ගාල්ලේ ජනතාවට නම් ගාලු කොටුව කොළඹ අයට ගෝල්පේස් එක වගේ විවේක ගන්නා තැනක්. පෙම්වතුන්ට නම් අත්වැල් බැඳගෙන පෙම්බස් දොඩන ස්ථානයක්. විදේශිකයන්ට නම් අසුනකට බරවී පොතක් කියවන්න සුදුසු තැනක්.

රටේ අනෙක් පළාත්වලිනුත් හුඟදෙනෙක් කොටුවේ අපූර්වත්වය දැකබලා ගැනීමට එනවා. අප රටේ බලකොටුවලට වඩා මෙහි සුවිශේෂත්වය නම් සෑම ඕලන්ද ගොඩනැගිල්ලක්ම පාහේ අදටත් භාවිත කරන සජීවී නගරයක් වීමයි.

කොටුපවුරේ විවේකය. (Wikimedia.org)

ගාලු කොටුවේ ඕලන්ද හෙවත් ලන්දේසි කාලෙට අයත් නිවාස රාශියක් ද තිබෙනවා. ගාලු කොටුව ගොඩබිමට සම්බන්ධ වන්නේ එක් පැත්තකින් පමණයි. තුඩුවක් මත ඉදිකර ඇති එය තුන් පැත්තකින්ම වටවී තිබෙන්නේ මුහුදෙන්.

කොටුවේ අතීතය

ඒ වර්ෂ 1505 දිනක්.  ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රධාන කොටගත් පෘතුගීසි නාවිකයෝ පිරිසක්‌ කුණාටුවකට හසුව මුහුදේ අතරමංව අලංකාර වෙරළ තීරයකින් යුත් රටකට ගොඩ බැස්සා.

එසේ පෘතුගීසින් පැමිණියේ ගාලු වරායටයි. ගාල්ලෙන් මූලික අවශ්‍යතා ඉටුකරගත් ඔවුන් ඊට පසු කොළඹ වරායට යනවා. රජු රවටා එහි මුල්බැස ගන්නවා. ටික කලකට පසු පෘතුගීසි ගාල්ලේ බලකොටුවක් ඉදිකළා.

එකල එය ඉදිකළේ මැටිවලින් හා ගල්වලින්. තමන්ට අවටින් සපයා ගැනීමට හැකි ගල්, පොල්කොටන් වැනි ප‍්‍රාථමික අමුද්‍රව්‍ය යොදාගෙන පෘතුගීසි ඉංජිනේරුවෝ මුර අටට්ටාල 3 ක් සහිතව කොටු බැම්ම නිර්මාණය කරනු ලැබූවා.

ගාලු කොටු පවුර ඉදිරිපසින්. (Wikimedia.org)

පසුව පෘතුගීසින් පරදවා මෙරට මුහුදුබඩ පළාත් ලන්දේසීන්  හිමිකර ගන්නේ 1658 දී. ඔවුන් ගාලු කොටුව කළුගල්වලින් හා හුණුගල්වලින් ශක්තිමත්ව ඉදිකරනවා. ඕලන්දයන් පන්නා 1815 දී මෙරට යටත් කරගන්නා ඉංග්‍රීසීන් 1948 වනතෙක්‌ ගාල්ල කොටුව පරිපාලන මූලස්‌ථානයක්‌ වශයෙන් භාවිතා කළා.

කොටුව ඇතුළත ගොඩනැගිලි. (කුසුම්සිරි විජයවර්ධන)

ලන්දේසීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයත්, විසල් නිර්මාණ කිරීමේ හැකියාවත් අපට මේ කොටුව මගින් තීරණය කරන්නත් පුළුවන්. කොළඹ කොටුව, මාතර කොටුව, ත්‍රිකුණාමලය කොටුව, යාපනය කොටුව යනාදියත් මේ ආකාරයෙන්ම ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ මුහුදට යාබදව. ඒ සතුරු බලවේගවලින් ආරක්‍ෂාවට. මේ කොටුව තුළ ඔවුන් නගරයක සියලු අංගෝපාගයන්ද ඉදිකර තියෙනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක්

ගාලු කොටුපවුර 1974 දී පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙසට ප්‍රකාශයට කළා. මෙහි ඓතිහාසික වැදගත්කම නිසා යුනෙස්‌කෝ සංවිධානය විසින් 1988 දී ගාලු කොටුව ලෝක උරුම ස්මාරකයක්‌ බවට පත් කළා.

