අම්පාරේ ප්‍රාථමික ගුහා චිත්‍ර නරඹමු

කොළඹ සිට මහඔය හරහා අම්පාරට දුර කි. මී. 355ක්. බොහෝ දෙනෙක් අම්පාරේ සංචාරය කළත් එහි සැඟව තිබෙන වැදගත් පුරාවිද්‍යා ස්මාරක විශේෂයක් ගැන අවධානයක් යොමු කරන්නේ නම් නැහැ. ඒ ප්‍රාථමික ගුහා චිත්‍ර සහිත ස්ථාන දැකබලා ගැනීම යි. අප රටේ ප්‍රාථමික ගුහා චිත්‍ර සහිත ලෙන් 62ක් වාර්තා වන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ යි. එම ප්‍රමාණය ගුහා 28ක්. කලකට පෙර මේවා වනගත ව පැවති නිසා ළඟාවීම දුෂ්කර වුණත් අද ඉන් සමහරකට පහසුවෙන් ළගාවිය හැකි පරිදි මාර්ග ඉදි වී තිබෙනවා. බොහෝවිට මේ ලෙන් පිහිටා ඇති ස්ථානවල පැරණි විහාරත් දක්නට ලැබෙනවා. ඒ නිසා ඔබට මේවා නැරඹීමට යාමෙන් රසවත් අත්දැකීමක් ලබාගත හැකි වන බව නිසැක යි.

ප්‍රාථමික ගුහා චිත්‍ර ගැන පර්යේෂණ

ගනේගම ගල්ගේ චිත්‍රයක්- සත්සර ඉලංගසිංහ

සෙලිග්මාන් නමැති යටත් විජිත යුගයේ සිටි මානව විද්‍යා පර්යේෂකයා පිටිසරබද ගල්ගුහාවල ඇති කුරුටු චිත්‍ර රාශියක්‌ හඳුනාගෙන පළකළත්, ඔහු ඒ සියල්ල වැදි චිත්‍ර ලෙසත්, මෑතකාලීන බවත් සඳහන්‌ කළා. ආචාර්ය නන්දදේව විජේසේකරගේ පරියේෂණවලින් ද සෙලිග්මාන් අනුකරණය කිරීමක් තමයි දකින්න ලැබෙන්නේ. පී. ඊ. පී. දැරණියගල සඳහන් කරන්නේ ද මෙම චිත්‍ර ‘Prehistoric or Vadda rock art’ වශයෙන්. මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක  සඳහන් කරන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ කාල්පනික ලෝකයේ දුරවෝබෝධ රූප වශයෙන්. 2012 දී මහාචාර්ය රාජ් සෝමදේව පළ කළ ‘Rock Painting and Eangraving sites in sri lanka’ කෘතියෙන් ද මෙම චිත්‍ර කලාව ගැන අවධානය යොමු කළා.

ගොනාගොල්ල ලෙනක්- vikivisually.com

අපට පෙනී යන්නේ නැගෙනහිර ස්‌පාඤ්ඤයේ, නිරිතදිග ප්‍රංශයේ, හා උතුරු අප්‍රිකාවේ ගල්ගුහාවල ඇඳ තිබෙන වසර 10,000කට එහා අතීතයක්‌ ඇති ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර ඇඳි කාලයට අයත් සිතුවම් මෙරට ලෙන් තුළින් හමු නොවූව ද ඊට සමකාලීන ව මෙරට මානවයන් තුළ ද වර්ණ භාවිතය පිළිබඳ ව යම් දැනීමක්‌ තිබූ බව ය. ප්‍රාග් ඓතිහාසිකයැ යි නිසැකව කිව හැකි චිත්‍ර කිසිවක්‌ මෙරටින් සොයාගෙන නොමැති බව විද්වතුන් බහුතරයකගේ මතය වී තිබෙනවා.  

