පුළුවන් කාලේ පුළුවන් තරම් ගමන් බිමන් යන්න. එහෙම ගමන් යද්දී පුළුවන් තරම් අලුත් තැන් වලට, පුළුවන් තරම් දුර තැන් වලට වගේම පුළුවන් තරම් නුපුරුදු තැන් වලටත් යන්න බලන්න, මොකද ඒ වැඩෙන් ලබා ගන්න පුළුවන් අත්දැකීම් වල සීමාවක් නැහැ. අලුත් දේවල් සොයා ගිහින් අභියෝග වලට මුහුණ දීලා ලබන පන්නරය සුව පහසුවෙන් ගෙදරට වෙලා ඉඳලා ලබා ගන්න කවදාවත් බෑ. – අතීත දේශාටකයන්ගේ කියමනක්.

මේ කතාව ගැන ටිකක් හිතලා බැලුවාම ඒකෙ ලොකු ඇත්තක් තියෙනවා, මොකද සුව පහසුවෙන් ගෙදරට වෙලා හිටියා කියලා රටින් රටට ගිහින් අලුත් දේවල් දැකලා එකතු කරගන්න මතකයන් (අද කාලේ නම් ලස්සන තැන් වලට ගිහින් ගන්න සෙල්ෆි) කවදාවත් ලබා ගන්න බැහැ. නමුත් රටින් රටට යද්දී අත්‍යාවශ්‍ය වන පාස් පෝට් එක, නැතිනම් ගමන් බලපත්‍රය ගැනත් ටිකක් හොයා බලන්න අවශ්‍යයි. රුපියල් 3,000ක් දීලා සති දෙකෙන් හරි, රුපියල් 10,000ක් දීලා එක දවසින් හරි ගන්න පුළුවන් අපේ ශ්‍රී ලංකා පාස් පෝට් එක පාවිච්චි කරලා අර අතීත දේශාටන උපදෙස පිළිපදින්න යන අයට ඇති වෙන අමතර ගැටළු මොනවද? මේ වගේ සුවිශේෂ අභියෝග 5ක් ගැන ඔබට පොඩි විස්තරයක් ගෙන එන්න Roar එකේ අපි තීරණය කළා.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගොඩක් අභියෝග ඒ තරම් ප්‍රසන්න අත්දැකීම් නෙවෙයි. වෙන රටකට යන්න හිතනවා නම් ඔබට ලොකු පෝලිම් ගණනාවකම ඉන්න වෙනවා. බැංකු ලිපි ලේඛන, වත්කම් ප්‍රකාශ, ෆෝම් පුරවන එක වගේම යන්නේ මොකද, ආපහු එන්නේ කවද්ද, කාව බලන්නද යන්නේ,  වගේ සාමාන්‍යයෙන් ගෙදර ඉඳිද්දී අම්මා අහන ඒවා වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඔබ සුදානමින් ඉන්නම වෙනවා. ලොකුම කරදරේ විදිහට අදාළ රටට ගියාට පස්සේ රටට ඇතුළු වෙන්න දෙන්න බැහැ කියලා දැනගන්න ලැබෙන්න ඉඩකුත් තියෙනවා.

“ටිකට් එකක් ගත්තා, නැග්ගා, ගියා” වගේ රටින් රටට යන වැඩේ නම් ලංකාවේ මිනිස්සුන්ට කරන්න බැහැ, නමුත් ඇත්තටම කිව්වොත් ඒ ගැන අපි මැසිවිලි නගන එකත් සාධාරණ නැහැ. අවුරුදු ගානක් තිස්සේ මාලදිවයිනටයි, සිංගප්පූරුවටයි විතරක් ටිකට් අරන් ගිය අපේ මිනිස්සුන්ට දැන් ඔන්න රටවල් ගණනකින්ම වීසා නිදහස ලැබිලා තියනවා. කලින් තිබුනේ රටවල් දෙකයි නිසා දැන් හිතෙනවා ඇති රටවල් 5ක් 10ක් වෙන්න ඇති කියලා. නමුත් ඇත්තටම ලංකාවේ පාස් පෝට් එකෙන් දැන් රටවල් 38කට (කිව්වට විශ්වාසත් නෑ ගොඩක් දෙනෙක්ට) වීසා නැතිව ඇතුළු වෙන්න පුළුවන්!

මේකේ තියන බාබඩෝස්, ජිබුටි, කේප් වර්ඩ්, ග්‍රෙනේඩා, ලෙසතෝ, මැඩගස්කරය වගේ රටවල් වලින් නම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනයක් නෑ. කොහොම නමුත් දෙකේ ඉඳන් තිස්අටක් කියන්නේ ලොකු පිම්මක්. ඉස්සරහ කාලේ ජාත්‍යන්තරය එක්ක තියෙන සම්බන්ධතා සහ අපේ රටේ පරිපාලන ක්‍රමවේද වලට ලැබෙන පිළිගැනීම අනුව තවත් රටවල් ගණනාවකට වීසා නැතිව ඇතුළු වෙන්න ලැබේවි. එහෙම වෙලා ලාංකිකයන්ටත් කරදරයක් නැතිව රට ලෝකේ බලා ගන්න ඉඩක් ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.