මුර අට්‌ටාල 14 කින් සමන්විත ගාලු කොටුවේ ඝන්ඨාර කුළුණ, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, පැරැණි ලන්දේසි රෝහල, කළු කොටුව, ඕලන්ද දේවස්‌ථානය ඇතුළු ආගමික ගොඩනැඟිලි, පල්දෝරු හෙවත් උමං කාණු පද්ධතිය අදත් දැකිය හැකිය. පල්දෝරු පද්ධතිය පිරිසිදු වන්නේ මුහුදු රැල්ලෙන්.

ගාලු කොටුව අක්‌කර 90 කින් යුත් භූමියක්. කොටු පවුරේ වට ප්‍රමාණය කිලෝමීටර් 3 කට ආසන්නයි. ගාලු කොටුවේ උසම ස්‌ථානය ලෙස සැලකෙන චන්ද්‍ර මුර අට්‌ටාලයේ උස අඩි 50 – 70 ත් අතර වෙනවා.

දරුඵල ලබාදුන්නාට ඉදිකළ පල්ලිය

ඕලන්ද පල්ලිය. (කුසුම්සිරි විජයවර්ධන)

ගාල්ල කොටුව තුළ තියෙන සිය ගණනක්‌ ඕලන්ද ගොඩනැඟිලි අතර විශේෂත්වයක්‌ ගන්නා ඕලන්ද රෙපරමාදු දේවස්ථානයට ගාල්ලේ අණදෙන නිලධාරි කැස්‌පරස්‌ ඩී. ජෝන් විසින් ධනය වැය කර තිබෙනවා.

එයට හේතුව දරුවන් නැතිව සිටි ඔහුගේ බිරියට දියණියක ලබාදීම වෙනුවෙන් දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීමටයි. මෙම ගොඩනැගිල්ලේ පාදම කුරුසියක හැඩයට තිබෙන නිසා එයට කුරුස පල්ලිය නමින්ද හඳුන්වනවා.

1682 දී මුල්ගල් තබා අරඹා ඇති මෙය පුද පූජා සඳහා විවෘතව ඇත්තේ 1755 දී. වහලේ බර දරා සිටීමට මැදින් කණුවක් යොදා නොගැනීම මෙහි විස්මිත ලක්ෂණයක්. පැති හයකින් යුක්තව නිමා කළ දැව ධර්මාසනයේ උඩරට සම්ප්‍රදායේ කැටයම් සහිතයි. එදා ගීතිකාවලට සංගීතය සැපයූ වර්ෂ තුන්සියයක් පැරණි ඕගනයක් ද මෙහි තිබෙනවා.

පල්ලියේ උමං සොහොන

පල්ලියේ තාප්පයට සවිකර ඇති සොහොන්ගල්. (කුසුම්සිරි විජයවර්ධන)

දේවස්ථාන භූමියේ සොහොන් බිමද පිහිටා තිබෙනවා. එදා භූමදානය කළ ප්‍රභුවරුන්ගේ දේහවලට අයත් සොහොන් ගල්පුවරු දේවස්ථානය තුළ සවිකර තිබෙනවා.

මින් වැඩි ප්‍රමාණයක විස්තර කොටා ඇත්තේ ලන්දේසි භාෂාවෙන්. මෙහි අවසන් වරට සිරුරක් මිහිදන් කර තිබෙන්නේ 1863 දීයි. මේ පල්ලියේ භූමියේ පසෙක පොළොව තුළට යාහැකි උමං දොර දෙකක්‌ තියෙනවා (දැන් වසා ඇත).

සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය. (කුසුම්සිරි විජයවර්ධන)

ඒ තුළින් ගොස්‌ දේවස්‌ථාන භූමියේ නිදන් කර ඇති ලන්දේසි ප්‍රභූන්ගේ සොහොන් ගැබ් දැක බලා ගත හැකියි. කොටුවෙ හතර දෙසට තිබූ රහස්‌ දොරටු හතරක්‌ එකතුවූයේ මේ උමං දොරටුව අසලදීලු. වරායෙන් ගොඩබෑ සියලු යුද අවි වරාය පැත්තේ රහස්‌ දොරටුවෙන් ගෙනවිත් අවි ගබඩාවට ගෙනගොස්‌ ඇති බවද කියන්නේ ඒ අසලින්. ඉතිරි රහස්‌ දොර සතර ප්‍රදීපාගාරය, ඔරලෝසු කණුව හා (වත්මන් විහාරය) මුහුද දෙසට විහිද තිබුණේලු.

ඝණ්ටා කුලුන

දේවස්ථානයට නුදුරින් පිහිටා තිබෙන මෙය 1707දී ඉදිකරන ලද්දක්. එකල සෑම පැයකටම වරක් ඝණ්ටාව නාද කර තිබෙනවා. ඔරලෝසු නැති ඒ සමයේ වෙලාව පිළිබඳ සංඥාව මින් ලැබෙන්න ඇති.

