අනුරාධපුර, පොළොන්නරු යුගවල දී බැබලුණු පුදබිමක් වූ දිඹුලාගල පිහිටා ඇත්තේ පොළොන්නරුවේ සිට කි. මී. 23ක් දුරින් මහවැලි ගඟෙන් එතෙරයි. පොළොන්නරුවේ සිට මනම්පිටිය, දළුකාන හරහා ගමන් කර පහසුවෙන් මේ විහාරයට පැමිණිය හැකියි. මේ මාර්ගය දිඹුලාගල පසුකරමින් සිරිපුර දෙහිඅත්තකණඩිය හරහා මහියංගනය දක්වා ඇදී යනවා. පොළොන්නරුව ප්‍රදේශයට සුන්දරව දිස්වන  දිඹුලාගල කන්ද පුරාණයේ උදුම්බරගිරි, ධුමරක්ඛ පබ්බත යන නම්වලින් හඳුන්වා තිබෙන බව මහාවංශයෙන් හෙළිවෙනවා. බ්‍රිතාන්‍යයන් එයට කිව්වේ ගනර්ස් කොයින් කියලයි. එය මේ පෙදෙසේ පිහිටි උසම කන්ද යි. එහි උස මීටර් 534ක්.

කිතලගම සීලාලංකාර හාමුදුරුවෝ

කඳු පාමුල නූතන විහාරාරාංග-  Wikipedia.org

වැද්දන්ගේ වාසයට වෙන්වූ දඩබිමක්ව පැවති මෙහි ලෙන් වෙත 1954 දී මාතර කිතලගම සීලාලංකාර හිමියන් වැඩම කළා. නැවත විහාරාරාම ඉදිකර වැදි පවුල්වල ළමයි ද මහණකරමින් දිඹුලාගල දියුණු කිරීමට උන්වහන්සේ කටයුතු කළා. සීලාලංකාර හිමියන් ඉදිකළ විහාර ගොඩනැගිලි කිහිපයක්ම කඳු පාමුල දැකගත හැකියි. උන්වහන්සේ 1995 දී ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් අපවත් වූ දා රටම කණගාටුවට පත් වුණා.

ඉතා සුන්දර කඳුවැටියක් වන දිඹුලාගල බොදු වන්දනාකරුවන්ට සැදැහැ සිත් උපදවා ගත හැකි පිංබිමක්. සොබාදහම අගයන කඳු නගින්නන්ට අපූරු අත්දැකීමක් ලබාගත හැකි පාරිසරික ඉසව්වක්.

1985 දි මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මෙම ප‍්‍රදේශයේ ජනාවාස ඉදිකොට කුඹුරු ඉඩම් යටිතල පහසුකම් නිවාස ආදිය සපයා ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් ජන පිරිස් ප‍්‍රදේශයට ගෙන්වා පදිංචි කිරීම සිදු කළ අතර ඒ කටයුතුවලට ද දිඹුලාගල හිමි උපකාර කළා. අද මේ අවට කුඹුරු ඉඩම් රැසක් පැතිර තිබෙන්නේ මහවැලි ව්‍යාපාරය නිසයි.

ඉතිහාසයට හැරී බලමු

දිඹුලාගල අවට පෙදෙස - trisinhala.blogspot.com

මෙම ප‍්‍රදේශයේ විජයාගමනයට පෙර යක්ෂ හා නාග ගෝත‍්‍රිකයෝ සිටි බවට ජනප්‍රවාද පවතිනවා. පණ්ඩුකාභය කුමරු සම්බන්ධ කතා පුවත් සමග ද‍ දිඹුලාගල ප‍්‍රදේශය බැඳී තිබෙනවා. පොළොන්නරු යුගයේ දී කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ හා මලියදේව මහ රහතන් වහන්සේ දිඹුලාගල මහා විහාරයේත් වැඩ වාසය කර ඇති බව පැවනෙවා. බුද්ධ ශාසනය පිරිහී මහා සංඝයා භේදභින්නව සිටින අවධියක එනම් ක්‍රි. ව.  1153 දී මහා පරාක‍්‍රමබාහු රජු කිරුළට පත්වුණා. සංඝයා අතර එක්සත්කමක් නොමැති බවත්, ඔවුන් අයහපත් ලෙස කල්ගත කරන බවත් රජතුමාට පෙනී ගියා.

