මේ උතුරු කලාපේ නාවල් පලම් කාලයයි!

වියළි කලාපයේ පාලෙප් පලම්හා හෙවත් පලු – වීර කාලය අවසන්‍ ය. දැන් මේ නාවල් පලම් කාලයයි.

බක් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් සමඟ ඇරඹෙන්නේ මල්වලට බිඟුන් වඩිමින් භවබෝගවලින් පල බරවන වසන්තය යි. වියළි කලාපයේ වන ලැහැබවල හරි අපූරුවට වැඩෙන වීර, පලු, මාදං, අඹවල රසවල ගුණ සුවඳට එහා ගිය හින්දු සංස්කෘතිය හා බැඳුණු රසවත් කතා මාලාවක් ද පවතී. 

උතුරු අර්ධද්වීපයට A 9 පාර දිගේ සුක්කානම මෙහෙවන්නකුට හෝ බස්‍ රථයක ගමන්කරන්නකුට වව්නියාව, කිලිනොච්චිය පසුකරන කල නෙත ගැටෙන සුලබ දසුනක් නම් මග දෙපස පොලිතින් උරවල බහා ඇති වීර, පලු හෝ නාවල් පලම් වෙළඳාම් කරන කොල්ලන් හා මහල්ලන්‍ ය. කුරුම්බාවලට සමාන නොන්ගු වල්ලක් තල් ගසකින් බාහත් අය ය.

දවසේ යැපීම වෙනුවෙන් සුළු මුදලක් උපයා ගැනීමට වෙර දරන මේ උදවිය අපට ලබාදෙන්නේ සුපිරි වෙළඳපොළකවත් සොයාගත නොහැකි විටමින්, ඛණිජ අඩංගු වසවිසෙන් තොර පෝෂණ මල්ලකි. මේවා දැන් නගරයේ හෝ වීදියක වෙළෙඳපොළකින් මිලදී ගැනීමට හුදෙක් අපහසු පලතුරු ය.

 පත්‍ර අතර පුංචි කහ පැහැයෙන් සැගවී සිටින විදුලි බුබුළු – facebook.com/palmyrahisland

පාලෙප් පලම් නොහොත් පලු ගස අතු පතර විහිදුණු තරමක් විශාල ගසකි. මුලතිව්,කිලිනොච්චි හා A32 මන්නාරම පාර අවට මහ ඝන කැලෑවකට රිංගන ඔබට සුමිහිරි පැණි රසක් හා කිරි රසක් ඇති පලු අහුරක් කඩා ගන්නට හැකි වනු ඇත.

හීනි තද කොළ පාට පත්‍ර අතර පුංචියට කහ පැහැයෙන් සැඟ වී සිටින විදුලි බුබුළක හැඩයෙන් යුත් පලු ගෙඩි නම් අපූරු ය. කහ පහැ මල් පොකුරු අතර ගුමු ගුමු හඬ නගා රොනට වඩිනා මී මැස්සන් නිසා මේ ගස් අවට පරිසරය නම් තරමක් නොසන්සුන් ය.

ගසේ වූ පල රසවිඳීමට ඇදෙන කුරුලු කොබෙයියන් මෙන්ම බිමට වැටෙන පලු ගෙඩි කෑමට ලඳු කැලෑ අස්සේ රිංගන වල් ඌරන්ගේ, වලසුන්ගේ දසුනුත් බොහෝ සුලබ ය. 

 A 32 පාරේ මායව වූ රතු පලස වීර – facebook.com/palmyrahisland

පලු වාරෙත් සමඟ ම දකින අනෙක් පලතුර නම් වීර ය. A 32 මන්නාරම පාර දෙපස වූ වීර ගස්වලින් වැටෙන වීර ගෙඩි නිසා කාපට් පාර පෙනෙන්නේ රතු පලසක් ඇතුරුවා සේ ය. වීර හෝ පලු මල්ලක් රුපියල් සීයයක් පමණ ය.

මේ නම් වීර ය. ශක්තිමත් කඳකින් යුත් වීර ගස වියළි කලාපයේ වනාන්තරවල සුලබ ය. මේවායේ වර්ෂයකට එක් වරක් පල හටගන්නා අතර එය පෙනුමින් ලොවි ගෙඩියක හැඩය ගනී. ප්‍රමාණය නම් ඊට වඩා තරමක් කුඩා ය. පැසීමට මත්තෙන් ඇඹුල් ගතියක් සහිත වීර, ඉදුණු කල පැණි රසක් ගනී.

