Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දර ක්‍රොයේෂියාවේ සවාරියක් යමු

පසුගිය 2018 පාපන්දු ලෝක කුසලානයේ පෙරළියක් සිදු කරමින් අනුශූරයින් බවට පත් වූ ක්‍රොයේෂියාව පිළිබඳ ලෝකයේම අවධානය යොමු වුණා. පාපන්දු නිසා වර්තමානයේ එලෙස අවධානයට පාත්‍ර වූවත් විවිධ හේතූන් නිසා විටින් විට ක්‍රො‍යේෂියාව ඉතිහාසය පුරා ලෝක අවධානයට ලක් වුණා. දුක, සතුට, කඳුල තුළින් ගොඩනැගුණු රාජ්‍යයක් වන මෙහි ස්වභාව සෞන්දර්යය ද සැලකිය යුතු මට්ටමක තිබෙනවා. යුරෝපා ඉතිහාසය අධ්‍යයනය කරනන්ට හා පරිසරයේ සුන්දරත්වය අත්දකින්නට කැමති අයෙකුට සංචාරය සඳහා ක්‍රොයේෂියාව ඉතා සුදුසු යි.

ක්‍රොයේෂියානු ජාතික ධජය – ImageJuicy

පිහිටීම හා මූලික තොරතුරු

යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ වයඹදිගට වන්නට පිහිටි ක්‍රොයේෂියාව ‘ක්‍රොයේෂියානු ජනරජය’ ලෙස හැඳින්වෙනවා. මෙය ව. කි. මී. 56,594ක භූමි වපසරියකටත් කි.මී. 5,835ක සාගර තීරයකටත් උරුමකම් කියනවා. මෙය බොස්නියා, හර්සගොවිනා, ස්ලොවේනියාව, හංගේරියාව, සර්බියාව හා මොන්ටිනීග්‍රෝ යන රටවලටත් මායිම්ව පිහිටන අතර මෙහි අගනුවර වන්නේ සාග්‍රේබ් නුවර යි. ක්‍රොයේෂියාව මිලියන 4.2ක පමණ ජනගහනයකින් යුක්ත වන අතර එහි ජන ඝණත්වය ව. කි. මී. 1කට 76ක් පමණ වෙනවා.

ක්‍රොයේෂියාවේ පිහිටීම – map-of-croatia.co.uk

ක්‍රොයේෂියාවේ භූ විෂමතාවය හා දේශගුණය

ක්‍රොයේෂියාවේ භූ විෂමතාව සලකන කල්හි එහි භූමිය විවිධ භූ ලක්ෂණවලින් සමන්විත වෙනවා. හංගේරියාව දෙසට වන්නට පුළුල්ව විහිදුණු තැනිතලාවත් වෙරළබඩට වන්නට පිහිටි එතරම් උස් නොවූ කඳුකරයත් ඒවායින් සුවිශේෂ යි. ක්‍රොයේෂියා භූමියට දූපත් 9000ක් පමණ අැතුළත්. මෙහි උසින් වැඩිම ස්ථානය වන්නේ මීටර 1,831ක උසකින් යුත් ඩිනාරා කඳු මුදුන යි.

