Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොංගෝලියාවේ සුන්දර සංචාරක ඉසව් 5ක්

මොංගෝලියාව නැගෙනහිර ආසියානු කලාපයට අයත් රාජ්‍යයක්. ආසියානු මහද්වීපයේ විශාලත ම රටවල් 7 අතරට ඇතුළත් ව තිබෙන මොංගෝලියාව ලොව අඩු ම ජන ඝනත්වයක් සහිත රටවලින් එකක්. මෙම රාජ්‍යයේ ජන ඝනත්වය එතරම් අඩුවීමට හේතු වන්නේ එහි දක්නට ලැබෙන අමුතු ම ආකාරයේ භූවිෂමතා ලක්ෂණ යි. මොංගෝලියාව ආශ්‍රිතව පිහිටා තිබෙන කඳුකර උස්බිම් ප්‍රදේශ  සහ කාන්තාර ප්‍රදේශ ඉතාමත් සුන්දර යි.

එම ප්‍රදේශවල සුන්දරත්වය විඳ ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් නිතර ම පැමිණෙනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මොංගෝලියාවට පැමිණෙන සංචාරකයන් අනිවාර්යෙන් ම නරඹන ඉතාමත් සුන්දර සංචාරක ඉසව් 5ක් පිළිබඳව යි.

ජෙංගිස් ඛාන් ප්‍රතිමාව – kazakhtour.com

1). ජෙංගිස් ඛාන් ප්‍රතිමා සංකීර්ණය 

ජෙංගිස් ඛාන් නම් අධිරාජ්‍යයා ක්‍රිස්තු වර්ෂ 1206-1227 සමයේ දී මොංගෝලියාව පාලනය කළා. ඔහුගේ මුල් නම ටෙමුජින් වුණත් පසු කලෙක ඔහුට ජෙංගිස් ඛාන් යන නම පටබැඳුණා. ඉතාමත් දක්ෂ රණකාමියකු ලෙසින්  ප්‍රසිද්ධියට පත් ව සිටි ජෙංගිස් ඛාන් අවට රටවල් ආක්‍රමණය කර මොංගෝලියානු අධිරාජ්‍යය තවත් ශක්තිමත් කළා. එනිසා ඔහුගේ නම එරට ඉතිහාසයේ රන් අකුරින් ලියැ වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෙංගිස් ඛාන්ට ගෞරවයක් දැක්වීම සඳහා ඔහු අසුපිට නැගී සිටින යෝධ ප්‍රතිමාවක් 2008 වසරේ දී නිර්මාණය කළා. මොංගෝලියාවේ අගනුවර වන ඌලාන්බටෝර් නුවරට කිලෝ මීටර් 54ක් දුරින් පිහිටා තිබෙන මෙම ප්‍රතිමාව සහිත ප්‍රතිමා සංකීර්ණය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක් බවට පත් ව තිබෙනවා.

ජෙංගිස් ඛාන්ගේ සොල්දාදුවන්ගේ ප්‍රතිමා  – discovermongolia.mn

මල නොබැඳෙන වානේ ටොන් 250ක් පමණ යොදා ගනිමින් ඉදිකර ඇති මෙම ප්‍රතිමාව මීටර් 40ක උසකින් යුක්ත යි. මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 4ක පමණ මුදලක් වැය වුණු බව වාර්තාවල සඳහන් වෙනවා. මෙම සුවිශේෂී ප්‍රතිමාවට පහළින් තිබෙන භූමියේ අසුන් පිට නැගී සිටින ජෙංගිස් ඛාන්ගේ සොල්දාදුවන් කිහිපයකගේ ප්‍රතිමා නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්. 

