නියමිත දුෂ්කර මගක කරන ඇවිදීම trekking (පා තරණය ) ලෙස තමයි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. ට්‍රේකින්ග් යනු ලොව වටා සංචාරකයින්ගේ ප්‍රියතම සංචාරක විනෝද කටයුත්තකි. ට්‍රේකින්ග් අවට පරිසරය හොඳින් විඳිමින් දැක  බලාගන්නා ගමන්ම ව්‍යායාමයක් ලෙසත් ශරීරයට වැදගත් කාර්යයක් ඉටු කරයි.

කළුපහන සිට ඔහිය දක්වා යක්ෂයාගේ පඩිපෙල හරහා කිලෝමීටර 20-22ක් පමණ ඇති අතර එය කඳු නගමින් බසිමින් කල යුතු තරමක් දුෂ්කර පා තරණයකි

මීදුම අතරින්…

බොහෝ දෙනා සාමාන්‍යයෙන් තොරා ගන්නේ අප ගමන් කල මාර්ගයට ප්‍රතිවිරුදධ දිශාවට ගමන් කිරීමයි. එහිදී සිදුවන්නේ කොළඹ සිට බදුල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියෙහි ගොස් පාන්දර 4ට ආසන්නව ඔහිය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර යාමයි. එහෙත් දුම්රිය ප්‍රවේශපත් වෙන් කරගත නොහැකි වීම, සති අන්ත දිනවල රාත්‍රී තැපැල් දුම්රියේ තදබදය සහ රාත්‍රී දුම්රියේ ගමන් මහන්සිය සමග දීර්ඝ තරණයකට අපහසු වීම ආදී කරනා නිසා අප තෝරාගත්තේ අනෙක් පසට කොළඹ බදුල්ල බස් මාර්ගයේ කළුපහන  පෙදෙසේ රාත්‍රී නැවතී ඉන් පසු ඉහලට ගමන් ආරම්භ කිරීමයි.

කළුපහන හංදිය කොළඹ සිට කොළඹ -මඩකලපුව A-4 මාර්ගයේ කිලෝමීටර 160ක දුරින් පිහිටි කුඩා මංසන්දියකි. ඒ ආසන්නයේ නවාතැන් සොයාගත නොහැකි වූ බැවින් අප ඊට කිලෝමීටර 14ක් කලින් ඇති බෙලිහුල් ඔය පෙදෙසින් සුන්දර නවාතැනක් සොයා ගතිමු. සිකුරාදා සවස කාර්යාල රාජකාරි නිමවී සවස 5-6 අතර පිටකොටුවන් බදුල්ල බස් රියක නැගී බෙලිහුල් ඔය නවාතැනට පැමිනෙන විට රාත්‍රී 11 පමණ විය. ඉක්මනින් කෑම-බීම කටයුතු අවසන් කල අප නින්දට ගියේ පසුදින ගමනට අවැසි උදෑසන කෑම පිළිබඳ නවාතැනේ සිටි සගයින්ට උපදෙස් දීමෙන් අනතුරුවයි.

නවාතැෙන් සිට පෙනෙන සුන්දර කදුකර දර්ශනය.

බෙලිහුල් ඔය සිට පාන්දර 7ට පමණ බස්රියක නැගී කළුපහන හංදියට පැමිනි අප කළුපහන හංදියෙන් ත්‍රී රෝද රියක නැගී කළුපහන-ඹහිය පාරේ කිලෝමීටර 3ක් ගෙවා බඹරකන්ද දිය ඇල්ල පෙනෙන මානයට පැමිණියෙමු.

බඹරකන්ද දිය ඇල්ල අවට කඳු පවා ඇවිලෙමින් යන නියං සමය නිසාදෝ හෝ දිය ඇලි කොමළිය එතරම් දිය කඳක් පතිත කරන්නේ නැත. දුහුල් සේලයක් පරිද්දෙන් දිය ඇල්ලේ සිහින් දිය දහරාව පහලට හැලෙන ආකාරය පාරට අලංකාර ලෙස දිස්වේ. දිය ඇල්ල අසලට ගිය විට දියෙහි සීතලට සහ පහලට වැටෙන සිරි සිරි හඬ අප නෙත් සිත් පිනවයි.