වර්ණ භාවිතය

සුදු සහ රතු පැහැය යොදාගත් තරුලෙන්ගල චිත්‍රයක්- කුසුම්සිරි විජයවර්ධන

මෙහි සිතුවම් ඇදීමේ දී භාවිත ශිල්ප ක‍්‍රමය වන්නේ සායම් හෝ වෙනත් ද්‍රව්‍යයක් ආලේප කිරිම මඟින් සිතුවම් නිර්මාණය කිරිම යි. එහි දී සිතුවමක් නිර්මාණය කිරිමේ දි එක් වර්ණයක් භාවිත කර ඇති අතර වර්ණ තුනකින් සමහර සිතුවම් නිර්මාණය කර තිබෙනවා. එනම් රතු, අළු, හා සුදු වර්ණ යි. සිතුවම් නිර්මාණයේ දී ප‍්‍රාථමික සිතුවම් නිර්මාණ ශීල්පීයා මේ සඳහා ස්වාභාවික වර්ණ භාවිත කර ඇති අතර, තලය මත සිතුවම් ඇදීමට ඇඟිල්ල උපයෝගී කරගෙන ඇති බව එම සිතුවම් දෙස බැලීමේ දී හඳුනාගත හැකි යි. සමහර චිත්‍ර පර්වත තලය සීරීමෙන් ද නිර්මාණය කර තිබෙනවා. අම්පාරේ දී පර්වත සූරා ඇඳි කුරුටු චිත්‍ර හමුවන්නේ නැහැ.  කෑගල්ලේ දොරවක, හක්බෙලිකන්ද, අස්මඩල වැනි ස්ථානවල එවැනි චිත්‍ර තිබෙනවා. අපි මේ ගුහා චිත්‍ර කිහිපයක් පිහිටි ස්ථාන ගැන සොයා බලමු‍.

තරුලෙන්ගල

සතුන් දැක්වෙන තරුලෙන්ගල චිත්‍රයක්- කුසුම්සිරි විජයවර්ධන

මොරණාගල – පොතුවිල් මාර්ගයේ හුළංනුගේ හන්දියෙන් වම්පසට ඇති මාර්ගයේ. කී.මී. 1.5ක් ගමන් කළ විට අප පිවිසෙන්නේ තරුලෙන්ගල හෙවත් පුරාණ හබුතගල විහාරය වෙතට යි. වනගත තරුලෙන්ගල කඳුවැටිය කෙත්යායක් සහිත තැනිතලා බිමෙන් එස වී තිබෙන්නේ හරිත ප්‍රාකාරයක් පරිද්දෙන්. පර්වතය මත මෑතක දී ඉදිකළ බුද්ධ ප්‍රතිමාවක් සහ කුඩා දාගැබක් ඉදිකර තිබෙනවා. මෙය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පුදබිමක්. මුහුදු මට්ටමින් අඩි 633ක් උසැති තරුලෙන්ගල කන්දට දකුණු පසින් ඉඹිලන් ආර ද, නැගෙනහිරට බර ව කරඳඔය ද ගලාබසිනවා. පළලින් අඩු කඳුවැටිය දිගින් වැඩි යි. කරදහෙළ වැව විහාරයට ආසන්න ව පිහිටා ඇති අතර තවත් කුඩා වැව් රාශියක් එයට නුදුරින් දැකගත හැකියි. පැරණි සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් සහ කටාරම් කෙටූ ලෙන් 16ක් ද මෙහි දක්නට ලැබෙනවා. ලෙන් චිත්‍ර පිහිටා ඇත්තේ බුද්ධ ප්‍රතිමාව පිහිටි ලෙන තුළ යි.

නිදන් හොරු විසින් සම්පූර්ණයෙන් විනාශ කර තිබූ ගඩොලින් කළ සැතපෙන පිළිමය පුරාණ ස්වරූපය මතුවන ලෙස සංරක්ෂණය කර තිබෙනවා. 1984 දී ආචාර්ය රෝලන්ඩ් සිල්වා මුල්වරට මෙම චිත්‍ර ගැන හෙළිදරව් කළා. ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් පිහිටි ගල් ලෙන තුළ සිතුවම් සියයකට අධික ප‍්‍රමාණයක් හඳුනාගත හැකි ය. ඒවා බොහෝමයක් පැහැදිලි ව හඳුනාගත හැකි අතර ඇතැම් අපහැදිලි සිතුවම් ද දැකගත හැකි යි. මෙම සිතුවම් අතර මිනිස් රූප, ඉදිබුවා, කබරයා ඇතුළු සත්ත්ව රූප, අලි පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංකේත හා හඳුනාගත නොහැකි රූප සටහන් ද වෙනවා. මෙම සිතුවම් සහිත ප‍්‍රදේශය මිටර් 16ක් පමණ දිගින් යුක්ත වන අතර මිටර් 2ක් පමණ පළල වපසරියක් තුළ පැතිර පවතිනවා. තරුලෙන්ගල ලෙන තුළින් හඳුනාගත හැකි සත්ත්ව රූප අතර බහුල ව ම හමුවන්නේ ඇත් හා අලි රූප යි. තදාශ‍්‍රිත ප‍්‍රදේශය ආශ‍්‍රිත ව ලාහුගල වනෝද්‍යානය පිහිටා ඇති අතර වන අලි ගහනය ඉහළ යි. මෙම ප‍්‍රදේශවල ජිවත් වු වැදි ජනයාට බහුල ව ම හමුවන්නට ඇත්තේ මෙම සත්ත්ව විශේෂය බව පේනවා. වර්තමානය තුළ ද වන අලි මෙම ප‍්‍රදේශයේ බහුල ව සැරිසරනවා. සුදු, අළු, හා රතු යන වර්ණ තුනෙන් ම මෙම සත්ත්ව රූප ඇඳ තිබෙනවා.

