ප්‍රදීපාගාරයක් කිව්වාම වැඩි දෙනා දන්නවා ඒක මුහුදට කිට්ටුවෙන් තියෙන විශාල පහන් කණුවක් බව. රාත්‍රීය පුරා නියමිත කාලයකට සැරයක් කැරකෙන, සැර ආලෝකයක් විහිදුවන පහනක් මේ හැම එකකම තියෙනවා. ප්‍රදීපාගාරය ගොඩක් උස නිසා ඈතින් යන නැව් වලට පවා ගොඩබිම පේන්නත් කලින් ප්‍රදීපාගාර දර්ශනය වෙනවා. ආලෝකය කැරකෙන කාල වෙලාව අනුව තමන් ඉන්නේ කොතනද කියන එක දැන ගන්න එතකොට ලේසියෙන්ම පුළුවන්.

GPS ඇතුළු නවීන ක්‍රම බිහි වෙන්න කලින් ලෝකය පුරා මුහුදු ගමන් හැම එකක්ම සිදු වුණේ මේ වගේ සරල උපක්‍රම වලින්. වඩාත්ම ජනප්‍රිය ක්‍රමයක් වුණේ තරු රටා නිරීක්ෂණය කරලා, ඒ වගේම තරු වලට ක්ෂිතිජ ඉමේ ඉඳන් තියෙන කෝණය ගණනය කරලා තමන් ඉන්නා තැන හොයා ගන්න ක්‍රමය. ඒ වගේම ගොඩබිමක් ලඟයි කියන එක දැන ගන්නත් ලිහිණියන් වැඩිපුර ගැවසීම වගේ දේවල් තමයි පාවිච්චි වුණේ. හැබැයි දේශ ගවේෂණයට විතරක් කෙරුණු දිගු දුර මුහුදු ගමන් වෙළඳාම පැත්තට නැඹුරු වෙන්න ගත්තාට පස්සේ රාත්‍රී කාලයට පවා මුහුදු ගමන් බහුලව සිදු වෙන්න ගත්තා. ඒ විදිහට එන නෞකා වලට මග පෙන්වන ක්‍රමයක් විදිහට තමයි ප්‍රදීපාගාර මුලින්ම ඉදි කෙරුණේ.

ලංකාව පොඩි රටක් වුණත් දූපතක් නිසාත්, ලෝකයේ ප්‍රධානම මුහුදු මාර්ග වලට මායිම්ව පිහිටලා තියෙන නිසාත් රට පුරාම ප්‍රදීපාගාර දකින්න ලැබෙනවා. මේ හැම එකක්ම ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරපු බටහිර පාලකයන් තමන්ගේ වෙළඳ නැව් වලට මග පෙන්වන්න ඉදි කරපු ඒවා. අවශ්‍යතාවය මත ඉදි වුණු කණුවක් වුණත් අනිත් හැම දෙයක් වගේම ප්‍රදීපාගාර වලත් ඒ කාලයේ ජීවත් වුණු මිනිස්සුන්ගේ සංස්කෘතික ලක්ෂණ ගැබ් වෙලා තියෙනවා. ඒ නිසාම මේවාත් කලාකෘති කියලා හඳුන්වන්න පුළුවන් නිර්මාණ. වැඩි දෙනා නොදන්නවා වුණාට රටේ ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් මේ ප්‍රදීපාගාර එක්ක බැඳිලා තියෙනවා.

සාමාන්‍යයෙන් ප්‍රදීපාගාරයක් කියන්නේ ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධම සංචාරක ආකර්ෂණ වලින් එකක්. බොහෝ විට මුහුදට කිට්ටුවෙන් ඉතා උසට ඉදි කරලා තියෙන නිසා ප්‍රදීපාගාර උඩට ගියාට පස්සේ අවට වටපිටාව ඉතාම සුන්දර විදිහට දැක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ප්‍රදීපාගාර ඉදි වෙන්නෙත් මිනිස්සුන්ට ඉන්න අමාරු පුංචි දූපත් වල හරි ගල් වැටි උඩ හරි නිසා ඒ අවට පරිසරයත් හරිම අලංකාරයි. මේ නිසා තමන්ගේ ප්‍රදීපාගාර වෙත සංචාරකයන් ගෙන්වා ගන්න ප්‍රවර්ධනය කරන එකත්, පහසුකම් සලසන එකත් ගොඩක් රටවල සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ දැන් තියෙන ප්‍රසිද්ධ ප්‍රදීපාගාර වැඩි හරියක් ඉදි වුණේ 18 වන ශතවර්ෂයේ විතර. ලංකාවත් ඇතුලත්ව බ්‍රිතාන්‍ය යටත් විජිත වල තිබුණු ප්‍රදීපාගාර නඩත්තු කරන්න “රාජකීය ප්‍රදීපාගාර සේවය” (Imperial Lighthouse Service) කියලා වෙනම ආයතනයක් පවා තිබුණා. රටක් විදිහට නිදහස ලබලාත් ටික කාලයක් ගත වුණාට පස්සේ තමයි බ්‍රිතාන්‍යය අපේ ප්‍රදීපාගාර ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුවේ. මේ වෙනකොට වැඩිහරියක් ප්‍රදීපාගාර පවත්වාගෙන යාම භාර වෙලා තියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරයට.