පර්වතයට පෙනෙන දසුන- Wikipedia.org

ඒ අවස්ථාව වන විට ලක්දිව සුපිරිසිදු සිල්වත් භික්ෂූන් වහන්සේලා අතළොස්සකට වඩා හිටියේ නැහැ. මේ ස්වල්ප දෙනා අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගෙන ක‍්‍රියා කළේ දිඹුලාගල විහාරාධිපති මහා කාශ්‍යප සංඝ නාහිමියන් වහන්සේ යි.  විනය සංගායනාවක් පවත්වා සංඝ සංශෝධනයක් කිරීම සඳහා පුරෝගාමීව ක්‍රියා කිරීමට සුදුස්සා මුන්වහන්සේය යි රජතුමා විසින් තීරණය කළා. මහාකාශ්‍යප හිමි මෙහෙයවූ මෙම ශාසන සංශෝධනය පොළොන්නරු කතිතාවත නමින් හැඳින්වෙනවා.

මහා පරාක‍්‍රමබාහු රජ සමයේ දිඹුලාගල විහාරය ලක්දිව පමණක් නොව පිටරටවල පවා පතල කීර්තියක් ඇති විද්‍යා පීඨයක් බවට පත් වුණා. එකල ලංකාවේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය වී ඇත්තේද දිඹුලාගල බව පේනවා. දිඹුලාගල මහා කාශ්‍යප සංඝ පීතෘවරයාණෝ සංස්කෘත ව්‍යාකරණ සම්බන්ධයෙන් එවකට ලක්දිව විසූ උසස්ම පඬිවරයා වුණා. විද්‍යා චක්‍රවර්තී හා ගුරුළුගෝමි යන පඩිවරු බිහිවී ඇත්තේ ද දිඹුලාගලින්.

පොළොන්නරු යුගයේ දී බැබළුණු මෙම පුදබිම කාලිංගමාඝ ආක්‍රමණයත් සමඟ පිරිහෙන්නට වුණා. එහි වැඩ විසූ භික්ෂුන් වහන්සේ වෙනත් දුරබැහැර විහාරස්ථාන සොයාගෙන දඹදෙනියට සහ යාපහුවට ගිය බව පැවසෙනවා.

විහාර වන්දනාව

කඳු පෙත් අතරින් - කුසුම්සිරි විජයවර්ධන

අද දිඹුලාගලට යන ඔබට කඳු පාමුල මෑත අතීතයේ දී ඉදිකළ ආරාම, ප්‍රතිමා මන්දිර, සහ සංඝාවාස දැකගන්නට ලැබෙනවා. ඒවා වැඳ පුදාගෙන කඳු මුදුන හා ආශ්‍රිතව තිබෙන පැරණි නටබුන් හා ලෙන් දැකගැනීමට යාමටත් පුලුවන්. නමුන් වැඩි දෙනෙක් කඳු පාමුල විහාර පමණක් වැඳ පුදාගෙන යන බවයි පේන්නේ. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය නවීකරණයට රජය කටයුතු කරමින් සිටිනවා. එහි ඇති සියලුම විහාරාංග, පිරිවෙන්ශාලා, අධ්‍යාපන පටිපාටිය, පූර්ණ නවීකරණයට රුපියල් කෝටි 600ක මුදලක් වෙන්කර ඇති බවත් පැවසෙනවා.