ගාලු කටුගෙය

ගාල්ල ජාතික කෞතුකාගාරය පිහිටා ඇත්තේ පැරණි නිව් ඔරියන්ටල් හෝටලය පිහිටා තිබූ ගොඩනැගිල්ලේ. ගාල්ල අවටින් ලැබුණු පුරාවස්තු එහි තැන්පත් කර තිබෙනවා.

දොස්තර සිහිපත් කරන ඔරලෝසු කණුව

ගාලු කොටු පවුර මත පිහිටි ඔරලෝසු කණුව ඈතට දිස්වන්නේ එහි අලංකාරය වැඩි කරවමින්. හැබැයි මේ ස්මාරකය ඕලන්දයන්ට අයිති එකක් නොවේ. එය අයිති ලාංකිකයන්ටයි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පළමු වරට වෛද්‍ය උපාධීයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ බර්ගර් ජාතික වෛද්‍ය පී. ආර්. අන්තෝනිස් (1822- 1903) සිහිවීමට ඔහු ජීවත්ව සිටියදීම මෙය ඉදිකරවා තිබෙනවා. ඒ ගාල්ල නගරවාසීන් විසින් වර්ෂ 1883දී.  වෛද්‍ය අන්තෝනිස් ගාලු කොටුව ආරක්ෂා කිරීමටත් කැපවුණු චරිතයක්.

සතුරන්ට වෙඩි තැබූ මුර අට්ටාල

ඕලන්දයන් කොටුව ඉදිකරන විට ආරක්ෂාව සඳහා කාලතුවක්කු සවිකළ මුර අට්ටාල ඉදිකළා. අද කොටු බැම්ම වටේට ඒ අට්ටාල දැකගත හැකියි. සූර්ය අට්ටාලය, චන්ද්‍ර අට්ටාලය, කැවලියර් ද කැට් අට්ටාලය, තාරකා අට්ටාලය, ඊලස්, ක්ලිපන්බර්ග්, ට්‍රයිටන්, අවුරෝරා ආදී වශයෙන්  ඒවා නම්කර තිබෙනවා.

හිරු හෙවත් සූර්ය අට්ටාලය ආරක්ෂාව සපයා දුන් ප‍්‍රධාන මුර කඳවුරයි. මෙය මුලින්ම පෘතුගීසින් විසින් 1620 දී තනා තිබෙනවා.  හිරු අට්ටාලයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට ගමන් කිරීමට සකස් කළ රහස් උමඟ අදටත් දක්නට පුලුවන්.

එහි 1677 වර්ෂය දැක්වූ ගල් පුවරුවක් සවිකර තිබෙනවා. හිරු අට්ටාලයේ රහස් යුධ කාමර 4ක් හඳුනාගත හැකිය. වර්තමානයේ එම ස්ථාන ආරක්ෂක ගේට්ටු යොදා ආවරණ කර තිබනවා.

හිර මැදිරි

තාරකා අට්ටාලයට යාබදව පිහිටි අපුරු හැඩයකින් යුත් ගොඩනැගිල්ල සිර මැදිරියක් ලෙස සැලකෙනවා. මේ ගොඩනැගිල්ල අසලම බිම්ගෙයක්ද පිහිටා තිබෙනවා. කොටු බැම්මේ මුහුද පැත්තේ ඇති කවුලුවකින් මෙයට වාතාශ්‍රය ලැබෙනවා.

ඕලන්ද බඩු ගබඩාව අද සමුද්‍ර කෞතුකාරයයි

සමුද්‍ර කෞතුකාගාරයෙන්. (කුසුම්සිරි විජයවර්ධන)

මේ දෙමහල් විශාල ගොඩනැගිල්ල එදා භාවිත කර ඇත්තේ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමේ බඩු ගබඩා කිරීමටයි. ලුණූ, ගම්මිරිස්, නැව්වලට අවශ්‍ය භාණ්ඩ, රෙදිපිළි, කුරුඳු එහි ගබඩා කර තිබුණා.

අද මේ ගොඩනැගිල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස භාවිත කරනවා. මුහුදෙන් හමුවූ පුරාවස්තු, ආකෘති, ධීවර ජන ජීවිතය, මුහුදු ගමන් සම්බන්ධ විස්තර එහි නිරූපිතයි.

ඕලන්ද බඩු ගබඩාව. (srilankanexpeditions.com)

මෙහි  තිබූ ගේට්ටු කොපමණ විශාල ද යත් දිරාගිය ගේට්ටු පලුවක් ඉවත් කිරීමට කම්කරුවන් 15ක් අවශ්‍ය වුණා. 1988 දී එම ගේට්ටු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කර නැවත සවි කෙරුණා.

