Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංචාරකයන්ට තහනම් ලෝකයේ චමත්කාරජනක තැන්

සංචාරය කරන්නෙක්ට ලෝකයේ යා හැකි චමත්කාරජනක තැන් නම් බොහෝම යි. නමුත් ලෝකවාසී බහුතරයකට යම් යම් හේතූන් නිසාවෙන් කිසිම දිනෙක සංචාරය කළ නොහැකි සොඳුරු ස්ථාන කිහිපයකුත් මේ පොළෝ තලය මත පවතිනවා.

සංචාරයට තහනම් වුවත් දුෂ්කර ක්‍රියාවන්ට කැමති සංචාරකයන්ගේ අවධානයට අවිවාදයෙන් ම යොමු වූ එවැනි චමත්කාරජනක ස්ථාන කිහිපයක තොරතුරු අනාවරණය කරන්න යි මේ සූදානම.

Mount Weather හදිසි ක්‍රියාකාරී මධ්‍යස්ථානය

(rootsrated.com)

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙය භාවිතා කරනු ලබන්නේ ඇමෙරිකානු ආණ්ඩුවේ රහසිගත රක්ෂාස්ථානයක් (secret refuge) ලෙස යි. ගොඩ නැංවූ කාලය පිළිබඳ ව නිශ්චිත දත්ත නොමැති වුවත් 19 වැනි සියවසේ අවසන් කාලයේ දී මෙය කාලගුණ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇති  අතර වර්තමානයේ හදිසි ආපදා තත්ත්වයක දී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන ඉහළ සිවිල් සහ හමුදා නිලයන් දරණ පුද්ගලයන්ට ආරක්ෂිත ව සැඟ වී සිටීම සඳහා මෙය යොදා ගනු ලබනවා.

(gizmodo.com.au)

1974 වසරේ දී පුවත්පත් මගින් මහජනයාට අනාවරණය කරන ලද මෙය වර්ජිනියා ප්‍රාන්තයේ ගංගාවන් දෙකකට මැදි ව කඳුවැටිවලින් වට වූ ආකර්ෂණීය නිම්න භූමියක පිහිටා ඇතත් සංචාරකයන්ට ඇතුළු විය නොහැකි වන පරිදි වසර පුරාවට ම වෙන ම ම ආරක්ෂක අංශයක් මගින් පාලනය වෙනවා.

Svalbard ලෝක බීජ එකතුව

(viajeibonito.com.br)

නෝර්වේ රාජ්‍යයේ Longyearbyen නම් නිම්න භූමියේ බටහිර වෙරළ තීරයට යාබද ව පිහිටා ඇති මෙය යොදා ගනු ලබන්නේ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ මොන ම ආකාරයේ හෝ වගාවක් විනාශ වී ගියහොත් එය යළි වගා කිරීමට අවශ්‍ය වන බීජ ලබා ගත හැකි රහසිගත බීජ බැංකුවක් ලෙස යි. 2008 වසරේ දී භාවිතයට ගැනීම අරඹන ලද මෙහි 2017 වසරේ පෙබරවාරි මාසය වන විට ගබඩා කර ඇති සම්පූර්ණ බීජ නියැදි ගණන 930,821 ක් බව යි සඳහන් වන්නේ.

(muhammadrudiwahyono.blogspot.com)

හිමෙන් වැසී ගිය සුන්දර නෝර්වේ හි කඳු වැටි මධ්‍යයේ ගොඩ නංවන ලද මීටර් 120 ක පමණ ගැඹුරකින් යුක්ත උමගක් තුළ ආර්ද්‍රතාව හැකි තරම් අඩු වන සේ පාලනය කර 18˚C ක ඒකාකාර උෂ්ණත්වයක් යටතේ මෙම බීජ නියැදි සියල්ල ආරක්ෂිත ව ගබඩා කර තිබෙනවා. මෙහි ලෝකයේ සෑම රටකින් ම පාහේ ලබා ගන්නා ලද බීජ ගබඩා කර ඇති නිසාවෙන් ම එහි සේවය කරන විද්‍යාඥයින්ට සහ ආරක්ෂක නිලධාරීන් හැරුණු විට වෙනත් කිසිම අයෙක්ට එහි ඇතුළු වීමට අවසර නැහැ.

