Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෝර්වේ රාජ්‍යයේ සුන්දර සංචාරක ඉසව් 5ක්

උතුරු යුරෝපයට අයත් රාජ්‍යයක් වන නෝර්වේ අධික සීතල දේශගුණයකින් යුක්ත යි. ඒ නෝර්වේ රාජ්‍යය උත්තර ධ්‍රැවයේ පිහිටා තිබෙන නිසා යි. නෝර්වේ රාජ්‍යයේ භූමි ප්‍රදේශයෙන් වැඩි කොටසක් උතුරු අක්ෂාංශ 60ට වඩා උතුරින් පිහිටා තිබීම විශේෂත්වයක්. ඒ වාගේම රටෙන් තුනෙන් එකක් පමණ ආක්ටික් කවය තුළ පිහිටා තිබෙනවා.

එනිසා නෝර්වේ හි ඇතැම් ප්‍රදේශවල සිට ඉතාමත් හොඳින් අවුරෝරා හෙවත් උතුරු එළි නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඒ විදිහට අධික ශීත දේශගුණයකින් යුත් නෝර්වේ රාජ්‍යයේ අපූරු සංචාරක ඉසව් රැසක් පිහිටා තිබෙනවා. මේ ඔබට කියන්න යන්නේ එයින් සුන්දර ස්ථාන 5ක් පිළිබඳ තොරතුරු යි.

නෝර්වේ රටේ ඇතැම් ප්‍රදේශවලට උතුරු එළි දිස් වන ආකාරය – gettyimages.com

1). ට්‍රොල්ටංගා කඳුකර ප්‍රදේශය

නෝර්වේ රාජ්‍යයේ සුන්දර කඳුකර ප්‍රදේශ රැසක් පිහිටා තිබෙනවා. හර්ඩන්ගර්විඩ්ඩා ජාතික උද්‍යානයේ බටහිර මායිමේ ද එවැනි ප්‍රදේශයක්. එහි පිහිටා තිබෙන ට්‍රොල්ටංගා නම් පාෂාණ කඳුවැටිය දැවැන්ත මිනිස් දිවක හැඩයක් ගන්නවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1180ක උසකින් පිහිටා තිබෙන මෙම ස්ථානය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ එහි තිබෙන ස්වභාවික පාෂාණමය වේදිකාවේ සිට අවට සුන්දර දසුන් නැරඹිය හැකි නිසා යි.

ට්‍රොල්ටංගා කඳුකර ප්‍රදේශයේ Ringedalsvatnet නමින් සුන්දර විලක් පිහිටා තිබෙනවා. එම විල කුඩා පාෂාණ කඳුවලින් වටවී තිබෙන නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙනවා. Ringedalsvatnet විල අවට ප්‍රදේශයේ කුඩා දිය ඇලි කිහිපයක් ද දක්නට ලැබෙනවා. එනිසා සෑම දිනක ම වාගේ විශාල සංචාරක පිරිසක් මෙහි පැමිණෙනවා. මෙය කඳු නගින්නන් අතර ද ජනප්‍රිය ස්ථානයක්.

ට්‍රොල්ටංගා කඳුකර ප්‍රදේශයේ සුන්දරත්වය – gettyimages.com

2). වයිග්ලන්ඩ් මූර්ති උද්‍යානය

වයිග්ලන්ඩ් උද්‍යානය පිහිටා ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ අගනුවර වන ඔස්ලෝ හි විශාලත ම පොදු උද්‍යානය වන ෆ්රොග්නර් පාක් තුළ යි. නෝර්වේ රාජ්‍යයේ ජීවත් වුණු වඩාත් කීර්තිමත් මූර්ති ශිල්පියෙක් වුණු ගුස්ටාව් වයිග්ලන්ඩ්ගේ සැලසුමකට අනුව මෙම උද්‍යානය නිර්මාණය කළා. එනිසා එයට වයිග්ලන්ඩ් උද්‍යානය යන නම ලැබුණා.

එහි ඉදිකිරීම් 1939-1949 අතර කාලයේ සිදු කෙරුණා. උද්‍යානය විවෘත කරන අවස්ථාව වන විට වයිග්ලන්ඩ් ජීවතුන් අතර නොසිටීම කනගාටුදායක සිදුවීමක් වුණා. මෙම උද්‍යානයේ වයිග්ලන්ඩ්ගේ අතින් නිම වුණු විවිධ මූර්ති 200කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ අතරට ලෝකඩ මූර්ති 58ක් අයත් වීම විශේෂත්වයක්. එම මූර්ති 1925-1933 කාලයේ වයිග්ලන්ඩ් අතින් නිම වුණු ඒවා යි.