ඩිනාරා කඳු මුදුන- hps.hr

ක්‍රොයේෂියාවේ දේශගුණය තැනින් තැනට මධ්‍යධරණී හා මහාද්වීපික යන ලක්ෂණ දෙකම පෙන්නුම් කරනවා. මහාද්වීපික ලක්ෂණ පෙන්නුම් කරන ස්ථානවල උණුසුමෙන් වැඩි ග්‍රීෂ්ම ඍතුවකුත් ශීතල ශිශිරයකුත් අත්දකින්නට පුළුවන්. මධ්‍යධරෙණී දේශගුණය ඇති ප්‍රදේශවල සෞම්‍ය හා තෙත් ශීත ඍතුවකුත්, වියලි ගිම්හානයකුත් අත්දකින්නට පුළුවන්. මධ්‍යධරණී දේශගුණය වැඩිමනක්ම දැකගත හැකි වන්නේ වෙරළබඩට වන්නට යි. ක්‍රොයේෂියාවේ අගනුවර වන සාග්‍රේබ් වෙරළබඩින් ඈතට වන්නට පිහිටා ඇති අතර ග්‍රීෂ්මය උපරිමයට පැමිණෙන ජූලි මාසයේ ඉහළ දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 26.7ක් තරම් වන අතර ශීත ඍතුව උපරිමයට පැමිණෙන ජනවාරියේ දෛනික පහළ උෂ්ණත්වය සෙල්සියස් අංශක -4ක්.

ක්‍රොයේෂියාවේ ඉතිහාසය

අතීතයේ දී පවා ක්‍රොයේෂියානු භූමියේ මානවයින් සිටි බවට සාක්ෂ්‍ය හමු වී තිබෙනවා. ක්‍රොයේෂියාවේ ලිඛිත ඉතිහාසය වසර 1400ක් පමණ ඈතට දිවයන්නක්. මෙහි මුලින්ම නවීන ජනාවාසකරණය සිදු වී ඇත්තේ 7 වන සියවසේ යුක්‍රේනයෙන් සංක්‍රමණය වූ කණ්ඩායමක් විසින්. ඉක්මණින්ම එහි ස්වාධීන රාජධානියක් ඇති වූවත් 1091 දී ‘පැක්ටා කොන්වෙන්ටා’ නම් ගිවිසුමකින් ක්‍රොයේෂියාව හංගේරියාවට ඈඳා ගැනුණා. 15 වන සියවසේ දී ක්‍රොයේෂියාවේ පාලනය ඔස්ට්‍රියාවේ ආදිපාද හැස්බර්ග්හි ෆර්ඩිනන්ඩ් වෙත ලැබෙනවා. ඒ ඔටෝමන් රාජධානියෙන් සිදු වන ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට ගත් උපක්‍රමයක ප්‍රතිඵලයක් වශයෙනු යි.

19 වන සියවසේ දී ක්‍රොයේෂියාවට හංගේරියාවට යටත්ව මුත් ප්‍රාදේශීය පරිපාලනයෙහි ස්වාධීනත්වය ලැබෙනවා. මෙය පළමුවන ලෝක යුද්ධය අවසානයේ ඔස්ට්‍රි-හංගේරියානු රාජධානිය බිඳ වැටෙනතුරු පැවති තත්ත්වය වන අතර 1918 දී ක්‍රොයේෂියාව සර්බ් රාජධානිය සෑදීමට එක්ව‍ෙනවා. වර්තමාන සර්බියාව, මොන්ටිනීග්‍රෝ, ස්ලොවේනියාව වැනි රාජ්‍යයන් කිහිපයකින් සුසැදිව තිබූ මේ මහා රාජ්‍යය 1929 දී ‘යුගෝස්ලෝවියාව’ වශයෙන් නම් කෙරෙනවා.