ශ්‍රී ලංකාව දූපතක් නිසා සාපේක්ෂව දිගු වෙරල තීරයක් හිමි රටක්. මේ නිසා ඉස්සර කාලේ ඉඳන්ම අපේ රටට බොහෝ විදේශිකයන් පැමිණීම නිතර සිදු වුණා. මේ විදිහට එන නැව් වලට අනතුරක් නැතිව යාත්‍රා කරන්න කාලයෙන් කාලයට ප්‍රදීපාගාර ඉදි වුණා. මේ විදිහට ඉදි වුණු ප්‍රදීපාගාර 25ක් විතර මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට ආසන්නව දකින්න ලැබෙනවා. නමුත් එයින් කිහිපයක් ගැන විතරයි වැඩි දෙනා දන්නේ.

අපි වැඩි දෙනා විනෝද චාරිකාවක් යනකොට ප්‍රදීපාගාරයකට යන්න හිතනවා අඩු වුණත් මේ කියන්න යන ප්‍රදීපාගාර ටික නම් ගිහින් එන්නම වටින තැන් කිහිපයක්.

දෙවුන්දර ප්‍රදීපාගාරය

චායාරූපය : lankahotelbooking.com

ශ්‍රී ලංකාවේ උසම ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ රටේ පහළින්ම තියෙන දෙවුන්දර තුඩුවේ. මාතර දිස්ත්‍රික්කයට අයත් දෙවුන්දර තුඩුව තමයි ලංකාවේ වඩාත්ම දකුණු දිශාවෙන්  තියෙන ස්ථානය විදිහට පිළිගැනෙන්නේ. මීටර් 54ක්, නැත්නම් අඩි 161ක් උස දෙවුන්දර ප්‍රදීපාගාරය මේ ප්‍රදේශයේ වැදගත්ම සංචාරක ආකර්ෂණයක්. මේක ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවේත් තියෙන උසම ප්‍රදීපාගාර වලින් එකක්.

දෙවුන්දර ප්‍රදීපාගාරයේ තද සුදු ආලෝකයක් විහිදුවන ප්‍රධාන පහන හරියටම තත්පර පහකට වරක් තමයි කරකැවෙන්නේ. ඒ නිසා ලංකාවේ දකුණුදිග වෙරළෙන් නාවික සැතපුම් 28ක් දක්වා දුරක තියෙන ඕනෑම නැවකට, බෝට්ටුවකට තත්පර 5කට වරක් නිවි නිවී දැල්වෙන සුදු ආලෝකයක් දැක ගන්න පුළුවන්. නවීන තාක්ෂණය තියෙනවා වුණත් මේ ආලෝක දහරාව තවමත් ජාත්‍යන්තර මුහුදු ගමන් වලට වැදගත් දර්ශකයක්.

කීර්තිමත් බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරු සර් ජේම්ස් නිකොලස් ඩග්ලස් මහත්මයා තමයි දෙවුන්දර ප්‍රදීපාගාරයේ නිර්මාණකරු. රාජකීය ප්‍රදීපාගාර සේවයේ වැඩ කරපු ඔහුගේ සොහොයුරු විලියම් ඩග්ලස් මහතාගේ මගපෙන්වීම යටතේ ඉදි කල දෙවුන්දර ප්‍රදීපාගාරය 1890 වර්ෂය වන විට වැඩ අවසන් කෙරුණා. අඨාෂ්‍රාකාර හැඩයකට ඉදි කෙරුණු ප්‍රදීපාගාර කුළුණ හදන්න පාවිච්චි කරපු සුදු කිරිගරුඬ ගෙන්වා ගෙන තියෙන්නේ ස්කොට්ලන්තයේ සහ කෝන්වෝල් ප්‍රදේශයේ ගල් කොරි වලින්. පසුකාලීනව බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණත් ඔවුන් ඉතිරි කරලා ගියපු රාජකීය අභිමානයට මේ ප්‍රදීපාගාරය හොඳ සාක්ෂියක්.