අහස් මාලිගය

අහස් මාලිගය ඈතට පෙනෙන අයුරු - lankalink.info

කඳු මත පිහිටි උසම ස්ථානයේ මෑතක දී දාගැබක් ඉදිකර තිබෙනවා. එම ස්ථානය හඳුන්වන්නේ අහස් මාලිගය කියලයි. බොහෝ බැතිමතුන් අහස්මාලිගය වන්දනා කර ගැනීමට කඳු නගිනවා. අවට රජරට තැනිතලාවේ සුන්දර දර්ශනයක් මෙහි දී දැකබලා ගැනීමට ඉඩ ලැබෙනවා.

මාරා වීදිය

වනගත නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

කන්දේ එක් ස්ථානයක් හඳුන්වන්නේ මාරාවීදිය නමින්. එහි පැරණි බිත්ති කොටස් ද සහිත ගුහා කිහිපයක් පිහිටා තිබෙනවා. මේ ලෙන්වලින් තුනක විනාශයට පත්වූ පැරණි බිතුසිතුවම්වල කොටස් දකින්න ලැබෙනවා. එක් ලෙනක ඇත්තේ වැඩසිටින බුද්ධ රූපයක්. මෙම චිත්‍ර පොළොන්නරු යුගයට අයත් බවට සැලකෙනවා.

ඖෂධ පොකුණ හා පස්බුදු ලෙන

පැරණි ලෙන්- sasunkethaaswadduma.blogspot.com

මාරාවීදියේ ගල්ලෙන්වලට නුදුරින් පර්වත ආශ්‍රිතව පොකුණු දෙකක් පිහිටා තිබෙනවා. ඒ එකක් හඳුන්වන්නේ ඖෂධ පොකුණ නමින්. මෙය මුලින්ම බවුන් වැඩූ භික්ෂුන් වහන්සේ භාවිත කළ බව පැවෙසනවා. පසුකාලීනව ඒ ලෙන්වල පදිංචි වූ වැද්දන් තමයි එයට ඖෂධ පොකුණ කියන නම ලබාදීලා තිබෙන්නේ. නියඟයට පවා නොසිඳෙන මෙම පොකුණේ ජලයෙන් රෝග සුවවන බව සමහරුන්ගේ විශ්වාසය යි.

පොකුණ අසල ඇති ලෙන හඳුන්වන්නේ පස්බුදු ලෙන කියලයි. මෙහි මේ කල්පයේ ඉදිරියට බුදුවන බුදුවරයන්ගේ ප්‍රතිමා නිදන් කර ඇති බවට විශ්වාසයක් පවතිනවා. මේ ලෙන වටා තවත් අද්භූත කතාපුවත් ද  ගෙතී තිබෙනවා.

පුල්ලිගොඩ ගල්ගේ

පැරණි සිතුවම් - dimbulagalatemple.org

දිඹුලාගල විහාරයේ සිට කි. මී. 4ක් දුරින් කන්දේ ඇති ලෙනක් මේ නමින් හඳුන්වනවා. මෙම ලෙනේ සිතුවම් ගැන එච්. සී. පී. බෙල් 1897 දී වාර්තා කරනවා. මෙහි අඩි 5ක් දිගට දේවරූප යයි සිතිය හැකි සිතුවම් පහක් දකින්න ලැබෙනවා. එම රූපවල හිසෙහි රැස් වලල්ලක් ඇඳ තිබෙනවා. මේ දේවරූප ආභරණවලින් සමන්විත ඇඳුම් ඇඳ පලසක් මත වාඩි වී සිටින ආකාරයෙන් නිරූපිතයි. පුල්ලිගොඩ සිතුවම් 8 වැනි සියවසට අයත් යයි වින්සන්ට් ස්මිත් සඳහන් කරනවා. පරණවිතාන පවසන්නේද ඒවා පොළොන්නරු යුගයට පෙර කාලයට අයත් බවයි.