මාෂල් ටිටෝ- total-croatia-news.com

දෙවන ලෝක යුධ සමයේ දී ඉතා දැඩි ලෙස යුගෝස්ලාවියාව යුද්ධයෙන් බැට කන අතර කෙටිකාලීනව ජර්මානුවන් විසින් ක්‍රොයේෂියාවේ කොටසක් සිය ආධිපත්‍යයට නතු කරගෙන එහි ෆැසිස්ට් පාලනයක් ඇති කරනවා. මෙය යුධමය වශයෙන් පරාජය කෙරෙන අතර යුගෝස්ලෝවියාව ‘සමාජවාදී ෆෙඩරල් යුගෝස්ලෝවියා ජනරජය’ ලෙස මාෂල් ටිටෝ යටතේ එක්සේසත් වෙනවා. කෙසේ නමුත් ඔහුගේ පාලන සමයේ අවසානය වන විට ක්‍රොයේෂියාව ස්වාධීන රාජ්‍යයක් වන ලකුණු පහළව තිබූ අතර 1980 දී සිදු වූ ඔහුගේ මරණයත් සමග යුගොඉස්ලෝවියාව බිඳ වැටීමට ලක්වුණා. 1991 දී ක්‍රොයේෂියාව තමන් ස්වාධීන රාජ්‍යයක් බැව් ප්‍රකාශ කළ අතර ඉක්මනින්ම සර්බියාව හා ක්‍රොයේෂියාව අතර සිවිල් යුද්ධයක් ද ඇරඹෙනවා. වසර දෙකක් පුරා පැවති යුද්ධය 1995 දී සාම ගිවිසුමක් මඟින් අවසන් කෙරෙන අතර 2000 වසරෙන් පසු සාමකාමී නව මඟක ගිය ක්‍රොයේෂියාව 2012 දී යුරෝපීය සංගමයට එක් වෙනවා. කොලින්ඩා ගාබර් කිටරොවිච් එරට වර්තමාන ජනපතිනිය වෙනවා.

කොලින්ඩා ගාබර් කිටරොවිච්- Inavukic.com

ක්‍රොයේෂියාවේ සංචාරක ස්ථාන

ක්‍රොයේෂියාවෙහි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙකුට ක්‍රොයේෂියාවට ගොස් නැවත පැමිණෙන්නට සකසුරුවම් පන්තියේ ටිකට් පතක් ලබාගන්නවානම් ශ්‍රී ලංකා රුපියල් 150,000 ක පමණ මුදලක් වැය වෙනවා. කෙසේ නමුත් එම මුදල දරාගත හැකි අයෙකුට ක්‍රොයේෂියාවට සංචාරය කිරීම ආශ්වාදජනක වූත් ආනන්දනීය වූත් දෙයක්.

කර්කා ජාතික උද්‍යානය

theblondeabroad.com

ක්‍රොයේෂියාවේ මධ්‍යම ඩැල්මේෂියාවේ පිහිටා ඇති කර්කා ජාතික උද්‍යානය ඉතා විචිත්‍රවත් භූ ලක්ෂණ හා වෘක්ෂලතා සපිරි සංරක්ෂිත ප්‍රදේශයක් වෙනවා. මීට අමතරව මෙහි විවිධ සතුන් මෙන්ම ඓතිහාසික ස්ථාන ද සංචාරක ආකර්ෂණය දිනාගන්නවා.

මෙම ජාතික උද්‍යානය සතුව මනරම් දියඇලි හා පිරිසිදු ජලය පිරුණු දියකඩිති රාශියක් පිහිටනවා. මෙහි ඇති අඩි පාරවල්වල ගමන් කිරීම, බෝට්ටු සවාරි යාම, මෙන්ම දිය කඩිතිවල ස්නානය කිරීමත් සංචාරකයින්ට සිදු කළ හැකි යි.

මකර්ස්කා

total-croatia-news.com

මකර්ස්කා පෙදෙස කුඩා කඳු ගැටිති හා ගොඩබිම තුළට නෙරා ආ සාගරයෙන් වට වූ මනරම් භූමියක් වෙනවා. එහි ඇති වරාය හා බයෝකොවෝ කඳුගැටය සුන්දර දසුන් මවන අතර මුහුදු වෙරළේ සිට හිරු පහස විඳින්නටත් බෝට්ටු සවාරි යන්නටත් ඉතාම සුදුසු පෙදෙසක් වෙනවා.

