Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයිස්ලන්තයේ මනස්කාන්ත සංචාරක ගමනාන්ත 5ක්

උතුරු යුරෝපයට අයත් අයිස්ලන්තය අධික ශීතල දේශගුණයකින් යුක්ත රටක්. වර්ග කිලෝ මීටර් 103,000ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින මෙම රාජ්‍යයේ ජීවත්වන්නේ ආසන්න වශයෙන් 369,000ක් වැනි සුළු ජනගහනයක්. එනිසා අයිස්ලන්තය ලෝකයේ ජන ඝනත්වය අඩු ම රාජ්‍ය කිහිපය අතර රැඳී සිටිනවා. අයිස්ලන්තයේ ජනගහනය විශාල වශයෙන් අඩුවීමට හේතු වී තිබෙන්නේ එහි පවතින ස්වභාවික භූ ලක්ෂණ යි.

ඒ ගිනිකඳු, වැලිකඳු, උණුදිය උල්පත්, ලාවා තැන්පත් වුණු ප්‍රදේශ, ග්ලැසියර ආදිය යි. අයිස්ලන්තයට සොබාදහමෙන් ලැබී තිබෙන දායාද නැරඹීමට ලොව පුරා සිටින සංචාරකයන් එහි පැමිණෙනවා. එරට තිබෙන සමහර ස්ථාන සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ අයිස්ලන්තයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන මනස්කාන්ත සංචාරක ඉසව් 5ක් පිළිබඳව යි. 

වට්නයෝකුල් ග්ලැසියරය – gettyimages.com

1). වට්නයෝකුල් ග්ලැසියරය 

වසර 2500ක් පැරණි වට්නයෝකුල් අයිස්ලන්තයේ පමණක් නොව යුරෝපයේ ද විශාලත ම ග්ලැසියරය වශයෙන් සැලකෙනවා. වර්ග කිලෝ මීටර් 8100ක භූමිභාගයක් පුරා පැතිර තිබෙන මෙම විශාල ග්ලැසියරය අයිස්ලන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් 8%කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරනවා. මෙම ග්ලැසියරයේ අයිස්වල සාමාන්‍ය ඝනකම මීටර් 400ක් පමණ වන අතර, එහි උපරිම ඝනකම මීටර් 1000ක් ලෙසින් සටහන් වනවා. වට්නයෝකුල් ග්ලැසියරය තුළ තවත් කුඩා ග්ලැසියර් 30ක් පමණ දක්නට ලැබෙනවා. ඉන් විශාලත ම ග්ලැසියරය වන්නේ  බ්‍රීඩමර්කුර්ජොකුල් නම් ග්ලැසියරය යි. අයිස්ලන්තයේ උසම කඳු මුදුන ලෙස සැලකෙන හවානාඩල්ෂ්නකූර් ද පිහිටා තිබෙන්නේ වට්නයෝකුල් ග්ලැසියරය තුළ යි.

1934 වසරේ දී වට්නයෝකුල් ග්ලැසියරයේ විල් කලාපය පුපුරා ගියා. එනිසා මෙම ග්ලැසියරය ආශ්‍රිත ව පර්යේෂණ කටයුතු සිදුවුණා. 1996, 1998, 2004, සහ 2011 යන වසරවල දී විල් කලාපය ආශ්‍රිත ව තවත් පිපිරීම් සිදුවුණා. 1950 වසරේ දී අයිස්ලන්ත ග්ලැසියර් විද්‍යා සංගමය ආරම්භවීමෙන් පසුව සෑම වසරකම වාගේ මෙම ග්ලැසියරය ආශ්‍රිත ව පර්යේෂණ සිදු කළා. එමඟින් ග්ලැසියරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිවුණා.

