Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනෙසුවේලාවේ චමත්කාරය විඳගමු

ලතින් ඇමෙරිකාවට අයත්ව එහි උතුරු දිගින් පිහිටි වෙනෙසුවේලාව ජගත් ප්‍රජාවගේ මතාකයේ රැඳී තිබෙන්නේ හේතු කිහිපයක් නිසායි. එහි සුන්දර වටපිටාව, වෙනෙසුවේලා හිටපු ජනපති හියුගෝ චාවේස් මෙන්ම සුන්දර කාන්තාවනුත් ලොව බෝහෝ දෙනාගේ අවධානය ඒ වෙත රඳවාගන්නට සමත් වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වැනි අඳුරු පැතිකඩකුත් වෙනෙසුවේලාව සතුව නැතිවාම නොවේ.

සොබා සෞන්දර්යය අතින් වෙනෙසුවේලාව ඉතා පොහොසත්. විශේෂයෙන්ම ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනයට යාබදව පිහිටීම නිසා ජෛව විවිධත්වයෙන්ද එහි අඩුවක් නැහැ. ලොව උසම දියඇල්ල වන ඒන්ජල් ඇතුළු ස්වභාවික චමත්කාරයන් රැසකටම වෙනෙසුවේලාව උරුමකම් කියනවා. මේ හේතු නිසා මේ සුන්දර රට පිළිබඳව රසවත් තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

වෙනෙසුවේලාවේ පිහිටීම

වෙනෙසුවේලාව ස්ථානගත වී ඇති අයුරු (maphill.com)

වෙනෙසුවේලාව දකුණු ඇමෙරිකාවේ උතුරු වෙරළතීරයට මායිම්ව පිහිටා තිබෙනවා. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 912,050 ක් වන අතර උපරිම පළල කිලෝමීටර 1,487 ක්ද උපරිම දිග කිලෝමීටර 1,175 ක්ද වෙනවා. මීට අමතරව වෙනෙසුවේලාව හා ගයනාව අතර ඉසේකියුබෝ ගංගාව අවට වර්ග කිලෝමීටර 130,000 ක් පමණ ප්‍රදේශයක් පිළිබඳව යම් මතභේදයක් ද පවතිනවා. වෙනෙසුවේලාවට උතුරින් කැරිබියානු මුහුද හා අත්ලාන්තික් සාගරයත්, නැඟෙනහිරින් ගයනාවත්, දකුණුදිගෙන් බ්‍රසීලයත් බටහිරින් කොලොම්බියාවත් පිහිටා තිබෙනවා. කිලෝමීටර 2,800 ක දිගින් යුතු වෙරළතීරයක්ද වෙනෙසුවේලාව සතු වෙනවා. මෙහි අගනුවර කරකාස් නුවරයි.

වෙනෙසුවේලාවේ ඉතිහාසය

ඉතා ඈත අතීතයේ පටන් වෙනෙසුවේලාවේ ස්වදේශික ජනයා ජීවත් වුණා. ක්‍රි.ව 1498 දී මෙහි ගොඩබට ක්‍රිස්ටෝෆර් කොලොම්බස් වෙනෙසුවේලා භූමියෙහි පයගැසූ පළමු යුරෝපීයයා ලෙස සනිටුහන් වෙනවා. පසුකාලීනව වෙනෙසුවේලාව ස්පාඤ්ඤ ජාතිකයින්ගේ පාලනයට නතු වෙනවා. ක්‍රි.ව 1811 දී වෙනෙසුවේලාව සිය නිදහස ප්‍රකාශ කළත් නැවතත් ඉක්මණින්ම ස්පාඤ්ඤයට නතු වුණා. නැවත 1821 වසරේදී සිමොන් බොලිවාර් යටතේ නිදහස් වූ මේ රට කෙටිකාලීනව කොලොම්බියාව හා ඉක්වදෝරය කැටුව ග්‍රෑන් කොලොම්බියා ලෙස පැවතුණු අතර 1830 වසරේදී ‘වෙනෙසුවේලාව’ වශයෙන් සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා.