කොර්චුවා

visit-croatia.co.uk

සුප්‍රකට දේශගවේෂකයෙකු වන මාකෝ පෝලෝගේ උපන් බිම  ලෙස සැලකෙන කොර්චුවා ක්‍රොයේෂියානු වෙරළ තීරයේ සිට කි. මී. 50ක් පමණ ඈතින් පිහිටි දිවයිනක් වෙනවා. මෙය සුන්දර වන ලැහැබයන්ටත්, ඔලිව් ශාකවලටත්, තත්ත්වයෙන් ඉහළ වයින්වලටත් සුප්‍රසිද්ධ යි. මීට අමතරව සුන්දර වෙරළ තීරයකුත් මෙහි පිහිටනවා. මෙහි ප්‍රධාන නගරය වන කොර්චුවාහි පැරණි ගොඩනැගිලිවල ගෘහ නිර්මාණශිල්පී විස්කම් දැකගත හැකි යි.

මිලෙට් ජාතික උද්‍යානය

absolute-croatia.com

ක්‍රොයේෂියාවේ දකුණුදිගින් පිහිටා ඇති මිලෙට් දිවයින එහි වූ ජාතික උද්‍යානය නිසා ප්‍රසිද්ධියක් උසුළනවා. මෙහි වූ සුන්දර වන වැස්මත්, ස්වභාවික ලවණ විල් හා කලපු නිසා මධුසමය ගත කරන්නට පැමිණෙන යුවල අතර ඉතා ජනප්‍රිය සංචාරක ස්ථානයක් වෙනවා. පිහිනුම් ක්‍රීඩාවට, හිරු පහස විඳින්නට මෙන්ම පාපැදි සවාරිවලටත් මිලෙට් දිවයින අපූරු තෝතැන්නක්.

සාදාර්

inyourpocket.com

සියවස් ගණනාවක් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන සාදාර් නම් ඉපැරණි නගරය පිහිටා තිබෙන්නේ උතුරු ඩැල්මේෂියානු වෙරළාසන්නව යි. මෙය ක්‍රොයේෂියාවේ සංචාරක ආකර්ෂණය වැඩිපුරම දිනාගෙන තිබෙන ස්ථානයක් වන අතර ඉපැරණි ගොඩනැගිලි හා නටඹුන්වල ගෘහ නිර්මාණශිල්පීය ප්‍රතිභාව නැරඹීමට හා සුන්දර වෙරළ තීරයේ ගිමන් හැරීමට සංචාරකයින්ට පුළුවන්.

රොවීන්

europeanbestdestinations.com

උතුරු ඉස්ට්‍රියානු අර්ධද්වීපයේ පිහිටා ඇති මෙම සාම්ප්‍රදායික ධීවර නගරය හා ඒ අවට ප්‍රදේශයත් සංචාරක ආකර්ෂණය හොඳින්ම දිනාගෙන ඇති පෙදෙසක්. විශේෂයෙන් වැඩි කලබලයකින් තොරව සිය නිවාඩුව නිදහසේ විඳගැනීමට රුචි කම් දක්වන අයට මෙය ඉතාම හොඳ සංචාරක පෙදෙසක් වෙනවා. මේ අවට ඇති කුඩා දිවයින්වල කාලය ගත කිරීමටත් මුහුදු වෙරළේ ස්නානය කිරීමටත් සංචාරකයින්ට හැකි යි.

ඉහත සඳහන් සංචාරක ප්‍රදේශවලට අමතරව තවත් සංචාරක ස්ථාන රැසක් ක්‍රොයේෂියාවේ පිහිටා තිබෙනවා. මේවා බොහොමයක ඉඳුම් හිටුම් ගාස්තු මඳක් මිල අධික වීම නම් ශ්‍රී ලංකා සංචාරකයින්ට සිදු වන අවාසියක්. කෙසේ නමුත් ජීවිතයේ කවදා හෝ අවස්ථාවක් ලැබුණහොත් ක්‍රොයේෂියාවට සංචාරය කරන්නට අමතක කරන්නට එපා.

කවරයේ පින්තූරය – unf–kthegulf.com

Related Articles