අපි ඇල්ල බලා නැවතත් අසල වූ කඩයට පැමිණියෙමු. එය පෙනුමෙන් තේ කඩයක් මෙන් වුවත් කෑම ගන්නා අයටද මූලික පහසුකම් ඇති තැනකි. ඇල්ලේ සීතල වැදී බඩගින්නද වැඩිවන්ට වූයෙන් ට්‍රේකින්ග් එක පටන් ගන්නටද ප්‍රථම අපි පස් දෙනා රත්නජෝති අයියාගේ කඩයෙන් උදේම පිලියෙල කර දුන් සැන්විච් පාන් රාත්තල් 2ම ඔවුන්ම පිලියෙල කර දුන් හොදි මාළුපිනි සමග අනුභව කලෙමු.

ඇල්ල බැලීමට යෑමට ප්‍රථම රත්නජෝති අයියා අපගේ දිවා ආහාර පිළියෙල කිරීමට පටන් ගත්තේය. ඉතාම සාධාරන මිලකට කදිම දිවා භෝජනයක්ද පිලියෙල කරදුන් රත්නජෝති අයියා බඹරකන්ද සිට ඔහිය කරා යන අපිට ලංකා ඇල්ල හරහා යන මාර්ගයක්ද පෙන්වා දුන්නේය. එම මාර්ගය නියම මගට වඩා දුරින් අඩු එකක් මෙන්ම ලංකා ඇල්ල ආසන්නයේ වූ අලංකාර භූමි දර්ශන නෙතට හසුකරගැනීමට මනා අවකාශයක්ද ලබා දුන්නේය.

සුන්දර දර්ශනීය පසුබිම

බඹරකන්ද අැල්ල අෑතට දිනෙන ආකාරය

මෙ‍ම පා තරණයේදී අපට වගාකරන ලද පයිනස්, ඇකේෂියා ආදී ගස් වලින් හෙබි ගුප්ත බවින් යුත් හෙවනකින් යුතු භූමියක්ද,  කඳුකර පතන සහ තෘණ භූමි ඇතුලත් තෘණ වනාන්තර කොටසක්ද, විවිධ ආකාරයේ ගහකොල වලින් සැදීගිය කඳුකර වනාන්තර පද්ධතියක්ද, වගාකරන ලද කමනීය තේ වගාවන් හා වගාබිම්වලින් යුත් මනුෂ්‍ය ජනාවාස හා වගාබිම්ද අවසානයේ ඔහිය ආසන්නයේ වනවගා බිම්වල සුන්දරත්වයද විඳගන්නට අවස්ථාවක් ලැබුණි.

මේ ගමනේ ලංකා ඇල්ල බිම පසුකර ඉදිරියට යන විට කෙමෙන් තේ වගාබිම් සහ විටින් විට ඒ අතර එළවලු වගාකරන ලද වතුකර දෙමල ජනයාගේ ලැයිම් ඇතුලත් ජනාවාස කිහිපයක්ද හමු විය. ඒ වතුවල වෙසෙන කුඩා ළමයි අපිත් විදේශිකයින් යැයි සිතාගෙනදෝ හෙලෝ හෙලෝ යැයි මහ හඩින් අපි යන විට කෑ ගසන්නට විය. අපි සතුව තිබූ වතුර අවසාන වෙමින් තිබූ නිසා අපි ඒ කුඩාදරුවන්ට කතාකොට අපේ බෝතල් පුරවා ගතිමු. මේ වෙනුවෙන් ඔවුන්ට අපි සුළු තෑග්ගක්ද පිරිනැමුවෙමු.

කුඩා ලමයින් අපට ජලය සපයමින්

කළුපහන – ඔහිය මාර්ගයේ ඉහල කොටස් හිදී ඉතා අපහසුවෙන් මෝටර් බයිසිකලයක් හෝ කුඩා ෆෝ වීල් වාහනයක් රැගෙන යා හැකිය. ඒත් එයද තරමක් අනතුරු දායක ක්‍රියාවලියකි. මාර්ගයේ ඉහල උඩවේරිය වතුයායේ වෙසෙන දෙමල ජනයා සිය ප්‍රවාහන පහසුව කෙසේ සලසා ගන්නේ දැයි අපිටනම් සිතාගත නොහැක.