කොහොම වුණත් වර්තමාන තත්වය ගැන හොයලා බලමුකො. මේ තියෙන්නේ ලංකාවේ අයට ඇති වෙන ප්‍රධානම ගැටළු පහක්.

අමතර වියදම්

නිතරම ගමනකට ගත වෙන මුළු මුදල ගණන් බලද්දී වීසා වලට කරන අය කිරීම් ගැන හොයලා බලන්න අමතක කරන්න එපා. රූපය : විකිපීඩියා

වීසා සඳහා කරන අය කිරීම් ඔබේ පාස් පෝට් එක අයිති රට අනුව විශාල විදිහට වෙනස් වෙනවා. කාට වුණත් වීසා ගන්න සල්ලි ගෙවන්න වෙනවා තමයි, ඒත් ලෝකේ තියන සමහර රටවල් වල (කණගාටුවට කරුණ මේකට අපේ රටත් ඇතුලත් එකයි) ඉඳලා එන අයට අමතර බාධක වගේම ගෙවන්න වෙන ගාණත් ඉහළයි. මේකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්; වියට්නාමයට යන්න බොහෝ රටවල් වලින් අය කරන මුදල නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි අගයක් වුණත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියලා දැන ගත්තු ගමන් ඔවුන් ඒක ඩොලර් 80-100ක් දක්වා ඉහළ දානවා. මේක ඉතින් ඔවුන්ගේ පැත්තෙන් සාධාරණද නැද්ද කියලා කියන්න නම් අපි දන්නේ නැහැ, නමුත් ලංකාවේ මිනිස්සු ලෝකයට සාපේක්ෂව බොහොම අඩු වත්කම්/ආදායම් තියන පිරිසක්. අපි පව් කියලා හිතෙන එකට කරන්න දෙයක් නැහැ.

කොහොම වුණත් මේ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ, පිට රටකට යන්න හිතන්නේ සැලසුමකට අනුවනේ. ඒ වෙලාවට වීසා වලට අය කරන මුදල් එහෙමත් ඔබේ බජට් එකට එකතු කර ගන්න වග බලා ගන්න. එහෙම වුනොත් අමතර වියදම් එක පාරට ගෙවන්න වෙන ගැටලුව ටිකක් අඩු වේවි.

වීසා ලැබෙන්න වෙලා යන එක

ලංකාවේ මිනිස්සුන්ට පාස් පෝට් එකේ වීසා සීල් එක වදින්න වරු ගණන් බලන් ඉන්න වෙන එක සාමාන්‍ය දෙයක්. රූපය : parksleepfly.com

හිතන්න එපා අපෙන් වැඩිපුර අය කරාට ඉක්මණට වීසා ලබා දේවි කියලා. මොකද අතිරේක අය කිරීම කිසිසේත්ම ඉක්මන් සේවාවකට කරන අය කිරීමක් නෙවෙයි. අපේ රටේ ගොඩක් දෙනෙක් මේක අත් විඳලා ඇති. ඒ වගේම තමයි ඔබට වීසා නිලධාරීන්ගෙන් අහන්න ලැබෙන මේ එපා කරපු වාක්‍යය; “අනිත් රටවල කට්ටියට තමයි එක දින හා ඉක්මන් සේවා තියෙන්නේ. ලංකාවේ අයට වීසා හැදිලා එන්න සති දෙකක් විතර යනවා.”

සමහරු හිතනවා ඇති මේ කියන්නේ දියුණු, ධනවත් රටවල් ගැන කියලා. නමුත් ඇත්තටම ලාඕස්, කාම්බෝජියාව වගේ රටවල් පවා අපිට සලකන්නේ මෙහෙමයි. ඒකට ඉතින් හේතුවකුත් නැතිවම නෙවෙයි. අපේ මිනිස්සු හරි ආසයිනේ වෙනත් රටවල පදිංචියට යන්න. ඉතින් ලංකාවේ මිනිස්සු හොරෙන් රට පනින එකට බොහොම ප්‍රසිද්ධයි. (මතකනේ කට්ටිය පහුගිය කාලේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවේ ගියා) මේක අහලා ලාඕස් වල අයත් හිතන්න ඇති අපි අපේ ගෙවල් දාලා ඇවිත් එයාලාගේ උණ බට ගෙවල් වල ඉන්න ආසාවෙන් ඇති කියලා. මොනවා කරන්නද ඉතින්?