වයිග්ලන්ඩ් උද්‍යානයේ මූර්ති – gettyimages.com

වයිග්ලන්ඩ් උද්‍යානයේ උස ම ස්ථානයේ විශාල ගල් කුට්ටියකින් අලංකාර මූර්තියක් ඉදි කර තිබෙනවා. එයින් මිනිසුන් 121ක් නැඟී එකිනෙකාට ඇලී සිටින ආකාරය නිරූපණය වෙනවා. සින්නටග්ගන් හෙවත් Angry Boy මෙම උද්‍යානයේ දී දැකගන්නට පුළුවන් තවත් සුවිශේෂී මූර්තියක්.

එම මූර්තියෙන් නිරූපණය වන්නේ කෝපයට පත්ව සිටින පිරිමි දරුවෙකුගේ රූපය යි. මෙහි ඇති මූර්ති අතුරින් තවත් එකක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වෙනවා. ඒ ළදරුවන් තිදෙනෙක් ඔසවාගෙන සිටින මිනිසකුගේ මූර්තිය යි. එම මූර්තිය මඟින් දරුවන්ගේ වගකීම් දරමින් සිටින පියෙක් නිරූපණය වන බවට මතයක් පවතිනවා. එවැනි අපූරු මූර්ති රැසක් ඉදිකර තිබෙන නිසා වයිග්ලන්ඩ් මූර්ති උද්‍යානය ලොව පුරා සිටින සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා.

වයිග්ලන්ඩ් උද්‍යානයේ මිනිසුන් 121ක් නැඟී සිටින මූර්තිය – gettyimages.com

3). බ්‍රික්ස්ඩාල් ග්ලැසියරය

උත්තර ධ්‍රැවයේ පිහිටි නෝර්වේ රාජ්‍යය ආශ්‍රිත ව වැඩි වශයෙන් ග්ලැසියර දක්නට ලැබෙනවා. ඒවා අතුරින් බ්‍රික්ස්ඩාල් ග්ලැසියරය සංචාරක ආකර්ෂණය නොමඳ ව හිමි වන ස්ථානයක්. මෙය යුරෝපයේ විශාලත ම ග්ලැසියරයක් වන ජොස්ටෙඩෙල් ග්ලැසියරයේ බටහිර පෙදෙසේ පිහිටා තිබෙනවා.

මෙම ග්ලැසියරය මීට වසර 2500කට පෙර නිර්මාණය වන්නට ඇතැයි සැලකෙනවා. වර්ග කිලෝමීටර් 10.4ක විශාලත්වයෙන් යුත් මෙම ග්ලැසියරයෙන් 88%ක් මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් උස ග්ලැසියර් සානුවක පිහිටා තිබෙනවා. Briksdalsvatnet විල මෙම ග්ලැසියරය ආශ්‍රිත ව දක්නට ලැබෙන වඩාත් සුන්දර ස්ථානයක්.

බ්‍රික්ස්ඩාල් ග්ලැසියරයේ පිහිටි නෙත් පිනන දසුනක් – gettyimages.com

බ්‍රික්ස්ඩාල් ග්ලැසියරය ආශ්‍රිත ව පිහිටා තිබෙන බ්‍රික්ස්ඩාලෙන් නිම්නය ස්වභාවික වෘක්ෂලතාවලින් පිරුණු රමණීය ප්‍රදේශයක්. එහි දී සංචාරකයන්ට දිය ඇලි, ගංගා, විල්, සතුන්, ශාක සහ මල් වැනි දේ දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එනිසා එය සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයක්. මීට දශක කිහිපයකට පෙර මෙහි පැමිණි සංචාරකයන් අශ්වයන්ගේ උදව්වෙන් ග්ලැසියරය තරණය කළා.

අද වන විට මෙහි පැමිණෙන උදවියට බොහෝ පහසුවෙන් ග්ලැසියරය තරණය කිරීමට හැකිව තිබෙනවා. ඒ 2004 වසරේ සිට මෙම ග්ලැසියරය තරණය කිරීම සඳහා ට්‍රොල් කාර් හඳුන්වා දීමත් සමඟ යි. ග්ලැසියරයට යන මාර්ගයේ අවන්හල් කිහිපයක් ද ඉදි කර තිබෙන නිසා සංචාරකයන්ට කිසිදු අපහසුවකින් තොර ව සංචාරයේ යෙදෙන්නට දැන් පුළුවන්.