ප්‍රතිමා සංකීර්ණයේ පහළ ම මහලේ  කෞතුකාගාරයක් ද, දෙවන මහලේ අවන්හලක් ද පිහිටා තිබෙනවා. මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට තවත් අපූරු අවස්ථාවක් හිමිවෙනවා. ඒ, රන් රාජාලියා සහ ගිජුලිහිණියා යන පක්ෂීන් දෙදෙනා ගෙන් එක් පක්ෂියකු අතේ තබාගෙන ඡායාරූපයක් ගැනීමට ලැබෙන අවස්ථාව යි. එය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබෙනවා.

ගිජුලිහිණියෙකු අතින් ගෙන ඡායාරූපයකට පෙනී සිටින සංචාරකයෙක් – atlasobscura.com

 

2). හුස්ටායි ජාතික වනෝද්‍යානය

ඌලාන්බටෝර් අගනුවරට කිලෝ මීටර් 100ක් දුරින් පිහිටා තිබෙන හුස්ටායි ජාතික වනෝද්‍යානය මොංගෝලියාවේ තිබෙන තවත් සුන්දර සංචාරක ඉසව්වක්. 1992 දී පිහිටුවූ මෙම වනෝද්‍යානය හෙක්ටයාර 50,620ක් පුරා විහිදී පවතිනවා. මොංගෝලියාවට අයත් විශාලත ම වනෝද්‍යානය ලෙසින් සැලකෙන මෙහි දුර්ලභ ටකී වල් අශ්වයන් ජීවත් වෙනවා.

උන් දැනට ලෝකයේ ජීවත් වෙන එකම වල් අශ්ව විශේෂය ලෙසින් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පක්ෂි විශේෂ 217ක්, ක්ෂීරපායි විශේෂ 44ක් සහ මත්ස්‍ය විශේෂ 16ක් ද හුස්ටායි ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ව ජීවත් වෙනවා.

ටකී වල් අශ්වයන් – discovermongolia.mn

 

ඈත අතීතයේ දී ඇතැම් ජන කොටස් මෙම වනෝද්‍යානය පිහිටි ප්‍රදේශයේ ජීවත් වුණා. එනිසා පැරණි නටබුන් රැසක් මෙහි දක්නට ලැබෙනවා. ඒ අතරට සිද්ධස්ථානවල නටබුන්, ඍජුකෝණාස්‍රාකාර සොහොන් ගෙවල් සහ ස්මාරක වැනි දේවල් අයත්. සාමාන්‍යයෙන් මෙම වනෝද්‍යානයට සංචාරකයින් වැඩිපුර පැමිණෙන්නේ මැයි-සැප්තැම්බර් අතර කාල සමයේ දීයි.

එලෙස පැමිණෙන සංචාරකයන්ට අශ්වයන් පැදීම, පක්ෂීන් නැරඹීම, කඳු තරණය, සෆාරි චාරිකා ආදී ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව ලැබෙනවා. එනිසා මෙම වනෝද්‍යානයට පැමිණෙන බොහෝ සංචාරකයන් රාත්‍රියක් නැවතී මෙහි අසිරිය විඳගැනීමට අමතක කරන්නේ නැහැ. 

වනෝද්‍යානයේ සිටින සතුන් – touriosity.travel

 

3). ඕර්කොන් නිම්නය 

මොංගෝලියාවේ තිබෙන ඓතිහාසික ස්ථාන අතුරින් ඕර්කොන් නිම්නයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ මීට වසර 60000කට පමණ පෙර සිට මෙම නිම්නයේ ජනාවාස පැවති බවට සාක්ෂ්‍ය ලැබී තිබෙන නිසා යි. ඌලාන්බටෝර් අගනුවරට කිලෝ මීටර් 360ක් නිරිතදිගින් පිහිටා තිබෙන එම බිම් ප්‍රදේශය හෙක්ටයාර 121,967ක් පුරා විසිරී පවතිනවා.