දෙවුන්දර ප්‍රදීපාගාරය බලන්න යන්න ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා, හැබැයි ඒ සඳහා මුලින්ම වරාය අධිකාරියේ අවසරය ලබා ගන්න අවශ්‍යයි. ප්‍රදීපාගාරය මුදුනට ගියාම ආපහු බහින්න නොහිතෙන තරම් සුන්දර දර්ශනයක් දැක ගන්න පුළුවන්. තද නිල් පාට ඉමක් නොපෙනෙන මහා සාගරය, තැනින් තැන පෙනෙන සුදු තිත් වගේ නැව් සහ බෝට්ටු, රන් පැහැයෙන් දිලිසෙන මුහුදු තීරය, එක පේළියට වැනෙන පොල් ගස් රුප්පාව, ගහගෙන යන්න තරම් සැර සැඩ සුළඟ සහ ඝෝෂාව එකට එකතු වෙලා ගෙන දෙන්නේ අමුතුම අත්දැකීමක්. දෙවුන්දර ප්‍රදීපාගාරය ලංකාවේ තියෙන අන්තර්ජාතිකව ප්‍රසිද්ධ ප්‍රදීපාගාර පහෙන් එකක්. දෙවුන්දර මුහුදේ නාගෙන, වෙරළේ සෙල්ලම් කරන්න ගිහින් එන ගමන් ප්‍රදීපාගාරයටත් නැගලා බලන්න පුළුවන් නම් දකුණට යන ඕනෑම විනෝද චාරිකාවක් වඩාත් පරිපූර්ණ වේවි.

බේරුවල (බාබේරි දුපතේ) ප්‍රදීපාගාරය

චායාරූපය : blissimagesfinland.photoshelter.com

ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටලා තියෙන බාබේරි දූපතේ තමයි බේරුවල ප්‍රදීපාගාරය ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා මෙතනට යන්න නම් අපිට විනාඩි 10ක් විතර බෝට්ටුවෙන් යන්න වෙනවා. ලා කහ පාටට ඈතට පෙනෙන මේ ප්‍රදීපාගාරය ඉදි වෙලා තියෙන්නේ වසර සිය ගාණක් මුහුදු ඛාදනයට ලක් වුණු දූපතේ වෙරල තීරයට ඉතාම ආසන්නයෙන් තියෙන ගල් පරයක් උඩ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිවයිනෙන් ඈතට වෙන්න තියෙන හුදෙකලා දූපතක් නිසා බාබේරි දූපත ඝෝෂාකාරී බවක් නැති ස්වභාවික පාරාදීසයක් කිව්වත් වැරැද්දක් නැහැ. කාගෙන්වත් හිරිහැරයක් නොවී වැඩුණු පොල් ගස් වගේම වෙනත් ගහ කොළ මේ දූපත පුරාවටම දකින්න පුළුවන්. බෝට්ටුවේ මෙතනට එන අතරේ තනිකර කොළ පාට දූපත මැද්දෙන් ඉස්මතු වුණු සුදු-කහ පාට ප්‍රදීපාගාර කුළුණ ඈතට දැක ගන්න ලැබෙනවා. මේ ප්‍රදීපාගාරය බලා කියා ගන්න වැඩේ භාර දීල තියෙන්නේ මුරකරුවන් කිහිප දෙනෙක්ට. වසර ගණනාවක් පැරණි වුණත් බේරුවල ප්‍රදීපාගාරය අදටත් ඉතා හොඳ තත්වයේ තියෙනවා.

බ්‍රිතාන්‍ය රජය ඉදි කරපු මේ ප්‍රදීපාගාරය අඩි 110ක් උසයි. කුළුණේ පැති බිත්ති වල කහ පාට ගල් ඔබ්බලා තියෙනවා. 1972 අවුරුද්දේ රාජකීය ප්‍රදීපාගාර සේවය නවත්වා දමන කල් මේ ප්‍රදීපාගාරයේ නඩත්තු කටයුතු සිදු කළෙත් බ්‍රිතාන්‍යයෙන්. ඔවුන් 1928දී සවි කරපු පැති වීදුරු තවමත් ඉතා හොඳින් ආරක්ෂිතව තියෙනවා දකින්න පුළුවන්. බේරුවල ප්‍රදීපාගාරය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට සහ ඉංජිනේරු හැකියාවට හොඳ සාක්ෂියක්.

