රහස් රැසක් සැඟවුණු පාස්කු දිවයින

වර්තමාන මිනිසා විසින් විසඳා, ගවේෂණය කර, හෝ හඳුනාගෙන නොමැති රහස් ලොව අපමණක් තිබෙනවා. සමහර විටෙක ඈත අතීතයේ බහුලව යොදාගත් තාක්ෂණයන්, චාරිත්‍ර වැනි දේ වර්තාමානය වන විට කාලයේ වැලි තලාවෙන් වැළලී ගොස් තිබෙනවා. කාලයෙන් කාලයට ඒවායේ යම් යම් කොටස් මතු වන්නේ වර්තමාන මිනිසාට එක් වරම සිතාගත නොහැකි මහා ප්‍රහේලිකා ඉතිරි කරමින්.

ලතින් ඇමෙරිකානු මහාද්වීපයට ආසන්නව පිහිටා ඇති පාස්කු දිවයිනත් එවැනි විශ්මයජනක රහස් රාශියක් සඟවාගත් භූමි ස්කන්ධයක්. වර්තමානය වන විට එහි සොයාගෙන ඇති විවිධ දේ ඔස්සේ එහි ඉතිහාසය ගවේෂණය කරන විට, දිනෙන් දිනට හෙලි වන අතීත ජන සමාජ වල තතු චමත්කාරජනකයි.

පාස්කු දිවයින පිළිබඳ හැඳින්වීම

පාස්කු දිවයිනෙහි පිහිටීම-wikitravel.org

චිලී රාජ්‍යයට අයත්ව පැසිෆික් සයුරේ පිහිටා ඇති, වර්ග සැතපුම් 64 ක භූමි වපසරියකට හිමිකම් කියන පාස්කු හෙවත් ඊස්ටර් දිවයින, චිලීයේ බටහිර වෙරළේ සිට සැතපුම් 2300ක් පමණ බටහිරට සහ ටහිටියට සැතපුම් 2500ක් පමණ නැඟෙනහිරට වන්නට ස්ථානගත වී තිබෙනවා. ඈත අතීතයේ මෙය හඳුන්වා ඇත්තේ ‘රපා නුයි’ වශයෙනුයි. එකල එහි ජීවත් වූ වැසියන් රපා නුයි ජනයා ලෙස හැඳින්වූවා.

කිලෝමීටර් 22.5ක දිගකින් හා 11ක පළලකින් යුතු ත්‍රිකෝණාකාර දූපතක් වන පාස්කු දිවයින සම්භවය වී තිබෙන්නේ අතීතයේ සිදු වූ භූගත යමහල් විදාරණ රාශියක ප්‍රතිඵලයක් වශයෙනුයි. කඳු සහිත භූ විෂමතාවයකට හිමිකම් කියන මේ දිවයිනෙහි ඉහළම ස්ථානය රානො කාඋ නම් යමහල වෙනවා. එහි උස අඩි 1,969ක්.

රානො කාඋ යමහල -easyvoyage.co.uk

ක්‍රි.ව 1722 දී ඕලන්ද ජාතික දේශ ගවේෂකයින් රපා නුයි දිවයිනට ගොඩබට අතර 19 වන සියවසේ දී එය දේශපාලනිකමය වශයෙන් චිලී දේශයට අයත් වුණා. වර්තමානය වන විට මේ දිවයින ලොව පුරා සංචාරකයින්ගේ තෝතැන්නක් බවට පත්ව තිබෙනවා.

පාස්කු දිවයිනෙහි මුල්ම ජනාවාස

රපා නුයි හෙවත් පාස්කු දිවයිනෙහි මුලින්ම ජනාවාසකරණය සිදු වී තිබෙන්නේ ක්‍රි.ව 300-400 අතර කාලයේ දී යි. මෙම දිවයිනට මුලින්ම පැමිණි ජන කොට්ඨාසය පොලිනීසියානුවන් වෙනවා.

මෙම දිවයිනට ගොඩබට අයවළුන් විසින් කෙටි කලෙකදීම ඉතා විචිත්‍ර හා පොහොසත් සංස්කෘතියක් ගොඩනඟාගෙන තිබෙනවා. එහි චාරිත්‍ර-වාරිත්‍ර විධික්‍රම බහුතරය අද වන විට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණත්, සමහර ලක්ෂණ අදටත් ශේෂව පවතින්නේ ඒ පිළිබඳව අධ්‍යනය කරන්නට බොහෝ දෙනාට කුහුලක් ඉතිරි කරමින්.

රපා නුයි සංස්කෘතිය

රපා නුයි දූපතේ ආදිතම වැසියන් ගේ සංස්කෘතිය හොඳින්ම විදහාපාන සාධකයක් වන ‘මොආයි’ ප්‍රතිමා රාශියක් අදටත් එහි පිහිටා තිබෙනවා. ගණනින් 900ක් වන යෝධ ශෛලමය ප්‍රතිමා වන මේවා දූපතෙහි විවිධ ස්ථාන වලින් හමු වී තිබෙනවා. ගිණි කඳු විදාරණයේ ප්‍රතිඵලයක් ලෙස විසිරී යන අළු තැන්පත් වීමෙන් තැණුනු ගල් ස්ඵටික යොදාගෙන තනා ඇති මේ මිනිස් රූ වල සාමාන්‍ය උස මීටර 4ක් පමණ වන අතර බර ටොන් 13ක් පමණ වෙනවා. මේවා සමහරක් ‘අහු’ නැමති ශෛලමය ඵලක මත තැන්පත් කර තිබෙනවා. ඒවා ඔවුන්ගේ පැරණි නායකයින් සිහි කිරීම වස් ඉදිකළ සොහොන් ඵලක ලෙස සැලකෙනවා.