ගේට්ටුවට භාවිත කර ඇති යකඩ තහඩුව අඟල්1/8ක් ඝනකමයි. මෙහි වහලය නිමවා ඇත්තේ යකඩින් කළ විශාල සැකිල්ලක් මතයි. මෙහි ඉහළ මාලයට පිවිසීමට පියගැට පේළි දෙකක් තිබෙනවා. මෙහි උලුවහුවල 1672, 1671, 1676 වැනි වර්ෂ සඳහන් කර තිබෙනවා.

ප්‍රදීපාගාරය

ප්‍රදීපාගාරය. (thefrangipanitree.com)

වර්ෂ 1848 දී ඉදිකළ ප්‍රදිපාගාරය 1938 දී ගින්නකට හසුවුණා. අද දක්නට ඇත්තේ 1940 දී තැනූ ප්‍රදීපාගාරයක්.

ලංකාවේ පැරණිම පුස්තකාලයක්

පැරණිම ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ලංකාවේ පැරණිම පුස්තකාලය ගාලු පුස්තකාලයයි.

එය ලන්දේසි සමාගමේ ගෙවීම් කාර්යාලය පැවති කොටසේ පිහිටා තිබෙනවා. මුලින්ම 1832 දී මෙය පිහිටවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ හමුවීමේ ස්ථානයක්. වර්ෂ 1871 දී එය මහජන පුස්තකාලයක් බවට පත් කළා.

එකම පන්සල

සුධර්මාලය විහාරය. (panoramio.com)

සුධර්මාලය නම් මේ විහාරය හැදුවේ සුද්දන්ගේ කාලේ දකුණේ බොදු පුනර්ජීවනයට උදාහරණ සපයමින් 1889 දීයි.

මුස්‌ලිම් පල්ලිය ඉස්‌ලාම් බැතිමතුන්ගේ ආගමික කටයුතුවලට තිබෙනවා. සවුත්ලන්ඩ් විද්‍යාලයේ 5000 ක්‌ පමණ සිසුවියන් අධ්‍යාපනය ලබන අතර ගාල්ල කොටුවේ ඕල්සන්ස්‌ විද්‍යාලයේ සිසුන් 2000 ක්‌ පමණ ඉගෙනීම් කටයුතු කරනවා.

සුද්දන්ට ගිය කොටුවේ නිවාස

ඕලන්ද නිවාස. (lankatravelplanner.com)

1745දී පොල්අතු සෙවිලි කළ නිවාස කොටුවේ ඉදිකිරීම තහනම් කරනවා. ඊට පසු පල දෙකේ සිංහල උළු සෙවිලි කළ නිවාස එහි ඉදිකරනවා. ඒවා වැඩි ප්‍රමාණයකට සොල්දර හා මැදමිදුල් තිබෙනවා.  කබොක් ගල් සහ කොරල් ගල් යොදා ඉදිකළ මේ ගෙවල්වල බිත්ති අඩි දෙකහමාරක් පමණ පළලයි.

සුද්දන්ගෙන් පසුව ශ්‍රී ලාංකිකයින්ට මේ ගෙවල් රැසක් හිමිවුණා. නමුන් මේ ගෙවල් විදේශිකයන්ට විකුණා වැඩි මුදලක්‌ ලබා ගන්නා නිසාවෙන් මේ වන විට සියයකට වැඩි සංඛ්‍යාවක්‌ ඉන්නවා යුරෝපීය ජාතිකයන් ගෙවල් මිලදී ගෙන. ඒ අය මේ ගෙවල්වල සැලැස්ම වෙනස් කර සංචාරකයන්ට බදුදී හොඳ ආදායමක්‌ ලබනවා.

ඝන්ඨාර කුලුන. (කුසුම්සිරි විජයවර්ධන)

මේ බලකොටුව තැනීමට ලන්දේසීන් යටතේ සිංහලයන් විශාල පිරිසක් වහල් මෙහෙයක යෙදෙන්න ඇති. ඒත් ඔවුන් ගැන නම් ඉතිහාසය නිහඩයි.

ගාලු කොටුවේ තවත් දැකබලා ගත යුතු තැන් බොහෝමයි. එහි යන ඔබට අතීත පිටරට කොලනියකට ගිය බවක් හැඟේවි. ඔබට ඒවා ගිහිල්ලම දැකබලා ගන්න උනන්දුවක් ඇති කිරීමේ අදහසින් තමයි අපි මේ ලිපිය ලිව්වේ.