Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීලයේ සුන්දර ස්ථාන 5ක් පිළිබඳ සිත් ගත් තොරතුරු

දකුණු අමෙරිකා මහද්වීපයට අයත් රාජ්‍යයක් වන බ්‍රසීලය වර්ග කිලෝමීටර් 8,358,140ක විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා.  දකුණු අමෙරිකා මහද්වීපය තුළ පිහිටි විශාලත ම මෙන් ම ප්‍රධානත ම රාජ්‍යය ලෙසින් සැලකෙන මෙය  ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ සුප්‍රසිද්ධ ඇමසන් ද්‍රෝණියෙන් වැඩි කොටසක් එරටට අයත් වන නිසා යි.  

මීට වසර දහස් ගණනකට පෙර සිට බ්‍රසීලය ආශ්‍රිත ව විවිධ ජන වර්ග ජීවත් වුණා. 16 වන සියවසේ දී පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වුණු බ්‍රසීලය  සියවස් තුනකට වැඩි කාලයක් ඔවුන්ගේ පාලනය යටතේ පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රසීලය ආශ්‍රිත ව පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන රැසක් ද දක්නට ලැබෙනවා.

 බ්‍රසීලය තුළ පිහිටා තිබෙන ස්වභාවික සහ පෞරාණික සංචාරක ඉසව් දැක බලා ගැනීම සඳහා සෑම වසරක ම විශාල  සංචාරකයන් ප්‍රමාණයක් එහි පැමිණෙනවා. එම සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන අපූරු ස්ථාන 5ක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

රියෝ නගරයේ ක්‍රිස්තුස් ප්‍රතිමාව – firstpost.com

1). රියෝ නගරයේ ක්‍රිස්තුස් ප්‍රතිමාව 

බ්‍රසීලයේ රියෝ නගරයේ ටිහුකා ජාතික උද්‍යානයේ කඳු ගැටයක් මත අඩි 125ක උසකින් යුක්ත සුවිසල් ක්‍රිස්තුස් ප්‍රතිමාවක් ඉදි කර තිබෙනවා. 1922 වසරේ දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා. එම කාර්යය සඳහා ප්‍රංශ මූර්ති ශිල්පි පෝල් ලැන්ඩොව්ස්කි, බ්‍රසීල ඉංජිනේරු හයිතර් කොස්තා, ප්‍රංශ ඉංජිනේරු ඇල්බට් කැකට්, රුමේනියානු මූර්ති ශිල්පී ගියෝර්ගේ ලියොනිඩා යන පිරිස සම්බන්ධ වුණා.  ජේසුස්වහන්සේ සියලු දෙනාට ආදරය කරන්නේ ය යන්න පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය වුණු මෙම ප්‍රතිමාවේ වැඩ වසර 9ක් ඇතුළත අවසන් වුණා.

ස්වීඩනයෙන් ගෙන්වූ මේදෝපාෂාණ හා කොන්ක්‍රීට් එකතුවෙන් සෑදූ මෙම සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635ක් වෙනවා. සියවසක කාලයක් රියෝ නගරය සුන්දර කළ  ක්‍රිස්තුස් ප්‍රතිමාව, බ්‍රසීලයේ ජාතික සංකේතයක් බවට පත්ව තිබෙනවා. මෙම නිර්මාණය නූතන යුගයේ බිහිවුණු අරුම පුදුම නිර්මාණයක්. එනිසා 2007 ජූලි 7 වැනි දින නම් කළ නූතන පුදුම හත අතරට රියෝ නගරයේ ක්‍රිස්තුස් ප්‍රතිමාව ද ඇතුළත් වුණා. 

ක්‍රිස්තුස් ප්‍රතිමාව ඉහළ අහසට දිස්වන ආකාරය  – airpano.com

 

2). ඉගුආසු දිය ඇල්ල 

ඉගුආසු ගංගාවෙන් නිර්මාණය වන මෙම අපූරු දිය ඇල්ල බ්‍රසීල-ආජන්ටිනා දේශ සීමාවේ පිහිටා තිබෙනවා. කුඩා දිය ඇලි 275කින් නිර්මාණය වී ඇති මෙම දිය ඇල්ල මීටර් 2700ක පළලකින් යුක්ත යි. එයින් මීටර් 1900ක කොටසක් අයිති වන්නේ බ්‍රසීලයට යි. ඉගුආසු හි ඇති උසම දිය ඇල්ල මීටර් 82ක උසකින් යුක්ත වෙද්දී මීටර් 60 ඉක්මවා ගිය දිය ඇලි කිහිපයක් මෙහි දී දැකගන්නට පුළුවන්. මීටර් 150ක් පමණ පළල යක්ෂයාගේ උගුර නම් දිය ඇල්ල ඉගුආසු හි  ප්‍රධානත ම දිය ඇල්ල යි. එය ඉංග්‍රීසි U අකුරේ හැඩය ගැනීම විශේෂත්වයක්. 