සමන්ගල

සමන්ගල චිත්‍ර ගුහාව- Wikipedia.org

අම්පාර නගරයට නුදුරින් මහඔය මාර්ගයේ ගොනාගොල්ල හන්දියේ සමන්ගලට මඟපෙන්වන පුරාවිද්‍යා නාම පුවරුවක් සවිකර තිබෙනවා. එහි සිට කි. මී. 3ක් දුරින් පිහිටා තිබෙන්නේ වනගත ආරණ්‍යයක්. අඩි 500ක් උසින් යුත් සමන්ගල කන්දේ කටාරම් කෙටූ ලෙන් රාශියක් පිහිටා තිබෙනවා. සමහර ලෙනක ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි දකින්න පුළුවන්. මෙහි ආදිවාසී චිත්‍ර දක්නට ලැබෙන්නේ දැනට බුදුමැදුරක් ලෙස භාවිත කරන ලෙනෙහි පියස්සෙ යි. මේ චිත්‍ර ගැන මුල්වරට අනාවරණය කළේ 2003 දී එල්ලාවල මේධානන්ද හිමියන් විසින්. මෙහි චිත්‍ර සටහන් 12ක් පිහිටා තිබෙනවා. මානව රූප, මුවා ඇතුළු සත්ත්ව රූප එහි ඇඳ තිබෙනවා. මේ චිත්‍ර අද වන විට මැකීයමින් තිබෙනවා.

ගොනාගොල්ල

ගොනාගොල්ල ලෙන- චිත්‍රය: සත්සර ඉලංගසිංහ

අම්පාර මහඔය ප්‍රධාන මාර්ගයේ සමන්ගලට නුදුරින් ගොනාගොල්ල හන්දියේ සිට කි. මී. 2ක් දුරින් මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබෙනවා. පුංචි සීගිරිය නමින් ද මෙම ලෙන හඳුන්වන්නේ එහි පිහිටි අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවම් නිසයි. එම චිත්‍ර පිහිටි පර්වතයේ ම කෙළවර ආදිවාසී ප්‍රාථමික චිත්‍ර ලෙන පිහිටා තිබෙනවා. එය විවෘත ස්වභාවික ලෙනක්. මෙහි බොහෝ චිත්‍ර මැකී ගොස් තිබෙනවා. රත් පැහැයට හුරු දුඹුරු හා සුදු වර්ණ භාවිතයෙන් චිත්‍ර නිර්මාණය කර තිබෙනවා. මෙහි චිත්‍ර සටහන් 17ක් තිබෙන බව සත්සර ඉලංගසිංහ සඳහන් කරනවා.

රජගල

චිත්‍ර ගුහාව- චිත්‍රය සත්සර ඉලංගසිංහ

අනුරාධපුර යුගයට අයත් මහා සංඝාරාමයක් වන රජගල ප්‍රාථමික ලෙන් චිත්‍ර ගැන පළමු වරට හෙළිදරව් කළේ 1959 දී ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර විසින්. අම්පාර දිස්ත්‍රික්කයේ උහනට නුදුරු රජගලතැන්න ගමෙහි සිට හැරී යාමෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකියි. (රජගල ගැන වැඩි විස්තර සඳහා කියවන්න https://roar.media/sinhala/main/…/rajagala-kanda-monastery-compl) රජගල නැරඹීමට බොහෝ පිරිස් ආවත් මේ චිත්‍ර ගැන අවධානය යොමුකරන්නේ නම් නැහැ.

මෝටර් රථයකින් වුවත් යා හැකි පරිදි මාර්ග ඉදිකර තිබෙනවා. රජගල ගල්පාත්‍ර පිහිටි නටබුන් භූමියේ පිහිටි විවෘත ලෙනක චිත්‍ර පිහිටා තිබෙනවා. ගෝනා සහ දඩයක්කරුවා, මුවා, ගෝනුන් ආදිය මෙහි නිරූපිත බව ආචාර්ය ගොඩකුඹුර පවසනවා.