Vale do Javari රක්ෂිතය

(keywordsuggest.org)

සියවස් ගණනාවක් තිස්සේ ස්වදේශීය ගෝත්‍රිකයන්ට වාසස්ථාන සැපයූ බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ පිහිටා ඇති මෙය ස්වදේශිකයන් සඳහා වෙන් කරන ලද ලෝකයේ විශාලත ම භූමි ප්‍රදේශය ලෙස යි සැලකෙන්නේ. පේරු රාජ්‍යයට මායිම් ව ගලා බසිනා ජාවරි ගංගාව ආශ්‍රිත ව ඇති මෙහි දැනට ස්වදේශික ග්‍රෝතිකයින් 3,000 ක් පමණ ජීවත් වන අතර ඒ අතරින් ග්‍රෝත 14 කට පමණ අයත් වන ස්වදේශිකයන් 2,000 කට පමණ පිටස්තර ලෝකය ගැන හෝ එහි පැවැත්ම කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නොමැති බව පැවසෙනවා.

(bt.no)

කෘෂිකර්මාන්තය ජීවිකාව කර ගත් මෙම ස්වදේශික ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාවන් රැක ගැනීම සදහා පාලන අධිකාරීන් විසින් ඇමේසන් වැසි වනාන්තරයේ වර්ග කිලෝමීටර් 77,000 ක පමණ ප්‍රමාණයක් රක්ෂිතයක් ලෙස නම් කොට එයට ඇතුළු වීම සංචාරකයන්ට තහනම් කර තිබෙනවා.

Club 33

(en.wikipedia.org)

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගොඩ නංවා ඇති ඩිස්නිලන්තයට අයත් නිව් ඔලියන්ස් චත්‍රරසයේ පිහිටි මේ අපූරු සමාජ ශාලාවේ නිර්මාතෘවරයා වන්නේ වෝල්ට් ඩිස්නි මහතා යි. ඔහු විසින් එවකට ඩිස්නිලන්තයේ සේවයට එක් වූ කලාකරුවන් 33 දෙනෙකුට නිදහසේ රැස් වී සතුටු සාමීචියේ යෙදීම සඳහා මෙය ගොඩ නංවා තිබෙනවා.

1967 වසරේ දී විවෘත කරන ලද මෙයට ඇතුළු වීම සඳහා අවසර තිබුණේ අදාළ කලාකරුවන් 33 දෙනාට පමණක් වන අතර වර්තමානයේ දී මෙයට ඇතුළු වීමට අවසර ඇත්තේ මෙහි සාමාජිකත්වය ලබා ගත් පුද්ගලයන්ට පමණ යි. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට නම් මූලික ගෙවීමක් ලෙස ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.5 කට අධික මුදලක් ගෙවිය යුතු අතර අදාළ ගෙවීමෙන් අවසර 14 කට පසු ව යි සාමාජිකත්වය හිමි වන්නේ. එසේ ම සාමාජිකත්වය පවත්වාගෙන යාම සඳහා වාර්ෂික ගාස්තු ලෙස ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5 ක් ගෙවිය යුතු වෙනවා.

Es Vedràහි කාන්දම් දූපත

(hereandthere.eu)

ස්පාඤ්ඤයට අයත් බැලිආරික් දූපත් සමූහයේ අයිබීසා දූපතට ආසන්නයේ පිහිටා ඇති කුඩා ගල් සහිත දූපතක් මේ නමින් හඳුන්වනු ලබන අතර එය බර්මියුඩා ත්‍රිකෝණය සහ උත්තර ධ්‍රැවය හැරුණු විට පෘථිවියේ බලගතු බවෙන් ඉහළ ම භූ චුම්භක බලය (geomagnetic force) සහිත ස්ථානය ලෙස සැලකෙනවා.

සම්පූර්ණයෙන් ම පාහේ ගිනිකඳු පාෂාණයන්ගෙන් සෑදී ඇති මෙහි මොන ම ආකාරයේ හෝ ලෝහ නිධි සොයා ගැනීමට නොහැකි වුවත් මෙම දූපත ආශ්‍රිත ව මාලිමා ක්‍රියා විරහිත වන්නේ ඒවායේ දිශාව පෙන්වන ඊ හිස් ව්‍යාකූලත්වය පත් කරමින්. මෙවැනි හේතු කාරණා නිසා මෙම දූපත ස්පාඤ්ඤ ජනප්‍රවාද සහ අද්භූත කථාන්තර බොහෝමයකට තුඩු දී තිබෙනවා.

(commons.wikimedia.org)

මිනිස් වාසස්ථාන නොමැති මෙම දූපත ස්පාඤ්ඤ රජය විසින් ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර සංචාරකයන්ට තහනම් කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මූලාශ්‍ර : brightside.me, en.wikipedia.org, mentalfloss.com

Related Articles