්නා ලද පේකඩ පුවරු හැරුණු විට එහි දක්නට ඇති තවත් වැදගත් ලක්ෂණයක් ලෙස දාගැබ් හි තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා හැඳින්විය හැකි යි. එරමිණිය ගොතාගෙන පද්මාසනයෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා බොහෝමයක් රූප ලෝක මට්ටමේ දී මෙන් ම අරූප ලෝක මට්ටමේ දී ද දැක ගැනීමට ලැබෙනවා.

රූප ලෝක මට්ටමේ ඇති හිඩැස් පිරවීම සඳහා බුද්ධ ප්‍රතිමා යොදාගෙන ඇති අතර ක්‍රමයෙන් ඉහළට යන විට ඒවා සංඛ්‍යාත්මක ව අඩු වෙන බව නිරීක්ෂණය කළ හැකි යි. අරූප ලෝක මට්ටමේ දී දැක ගැනීමට ලැබෙන බුද්ධ ප්‍රතිමා සෑම එකක් ම සිදුරු සහිත කුඩා දාගැබ් තුළ තැන්පත් කර ඇති අතර ඒවා රූප ලෝක මට්ටමේ දී මෙන් ම ක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව අඩු වී යනවා.

(mysterywonders.com)

මුල් අවස්ථාවේ දී බෝරෝබුදුර් හි පැවති බුද්ධ ප්‍රතිමා 504 අතරින් ගණනින් 300 ඉක්මවා ගිය බුද්ධ ප්‍රතිමා ප්‍රමාණයකට හානි වී ඇති අතර (බොහෝමයක් ශීර්ෂය රහිත යි) බුද්ධ ප්‍රතිමා 43 ක් අතුරුදන් වී තිබෙනවා. හානි වූ බුද්ධ ප්‍රතිමා ශීර්ෂ බොහෝමයක් මේ වන විට තැන්පත් කර ඇත්තේ යුරෝපීය කෞතුකාගාරයන් හි යි.

කවරයේ පින්තූරය – emaze.com

Related Articles