 ඉගුආසු දිය ඇල්ලේ සුන්දරත්වය – hurtigruten.com

 

ඉගුආසු ඇල්ල පිහිටි ඇති ප්‍රදේශයේ තිබෙන වටිනාකම තේරුම් ගත් ආජන්ටිනා රජය 1934 දී ඒ ආශ්‍රිත ව ජාතික වනෝද්‍යානයයක් පිහිටුවීමට පියවර ගත්තා. එය අනුගමනය කළ බ්‍රසීලය 1939 ජනවාරි 10 වැනි දින වර්ග කිලෝමීටර් 1700ක භූමි ප්‍රදේශයක් එකතු කර ජාතික වනෝද්‍යානයක් ස්ථාපිත කළා. එම ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ටුකන්, හාපි රාජාලියා, කහ ඇනකොන්ඩා, දකුණු අමෙරිකානු ටැපිර්, ජගුවාර්, යෝධ ඇන්ටේටර් වැනි සත්ත්ව විශේෂ ජීවත් වෙනවා.

 බ්‍රොමෙලියා, ඕකීඩ්, පාම්, පෙරෝබා රෝසා, උණ, ලියානා වැනි ශාක විශේෂ එහි දී දැකගන්නට පුළුවන්. මෙම ජාතික වනෝද්‍යානයේ තිබෙන වැදගත්කම පිළිබඳ සලකා බැලූ යුනෙස්කෝ සංවිධානය 1986 දී එය යුනෙස්කෝ ස්වභාවික ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. 

ඉගුආසු ඇල්ල නරඹන සංචාරකයන් – traveller.com.au

3). ඇමසන් වනාන්තරය 

ලොව විශාලත ම වැසි වනාන්තරය ලෙසින් සැලකෙන ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 6.7ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එයින්  60%ක ප්‍රමාණයක් බ්‍රසීලයට අයත් වෙනවා. මෙම සුවිසල් වනාන්තරය හරහා සුප්‍රසිද්ධ ඇමසන් ගංගාව ගලා බසිනවා. අතු ගංගා 1100කින් පෝෂණය වන මෙම ගංගාවේ දිග කිලෝමීටර් 6992ක්. ජෛව විවිධත්වයෙන් අනූන ස්ථානයක් වන මෙහි විවිධ වර්ගවලට අයත් ශාක විශේෂ 80000ක් තිබෙනවා.

ඉන් ශාක විශේෂ වර්ග 40000ක් ගෝලීය දේශගුණය පාලනය කිරීමට සහ ජල චක්‍රය ස්ථායි ව පවත්වාගෙන යාම සඳහා උපකාරී වන ශාක විශේෂ ලෙසින් සැලකෙනවා. එනිසා ඇමසන් වනාන්තරයට පෘථිවියේ පෙනහලු යුගළ යන අන්වර්ථ නාමය පටබැඳී තිබෙනවා. 

ඇමසන් වනාන්තරයේ ශාක – impakter.com

 

ඇමසන් වනාන්තරය තුළ සත්ත්ව විශේෂ රැසක් ජීවත් වෙනවා. ඒ අනුව ක්ෂීරපායි විශේෂ 427ක්, කුරුළු විශේෂ 1800ක්, සර්ප විශේෂ 378ක්, උභය ජීවී විශේෂ 400ක්, මත්ස්‍ය විශේෂ 5600ක්, සමනළ විශේෂ 1400ක් මෙහි ජීවත් වන බවට වාර්තා වී තිබෙනවා. දැනට ලෝකයේ ජීවත් වන භයානක ම සත්ත්ව විශේෂ රැසක් ඇමසන් වනාන්තරයෙන් හමු ව තිබෙනවා.

ඒ අතරට හරිත ඇනකොන්ඩා, පිරන්හා මත්ස්‍යා, විදුලි ඊල් මත්ස්‍යා, විස ඩාට් ගෙම්බා, බුලට් කුහුඹුවා වැනි සතුන් වර්ග අයත්. ඇමසන් වනාන්තරය තුළ ඇවිදීම තරමක් අනතුරුදායක යි. එනිසා මෙය නැරඹීමට පැමිණෙන අය සඳහා වෙන් වුණු විශේෂ බෝට්ටු චාරිකා තිබෙනවා. එම බෝට්ටු චාරිකා හරහා ඇමසන් පරිසර පද්ධතියේ සුන්දරත්වය විඳගැනීමට අවස්ථාව ලැබෙනවා. 

විස ඩාට් ගෙම්බෙක් – sites.psu.edu

 

4). චපාඩා ඩයමන්ටිනා ජාතික වනෝද්‍යානය

මෙම ජාතික වනෝද්‍යානයට චපාඩා ඩයමන්ටිනා යන නම ලැබී ඇත්තේ එහි පවතින කඳු බෑවුම් සහිත අපූරු භූවිෂමතා ලක්ෂණ සහ කලකට පෙර මෙම ප්‍රදේශයෙන් විශාල ලෙස දියමන්ති හමු වුණු නිසා යි. 1985 සැප්තැම්බර් 17 වැනිදා මෙය ජාතික උද්‍යානයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා. හෙක්ටයාර 152,142 භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මෙම ජාතික උද්‍යානය ඇතුළත මීටර් 1000ක පමණ උසකින් යුත් සානුවක් දක්නට ලැබෙනවා.