ප්‍රධාන කුළුණ පාමුල පැත්තකින් බ්‍රිතාන්‍යයන් ගල් වලින් හදපු කුඩා නිවසක් දැක ගන්න පුළුවන්. මුරකරුවන් වෙනුවෙන් ඉදි වුණු මේ පුංචි නිවසේ ඒ කාලයේ භාවිත වුණු බ්‍රිතාන්‍ය උපකරණ තවමත් හොඳ තත්වයෙන් දැක ගන්න ඉඩ ලැබෙනවා.

අතීත වටිනාකමක් තියෙන අලංකාර ගෘහ නිර්මාණ දැක ගන්න ආසාවක් තියෙන ඕනෑම කෙනෙකුට බේරුවල ප්‍රදීපාගාරය බලන්නම වටින තැනක්. ලඟා වෙන එකත් ගොඩක් අපහසු නැහැ. කොළඹ ඉඳලා පැයකින් විතර බේරුවලට ලඟා වෙලා එතැන ඉඳන් විනාඩි 10ක් බෝට්ටුවේ එන්නයි තියෙන්නේ. නමුත් එයින් ලැබෙන අත්දැකීම නම් බොහොම සුන්දරයි.

මහා රාවණා සහ කුඩා රාවණා ප්‍රදීපාගාර

ලංකාවේ ගිනිකොණ දිග මුහුදේ ඉදි කරලා තියෙන මහා රාවණා ප්‍රදීපාගාරයේ පාදම කොටස මුහුදු රැළි වල නිරන්තර ප්‍රහාරයට ලක් වෙනවා. රූපය : blissimagesfinland.photoshelter.com

යාල රක්ෂිත වනාන්තරයේ මායිමට කිලෝමීටර් 13ක් විතර ඈතින් පිහිටලා තියෙන කුඩා රාවණා සහ මහා රාවණා ප්‍රදීපාගාර ඉදි කරලා තියෙන්නේ මුහුද යට තියෙන ගල් පරයක් මත. මේවා අතර ලොකු පරතරයක් නැහැ. කුළුණු දෙකම ඉදි කරලා තියෙන්නේ වතුර යට තියෙන ලොකු ගල් කුළු දෙකක් උඩ නිසා ගැඹුරු මුහුද මැද්දේ ඉදි කරලා වගේ තමයි ඈතට පෙනෙන්නේ. මේ අනර්ඝ නිර්මාණය සැලසුම් කළෙත් දෙවුන්දර ප්‍රදීපාගාරය සැලසුම් කරපු සර් ජේම්ස් ඩග්ලස් මහතාමයි. ඔහුගේ සොහොයුරු විලියම් ඩග්ලස් මහතා තමයි ඉදිකිරීම් කටයුතු වලට මූලිකත්වය දුන්නේ.

මුලින්ම ඉදි කෙරුණු මහා රාවණා ප්‍රදීපාගාරය 1873දී සේවය ආරම්භ කළා. කුඩා රාවණා ප්‍රදීපාගාරය ඉදි වුණේ ඊට අවුරුදු 5කට විතර පස්සේ. මේ දෙකම ඉදි කරලා තියෙන්නේ ලංකාවේ දකුණු දිග මුහුදේ දිය යට කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් විදිහට සැලකෙන ප්‍රදේශයක. ඔවුන් අතර “ඊඩ්න්ගේ උද්‍යානය” කියලා ප්‍රසිද්ධ මේ ගල් පරයේ සුන්දරත්වය දිය යටදී මනාව දැක ගන්න පුළුවන්. මතුපිට තියෙන කලබලකාරී දියරැළි වලට යටින් මනස්කාන්ත කොරල් පරයක්, අලංකාර මුහුදු ජීවීන්, සුදු සිනිදු වැලි තලා වගේම ගිලී ගිය නැව් කිහිපයකුත්, වැලිගල් පරයකුත් දැක ගන්න ලැබෙනවා.

1961 අවුරුද්දේ සර් ආතර් සී ක්ලාක් මහතා ඇතුළු කිමිදුම්කරුවන් කණ්ඩායමක් මහා රාවණා ප්‍රදීපාගාර කුළුණ පාමුල මුහුදු පතුලේ තිබිලා ඒ වන තුරු කවුරුත් දැනගෙන හිටියේ නැති නැවක නටඹුන් සොයා ගන්න සමත් වුණා. රිදී කාසි පිරුණු මලු ගණනාවක් ඒ තුල තිබුණා. පසුව සොයා ගත්තු විදිහට මේ කාසි වල හිමිකරුව ඉඳලා තියෙන්නේ 1658 සිට 1707 දක්වා මෝගල් අධිරාජ්‍යයේ පාලකයා වුණු ඕරන්සෙබ් (Aurangzeb) රජු. මේ අරුම පුදුම කතා පුවත ආතර් සී ක්ලාක් මහතාගේ “මහා කොරල් පරයේ නිධානය” (Treasure of the Great Reef) කියන පොතටත් පාදක වුණා.

