Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එකදු අවියක් හෝ නොදරා යුද්ධ පිටිය ජය ගත් අවිහිංසාවාදියා – ඩෙස්මන්ඩ් ඩොස්

යුද්ධය හා අවිහිංසාවාදය යනු එකිනෙකා හා එකඟ වන යෙදුම් දෙකක් නොවේ. යුද්ධය ඇති තැන අවිහිංසාවාදයත්, අවිහිංසාවාදය ඇති තැන යුද්ධය නැතැයි කියැවේ. නමුත් අවිහිංසාවාදී ප්‍රතිපත්තීන්ට ගරු කරමින් යුද්ධ පිටිය ජයගත් අසාමාන්‍ය පුද්ගලයින් ද මෙලොව නැතුවා නොවේ. ඩෙස්මන්ඩ් ඩොස් යනු එවැනි අසාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු අන් කවර යුද්ධ විරුවකුටත් වඩා අසාමාන්‍ය පුද්ගලයකු වන්නේ අන් කවරක් නිසාවත් නොව, ඔහු හමුදා පුහුණුව තුළදී හෝ යුද්ධ පිටිය තුළ එකදු අවියක් හෝ සිය දෑතින් නොඇල්ලූ බැවින් හා, දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයේ ඔකිනාවා නුවරදි පැවති අතිශය තීරණාත්මක සටනකදී එසේ එකදු අවියක් හෝ භාවිතා නොකරමින් තම බල සේනාංකයෙහි සිටි හමුදා භටයන් හැත්තෑ පස් දෙනෙකුගේ දිවි බේරාගන්නට සමත් වූ හෙයිනි.

ඇමරිකාවේ කුඩා නගරයක ඉපිද හැදී වැඩී, යුද්ධ විරුවකුට ඉතා කලාතුරකින් ලැබෙන වීර පදක්කම් වලින් පිදුම් ලැබීම දක්වා ඔහු පැමිණි අපූරු චාරිකාව පිළිබඳ තැබෙන සටහනයි මේ.

ළමා කාලය

faithofdoss.com

1919 වසරේ පෙබරවාරි 07 වන දා ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ලින්ක්බර්ග් හිදී වඩු කාර්මිකයකුට සහ ගෘහණියකට දාව උපන් ඩෙස්මන්ඩ් තෝමස් ඩොස්, ළමුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය. සිය මවගේ ආභාශය ලබමින් ඉතා භක්තිවන්ත ‘සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්’ නිකායට අයත් ක්‍රිස්තියානි භක්තිකයකු ලෙස හැදී වැඩුණු ඩෙස්මන්ඩ් කුඩා කළ පටන් ම අවිහිංසාවාදී ප්‍රතිපත්තීන් අනුගමනය කරන්නට හුරු පුරුදු වූ අතර, නොවරදවා ම ‘සබත් දිනය’ සමරන්නට මෙන්ම මෙන්ම මස් මාළු කෑමෙන් ද වැළකී සිටින්නට පුරුදු විය. දේවස්ථානයෙහි පැවැත්වුනු පාසලින් අට වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ හෙතෙම ඉන් පසුව ලී මෝලක රැකියාවක් සඳහා එක් විය. තරුණ ඩෙස්මන්ඩ් ඉන් පසුව වර්ජිනියාහි නිව්පෝර්ට් නිවුස් නගරයේ නාවුක හමුදා නැව් තටාකාංගනයේ වඩු කාර්මිකයකු ලෙස සේවයට බැඳුණි.

මිලිටරි අත්දැකීම්

ඇමරිකාවේ පර්ල් වරායට ජපන් හමුදා ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී ඩෙස්මන්ඩ් නිව්පෝර්ට්හි සේවය කරමින් සිටි අතර, ඉන් පසුව සේවයෙන් ඉල්ලා අස්වීමට අවස්ථාව සැලසී තිබියදී ඔහු හමුදාවට එක්වීමට තීරණය කළේ සිය රට වෙනුවෙන් යමක් කිරීමට ඔහු ඉටාගත් බැවිනි. දෙවන ලෝක යුද්ධ ගින්න ඇවිලෙමින් තිබුණු 1942 වසරේ අප්‍රේල් පළමුවන දින ඩෙස්මන්ඩ් ඩොස් ඇමරිකානු හමුදාවට බැඳුණු අතර වර්ජිනියාවේ කෑම්ප් ලී කඳවුරටත්, ඉන් ඉක්බිතිව  දකුණු කැරොලයිනාවේ ෆෝර්ට් ජැක්සන් කඳවුරටත් පුහුණුවීම් සඳහා අනුයුක්ත කරන ලදුව, ඉන් පසුව 77 වන රයිෆල් පාබල සේනාංකය වෙත අනුයුක්ත කරන ලදී.