ජල පෝෂක ප්‍රදේශයක් වන එය සාඕ ෆ්රැන්සිස්කෝ, ඩි කොන්ටාස්, සහ පැරගුවාසු යන ගංගා පෝෂණය කරනවා. මෙම වනෝද්‍යානය තුළ මීටර් 1500 ඉක්මවා ගිය කඳු මුදුන් කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. එමඟින් මෙහි සුන්දරත්වය තවත් වැඩි වී තිබෙනවා.

චපාඩා ඩයමන්ටිනා වනෝද්‍යානයේ කඳු මුදුන් – goodfon.com

 

චපාඩා ඩයමන්ටිනා වනෝද්‍යානයේ  පවතින අපූරු භූවිෂමතා ලක්ෂණ හේතුවෙන් දිය ඇලි රැසක් ඒ ආශ්‍රිත ව නිර්මාණය වී තිබෙනවා.  ඒ අතරට  පොකෝ ඩෝ ඩියබලෝ, ෆුමාකා, රියචින්හෝ, පැල්මිටල්, එන්කැන්ටාඩා, බ්‍රෙජෝස්, මැන්ඩසායා, රියෝ ෆ්රීටෝ, පරිෆිකාකාඕ යන දිය ඇලි අයත්. ඒවාගෙන් ෆුමාකා සහ පොකෝ ඩෝ ඩියබලෝ යන දිය ඇලි වඩාත් ප්‍රසිද්ධ යි.

මෙම වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට තවත් හේතුවක් වී තිබෙන්නේ මෙහි දක්නට ලැබෙන අපූරු ගුහා පද්ධතිය යි. ගංගාවන් මඟින් සාදන එම ගුහා පද්ධතිය වසර දහස් ගණනක් පැරණි යි. පොකෝ අසුල්, ලපා ඩොස්, ටොරින්හා, ප්‍රතින්හා මෙහි තිබෙන වඩාත් ප්‍රසිද්ධ ගුහා හතර යි. එම ගුහා නැරඹීම සඳහාසංචාරකයන්  නිතරම පැමිණෙනවා. ඒ එවැනි සුන්දර දසුන් දැක බලා ගැනීමට හැකි ස්ථානයක් බ්‍රසීලයේ නොමැති නිසා යි. 

පොකෝ අසුල් ගුහාව ඇතුළත සුන්දර දසුනක් -youramazingplaces.com

 

5). පැන්ටනල් තෙත්බිම් 

සුප්‍රසිද්ධ පැන්ටනල් තෙත්බිම අක්කර මිලියන 42ක් තරම් විශාල ප්‍රදේශයක් ආවරණය කරනවා. එය ලෝකයේ ප්‍රධානත ම තෙත්බිම් ප්‍රදේශයක් ලෙසින් සැලකෙනවා. මෙම තෙත්බිම වඩාත් ම ප්‍රසිද්ධියට පත් ව තිබෙන්නේ මෙහි ජීවත් වන විවිධ සත්ත්ව විශේෂ නිසා යි. කුරුළු විශේෂ 658ක්, සමනල් විශේෂ 1132ක්, මත්ස්‍ය විශේෂ 270ක්, ක්ෂීරපායි විශේෂ 190ක්, උරග විශේෂ 50ක් මෙහි ජීවත් වන බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම තෙත්බිම් කලාපය සතුන්ගේ රජදහනක් බවට පත් ව තිබෙනවා. මෙහි ගණ වැසි වනාන්තර ආවරණය සාපේක්ෂව අඩු වුණත් ජගුවරයන් වැඩි වශයෙන් ජීවත් වීම විශේෂ ලක්ෂණයක්.

පැන්ටනල් තෙත්බිමේ ජීවත් වන ජගුවරයන් – gonomad.com

 

බොලිවියාව සහ පැරගුවේ දක්වා විහිදෙන මෙය ලොව තිබෙන විශාලත ම මිරිදිය තෙත්බිම් පරිසර පද්ධතියක්. යුනෙස්කෝ සංවිධානය 2000 වසරේ දී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා. මෙම අපූරු ස්වභාවික උරුමය නැරඹීම පැමිණෙන සංචාරකයන්ට    සෆාරි චාරිකා, කුරුල්ලන් නැරඹීම සඳහා විශේෂ චාරිකා, බෝට්ටු සවාරි, වගුරුබිම් හරහා අශ්වයන් පැදීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවෙමින් හොඳින් විනෝදවන්නට පුළුවන්.

පැන්ටනල් තෙත්බිම් බ්‍රසීලයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම යන ස්ථානයක් බවට එනිසා පත් ව තිබෙනවා.

පැන්ටනල් තෙත්බිම් ආශ්‍රිතව විනෝද වන සංචාරකයන් – brazilian.report

 

Related Articles