වෙනෙසුවේලාවේ ස්වදේශික ජන කොට්ඨාසයක් (ronalddehommel.photoshelter.com)

වෙනෙසුවේලාවේ දියුණු වීම ඇරඹුණේ 1914 වසරේදී එහි භූමියෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමඟයි. 1958 වසරේදී ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් බවට පත් වූ වෙනෙසුවේලාව 1998 දී බලයට පත් හියුගෝ චාවේස් යටතේ වාමාංශික රාජ්‍යයක් බවට පත් වුණා. වර්තමානය වන විට මෙහි මිලියන 32.3 ක ජනකායක් වෙසෙන අතර යම් පමණකට දුප්පත් කමිනුත්, මැර කල්ලි වල බලපෑම් වලිනුත් බැට කමින් සිටිනවා.

හියුගෝ චාවේස් (progressive.org)

වෙනෙසුවේලාවේ භූ විෂමතාව හා දේශගුණය

ඔරිනොකෝ ගංගාව හා වෙනෙසුවේලාවේ පිහිටා ඇති කඳු පන්ති මගින් විවිධ දේශගුණික තත්ත්ව සහිත ප්‍රදේශ කිහිපයකට එය බෙදී ගොස් තිබෙනවා. මැරකයිබෝ නිම්නය වයඹදිගින් පිහිටා ඇති අතර එය සුළං අඩු වියළි ප්‍රදේශයක් වෙනවා. ඇන්දීස් කඳු හා උතුරු උස්බ්ම්වල දේශගුණය සෞම්‍ය වන අතර උණුසුම් මධ්‍යම තැනිතලා ප්‍රදේශය බොහෝ කොටම ඔරිනොකෝ ගංගාවෙන් පෝෂණය වෙනවා.

ඔරිනොකෝ ගංගාව (ospreyexpeditions.com)

වෙනෙසුවේලාවේ ගිණිකොන දිගින් පිහිටා ඇත්තේ තද වන වැස්මක් සහිත ගයනා උස්බිම් ප්‍රදේශයි. මේ උස්බිම් සමහරක් තැන්වල මීටර 3,500 දක්වා උසකින් පිහිටා තිබෙනවා.

වෙනෙසුවේලාව සතුව ලොකු කුඩා ගංගා හා විල් රාශියක් පිහිටා ඇති අතර ඉන් විශාලම ගංගාව වන්නේ අතු ගංගා රාශියක් ඇති ඔරිනොකෝයි. වෙනෙසුවේලාවේ වයඹ දිගින් පිහිටි මැරකයිබෝ විල දකුණු ඇමෙරිකාවේ විශාලතම විල ලෙස හැඳින්වෙනවා. මීටර 4,978 ක උසකින් යුතු පිකෝ බොලිවාර් වෙනෙසුවේලාවේ උසම කඳු මුදුනයි.

මැරකයිබෝ විල (David Kjelkerud /Flickr)

වෙනෙසුවේලාව සාමාන්‍යයෙන් ඝර්ම කලාපීය දේශගුණයකට උරුමකම් කියනවා. බොහෝ කොටම වසර පුරාවටම වෙනෙසුවේලාවේ තැනිතලා ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 -27 අතර දෝලනය වෙනවා. ඉතා උස් කඳු මුදුන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0-10 අතර ඇති අතර වඩා වියළි බටහිර කොටසේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවනවා. වෙනෙසුවේලාවේ වාර්ෂික වර්ෂාපතනයත් තැනින් තැනට විශාල වශයෙන් වෙනස් වන අතර බොහෝ ස්ථානවල එය මිලිමීටර 300 සිට 2000 අතර වෙනවා.

වෙනෙසුවේලාවේ ජෛව විවිධත්වය

වෙනෙසුවේලාව තුල ක්ෂීරපායී සතුන් වර්ග 280 ක් වෙසෙනවා. බිළාල කුලයට අයත් ජගුවාර්, පුමා වැනි සතුන්ද, වඳුරන්, ස්ලොත් සතුන් මෙන්ම මිරිදිය ආශ්‍රිතව වෙසෙන වෙසෙන ඩොල්ෆින් වර්ගද මෙහිදී දැකගත හැකියි. මින් වර්ග ගණනාවක් වෙනෙසුවේලාවට ආවේණික සතුන්ද වෙනවා.