කුඩා රාවණා සහ මහා රාවණා ප්‍රදීපාගාර දෙකම මේ වන විටත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. 2004 සුනාමි රළ නිසා පාදමට සුළු හානි ඇති වුණත් මේ වන තුරු වැඩිදුර ගැටළුවක් ඇති වෙලා නැහැ.

ගාල්ල ප්‍රදීපාගාරය

ගාලු ප්‍රදීපාගාරය ලංකාවේ පැරණිම ප්‍රදීපාගාරය විදිහට සැලකෙනවා. රූපය : freefortourists.com

ගාලු ප්‍රදීපාගාරය, නැතිනම් ඉස්සර කාලයේ හැඳින්වුණු විදිහට “Pointe de Galle Light” (ගාලු තුඩුවේ ආලෝකය) ගාලු පුරවරයේ ගොඩබිම පිහිටලා තියෙන ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්. වසර පුරා හැම දිනකම වගේ සංචාරකයන් සිය ගණනින් ගාල්ල ප්‍රදීපාගාර කුළුණට එනවා. පැරණි ගාලු කොටුව ඇතුලේ පිහිටලා තියෙන මේ ප්‍රදීපාගාරය ඉදි කරලා තියෙන්නේ 1848 අවුරුද්දේ නිසා දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී තත්වයේ පවතින පැරණිම ප්‍රදීපාගාරය ලෙස සැලකෙනවා. අවාසනාවකට වගේ මුල්ම කුළුණ 1936 ගින්නකින් විනාශ වුණු නිසා 1940දී ප්‍රතිනිර්මාණය කරපු කුළුණක් තමයි අද අපිට දකින්න ලැබෙන්නේ. ගාල්ල ප්‍රදීපාගාරයේ මුල්ම කුළුණේ ආරක්ෂිතව පවතින එකම ඡායාරූපය බ්‍රිතාන්‍ය මහජන පුස්තකාලයේ තියෙනවා දැක ගන්න පුළුවන්.

ගාලු කොටුව තරමටම ඉතා ප්‍රසිද්ධ ගාලු ප්‍රදීපාගාරය තමයි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ප්‍රදීපාගාරය වෙන්නේ. ගාල්ල වරායට එන නැව් වලට සහ බෝට්ටු වලට ගාල්ල ප්‍රදීපාගාරය ගාලු කොටුවට ඉහළින් අභිමානවත්ව නැගී සිටින විදිහ දැක ගන්න පුළුවන්.

අපි මේ කිව්වේ ශ්‍රී ලංකාවේ තියෙන ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වුණු ප්‍රදීපාගාර ගැන වුණත් තවත් ඕනෑ තරම් ප්‍රදීපාගාර රට පුරාම මුහුදු වෙරළවල් වල විසිරිලා තියෙනවා. ඒවා බලන්න යන එක ප්‍රසිද්ධ, සංචාරකයන් පිරුණු තැනකට යනවාට වඩා වෙනස්ම අත්දැකීමක් වේවි. සමහරක් ප්‍රදීපාගාර ගරා වැටිලා තිබුණත් නටඹුන් විදිහට තියෙද්දී පවා ඒවා සතු අභිමානය අඩු වෙලා නැහැ. මන්නාරම් දූපතේ පැරණි ප්‍රදීපාගාරයOld Mannar Island Light මේකට හොඳම නිදසුනක්. අමතක වී ගිය යුගයක මතක සටහන් අදටත් ඉතිරි කරගෙන ඒ යුගයට අයත් යෝධයෙක්ගේ ගාම්භීරත්වය මේ ප්‍රදීපාගාර අදටත් ලොවට කියා පානවා. වැඩි දෙනා නොදන්නා ප්‍රදීපාගාරයක් කියන්නේ ලෝකයෙන් හුදෙකලා වෙන්න හොඳම තැනක් කිව්වොත් වැරැද්දක් නැහැ. ඉතින් ඔබට යම් දිනක නිහඬ, නිස්කලංක බවක් අත් විඳින්න අවශ්‍ය නම් මේ වගේ යෝධ ප්‍රදීපාගාර කුළුණකට නැගලා බලන්න. මුහුදේ ශබ්දය හැර මේ ලෝකයේ පවතින අනිත් හැම දේකින්ම මිදුණා වගේ හැඟීමක් නිතැනින්ම දැනේවි.

කවරයේ පින්තුරය: tianxinqi.com

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