හවානාඩල්ෂ්නකූර් කඳු මුදුන – mountainguides-staging.herokuapp.com

 

වට්නයෝකුල් ග්ලැසියරයට යටින් ක්‍රියාකාරී මට්ටමේ ගිනිකඳු හතක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ග්‍රම්ස්වොට්න්, බාර්ඩාර්බුන්ගා, ක්වර්ක්ෆ්ජෝල් යන ගිනිකඳු ප්‍රධාන තැනක් ගන්නවා. මෙම ගිනිකඳු වරින් වර පුපුරා යාම හේතුවෙන් ග්ලැසියර දිය වී ගංවතුර තත්ත්වයක් ඇතිවනවා. 1362 වසරේ දී වට්නයෝකුල් ග්ලැසියරය ආශ්‍රිත ව සිදුවුණු එවැනි පුපුරායාමක් නිසා විශාල ගංවතුරක් නිර්මාණය වුණා. එසේම 1727 වසරේ දීත් එවැනි විශාල ගංවතුර තත්ත්වයක් නිර්මාණය වුණා. එම අවස්ථවල දී විශාල දේපල හානියක් සිදුවුණා.

2). කර්ක්යුෆෙල් දිය ඇල්ල 

මීටර් 463ක උසකින් පිහිටා තිබෙන කර්ක්යුෆෙල් කන්ද, පල්ලි කන්ද යන නමින් ද හඳුන්වනවා. එය  අයිස්ලන්තයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම ගමන් කරන ස්ථානයක්. ඒ ශීත කාලයට උතුරු එළි බැලීමට එය කදිම ස්ථානයක් නිසා යි. ශීත කාලයට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන එම අපූරු සංචාරක ඉසව්ව අනිකුත් කාලවල දීත් සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. ඒ කර්ක්යුෆෙල් කන්ද ආශ්‍රිත බිම් ප්‍රදේශයේ සුන්දරත්වය දැක බලා ගැනීම සඳහා යි. එම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි වඩාත් සුන්දර ස්ථාන අතරට කර්ක්යුෆෙල් දිය ඇල්ලත් අයත් වෙනවා.

 කර්ක්යුෆෙල් දිය ඇල්ල – gettyimages.com

 

කර්ක්යුෆෙල් ගංගාවෙන් නිර්මාණය වී තිබෙන මෙම දිය ඇල්ල කොටස් තුනකින් යුක්තයි. ඇල්ල නැරඹීමට යන සංචාරකයන්ට වාහනයකින් ඒ අසලට ම ගමන් කරන්නට පුළුවන්. ඉන් පසුව අඩි පාරක් ඔස්සේ ගමන් කිරීමෙන් පසුව ඇල්ල පාමුලට යන්නට පුළුවන්. මෙම දිය ඇල්ල නැරඹීම සඳහා යාමට වඩාත් සුදුසු වන්නේ ගිම්හාන කාලය යි.

එම කාලයට අවට පරිසරයේ උණුසුම වැඩි වන නිසා එහි යන සංචාරකයන්ට ඇල්ල පාමුල තිබෙන සිසිල් ජල තටාකයෙන් ස්නානය කිරීමටත් අවස්ථාව ලැබෙනවා. එය කර්ක්යුෆෙල් ඇල්ල නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයන්ට විඳගන්නට ලැබෙන අපූරු අත්දැකීමක්.

කර්ක්යුෆෙල් දිය ඇල්ල ශිත කාලයේ දී – gettyimages.com

 

3). දියමන්ති වෙරළ

අයිස්ලන්තයේ ගිනිකොන දිග මුහුදු තීරයේ පිහිටා තිබෙන හොෆ් සහ හොෆ්න් නම් ප්‍රදේශ අතර බ්‍රීඩමර්කුර්සන්දූර් නම් වෙරළ පිහිටා තිබෙනවා. ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම වෙරළ තීරයේ වැලිවලට කළු පැහැයක් ලැබී තිබෙනවා. බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළ තීරය ආසන්නයේ යෝකුල්සර්ලන් ග්ලැසියර් කළපුව පිහිටා තිබෙනවා. එම කළපුවට පෝෂණය ලබා දෙන  බ්‍රීඩමර්කුර්ජොකුල් ග්ලැසියරයෙන් කැඩී යන, ප්‍රමාණයෙන් විශාල අයිස් කැබලි බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළට ගසාගෙන එනවා. 

