Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඹිලිපිටියේ සංචාරක ආකර්ශනය: චන්ද්‍රිකා වැව

චන්ද්‍රිකා වැව පිහිටා තිබෙන්නේ ඇඹිලිපිටිය – මාතර ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය සිට මාතර දෙසට කිලෝ මීටර 10ක් පමණ දුරින්. ඉතා සුන්දර දසුන් මවන මේ ජලාශය කතරගම යන සංචාරකයන් අතර මෙන් ම රුහුණේ සංචාරය කරන කා අතරත් ජනප්‍රිය ගමනාන්තයක්.

ප්‍රදේශයේ ගොවි ජනතාවට දියවර සැපයීමෙන් චන්ද්‍රිකා වැව විශාල මෙහෙවරක් සිදු කරනවා. මේ වැවේ පසුබිම් කතාව සොයා කළ විමසුමක්.

වැවේ බිසෝකොටුව – Sltravel information facebook page

වැව පටන්ගත් හැටි

1956 දී පිහිටුවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය මඟින් ආරම්භ කළ පළමුවන වාරිමාර්ග ව්‍යාපෘතිය විදිහටයි චන්ද්‍රිකා වැව ජලාශය හැඳින්වෙන්නේ. හුලංදා ඔය වාරි යෝජනා ක්‍රමය යටතේ තමයි “චන්ද්‍රිකා වැව“ ඉදි කොට වලවේ නිම්නය පෝෂණය කිරීම ආරම්භ වුණේ. මේ වනවිට ඇඹිලිපිටියට නුදුරින් පිහිටි උඩවලවේ ජලාශය තනා තිබුණෙත් නැහැ. වලවේ ගංගාවේ දකුණු ඉවුරේ අතු ගංගාවක් වු හුලංදා ඔය හල්මිල්ලකැටිය ප්‍රදේශයේ දී හරස්කර වේල්ලක් බැඳීමෙන් මේ වැව තනා තිබෙනවා. මේ වේල්ල පස්වලින් තැනූ වේල්ලක්.  එම වේල්ල තැනීමට මුල්ගල තැබුවේ 1957 ඔක්තෝබර් 07 වැනිදා යි. ජලාශයේ වැඩ නිමකර එම ව්‍යාපෘතිය ආරම්භ වුණේ එය 1958 දීයි.  මෙය එකල පැවති වලවේ නිම්නයේ ජල හිඟයට පිළියමක් ලෙස ඉදිකළ ජලාශයක්. 

වැව් ඉස්මත්තේ වනාන්තර- flickr.com

වැවේ ධාරිතාව

චන්ද්‍රිකා වැවේ පූර්ණ ධාරිතාව අක්කර අඩි 22000ක්. වේල්ලේ දිග කිලෝ මීටර් 2.5 ක් වෙනවා. එහි උස  මීටර් 19.20ක්.  චන්ද්‍රිකා වැව පදනම් කරගෙන පිහිට වූ ඇළ මාර්ගවල ජලයෙන් කුඹුරු වගා කිරීමට ගොවි ජනපදයක් ද පිහිටවුවා. අලුතින්  එමඟින් අක්කර 5000ක භූමි භාගයක ගොවීන් 1800ක් පදිංචි කිරිම සිදු ව තිබෙනවා. මෙම වාරි යෝජනා ක්‍රමය මඟින් කුඹුරු අක්කර 15000ක් පමණ අස්වැද්දුවා. මේ ගොවි ජනපදයේ අලුතින් ගම්මාන 11 ක් පිහිටුවා එක් ගොවි පවුලකට පර්චස් 40 ක් බැගින් වූ ගොඩ ඉඩමක් ද මඩින් අක්කර 2 1/2 ක් ද බෙදා දී තිබෙනවා. 

 මෙම වාරි ව්‍යාපෘතියට එකල වැය වී තිබෙන මුදල රුපියල් 1,25,00,000ක් ලෙස සඳහන් වෙනවා. ජලාශයේ  ප්‍රධාන ඇළ දිගින් සැතපුම් 7ක් වන අතර සැතපුම් 32ක් දිගකින් යුක්ත බෙදුම් ඇළවල් ද එයට ඇතුළත් වෙනවා.