මෙම නිම්නය අසලින් ගලා බසින ඕර්කොන් ගංගාවෙන් ඒ අසල බිම් ප්‍රදේශ පෝෂණය වෙනවා. 6 වන සියවසේ සිට මෙම නිම්නය ආශ්‍රිත ව විවිධ රාජධානි පැවතුණා. ඒ අතුරින් 13 වන සියවසේ මෙහි පැවතුණු ජෙංගිස් ඛාන්ගේ රාජධානිය විශේෂ යි. එහි අගනුවර වුණු කරකෝරම් නගරයේ නටබුන් අදටත් මෙහි දක්නට ලැබෙනවා.

ඕර්කොන් නිම්නය – discovermongolia.mn

 

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස පැවති මෙම නිම්නයේ විවිධ යුගවල දී හුන්වරුන්, උයිගර්වරුන්, කිඩාන්වරුන්, තුර්කිවරුන් සහ මොංගල්වරුවන් වැනි ජනවර්ග ජීවත් වුණා. මොංගෝලියාව බෞද්ධ රටක්. අදටත් එහි බෞද්ධයන් 51%ක් පමණ ජීවත් වෙනවා. ඈත අතීතයේ දීත් එරට බුද්ධාගම ප්‍රචලිතව පැවති නිසා ඕර්කොන් නිම්නය ආශ්‍රිත ව අදටත් බෞද්ධ ආරාම රැසක් දක්නට ලැබෙනවා.

Erdene Zuu, Tuvkhun Hermitage සහ Shank Western ඒ අතුරින් කිහිපයක්. ඕර්කොන් නිම්නයේ තිබෙන ඓතිහාසික වටිනාකම පිළිබඳ සැලකූ යුනෙස්කෝ සංවිධානය 2004 වසරේ දී එය ලෝක උරුමයක් ලෙසින් නම් කළා. ඒ අනාගත  පරපුර වෙනුවෙන් මෙම නිම්නයේ තිබෙන පෞරාණික නටබුන් රැකගැනීමේ අරමුණ ඇතිව යි.

ඕර්කොන් නිම්නයේ තිබෙන පැරණි බෞද්ධ විහාරයක් – wikimedia.org

 

4). ගෝබි කාන්තාරය 

අමුතු ම ආකාරයේ භූවිෂමතා ලක්ෂණවලින් සමන්විත රටක් වන මොංගෝලියාව ආශ්‍රිත ව විශාල කාන්තාරයක් පිහිටා තිබෙනවා. ගෝබි නමින් හැඳින්වෙන එම කාන්තාරය වර්ග කිලෝ මීටර් 1,295,000ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතිනවා. එක් එක් ඍතුවේ දී විශාල උෂ්ණත්ව වෙනසක් සිදුවන මෙම කාන්තාරයේ ශීත ඍතුවේ දී උෂ්ණත්වය සෙල්සියස් ඍණ 40 දක්වා පහතට වැටුණු අවස්ථාවන් වාර්තා වී තිබෙනවා.

 ගිම්හාන ඍතුවේ දී එහි උෂ්ණත්වය සෙල්සියස් 60 දක්වා ඉහළ නගිනවා. එලෙස විවිධ කාලවල දී සිදුවන උෂ්ණත්ව අඩු වැඩිවීම්වලට ඔරොත්තු දෙමින් මෙම කාන්තාරයේ ජීවත් වන සතුන් වර්ග රැසක් සිටිනවා. අල්ටායි ඉබෙක්ස්, හිම දිවියා සහ අර්ගාලි බැටළුවා ඉන් කිහිපදෙනෙක්. 

ගෝබි කාන්තාරයේ දසුනක් – desertsun.com

 

ගෝබි කාන්තාරය නැරඹීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ මැයි-ඔක්තෝබර් අතර කාලය යි. මෙම කාන්තාරය නැරඹීමට පැමිණෙන සංචාරකයන් අවම වශයෙන් දින 2ක් වත් මෙම කාන්තාරය ආශ්‍රිත ව සාමාන්‍යයෙන් සංචාරයේ යෙදෙනවා. එම සංචාරය අතරතුර යෙදීමට තිබෙන ක්‍රියාකාරකම් අතුරින් බොහෝ දෙනකු ප්‍රිය කරන්නේ ඔටුවන් පිට යාමට යි.