පාවී එන අයිස් කැබලි – gettyimages.com

 

එලෙස ගසාගෙන එන විශාල අයිස් කැබලි සුන්දර බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළේ කළු වැල්ල මත එකතු වනවා. සාමාන්‍යයෙන් අයිස්ලන්තය තුළ ශීත දේශගුණයක් පවතින නිසා අයිස් කැබලි ලෙහෙසියෙන් දියවන්නේ නැහැ.

එම නිසා බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළට එකතු වුණු අයිස් කැබලි එලෙසම පවතිනවා. කළු පැහැති වැලි වෙරළට එකතු වී තිබෙන අයිස් කැට දියමන්ති මෙන් දිස්වන නිසා මෙම වෙරළ “දියමන්ති වෙරළ” ලෙසින් හඳුන්වනවා.

දියමන්ති වෙරළ – gettyimages.com

 

දියමන්ති වෙරළ වසරේ ඕනෑම ඍතුවක දී නරඹන්නට පුළුවන්. අයිස්ලන්තයට ශීත ඍතුව උදාවුණු විට දිවා කාලයේ දී ලැබෙන ආලෝකය අඩු යි. එසේම පරිසරය දැඩි ශීතල ගතියකින් යුක්ත යි. එම නිසා ශීත ඍතුවේ දී දියමන්ති වෙරළ නැරඹීමට යන සංචාරකයන්ට අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනවා. අයිස්ලන්තයට ගිම්හාන ඍතුව එළඹුණු විට දීර්ඝ දිවා කාලයක් පවතිනවා. එවිට පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 8-14 අතර අගයක් ගන්නවා.

වෙරළේ විනෝද වන සංචාරකයන් – gettyimages.com

 

එනිසා  ගිම්හානයේ දී මෙහි පැමිණෙන සංචාරකයන්ට වෙරළ ආශ්‍රිත ව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් දවස ප්‍රීතියෙන් ගතකරන්නට පුළුවන්. දියමන්ති වෙරළට උදෑසන සහ සවස් යාමයේ පැමිණෙන සංචාරකයන්ට හිරු පායන සහ බසින අවස්ථා නරඹන්නටත් පුළුවන්. එය ඉතාමත් සුන්දර දර්ශනයක් නිසා සංචාරකයන් උදෑසන සහ සවස් යාමයේ දී දියමන්ති වෙරළට එකතු වී සිටින ආකාරය සුලබ දසුනක්.

හිරු බැස යන අවස්ථාවක් – fineartamerica.com

 

4). රවුෆර්හෝල්ෂෙලිර් ලාවා උමඟ 

අයිස්ලන්තය ආශ්‍රිත ව ගිනි කඳු දක්නට ලැබෙනවා. කලින් කලට එම ගිනි කඳු විදාරණය වීම නිසා සැලකිය යුතු තරම් හානි සිදු වී තිබෙනවා. මීට වසර 5000කට පමණ පෙර අයිස්ලන්තයේ බ්ලැෆ්යෝල් කඳුවැටියේ ගිනි කඳු පිපිරීමක් සිදුවුණා. ඒ සමඟ ම විශාල ලෙස ලාවා ගලාගෙන ගිය බව පැරණි වාර්තාවල සඳහන් වෙනවා.

එලෙස ගලාගෙන ගිය ලාවා දැඩි වී ඝන වීම හේතුවෙන් රවුෆර්හෝල්ෂෙලිර් ප්‍රදේශයේ අපූරු ලාවා උමඟක් නිර්මාණය වී තිබෙනවා. එහි දී ලාවා මඟින් කබොල වහලක් නිර්මාණය වී තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. අඩි 4461ක පමණ දිගකින් යුත් මෙම උමඟ අයිස්ලන්තයේ තිබෙන දිග ම ලාවා උමංවලින් එකක්.  

රවුෆර්හෝල්ෂෙලිර් ලාවා උමඟ – gettyimages.com

 

නිරිතදිග අයිස්ලන්තයේ පිහිටා තිබෙන මෙම ලාවා උමඟ නැරඹීමට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ සංචාරයක් එහි ක්‍රියාත්මක වෙනවා. එහි දී සංචාරකයන් ආරක්ෂිත ව උමඟ තුළට කැඳවා ගෙන ගොස් එහි තිබෙන විවිධ ඉසව් කරා රැගෙන යාම සිදුවෙනවා. මෙම උමඟ නැරඹීමේ දී සංචාරකයන් විවිධ අනතුරුවලට ලක්වීමේ අවදානමක් තිබෙනවා.