ඔහු හමුදාවට එක්වූයේ “medic” කෙනෙක් හෙවත් වෛද්‍ය පහසුකම් සපයන්නෙක් ලෙස ය. නමුත් යුද්ධ නීතියට අනුව ඔවුන් ද හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය විය. තමා අනුගමනය කරන ආගමික ප්‍රතිපත්තීන්ට කවදත් හිස නැමූ තරුණ ඩෙස්මන්ඩ් පුහුණුවීම් අතරතුරදී ගිනි අවියක් සිය දෑතින් පවා ඇල්ලූයේ නැත. ඔහුව හඳුන්වනු ලැබූයේ “හෘද සාක්ෂියට එකඟව විරුද්ධ වන්නෙක්” හෙවත් “conscientious objector” ලෙස ය.

newsadvance.com

හමුදා කඳවුරේදී ඔහුට මුහුණ දෙන්නට වූ අත්දැකීම් එතරම් මිහිරි ඒවා නොවේ. අනෙකුත් හමුදා භටයන් ඔහුව කොන් කරන්නට මෙන්ම ඔහු දෙස හාස්‍යයෙන් බලන්නටත් පෙළඹුනාහ. යුද්ධ පිටියේ සිට ඔහු නැවත පණ පිටින් නොපැමිණෙන ලෙස වග බලාගන්නා බවට ද ඔහුට තර්ජන එල්ල විය. ඊට අමතරව සෑම ‘සබත් දිනයක’දී ම හෙවත් සෙනසුරාදාවකදීම දේවස්ථානය වෙත යාම පිණිස ඔහු නිවාඩු ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට ද අනෙකුත් භටයින් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ සියල්ලටම මුල වූයේ ඩෙස්මන්ඩ් විසින් තම ප්‍රතිපත්තීන් අකුරටම පිළිපදින්නට වග බලාගැනීමයි. බයිබලය හා දෙවියන් වහන්සේ කෙරෙහි පැවති විශ්වාසය යනු ඔහු සතු බලවත්ම ආයුධ ද්විත්වය ලෙස සලකන්නට ඩෙස්මන්ඩ් පෙළඹී සිටියේය.

සටන් බිමට වැදී අනෙකුත් සොල්දාදුවන් ජීවිත විනාශ කරද්දී ඩෙස්මන්ඩ් තැත් කළේ වෛද්‍ය සේවකයකු ලෙස ජීවිත බේරාගන්නට ය. ගුආම්, ලෙයිට් වැනි දූපත් වල පැවති සටන් වලදී මෙන්ම ජපානයේ ඔකිනාවා හී පැවති සටනේදී ද ඩෙස්මන්ඩ් ඩොස් සිය දක්ෂතා පෙන්වන්නට සමත් විය. සටන් අතරතුරදී තුවාල ලැබූවන් සොයා ඇවිලෙන ගිනි ජාලා මැදින් දිව යන්නට වූ ඩෙස්මන්ඩ් ඩොස් තමා වෙත එල්ලවන අවි ප්‍රහාර ගැන පවා නොතකමින් අනෙකුත් සොල්දාදුවන් බේරාගන්නට කැප විය. මෝටාර් ප්‍රහාර මැදින් තුවාල ලද සොල්දාදුවන් කඳවුර වෙත නැවත රැගෙන ආ අයුරු පසු කලෙක සිහිපත් කළ ඩෙස්මන්ඩ් පවසා සිටියේ විටෙක ඔහු සතුරු සේනාංකයන් වෙත කොපමණ ලංව සිටියේ ද කියතොත් ඔවුන් ජපන් බසින් සාකච්ඡා කළ ඇතැම් දෑ පවා තමාට ඇසුණු බවයි.

අනපේක්ෂිත ප්‍රහාරයක්!

itiswrittenoceania.tv

1945 දී ජර්මානු හමුදාවන් මිත්‍ර පාක්ෂික හමුදාවන්ට යටත් වන විටත් ජපන් හමුදාවන් තම බල කඳවුරු රැකගන්නට සටන් වැදුණාහ. ඔකිනාවා යනු ඉන් එක් දූපතකි. ඩෙස්මන්ඩ් ද ඇතුලු පාබල සේනාංකය එහි සටන් වැදුණු අතර නැමති ගිරි දුර්ග මුදුන තරණය කිරීම එහිදී ඔවුන් මුහුණ දුන් එක් අභියෝගයක් විය. ඉතා පහසුවෙන් එම අභියෝගයට ඔවුන් මුහුණ දුන්න ද, කඳු මුදුනට සොල්දාදුවන් ළඟාවත්ම සතුරු හමුදාවන් ඔවුන්ට පහර දෙන්නට විය. එම අනපේක්ෂිත ප්‍රහාරයෙන් වික්ෂිප්ත වූ සොල්දාදුවන් ප්‍රතිප්‍රහාරයන් එල්ල කරගත නොහැකිව පසුබසිද්දී ඉදිරි පෙළ සොල්දාදුවන් රැසක් ජීවිතක්ෂයට පත් විය.