පුමා සත්ත්වයෙක් (Carlos Jasso/Reuters)

වෙනෙසුවේලාවේ කඳුකර පෙදෙස් වසා පැතිරී ඇති ඝණ වනාන්තර මේ සතුන්ට ඉතා සුදුසු වාසස්ථාන සපයනවා. මේ වනාන්තරද තුරු ලතා වර්ග රාශියකින් ගහණයි.

වෙනෙසුවේලාවේ ජනවාර්ගික විවිධත්වය

වෙනෙසුවේලාව ජන වාර්ගික අතින්ද ඉහළ විවිධත්වයක් දරන එක් රටක්. මෙහි ජනයාගෙන් අඩක් පමණ මෙස්ටිසෝ හෙවත් ලතින් ඇමෙරිකානු, ඉන්දියානු හා යුරෝපියනු සම්භවය ඇති ජන වර්ගයට අයත් වන අතර යුරෝපීය සුදු ජාතිකයින් 40% ක් පමණද, අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයින් 3.5% ක් පමණද, ස්වදේශිකයින් 1.2% ක් පමණද මෙහි ජීවත් වෙනවා. මෙහි බහුතරයක් දෙනා කතෝලිකයින් වෙනවා.

වෙනෙසුවේලාවේ සංචාරක ස්ථාන

වෙනෙසුවේලාව සොබා සෞන්දර්යය අගයන සංචාරකයින්ට නම් තෝතැන්නක්. විශේෂයෙන් කඳු, නිම්නවලින් ගහන භූමියත්. ඇමසන් වනයට ඇති සමීපතාව නිසා සරුවට වැඩුණු ඝර්ම කලාපීය ඝණ වනාන්තරත්, සුන්දර දිය දහරාත් නිසා ලොව පුරා සංචාරකයින් මේ භූමියට ආසක්ත වන්නේ නිතැතින්මයි.

ඒන්ජල් දිය ඇල්ල

audleytravel.com

වෙනෙසුවේලාවේ ප්‍රධානතම සංචාරක ස්ථානයක් ලෙස ඒන්ජල් දියඇල්ල සැලකෙනවා. මෙය ලොව වැඩිම දුරක් අඛණ්ඩව කඩා හැලෙන දිය ඇල්ලයි. උසින් මීටර 978ක් පමණ වන මෙය අයුඅන්-තෙපුයි කන්දෙන් කඩා හැලෙන අතර කනාමියා ජාතික උද්‍යානයට අයත්ව පිහිටා තිබෙනවා. මෙයට අවශ්‍ය දිය දහරාව සපයන්නේ ගෞජා නම් ගංගාවෙනුයි.

මෙයට නම තබා ඇත්තේ මෙය ලොවට හෙලි කළ ඇමෙරිකානු ගුවන් නියමුවෙක් වන ජිමී ඒන්ජල් ට ගෞරවයක් වශයෙනුයි. ජුනි සිට සැප්තැම්බර් මස වන තුරු ඒන්ජල් දියඇල්ලේ උපරිම දිය කඳක් දැකගන්නට පිළිවන්.

ලොස් ලානෝස්

hike-venezuela.com

වෙන්සියුලාව හා කොලොම්බියාව යන රටවල් දෙකටම අයත්ව පිහිටා ඇති මේ තෘණ භූමිය ඔරිනොකෝ ගංගා නිම්නයෙහි පිහිටා තිබෙනවා. මැයි සිට ඔක්තෝබර් දක්වා ව්‍යාප්ත වී ඇති වෙනෙසුවේලාවේ වැසි කාලයේදී සාමාන්‍යයෙන් ගංවතුර තත්ත්ව පවා ඇති වන මෙය කුරුල්ලන් නැරඹීමට ඉතා සුදුසු තැනක් වෙනවා. වියළි කාලයේදී විවිධ සිවුපා සතුන් හා උරගයින්ගෙන් මේ ප්‍රදේශය පිරී යනවා.