බ්‍රික්ස්ඩාල් ග්ලැසියරය වෙත ට්‍රොල් කාර්වලින් යන සංචාරකයෝ – youtube.com

4). Vinnufossen දිය ඇල්ල

Vinnufossen දිය ඇල්ල නෝර්වේ රාජ්‍යයට පැමිණෙන බොහෝ සංචාරකයන් අනිවාර්යයෙන් නරඹන අපූරු සංචාරක ඉසව්වක්. ඒ එය යුරෝපයේ උස ම දිය ඇල්ල බවට පත්ව තිබෙන නිසා යි. මීටර් 865ක උසකින් සහ මීටර් 38ක පළලකින් යුත් මෙම මහා දිය ඇල්ල ලෝකයේ 7 වැනි උස ම දිය ඇල්ල වශයෙන් ද සැලකෙනවා. එය More og Romsdal ප්‍රාන්තයේ සුන්ඩල්සෝරා ගම්මානයට නැගෙනහිරින් පිහිටා තිබෙනවා.

Vinnufjellet කන්දෙන් ගලා බසින වින්නු ගංගාවේ කොටසක් වන මෙම සුන්දර දිය ඇල්ල Vinnufonna ග්ලැසියරයෙන් පෝෂණය වෙනවා. Vinnufossen දිය ඇල්ල ඉතාමත් කුඩා ග්ලැසියරයකින් පෝෂණය වන නිසා සමස්ත දිය ඇල්ලේ ජල ධාරිතාව අඩු මට්ටමක පවතිනවා. එනිසා දිය ඇල්ල ලස්සනට පහළට කඩාගෙන වැටෙන්නේ නැහැ. මෙම දිය ඇල්ල නැරඹීමට වඩාත් සුදුසු වන්නේ ජූනි-අගෝස්තු අතර කාලය යි. ඒ එම මාසවල දී නෝර්වේ රාජ්‍යයට ගිම්හාන සමය උදා වන නිසා යි.

Vinnufossen දිය ඇල්ලේ අසිරිය – europeanwaterfalls.com

5). හෙඩල් ස්ටේව් පල්ලිය

නෝර්වේ රටේ තිබෙන පෞරාණික වටිනාකමකින් යුක්ත ගොඩනැඟිලි කිහිපය අතරට හෙඩල් ස්ටේව් පල්ලිය ද අයත්. 13 වන සියවසේ දී නිර්මාණය වුණු මෙම පල්ලිය මීටර් 25ක දිගකින් සහ මීටර් 17ක පළලකින් යුක්ත යි. රමණීය කුළුණු 3කින් සමන්විත මෙම පල්ලියේ උස ම කුළුණ මීටර 29ක උසකින් පිහිටා තිබෙනවා.

මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පයින් දැව (ore-pine) පමණක් භාවිත කර තිබීම විශේෂත්වයක්. එසේ ඉදි කළ පල්ලියේ එක් වරකට මිනිසුන් 180කට රැස් වන්නට පුළුවන්. මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමවලට අනුව ඉදි වුණු මෙම පල්ලිය ගෙවුණු සියවස් කිහිපයේ දී අවස්ථා කිහිපයක දී ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාස මූලාශ්‍රවල ලියැවී තිබෙනවා.

හෙඩල් ස්ටේව් පල්ලිය පිටතට දිස් වන ආකාරය – gettyimages.com

එම මූලාශ්‍රවලට අනුව පල්ලියට වර්තමාන පෙනුම ලැබී තිබෙන්නේ 1952-1954 කාලයේ සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසුව යි. සාමාන්‍යයෙන් මෙම පල්ලිය නැරඹීම සඳහා වැඩි සංචාරක පිරිසක් පැමිණෙන්නේ ගිම්හාන කාලයේ දී යි. එම කාලයේ දී මෙම පල්ලියේ මංගල උත්සව, භෞතීස්ම උත්සව වැනි දේවල් පැවැත්වෙනවා.

හෙඩල් ස්ටේව් පල්ලියට ඓතිහාසික වටිනාකමක් තිබෙන නිසා දේශීය සංචාරකයන් පමණක් නොව විදේශීය සංචාරකයන් පවා සිය මංගල උත්සව මෙහි පවත්වනවා. එනිසා වර්තමානය වන විට හෙඩල් ස්ටේව් පල්ලිය යුරෝපයේ සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය- ට්‍රොල්ටංගා කඳුකර ප්‍රදේශයේ පිහිටි Ringedalsvatnet විල - gettyimages.com
මූලාශ්‍ර:
guyontheroad.com
visitnorway.com
travelanddestinations.com
briksdal.com
europeanwaterfalls.com
stavechurch.com

Related Articles