ඔටුවන් පිටේ නැග ඡායාරූප ගැනීමට කැමැත්තක් දක්වන පිරිසක් ද සිටිනවා. සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබී තිබෙන ගෝබි කාන්තාරය 1923 වසරේ දී ලෝක ප්‍රසිද්ධියට පත්වුණා. ඒ රෝයි චැප්මන් ප්‍රමුඛ අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් මුල් ම වරට ඩයිනසෝරයකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් මෙම ස්ථානයෙන් සොයා ගත් නිසා යි. ඩයිනසෝර් ඇටසැකිල්ල හමු වුණු ස්ථානය බයන්සැග් යනුවෙන් හඳුන්වන බවත් මෙහි දී කිව යුතුයි. 

ගෝබි කාන්තාරයේ ඔටු සවාරි – flickr.com

 

5). කුව්ස්ගුල් විල 

මොංගෝලියාවේ උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන කුව්ස්ගුල් විල සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ඉසව්වක්. වසර මිලියන 2කට වඩා පැරණි යැයි සැලකෙන මෙම අපූරු විල ලෝකයේ දැනට ඉතිරි ව තිබෙන පැරණි ම විල්වලින් එකක්. සයාන් කඳු පාමුල පිහිටි කුව්ස්ගුල් විල මුහුදු මට්ටමේ සිට මීටර් 1645ක් තරම් උසකින් පිහිටා තිබෙනවා.

උපරිම දිග කිලෝ මීටර් 136, උපරිම පළල කිලෝ මීටර් 36.5ක් සහ උපරිම ගැඹුර මීටර් 267ක් වන මෙය ආසියාවේ විශාලත ම මිරිදිය විල් කිහිපය අතරට අයත්. මෙම සුන්දර විල වටා වනාන්තර පද්ධතියක් පිහිටා තිබෙනවා. එහි කස්තුරි මුවන්, අල්ටායි ඉබෙක්ස්, සේබල්, අර්ගාලි බැටළුවන්, රතු මුවන්, දුඹුරු වලසුන්, වෘකයන්, සයිබීරියානු මූස් වැනි සත්ත්ව විශේෂ රැසක් ජීවත් වෙනවා. 

කුව්ස්ගුල් විලේ සුන්දරත්වය – discovermongolia.mn

 

මෙම විල නැරඹීම සඳහා වඩාත් සුදුසු ජූනි සිට අගෝස්තු දක්වා කාලය යි. ශීත කාලයටත් මෙම විල නැරඹීම සඳහා සංචාරකයන් බහුල ව පැමිණෙනවා. ඒ, විලේ ජලය අයිස් බවට පත්වීමෙන් පසුව එම අයිස් තට්ටුව මත පවත්වන අයිස් සැණකෙළිය සඳහා සහභාගි වීමට යි. එම කාලයට පැවැත්වෙන අයිස් සැණකෙළිය බොහෝ දෙනකු ප්‍රිය කරන අංගයක් බවට පත්ව තිබෙනවා.

අනිකුත් කාලවල දී මෙහි පැමිණෙන උදවියට සතුන් නැරඹීම, කඳු නැගීම, බෝට්ටු පැදීම, අශ්වයන් පැදීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වෙන්නට පුළුවන්. එනිසා කුව්ස්ගුල් විල නැරඹීමට පැමිණෙන සංචාරකයන් දින 2-3ක් මෙහි නැවතී සිටිමින් හොඳින් විනෝද වන ආකාරය දැකගන්නට පුළුවන්.

කුව්ස්ගුල් විලේ අයිස් උත්සවය – townandtourist.com

 

 

 

 

කවරයේ ඡායාරූපය- ජෙංගිස් ඛාන්ගේ යෝධ ප්‍රතිමාව - atlasobscura.com 

මූලාශ්‍ර:

thecrazytourist.com

wildfrontierstravel.com

whc.unesco.org/en

Related Articles