සියලු දෙනා දිවි රැකගන්නට දිව යද්දී ඩෙස්මන්ඩ් පමණක් එහි රැඳී සිටියේ ය. කඳු මුදුනින් බැසගන්නට හැකි වූයේ ද සොල්දාදුවන් තුනෙන් එකකට පමණි. ඉතිරි සියල්ලෝ නන්නාඳුනන සතුරු භූමියක් මත මරණාසන්නව හා අසරණව වැතිර උන්හ. නමුත් අණ නොතකා ඉදිරියට දිව ගිය එක් සොල්දාදුවෙක් තම සහෝදර පාබල භටයන්ට අවශ්‍ය ප්‍රථමාධාර දෙමින් ඔවුන්ව නිරුපද්‍රිතව නැවත කඳවුර වෙත ගෙන එන්නට ක්‍රියා කළේ ය. 1945 වර්ෂයේ මැයි පස්වන සබත් දිනයේදී ඩෙස්මන්ඩ් ඩොස් විසින් 77වන පාබල සේනාංකයට අයත් භටයින් 75 දෙනෙකුගේ දිවි බේරාගත්තේ එලෙසිනි.

ඔහු ලද වීර පදක්කම්

twitter.com

ඇමරිකානු හමුදාවට එක්ව වසර තුන හමාරක් ගතවන තැන එක් දිනෙක ඩෙස්මන්ඩ් හට ඇමරිකාවේ ධවල මන්දිරයට පැමිණෙන්නට ආරාධනාවක් ලැබිණි. ඒ ඇමරිකානුවකුට ලබා ගත හැකි ඉහළතම වීර පදක්කම වන “Congressional Medal of Honour” නැමති පදක්කම ලබා ගැනීමට ය.

එවකට ජනපතිව සිටි හැරී ටෲමන් පවසා සිටියේ ඩෙස්මන්ඩ් හට වීර පදක්කමක් පැළඳවීමට තමා ලද අවස්ථාව තමාට ජනාධිපති පදවිය ලැබුණාටත් වඩා සතුටට කාරණයක් බව යි. දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ මිලියන 16ක් හමුදා භටයින් අතුරින් 431 දෙනෙක් පදක්කම් ලාභීන් වූ අතර, ඒ සියල්ලන් අතුරින් ඩෙස්මන්ඩ් ඩොස් කැපී පෙනුණේ එකදු ජීවිතයක් හෝ විනාශ නොකරමින්, ජීවිත බේරා ගැනීම උදෙසා ම ඔහු කැපවී ක්‍රියා කළ හෙයිනි. මීට අමතරව තවත් වීර පදක්කම් හා තරු සුවිශාල ප්‍රමාණයක් ඩෙස්මන්ඩ් හට හිමි විය. ඒ සියල්ල අතුරින් “Bravery and courage under fire” හෙවත් “යුද්ධ ගිනි මැදදී පෙන්වන ලද අප්‍රතිහත ධෛර්යය” සඳහා පිරිනැමුණු පදක්කම සදානුස්මරණීය වේ.

ඔබ නැරඹිය යුතුම “Hacksaw Ridge”

google.com

ඩෙස්මන්ඩ් ඩොස්ගේ අපූර්ව ජීවිත කථාව අලලා 2016 දී මෙල් ගිබ්සන් නම් වූ ලෝක ප්‍රකට රංගන ශිල්පියා විසින් නමින් චිත්‍රපටියක් නිර්මාණය කරන ලද අතර එය ඔස්කාර් සම්මාන ද්විත්වයක් ද ඇතුළු ව විවිධ සම්මාන 40කට ආසන්න ප්‍රමාණයක් දිනාගැනීමට සමත් විය. එහි ඩෙස්මන්ඩ්ගේ චරිතයට පණ පෙව්වේ ස්පයිඩර් මෑන් චරිතයට පණ පොවමින් රසික සිත් දිනාගත් ඇන්ඩෲ ගාෆීල්ඩ් විසිනි.

ඔහු අදත් සිහිපත් කළ යුත්තෙකි

2006 වසරේ මාර්තු 23 වන දින ශ්වසනාබාධයක් හේතුවෙන් කෝප්‍රල් ඩෙස්මන්ඩ් ඩොස් මිය ගියේ තම දිවියේ 87 වන කඩඉම පසු කරමින් සිටියදී ය. අප අතරින් සමුගෙන දශකයකටත් වැඩි කලක් ගත වී තිබුණද, ඔහු සුරැකි ධර්මතාවයන් හා ප්‍රතිපත්තීන් අදටත් සිහිපත් කළ යුතු ය.

සාමයේ නාමයෙන් යැයි කියමින් විෂ වායු මුදා හරිමින්, බෝම්බ හෙලමින් අසරණ ජනයා දහස් ගණනින් මරා දැමෙන සිදුවීම් ලොව හතර වටෙන් කන වැකෙන යුගයක, අවිහිංසාවාදය තුළින් ද යුද්ධ පිටිය ජයගත හැකි බව ඔහු අපට ක්‍රියාවෙන් ම පසක් කර දුන් බව නම් අප අමතක නොකළ යුතු ම ය.

කවරයේ ඡායාරූපය – people.com

මූලාශ්‍ර‍:

  1. desmonddoss.com
  2. www.telegraph.co.uk
  3. www.uselessdaily.com

Related Articles