ජලාශයේ සුන්දර දසුනක්- Wikipedia.org

පුරාණ වලවේ නිම්නය

චන්ද්‍රිකා වැව ගොවි ජනපදය පුරාණයේ වලවේ ගංගා නිම්නය පුරා පැතිරී තිබූ සමෘද්ධිමත් ගොඩි ජන ජීවිතයේ පදනමක් බව සමහර විචාරකයන් කියා සිටියා. මේ අවට පුරාණ මාගම රාජධානිය කාලයේ පැවති ජනාවාසවල හා බෞද්ධ ආරාමවල නටබුන් ද බහුල ව හමු වෙනවා. අනුරාධපුර යුගය පසුකර පොලොන්නරු යුගයට එන විට රුහුණු රාජධානිය පොහොසත් කිරීමට වලවේ නිම්නයට හැකි වී තිබෙනවා.

ගොවිතැනට අවශ්‍ය ලොකු  කුඩා වැව් රාශියක් මේ අවට කලාපයේ පිහිටා තිබෙනවා . 13 වන සියවසේ දී බිඳවැටුණු මාගම රාජධානිය යළිත් අවධානයට ලක්වූයේ 20 වන සියවසේ මැදභාගයේ පමණ ඉංග්‍රීසින්ගේ කාලයේදී යි. 1800 ගණන්වල අගභාගයේදී පමණ බ්‍රිතාන්‍ය පාලකයන් මේ අවට වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළත් එය ප්‍රමාණවත් වුණේ නැහැ. මේ නිසා නිදහසින් පසු ඇඹිලිපිටිය හා උඩවලවේ අවට වාරි සංවර්ධනයට අවධානය යොමු වී තිබෙනවා.

ජනයාට සෙත සලසන ජලාශය – attractionsinsrilanka.com

චන්ද්‍රිකා වැවේ පිහිටීම

චන්ද්‍රිකා වැව වාරි ව්‍යාපාරය පිහිටා තිබෙන්නේ  රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික් මායිමේ වලවේ ගංගා නිම්නයට අයත්ව යි. ජලාශයේ සහ ගොවි ජනපදයේ වැඩි භූමි ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ව පිහිටා තිබෙනවා. ප්‍රධාන පරිපාලන නගරය වන්නේ ඇඹිලිපිටිය යි. වර්ෂාව, උෂ්ණත්වය, හා වෘක්ෂලතා ආදි ලක්ෂණ අනුව මේ ප්‍රදේශය අයත් වන්නේ වියළි කලාපයට යි.  චන්ද්‍රිකා වැව පිහිටා ඇති කොලොන්න කෝරළය 1950 දශකයේ දී ලංකාවේ නොදියුණු ම හා ජිවත් විමට අසීරු ම ප්‍රදේශක් ලෙස සැලකුණා. දැඩි වියළි කාලගුණයත්, මැලේරියා හා කොළරා වැනි රෝග ව්‍යාප්තියත් නිසා මෙහි වාසය කළ ජනතාව විශාල පීඩාවක් වින්දා. මේ රෝග වසංගත ආකාරයෙන් පැතිරී ගොස් ගැමි ජිවිත විශාල ප්‍රමාණයක් මරණයෙන් කෙළවර කළා.  

වාන් දමන ජලය – Sltravel information facebook page

 චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර මෙම ප්‍රදේශයේ සිදුවුණේ වැසි ජලයෙන් වගා කරන කුඹුරු ගොවිතැන සහ වනාන්තර ආශ්‍රිත ව කළ හේන් වගාව යි.  ඉඩෝරයක් පැමිණි විට මේ ගොවිතැනත් විනාශ වුණා. අලි ඇතුන් ඇතුළු වන සතුන්ගෙන් වන හිරිහැරත් ජනතාව පීඩාවට පත්කර තිබෙනවා.

නිසි ආහාර නොලැබීම නිසා මන්දපෝෂණය රජ කළ පෙදෙසක් ලෙසත් ඇඹිලිපිටිය සැලකුණා. අද වන විට චන්ද්‍රිකා වැව මෙන් ම උඩවලවේ ජලාශය නිසාත් වලවේ නිම්නයට ජල පහසුකම් ලැබී තිබෙනවා. මේ නිසා අතීතයේ දුෂ්කර ජීවිතය අද  වනවිට දැක ගැනීමට අසීරු යි.

