Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් නොදන්නා සංචාරක ආකර්ෂණ පහක් – පළමු කොටස

ලොව වටා සංචාරකයන් අතර ශ්‍රී ලංකාව වඩාත්ම ප්‍රසිද්ධ එහි ඇති සුන්දර වෙරළ තිරයන් ද මනස්කාන්ත උඩරට කඳුකරය ද  අලි ඇතුන් ආදිය ද හේතුවෙන් වුවද, වැඩි දෙනෙක්ගේ අවධානය යොමු නොවුණු නෙතට රසඳුනක් වන් සුන්දර හා අභියෝගාත්මක සංචාරක ආකර්ෂණ රාශියක්ම තිබෙන බව ඔබ දන්නවාද? එවන් සංචාරක ආකර්ෂණ පහක් අද අපි ඔබ හමුවට ගෙනෙන්නෙමු.

අම්පිටිය ජාතික දෙව්සත්හල

අම්පිටිය දෙව්සත්හලේ සුන්දර දසුනක්

අම්පිටිය දෙව්සත්හලේ සුන්දර දසුනක්

මහනුවර නගරයෙන් කිලෝමීටර කිහිපයක් නුදුරින් පිහිටා ඇති අම්පිටිය ජාතික දෙවසත්හලෙහි ඇත්තේ  බටහිර යුරෝපයේ තැන තැන විසිරුණු හුදෙකලා දේවස්ථාන වලට නොදෙවෙනි ගුප්ත නිහැඬියාවකි. හාත්පස ඇති සුවිසල් තණනිල්ලෙන් වට වූ අහස උසට නැඟුණු දෙව්මැදුරු වලින් සමන්විත අම්පිටියේ දෙව්සත්හල කුඩා කඳු ගැටයක පිහිටා තිබේ. කඳු ගැටය වටා සැලකිය යුතු තරම් සාරවත්ව වැඩුණු ලඳු කැලෑ ප්‍රදේශයක් තිබෙන අතර මෙම ස්ථානයට පහසුවෙන්ම ලඟා විය හැකිය. අඩි පාරක් දිගේ කඳු මුදුනේ සැඟවුණු රහස් තිප්පොළක් වෙත යන ඔබට නුවර සානුවේ අයස්කාන්ත දර්ශනයක් දැකගත හැකි වනු ඇත.

හෙල්ගාස් ෆොලී

හෙල්ගාස් ෆොලී හෝටලයේ කෑම කාමර වලින් එකක් – (Aamina Nizar)

හෙල්ගාස් ෆොලී හෝටලයේ කෑම කාමර වලින් එකක් – (Aamina Nizar)

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමුතු ස්ථානයක් දැක ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම හෝටලය නැරඹිය යුතුමය. අඳුරු කොරිඩෝර සහ සිවිලිමේ බිත්ති වලින් පහලට එල්ලෙන ඇටසැකිලි වලින්ද නානප්‍රකාරයෙන් අඹන ලද භූතයන් හා වාමන රූප වලින් ද පිරී ඇති මෙම හෝටලය සැරසූ පුද්ගලයා අසාමාන්‍ය රසඥතාවයක් සහිත අයෙක් බව බැලූ බැල්මටම පෙනේ. මෙය නම් කර ඇත්තේ එහි හිමිකාරිය වන හෙල්ගා ද සිල්වා බ්ලෝ පෙරේරාගේ නමිනි. අරුම පුදුම හෙල්ගා ෆොලී හෝටලය ඇත්තෙන්ම මනස කළඹවන සුළු එකක් වුවද ආස්වාදජනක නැවුම් බවක් අත්විඳීමට කැමති කොයිකාහටත්  නුවර සිටි සෙන්ටර් එකේ සිට මිනිත්තු කිහිපයක දුරින් පිහිටි මෙම ස්ථානය එක වරක් හෝ නැරඹීමට යාම වටී.

වැලිගම කලපුවේ හබල් පුවරු පැදීම

මේ ජල තලය හබල් පුවරු පැදීමට කදිම ස්ථානයකි

මේ ජල තලය හබල් පුවරු පැදීමට කදිම ස්ථානයකි

රළ මත ලිස්සා යාමේ ප්‍රවීණයන් සහ නවකයන් එකසේ වැලිගම මුහුදු තීරයට ආකර්ෂණය වන්නේ දැරිය හැකි මුදලකට රළ මත ලිස්සා යාමේ පුවරු කුලියට දෙන ස්ථාන රාශියක් වෙරළාසන්නව තිබෙන අතර නවකයන්ට ද යම් තාක් දුරකට පුහුණු ලබා ගැනීමට මෙම පුහුණු පාසල් වලින් හැකියාව තිබෙන බැවිනි. නමුත් මේ සියල්ලට ඈතින්, වැලිගම බොක්කට ආසන්නයෙන් කලපු ප්‍රදේශයක මධ්‍යයේ සැඟවී ඇති කඩොලාන රැසකින් වටවුණු  නිසංසල හුදෙකලා ජල තලය හබල් පුවරු පැදීමට කදිම ස්ථානයකි. සාමාන්‍ය රළ මත ලිස්සා යන පුවරුවකට වඩා වැඩි බරක් සහිත හබල් පුවරු ද හබල් ද මෙම ඕනෑම පුහුණු පාසලකින් කුලියට ලබා ගත හැක. වැලිගම් බොක්කට මදකට පෙර හමුවන දුම්රිය පාලම යටින් මීටර කිහිපයක් ඔබ්බෙන් පිහිටා ඇති මෙම කලපුවට ඇතුල්වීමට ඇති එකම ක්‍රමය පාගමනින් යාමය. හබල් පුවරු පැදීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ. තිබෙන එකම අපහසු කොටස සමබරතාවය රැකගැනීමයි.  පුවරුව සමබර කරගත් පසු (මෙය පුරුදු වීමට වැඩිම වශයෙන් මිනිත්තු කිහිපයකින් ගත වනු ඇත) ඉතිරිය ඉතා සරලය. බාහිර ලෝකයේ කිසිවකින් බාධාවක් නොමැතිව සැනසිල්ලේ  මනෝ ලෝකයක පැය කිහිපයකට තනි වීමට ඔබට අවශ්‍ය නම් මෙය ඔබට  කදිම වටපිටාවක් සපයනු ඇත.