අහු ඵලක මත නංවා ඇති මොආයි ප්‍රතිමා -Doug Allen /Getty Images

මේ ප්‍රතිමා වල විශේෂත්වය වන්නේ මේ සියල්ලම ප්‍රමාණයෙන් විශාල හිස් සහිතව නිර්මාණය කර ඇති බව හා, ඒවා හමුවන විට සියල්ලම පාහේ සාගරයට පිටුපා ගොඩබිම දෙස බලා සිටින අයුරින් නිර්මාණය කර තිබීම යි. පසු කලෙක මේවා ඉදිරී වැටුණ ද වර්තමානය වන විට නැවත සිටුවා තිබෙනවා.

ක්‍රි.ව 1995 දී මේ ප්‍රතිමා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම කරන ලද නමුත් මේවා කුමක් අරබයා, කවුරුන් නිරූපණය වන පරිදි නිර්මාණය කරන ලද ප්‍රතිමා ද යන්න තවමත් විවාදිත මට්ටමෙහි පවතිනවා. බහුතරය ක්‍රි.ව 13 -15 සියවස් අතර නිර්මිත ලෙස සැලකෙන මේවා සෑදීම සඳහා විශාල ගල් කුට්ටි ප්‍රවාහනය කිරීම මෙන්ම සියුම්ව නිර්මාණය කිරීමට රපා නුයි වැසියන් විශේෂිත තාක්ෂණික විධි ක්‍රම යොදාගන්නට ඇති බවත්, එනයින් ඔවුන් සතුව ඉහළ තාක්ෂණයක් තිබූ බවත් නිගමනය කළ හැකි යි. මෙහි හමුවන විශාලම ප්‍රතිමාව අඩි 32ක් තරම් උසකින් යුක්ත වන අතර තනි ගල් කුට්ටියකින් තනා ඇති මෙහි බර ටොන් 82ක් තරම් වෙනවා. වර්තමාන තාක්ෂණයට අනුවත් මෙවැනි ගල් කුට්ටියක් හැසිරවීම අසීරු කාර්යයක්.

මොආයි ප්‍රතිමා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා -otterbox.biz

පාස්කු දිවයිනේ සංචාරය කිරීම

අර්ධ නිවර්තන දේශගුණයක් ඇති පාස්කු දිවයිනට වර්ෂය පුරාවටම වර්ෂාව ලැබෙනවා. අන් මාස වලට සාපේක්ෂව මැයි මාසයේ දී මඳක් වැඩි වර්ෂාවක් ලැබුනත් සමස්ථයක් ලෙස ගත් විට වසර පුරාවටම විසිරී තිබෙන ප්‍රශස්ථ මට්ටමේ වර්ෂාවක් මෙයට ලැබෙනවා.

මීට අමතරව මෙහි උෂ්ණත්වය ද වසර පුරාවටම ඉතා සුවදායක මට්ටමක පවතිනවා. මෙහි උණුසුමින් වැඩිම මාසය පෙබරවාරි වන අතර ශීතලම මාසය මාසය වන්නේ අගෝස්තුව යි. කෙසේ නමුත් වසර පුරාවටම මෙහි දෛනික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 -24 අතර පවතින නිසා මෙහි සංචාරය කරන්නවුන්ට උෂ්ණත්වය හා වර්ෂාව යන දෙකම ඒ තරම් බාධා ගෙන දෙන්නේ නැහැ.

හංග රොආ-flickr.com

පාස්කු දිවයිනේ බටහිර ඉවුරේ පිහිටා ඇති හංග රොආ නම් ගම්මානය එහි විශාලම ජනකාය සහිත ස්ථානය වෙනවා. 3300ක පමණ ජනකායක් ඇති මෙය වෙත චිලියේ සිට ගුවනින් ළඟා වීම සඳහා පහසුකම් තිබෙන අතර නවාතැන් ද සපයාගත හැකියි.

රපා නුයි සාම්ප්‍රදායික ජන නැටුම් -travelwayoflife / Flickr

පාස්කු දිවයින වෙත සංචාරය කරන්නෙකුට රානො රරකු ජාතික උද්‍යානයේ පිහිටා ඇති මොඅයි ප්‍රතිමා නැරඹීම, ටොන්ගාකිරි සිට හිරු උදාව නැරඹීම, අනකෙනා මුහුදු වෙරළෙහි කාලය ගත කිරීම, දිවයින වටා පාපැදි සවාරි වල නිරත වීම ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් වල නිරත විය හැකියි. මීට අමතරව පපා වකා හි ඉපැරණි ශිලා කැටයම් නැරඹීම, ටෙරෙවකා තරණය, ටහයි සිට හිරු බැසීම නැරඹීම මෙන්ම සාම්ප්‍රදායික ජන නැටුම් නැරඹීම ද මෙහි යන්නෙකුට සිදු කළ හැකි ක්‍රියාකාරකම් වෙනවා.

කවරයේ පින්තූරය – Marlene Hanssen/ sci-news.com

Related Articles