එවැනි අනතුරු සිදුවුණොත් අවශ්‍ය ප්‍රථමාධාර මෙහි දී ලබාදෙනවා. සාමාන්‍යයෙන් වසරේ ඕනෑම කාලයක මෙම උමඟ නැරඹීමේ හැකියාව පවතිනවා. නමුත් ශීත කාලයේ දී එහි යන සංචාරකයන් හිම සහ අයිස් මත ගමන් කිරීමට හැකි බූට් සපත්තු පැළඳිය යුතු යි. එසේ නොවුණොත් අනතුරු සිදුවීමේ අවදානමක් පවතිනවා.

සංචාරකයන් උමඟ නරඹමින්-  www.roughguides.com/iceland/

 

5). යෝකුර්සර්ලන් කළපුව 

වට්නයෝකුල් තුළ පිහිටා තිබෙන විශාලත ම ග්ලැසියරය වන බ්‍රිඩමර්කුර්ජොකුල් මඟින් යෝකුල්සර්ලන් ග්ලැසියර් කළපුව පෝෂණය වනවා. මීටර් 284ක ගැඹුරකින් යුත් මෙම ග්ලැසියර් කළපුව අයිස්ලන්තයේ ගැඹුරු ම ජලාශය යි. සුන්දරත්වයෙන් අනූන ග්ලැසියර් කළපුවක් වන යෝකුල්සර්ලන්හි ජලය අනිකුත් කළපුවලට වඩා දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා.

මෙම කළපුව ආශ්‍රිත ව දක්නට ලැබෙන සුන්දරත්වය නිසා ම මෙහි චිත්‍රපට 4ක රූපගතකිරීම් සිදුවුණා. ඒ, A View to a Kill, Die Another Day, Lara Croft : Tomb Raider, Batman Begins යන හොලිවුඩ් චිත්‍රපට හතර යි. එසේ ම Amazing Race නම් රූපවාහිනි කතා මාලාවේ රූපගතකිරීම් ද මෙහි දී සිදුවුණා. 

යෝකුර්සර්ලන් කළපුව – gettyimages.com

 

මෙම ග්ලැසියර් කළපුව ආශ්‍රිත ව ග්ලැසියර් ගුහා පිහිටා තිබෙනවා. ශීත දේශගුණයට හුරු වී සිටින කුරුළු විශේෂත් මෙම කළපුව ආශ්‍රිත ව ජීවත් වෙනවා.  මෙම ග්ලැසියර් කළපුවෙහි තිබෙන සුන්දරත්වය නිසා ම සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. ඒ අයුරින් කළපුවට පැමිණෙන සංචාරකයන් මෙහි දී හොඳින් විනෝද වන ආකාරය සුලබ ව දැක ගන්නට ලැබෙන දසුනක්.

යෝකුර්සර්ලන් කළපුවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ චාරිකාවක් තිබෙනවා. එම චාරිකාවේ දී ග්ලැසියර ගංගාවල අපූරු දසුන්, දිය ඇලි ආදිය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. යෝකුර්සර්ලන් කළපුව, අයිස්ලන්තයේ තිබෙන තවත් එක් වැදගත් ස්ථානයක්. එනිසා 1991 දී නිකුත් කළ මුද්දරයක මුහුණටතත් යෝකුල්සර්ලන් කළපුව ඇතුළත් කර තිබුණු බවත් මෙහි දී කිව යුතුයි. 

කළපුව අවට විනෝද වන සංචාරකයන් – gettyimages.com

 

කවරයේ ඡායාරූපය- උතුරු එළි පෙනන රාත්‍රියක කර්ක්යුෆෙල් දිය ඇල්ල - gettyimages.com

මූලාශ්‍ර:

planetware.com

theculturetrip.com

globotreks.com

Related Articles