නාමල් පොකුණ

නාමල් පොකුණ නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

දිඹුලාගල විහාරයට නුදුරින් මෙම නටබුන් ප්‍රදේශයට හැරී යා යුතු යි. කඳුබෑවුමේ ගල්පර්වත අතර සුන්දර නිම්නයක් වැන ස්ථානයක පිහිටා ඇති අනුරාධපුර යුගයට අයත් පබ්බත විහාරයක් නාමල් පොකුණ නමින් හඳුන්වනවා. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර තිබෙනවා. අක්කර තුනක පමණ පෙදෙසක නටබුන්  රාශියක් පැතිර තිබෙනවා.

නටබුන් දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

වේදිකාවක් මත ඉදිකළ දාගැබක්, බෝධිඝරයක්, ප්‍රතිමා මන්දිරය, හා පොහොයගෙය ඇතුළු ගොඩනැගිලිවල නටබුන් මෙහි දක්නට පුළුවන්. ප්‍රතිමා මන්දිරයේ බුදු පිළිමය කොටස්වලට කැඩී තිබෙන අයුරු දැකගත හැකියි.

කොස්ගහ උල්පත

බුදු පිළිමය සහිත ලෙන-Ashan Geegnage-  amazinglanka.com

දිඹුලාගල  පර්වතයේ සිට කි. මී. 4ක් දුරින් පිහිටා ඇති නටබුන් ස්ථානයක්. මෙහි වනගත ලෙන් දෙකක් දැකගත හැකියි. එකක ගඩොලින් කළ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. එම පිළියට නිදන්හොරු කඩාබිඳ දමලා. ඒ අසල ඉහළින් ඇති ලෙනට පිවිසීමට නම් ඉණිමඟක් අවශ්‍යයි. මෙම ලෙන පුරාණයේ දානය පිළියෙල කිරීමට අවශ්‍ය වී තැන්පත් කළ අටුව බවට ජන විශ්වාසයක් පවතිනවා.

සෙල්ලිපි

වනගත සුන්දරත්වය - කුසුම්සිරි විජයවර්ධන

දිඹුලාගල පොළොන්නරුවට සමීපව තිබුණ ද පොළොන්නරු රාජධානියට පෙර මෙරටට බුදුදහම ලැබුණු කාලයේ පටන්ම එම පෙදෙස බෞද්ධ භික්ෂුන්ගේ වාසයට නතුව පැවති බව සෙල් ලිපිවලින් හෙළි වෙනවා. ක්‍රි. පූ. 3 සියවසට අයත් සෙල්ලිපි 4ක් මේ අවටින් හමුවී තිබෙනවා. කටාරම් කොටන ලද ලෙන්වල එම සෙල්ලිපි දක්නට ලැබෙනවා. දිඹුලාගල කන්දේ මාරාවීදිය (ලිපි 1යි), කොස්ගහඋල්පත (ලිපි 2යි), පුල්ලිගොඩ ගල්ගේ (ලිපි 1යි), නාමල් පොකුණ (ලිපි 9යි) යන ස්ථානවලින් මේ සෙල්ලිපි හමුවෙනවා. අහස් මාලිගය අසල සෙල්ලිපිය ක්‍රි. පූ. 1 සියවසට අයත්. ඒවාට අමතරව 11 වන සියවසට අයත් සෙල්ලිපි 2ක් ද මෙහි පර්වතවල කොටා තිබෛනවා. 1 වන වික්‍රමබාහු රජුගේ බිසව වූ සුන්දර මහා දේවිය, භාතිකතිස්ස යන රජවරුන් ගැන මෙහි සෙල්ලිපිවල සඳහන් වෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

dimbulagalatemple.org

පුලතිසි වංශය- සේපාලිකා විතානගේ ගේ ලිපිය

රජරට ප්‍ර වේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

රජමහා විහාරාරාම- කුසුම්සිරි විජයවර්ධන

කවරය- දිඹුලාගල කඳුවැටිය ඈතට දිස්වන අයුරු- කුසුම්සිරි විජයවර්ධන