අප කණ්ඩායම විශේෂයෙන් කදුකර පා තරණයන්ට හුරු නොවූ අය වූයෙන් අපේ ගමන සිදුවූයේ විවේක ගනිමින් සහ සෙමෙන්ය. දර්ශනීය තැනක් හමු වූ විට එතැන නැවතී එය විඳගෙන ඡායාරූප කිහිපයක්ද ලබාගන්නට අපි අමතක නොකළෙමු.

ලංකා අැල්ල අාසන්නයේ ඡායාරූප ගනිමින්

අපි ඉහලට නගින අතරේ උඩවේරිය වතුයායේ එක්තරා කොටසක පාලමින් පසු හමුවූයේ පාලු කොටසකි. ඒ කොටසේදී නිවැරදි මාර්ගය හඳුනාගැන්මට දෝ පාර බෙදෙන මංසන්දි වලදී සුදුපැහැයෙන් ඊතල ලකුණු කොට තිබුනි. ඒවා හරහා දෙගිඩියාවෙන් ගිය අපිට අවසන ඔහිය හෝටන්තැන්න මාර්ගය හමු විය. එතැන් සිට ද පෑ බාගයක්- පැයක් පහලට සෙමෙන් බැස්ස අපි සවස 5ට ආසන්නයේ ඔහිය දුම්රිය ස්ථානයට ළඟා වුනෙමු.

මා සිතා සිටියේ යක්ෂයාගේ පඩිපෙල (Devil’s Staircase) යැයි හඳුන්වන මේ මාර්ගයේ සැබැවින්ම පඩිපෙලක් වැනි ගල් පේලියක් තිබිය හැකි බවයි. නමුත් පසුව අන්තර්ජාලයේ සොයාබැලූ විට යක්ෂයාගේ පඩිපෙල යනු මෙවන් අපහසු කඳු තරනයන් හැඳින්වීමට ඉංග්‍රීසි ජාතිකයින් යොදාගත් වදනක් බව පෙනෙන්නට විය. යක්ෂයාගේ පඩිපෙල (Devil’s Staircase)  නමින් කඳුකර මාර්ග අයර්ලන්තයේද නවසීලන්තයේද පිහිටා තිබේ.

පිංතුරය අප ගිය මග

ඔහිය දුම්රිය පොලට ලඟා වූ අපිට එදින රාත්‍රී කොළඹ එන රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ ඒමට හැකි වුවත් පසුදින අවට සිරි නරඹමින් බදුල්ල කොළඹ දුම්රිය මගේ අසිරිය විඳගනිමින් පසු දිනම එන්නට අපි සිතුවෙමු. සවස ඔහිය අසල නවාතැන් සොයාගන්නට තරමක් අපහසු හෙයින් සවස දුම්රියෙන් ඔහිය සිට අපි හපුතලේට ගොස් නවාතැනක් සොයාගෙන නැවතුනෙමු. මුල් දිනයේ බෙලිහුල්ඔය තෝරාගත්තේත් දෙවන දින හපුතලේ තෝරාගත්තේත් නවාතැන් පහසුවෙන්ම සොයාගන්නට හැකි නිසාය.  පසුදින පාන්දර 07.40 දුම්රියට නැගී අවට සිරි නරඹමින් දුම්රිය වෙලෙන්දන් ගෙනෛන දෑ බුදිමින් සෙමෛන් සෙමෙන් දුම්රියේම කොළඹ කරා ඇදුනෙමු.

හැටන් බලා ගිය දුම්රිය

සති අන්තයේ කොළඹ සිට පහසුවෙන් ලඟා විය හැකි පා තරණයක් වන මේ කළුපහන යකාගේ පඩිපෙල ඔහිය මාර්ගය සති අන්තයේ නාගරික කලබලයෙන් අප මුදවා පාලු නිසංසල කඳුකර වන පෙදෙසක අපේ මනස ස්වල්ප වේලාවකට හෝ නිස්කලංකව තබා ලයි. එසේම කිලෝමීටර 22ක කඳුකර පා තරණයක් යනු සතියක් තිස්සේ එක් වූ වැඩිමනක් කැලරි දවාලීමට ශරීරයට දෙන සහයෝගයක්ද වේ.