නීලගිරි කන්ද

නීලගිරි කන්ද -lakdasun.org

අම්පාර පොතුවිල් මාර්ගයේ ලාහුගල සිට නීලගිරි සෑයට යන මාර්ගයේ දාගැබ අසලට ගොස් තවත් කි. මී. 1ක දුරක වනය ඔස්සේ ගමන් කළ යුතු යි. මහා මාර්ගයේ සිට කි. මී. 4ක් දුරකින් ලෙන් පිහිටා තිබෙනවා. එහි ලෙනක සුදු සහ අඳුරු රතු පැහැයෙන් යුත් චිත්‍ර සටහන් දක්නට ලැබෙනවා. මෙය අඩි 700ක් පමණ ඉහළ නඟින කඳු ගැටයක්. දාගැබ අසලට යනතෙක් පහසුවෙන් ගමන් කිරීමට මාර්ග සකසා තිබෙනවා.

නෑල්ල

නෑල්ල ගුහා චිත්‍රයක්- සත්සර ඉලංගසිංහ

අම්පාර මහඔය මාර්ගයේ උහන පසු කළ විට සැටල් හන්දියේ නෑල්ල පුරාවිද්‍යා ස්ථානයට මඟපෙන්වන නාම පුවරුව හමුවෙනවා. එහි සිට දිවෙන මහකණ්ඩිය පාරේ ගමන් කළ විට කහටගස්යාය කඳු පාමුල නෑල්ල පුරාණ නටබුන් බිම පිහිටා තිබෙනවා. මෙහි අනුරාධපුර යුගය දක්වා දිවයන නටබුන් දක්නට ලැබෙන පුදබිමක්. මෙම ස්ථානයේ සිට මීටර 500ක් පමණ දුරින් කඳු බෑවුමේ ගුහා චිත්‍ර සහිත ලෙන පිහිටා තිබෙනවා. ඒ අසල ම සෙල්ලිපියක් ද පිහිටා තිබෙනවා. පැරණි බිත්තියක කොටසක් සහ ගල්කණු දෙකක් ද ලෙන තුළ දැකගත හැකියි. දුර්වර්ණ සුදු පැහැයෙන් ඇඳි චිත්‍ර සටහන් 30ක් මෙහි තිබෙනවා. හඳුනාගත නොහැකි සිව්පාවුන්, හංගොටු (වැද්දන් භාවිත කරන), මී වද ආකාරයේ සටහන් ලෙන් බිත්තියේ ඇඳ තිබෙනවා. මෙහි චිත්‍ර ද සීඝ්‍රයෙන් මැකීයමින් පවතිනවා.

බඹරගස්තලාව ලෙනක්- Ashan Geganage- amazinglanka.com

මේ ස්ථානවලට අමතර ව ගමකන්ද ගල්ගේ, පිහිල්ලෙගොඩ ගල්ගේ, ගණේගම ගල්ගේ, මලයඩිකන්ද, කදුරුපොකුණ, ලේනම, බඹරගස්තලාව, කිරිපොකුණහෙළ, කණකෙකිණියන්හෙළ ඇතුළු ලෙන් රාශයක ප්‍රාථමික ගුහා චිත්‍ර පැතිර තිබෙනවා. අපගේ පුරාණ මානවයන් හෝ ආදිවාසීන් සීමිත වර්ණ සංඛ්‍යාවකින් තම අදහස් ප්‍රකාශනයට යොදාගත් මේ චිත්‍ර නැරඹීම කුතුහලය දනවන කාරණයක්. කෙසේ වුවත් මේවා ආරක්ෂා කරගැනීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවක් නම් අපට පේන්නෙ නැහැ.

මූලාශ්‍රයයන්:

ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර- සත්සර ඉලංගසිංහ

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය- එල්ලාවල මේධානන්ද හිමි

Archaeology.lk ඩබ්. එම්. චින්තක සඳරුවන්ගේ ලිපිය – ප්‍රාථමික ශෛලියේ සිතුවම් හා අම්පාර හුලංනුගේ ගුහා සිතුවම්

පෞරාණික ස්ථාන සහ ස්මාරක- අම්පාර දිස්. පුරාවිද්‍යා දෙපා.

කවරය: තරුලෙන්ගල චිත්‍ර ගුහාව- කුසුම්සිරි විජයවර්ධන

Related Articles