වැව වාන් දමන අවස්ථාවක රොක්වන ජනතාව- reddit.com

සංචාරක ආකර්ශනයක්

පසුගිය කාලයේ දකු‍ණේ සංචාරකයන් මෙන් ම කතරගම යන වන්දනාකරුවන් ද විශාල වශයෙන් චන්ද්‍රිකා වැව ඉස්මත්තට පැමිණ විවේක ගැනීමට පුරුදු ව සිටියා. කොඩිව් වසංගතය කාලෙ එය වැලකුණත් දැන් යළිත් ටිකෙන් ටික සංචාරකයන් චන්ද්‍රිකා වැව සුන්දරත්වය නැරඹීමට එනවා. මේ නිසා ජලාශය සල නවාතැන් සහ හෝටල් ආදියත් බිහි ව තිබෙනවා. ඇඹිලිපිටිය නව නගරයෙන් මඳක් ඔබ්බෙන්  පිහිටි තොටුපොළ සංචාරකයන් නිතර යන ස්ථානයක්.

වැවේ ප්‍රධාන වේල්ල මේ ස්ථානයට කදිමට දිස්වෙනවා. නව නගරය ගම්මානයේ පදිංචි ජනතාවගෙන් විශාල පිරිසක් වැවේ මිරිදිය මසුන් මැරීම ජීවිකාව කොටගෙන සිටිනවා.  ඔවුන් හවස් කාලයේ වැව මැදට ගොස් දැල් එළා ආපසු පැමිණෙනවා. යළිත් හිමිදිරියේ වැව මැදට බෝට්ටුවලින් ගොස් තම තමන්ගේ දැල්වලට හසුවුණු මත්ස්‍ය අස්වැන්න රැගෙන පැමිණීම සිදුවෙනවා.

වැවේ ධීවරයෝ – Chandrika wewa facebook page

උදේ 7.00-9.00 අතර කාලයේ මේ තොටුපොළ ධිවරයන් නිසා බොහෝ කාර්ය බහුල යි. ඇඹිලිපිටියට පැමිණෙන සංචාරකයන් ද අඩුවට මාළු මිලදී ගැනීමට මේ අසල ගැවසෙනු දකින්නට පුළුවන්.

වැවේ ජලයෙන් සිදුවන වී ගොවිතැනට අමතර ව කෙසෙල් වගාව විශාල වශයෙන් සිදු කෙරන අතර ඊට අමතරව එළවළු වගාවත් සිදු කරනවා. කෙසේ වුවත් කෙසෙල් ඇතුළු වගාවල අස්වැන්නට නිසි මිලක් නොලැබීම ගැටලුවක් වන බව සමහර ගොවීන් පවසන කරුණක්.

විහාරයේ බුදු පිළිමය- dinamina.lk

වැව ඉස්මත්තේ විහාරයක්

චන්ද්‍රිකාවැව ජලාශය ඉස්මත්තේ උස් භූමියක ඉදිකළ විහාරයත් විටපිටාවේ සුන්දරත්වය ඉහළ නැංවීමට සමත් වෙනවා.  මේ විහාරයේ හිඳි බුද්ධ ප්‍රතිමාව තනා විවෘත කිරීම නොවැම්බර් මුල් සතියේ සිදුවුණා. ඒ සඳහා  රුපියල් ලක්ෂ 18කට ආසන්න මුදලක් වැය වූ බවයි වාර්තා වන්නේ. අනුරාධපුර මහමෙව්නාවේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාවට සමානව මේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. චන්ද්‍රිකාවැව දේවාල මහා විහාරය මුලින් ම අරඹා ඇත්තේ මීට වසර 47කට පෙර යි. කුඩා පොල්අතු පැලක සංඝාවාසයක් තනා ආරම්භ වූ එම විහාරය අද වනවිට විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා.

කවරයේ ඡායාරූපය- වැසි සමයේ වාන් දමන චන්ද්‍රිකා වැව - Sltravel information facebook page
මූලාශ්‍ර:
News.lk
Dinamina.lk
Lankadeepa.lk

Related Articles