ලොස් රොකෙස්

Ronalda Ellis/ steemit.com

දූපත් කිහිපයකින් සුසැදි ලොස් රොකෙස් ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කෙරුණේ 1972 වසරේදියි. මෙය කැරිබියානු දූපතේ පිහිටි විශාලතම නාවුක උද්‍යානය වෙනවා. මෙහි පිහිටා ඇති කොරල්පර හා අලංකාර ජලජ ශාඛත්, ඒ ආශ්‍රිතව ජීවත් වන මුහුදු ජීවීනුත් සුවිශේෂී වෙනවා. එමෙන්ම කිමිදීමට හා බෝට්ටු සවාරි යාමට මෙන්ම ජල ක්‍රීඩා කිරීමටත් සුදුසු පිරිසිදු මෙන්ම උණුසුම් වෙරළතීරයකින් මේ ප්‍රදේශය සමන්විත වෙනවා.

ෂොරොනි

geolocation.ws

ෂොරොනි වෙනෙසුවේලාවේ පිහිටි හොඳම කැරිබියානු වෙරළ තීරය ලෙස සැලකෙනවා. මෙය ආසන්නව ඇති කඳුකර වනාන්තරත්, හෙන්රි පිටියර් ජාතික උද්‍යානයත් පක්ෂීන්, වනසතුන් හා විවිධ ශාක වර්ග නැරඹීමට ඉතා සුදුසු ස්ථාන වෙනවා.

රොරයිමා කන්ද

expedicionpangea.com

රොරයිමා කන්ද මේසයක් මෙන් පැතලි පියස්සක් සහිත, මීටර 810ක් උස කන්දක් වන අතර පිහිටා ඇත්තේ වෙනෙසුවේලාවේ ගයනා හා බ්‍රසීලියානු දේශසීමාවේයි. කෙසේ නමුත් මෙය තරණය කළ හැක්කේ වෙනෙසුවේලාව දෙසින් පමණයි. මෙය කනාමියා ජාතික උද්‍යානය මධ්‍යයේ පිහිටා ඇති අතර සෑම දිනකම පාහේ මෙහි වර්ෂාව ඇති වෙනවා. මෙහි ඉතා දුර්ලභ වන ජීවීන් දැකගත හැකියි.

මොචිමා ජාතික උද්‍යානය

paradiseintheworld.com

මෙය පිහිටා ඇත්තේ වෙනෙසුවේලාවේ ඊසාන දිගට වන්නටයි. වෙරළබඩ සුන්දරත්වය මෙන්ම වන ජීවී ප්‍රජාවද නැරඹිය හැකි මෙහි ඩොල්ෆින් මත්ස්‍යයින් නැරඹීමද කළ හැකියි. එමෙන්ම මෙහි දිය යට කිමිදී පුරාණයේ ගිලී ගිය නැවවල සුන්බුන් ද නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට ලැබෙනවා.

මෙඩනොස් ඩෙ කොරො ජාතික උද්‍යානය

Helio Dias/thousandwonders.net

මෙහි පිහිටා තිබෙන වැලි කඳු ඉතාම චමත්කාර දර්ශනයක් මවනවා. මේවා ඝර්ම කලාපික රටක පිහිටා තිබීමත්, තැඹිලි හා කහ පැහැයෙන් යුතු වීමත් නිසා ඉතා විශේෂිත වන අතර මීටර 40 ක් පමණ උසින් යුතු වැලි පරද මෙහි දැක ගන්නට පුළුවන්. තද සුළං නිසා මේවාගේ හැඩය නිරන්තරව වෙනස් වෙනවා. මෙහි සිටින ඔටුවන්ගේ පිට නැඟී ඔබ මොබ ගමන් කරන්නටත්, වැලි මත අවිදින්නටත් අවශ්‍ය පහසුකම් අවටින් සොයාගත හැකියි.

මීට අමතරව මොරොකොයි ජාතික උද්‍යානය නැරඹීමටත්, මාගරිටා දිවයිනේ වේලාවක් ගත කිරීමටත්, මෙරිඩාහි කේබල් කාර් අත්දැකීම විඳගැනීමටත් වෙනෙසුවේලාවට යන සංචාරකයින් අමතක නොකළ යුතුයි. ලවණ විලක් වන මැරකයිබෝ විලෙහි මුවදොරෙහි පවතින ‘නොනවතින අකුණු වර්ෂාව’ හෙවත් කැටටුම්බෝ නරඹන්නටත් ඔබ එහි යනවානම් අමතක කරන්නට එපා.

කවරයේ පින්තූරය : s1.picswalls.com

Related Articles