යාපනයේ කැෂුවරිනා මුහුදු වෙරළ

කැෂුවරිනා මුහුදු වෙරළ (Tashiya de Mel)

කැෂුවරිනා මුහුදු වෙරළ (Tashiya de Mel)

වැඩි දෙනෙක් අසා නැති මෙම කැෂුවරිනා වෙරළ පිහිටා ඇත්තේ කරතිව් දුපතේය. ශ්‍රී ලංකාවේ කිසිදු තැනෙක දක්නට නොලැබෙන ආකාරයේ දීර්ඝ මුහුදු වෙරළක් වන මෙය යාපනය අර්ධද්වීපයට අයත් අතර අසාමාන්‍ය ලෙස සුදු වර්ණයක් ගන්නා මුහුදු වැල්ලෙන් ද අමුතු ආකාරයේ කැෂුවරිනා ගස් වලින් ද වටවුණු මෙම මුහුදු වෙරළට ඔබ්බෙන් නොගැඹුරු නිල් වන් මුහුද සැතපුම් ගණනාවක් පුරාවට විහිදී යයි. මෙය ලංකාවේ දක්නට ලැබෙන මනස්කාන්තම මුහුදු වෙරළ වලින් එකක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. 2009 වසරේ යුධ ගැටුම් අවසාන වීමත් සමඟ යාපනය නැරඹීමට පැමිණෙන සංචාරකයන් ගණන ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර කැෂුවරිනා වෙරළට විශාල අවධානයක් දැන් යොමු වී තිබේ. නගරයේ ඇති කලබලකාරී බවෙන් සහ විදුලි එලි වලින් බාධාවක් නොමැතිව රෑ අහස නිරීක්ෂණය කිරීමට ද කඳවුරු ගැසීමට ද මෙය අතිශය සුදුසු තැනකි.  මීට අමතරව නිදහසට පෙර ලංකාවේ ඒ අතීතය මොනවට කියාපාන අක්කර ගණනාවක් පුරාවට විහිදුණු සිස් බිම් ද කුඹුරු ද සිඳී ගිය විල් වලින් ද පිරුණු මුහුදු වෙරළ වෙත දිවෙන මාර්ගය පා ගමනක යෙදීමට ද කදිමය.

සිංහරාජයේ සිංහගල

ගොම්මන් අඳුරින් වැසීගෙන යන සිංහගල

ගොම්මන් අඳුරින් වැසීගෙන යන සිංහගල

සිංහරාජ වනාන්තරය අවම වශයෙන් එක වරක් හෝ නැරඹීමට ගොස් නොමැති කෙනෙකු නැති තරම්ය. එහෙත් බොහෝ දෙනෙක් නම පවා අසා නොමැති සුන්දර ස්ථානයක් මේ වැසිවනාන්තරය මධ්‍යයේ තිබේ. නමින් සිංහ ගල වන මෙම කඳු ගැටයේ මුදුනට පැහැදිලි දිනකදී ගාල්ල මාතර නගර පවා දර්ශනය වේ. දෙපා පාමුලින් ඇරඹෙන  තුරු වියන වනාන්තරය වට කරගත් ඈත කඳු වලල්ල දක්වා විහිදෙන අයුරු අති රමණීය ලෙස මේ කඳු මුදුනේ සිට දැකගත හැකිය. දෑසට පෙනෙන තෙක් මානය වන තුරු විහිදුණු නානා විධ ආකාරයේ උස මිටි තුරු හිස් පලසක් මෙන් පෙනෙන අයුරු මනස කළඹන සුළුය. කටුක මාර්ගයක් ගෙවා කඳු පාමුලට සේන්දු වී කන්ද තරණය කිරීමට ගන්නා වෙහෙස අකා මකා දැමීමට මේ දර්ශනය පමණක්ම ප්‍රමාණවත් ය.   

වාසනවාකට හෝ අවාසනාවකට මේ සුන්දර දිවයිනේ පිහිටා ඇති වැඩි දෙනෙක් අසා නොමැති ස්ථාන සහ ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳ කෙටි සටහනක් මෙසේ අපි ඔබ හමුවේ තැබුවෙමු. නමුත් මෙය ආරම්භය පමණි. ලංකාවේ අප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ රාශියක් ආවරණය කිරීමට අප බලාපොරොත්තු වන අතර මෙය එම වාර්තා මාලාවේ පළමු අදියරයි. දෙවන අදියර ළඟදීම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම් ය. එපමණක් නොව අපි මේ ලැයිස්තුවට ඇතුලත් කළ යුතු යැයි පාඨක ඔබ විශ්වාස කරන ස්ථාන පිළිබඳ අදහස් සහ යෝජනා සහිත ප්‍රතිචාර ද අපට එවන්නට අමතක කරන්න එපා.

Featured Image Credit: Abdul Halik Azeez

Related Articles