තානාපති කාර්යාල නැති එක

ලංකාවේ කෙනෙක් අපි මේ කියපු හැම උපදෙසම පිළිපැදලා අවශ්‍ය කරන ලිපි ලේඛන ටික සේරම එකතු කරලා සල්ලිත් ලෑස්ති කර ගත්තා කියමුකෝ, හැබැයි ඊළඟට කරන්න තියෙන්නේ සල්ලි බැඳලා මේ ලිපි ලේඛන ටික භාර දෙන එකයි. ඒ වැඩේට තැනක් හොයන්න ගියාම තමයි තරු පෙනෙන්නේ. හිතන්න ඔබට මෙක්සිකෝවට හරි ටැන්සානියාවට හරි යන්න ඕනේ කියලා. කොහේටද මේ ලිපි ලේඛන ටික දෙන්නේ?

ලංකාව ඇතුලේ ලෝකේ රටවල් 196ටම අයත් තානාපති කාර්යාල නැහැ. මේකෙන් ඇත්තටම කවුරුත් නොයන රටකට ගිහින් අත්දැකීමක් ගන්න උත්සාහ කරන කෙනෙක්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. අපි කියන්නේ නෑ තානාපති කාර්යාලයක් නැති වුණු පළියට ලංකාවේ මිනිස්සුන්ට ඒ රටවලට යන්න බැහැ කියලා. නමුත් වීසා එක හදා ගන්න ලොකු කාලයකුයි මුදලකුයි වැය කර කරන්න වෙනවා. මේකට හේතුව ඔබට වෙනත් රටක් හරහා (බොහෝ විට ඉන්දියාව) මේ වැඩේ කරවා ගන්න සිදු වෙන එකයි. එතකොට අමතර තැපැල් ගාස්තු, ඔවුන්ගේ සේවා ගාස්තු එහෙමත් ගෙවලා, තවත් කාලයක් බලාගෙන ඉඳලා තමයි වීසා ගන්න වෙන්නේ.

කලින් සැලසුම් හදන්න තියෙන අපහසුව

අපි මේ කියපු කාරණා කියවන ඔබට හිතෙනවා ඇති ටිකක් හොයලා බලලා ගමන් බිමන් ගියා නම් ඉවරයිනේ කියලා. කතාව ඇත්ත, උදේ නැගිටපු ගමන් වෙන රටකට යන්න තීරණය කරනවා වෙනුවට ටිකක් හොයලා බලලා යන එක වඩා හොඳයි තමයි, ඒත් හොයලා බලන එකෙත් ඇත්තටම ගැටළු තියෙනවා. මොකද වීසා වලට ලොකු කාලයක් යන එකයි, ඉන්දියාව හරහා වීසා ලබා ගන්න වෙන නිසයි, ඔය කිසිම තැනකින් හරි තොරතුරු ලබා ගන්න බැරි එකයි නිසා. (මෙයාලා කියන කාල සීමා, ගාස්තු එහෙම නිතරම වෙනස් වෙන්න ඉඩ තියෙනවා.)

මේ නිසා ඉතින් අපේ රටේ අයට හිතුනු හිතුනු වෙලාවට වෙන රටවල් වලට යන්න නම් අවස්ථාවක් නෑ. වෙනත් රටවල් වල මැගසීන් එහෙම බලනවා නම් දැකලා ඇති රෑ නිකමට ගෙදර ඇඳට වෙලා ඉන්ටර්නෙට් එකේ ඉද්දී දැකපු ඇඩ් එකක් බලලා පහුවදා උදේ ඒ රටට ගිහින් ආවා වගේ කතා. ඒවා ඉතින් අපේ රටේ මිනිස්සුන්ට හීන විතරයි. වන් වේ ටිකට් එකක් අරගෙන වෙනත් රටකට ගිහිල්ලා හිතට එන අදහසට අනුව රටින් රටට ගිහින් ගන්න අත්දැකීම හරිම වෙනස් විදිහේ එකක්. එහෙම කරපු අය ලබා ගත්තු අමතක නොවෙන අත්දැකීම් ගැන ඕන තරම් කතන්දර තියෙනවා.

ඒ වගේ අවස්ථා ඉතින් අපිට නම් කවදාවත් ලැබෙන එකක් නැහැ. කලින් ලොකු සැලසුමක් හදලා හිතා ගත්තු රටට විතරක් ගිහින් එන එක තමයි අපිට කරන්න පුළුවන්. කොහොම වුණත් ඒකට හිතුවට වඩා කාලයක්, මුදලක් යන අවස්ථා වුණත් ඕන තරම්.

කෙලින්ම ප්‍රතික්ෂේප වෙන එක

පුද්ගලික අත්දැකීම් අනුව කියන්න පුළුවන් දෙයක් තමයි තවමත් රටකින් රටකට යන දේශ සීමා වලදී (උදාහරණයකට වියට්නාම – කාම්බෝජියා දේශ සීමාව) අහන්න ලැබෙන අමිහිරි ප්‍රතික්ෂේප කිරීම. “ලංකාවේ මිනිස්සුන්ට අපේ රටට ඇතුළු වෙන්න දෙන්න බෑ” කියල කිසිම සමාවක් නැතුව මුහුණටම කියන අවස්ථා ඕන තරම්. විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා නොකරන රටවල් වල (ඒ කිව්වේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක් නොවෙන රටවල්) වල අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න යන එක ඔවුන්ට ලොකු පහරක්. අපිට තරම්වත් ඔවුන්ට ඉංග්‍රීසි බෑ කියන එක පෙන්වන්න ඒ රටවල් වල ආගමන නිලධාරියෝ මැලි වෙනවා. ඉතින් කවදාවත් කතා කරලා ශේප් කරන්න බැහැ, මොකද ඔවුන්ට කිසිම කැමැත්තක් නෑ අපි එක්ක දිගට කතා කරන්න. ඒ වෙලාවට කියන්නේ අර කිව්වා වගේ දේවල් තමයි.

එහෙම දෙයක් අහන්න ලැබුණාම ආපහු ඇරිලා එනවා වෙනුවට කරන්න තියෙන්නේ එකම දෙයයි: අමතර මුදලක් ගෙවන්න වුණත් කමක් නෑ කියලා කියන්න. සල්ලි කියන්නේ කොහේ ගියත් ඔබට තැනක් ලැබෙන දෙයක් නිසා සල්ලි ගෙවන්නම් කිව්වාම ඔය ගොඩක් තැන් වලින් අවස්ථාවක් ගන්න ලැබෙනවා. ඉතින් සල්ලි විසි කරන්න පුළුවන් නම් ගොඩක් ගැටළු විසඳා ගන්න ලේසියි.

ලෝකේ කවුරුත් යන්න කැමතිම රටවල් ටික – ඒත් මේ රටවල් තමයි අපේ පාස් පෝට් එකෙන් යන්න අමාරුම රටවල් ටිකත්. රූපය : onestep4ward.com

ලෝකයේ පාස් පෝට් එකේ බලවත් කම දක්වන දර්ශකයේ 2016 අවුරුද්දෙත් අපේ රටට හිමි වෙලා තියෙන්නේ අග ඉඳන් 9 වෙනි තැන. මේකට ඉතින් අවුරුදු 30ක් තිබුණු යුද්ධය බල පෑමක් තියෙනවා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් මේ සේරම ප්‍රශ්න අමතක කරලා වෙනත් රටවල් වලට ගිහින් බලන්න ආසාවක් තියෙනවා නම් කවදාවත් අධෛර්යමත් වෙන්න එපා. මොන ප්‍රශ්න ආවා වුණත් ලෝකය වටේ ගිහින් ගන්න පුළුවන් අත්දැකීම් සහ මතකයන් කවදාවත් අවසන් වෙන්නේ නැහැ. මේක ශාන්ත ඔගස්ටින් මහතා බොහොම ලස්සනට කියලා තියනවා මේ වාක්‍යයෙන්;

“ලෝකය කියන්නේ දිග හැරපු පොතක් වගේ. ගමන් බිමන් යන්නේ නැති කෙනාට ජීවිතේටම කියවන්න ලැබෙන්නේ එක පිටුවයි” – ශාන්ත ඔගස්ටින්.

මේකේ අදහසත් මොන තරම් බාධක ආවත්, පාස් පෝට් එක මොන තරම් දුර්වල එකක් වුණත් රටින් රටට යන්න තියෙන ආසාව නැති කර ගන්න එපා කියන එකයි. මොකද කවදා හරි ඔබට දුක් වෙන්න වෙන්නේ “අනේ මට කිසිම රටකට යන්න බැරි වුණා” කියලා මිසක් “අනේ මට රටකට ගිහින් එද්දී සල්ලි වැඩිපුර ගියා” කියලා නෙවෙයි..

ඔබටත් මේ වගේ රටකින් රටකට යන්න ගිහින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඇති, සමහර විට පුදුමාකාර විදිහට ඔබට ලාංකිකයෙක් කිව්වාම උදව් ලැබුණු, ගමන වඩාත් පහසු වුණු අවස්ථා එහෙමත් ඇති. ඒ දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමති නම් මෙතන හරි, අපේ ෆේස්බුක් පොස්ට් එකේ හරි ඒ අත්දැකීම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. රට ලෝකේ බලා ගන්න ආසාවකින් ඉන්න අයට ඒක ලොකු උදව්වක් වේවි.

කවරයේ පින්තුරය: sbs.com.au