පාර දෙපස වූ වීර ගස්වලින් වැටෙන වීර ගෙඩි

වෙළෙන්දන් වීර අතු පිටින් කඩා දමා, පසුව ගෙඩි කඩා ගන්නා බැවින් පාර දෙපස වේළුණු වීර අතු දැකගත හැක. යුහුසුළු කළු වඳුරන් අතු පතර ඒ මේ අත පනිමින් මේ පල බුදින්නේ මහත් වූ උද්ගෝයකින්‍ ය.

 බෝවිටියා දං පලුකන් වාරේ – facebook.com/palmyrahisland

අගෝස්තුවේ සිට ගස් පලවලින් බර කරවන මේ කාලේ ලඳු කැලෑවල කෙළි සෙල්ලම් කරන කොල්ලන්ගේ තොල කට දම්පාට කරවන අපූරු, වියළි කලාපයේ අනෙක් පලතුර නම් යාපනේ අර්ධද්වීපයේ උදවියට අනුව නාවල් පලම් ය. සිංහල උදවිය අනුව නම් “මාදන්” ය. ඒ කාලේ ගුවන්විදුලියේ හරි හරියට ප්‍රචාරය වුණු සුනිල් ශාන්තයන් පද රචනය කළ, ඔහු ම තනුව දමා, ඔහුම ගායනය කරන ‘බෝවිටියා දං පළුකං වාරේ’ ගීතය මේ කාටත් මතක් වෙනවාට නම් සැක නැත.

ක්‍රිෂ්ණ දෙවියන්ගේ සමේ වර්ණය

මාදං ගෙඩියේ වර්ණය ක්‍රිෂ්ණ දෙවියන්ගේ සමේ වර්ණයට සමාන බව සැලකෙන හෙයින් ඉන්දියාවේ සමහර ප්‍රදේශයන් හි එයට දිව්‍යමය වටිනාකමක් දී ඇති අතර ක්‍රිෂ්ණා දෙවියන් පිදීමට ද මෙම පලතුරු භාවිත කරයි.

විද්‍යාත්මකව Syzigium cumini ලෙස හදුන්වන එය විවිධ රටවල විවිධ නම්වලින් හදුන්වයි. ජම්බෝලන් යන්න එයට බහුල ව භාවිත වන තවත් නමකි.
දම් පාට පලතුරක් වන මාදං ගෙඩිය ප්‍රමාණයෙන් කුඩා ය. ගසේ පොකුරු වශෙයන් සෑදෙන ඉදුණු මාදං පොකුරක් මිදි පොකුරකට සමාන වෙයි.

ජමූන් පලතුරු ගස

ජනප්‍රවාදයට අනුව සංඝ සමයේ දිවිගෙවූ අව්වායියාර් නම් කිවිඳිය හා නාවල් පලම් නොහොත් ජමූන් පලතුරු ගස ගැන ගෙතුණු අපූරූ කතාවකි. තම සාහිත්‍ය දිවියේ සාක්ෂාත් කරගත යුතු සෑම දෙයක් ම සාක්‍ෂාත් කරගත් බව විශ්වාස කළ අව්වායියාර්, දිනක් මෙම නාවල් පලම් ගසක් යටට වී දෙමළ සාහිත්‍ය කටයුතුවලින් විශ්‍රාම ගැනීම ගැන කල්පනා කරමින් විවේක ගනිමින් සිටියේ ය.

මේ බව සැල වූ දෙමළ භාෂාවේ මුර දේවතාවකු ලෙස සැලකෙන මුරුගන් කුඩා දරුවකු ලෙස මෙම නාවල් ගස යටට පැමිණ ඇය විස්මයට පත් කරමින් අපූරු පැන කිහිපයක් විමසා තවදුරටත් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ඇයට අවබෝධ කර දුන්නේ ය. මෙම පිබිදීමෙන් පසුව, අව්වායාර් ළමයින් ඉලක්ක කර ගත් නැවුම් සාහිත්‍ය කෘති සමූහයක් රචනා කළ බවත් විශ්වාස කෙරේ.

 අර්ධද්වීපයේ කෙසෙල් හා ක්‍රිෂ්ණ දෙවියන් – images.app.goo.gl 

දකුණේ දකින කෙසෙල්වලට වඩා ප්‍රමාණයෙන් විශාල, දිගින් වැඩි කෙසෙල් නම් යාපනේ “පූවාලු “ය. අක්කර ගණන් රතුපසේ සාරවත්ව වැඩේ. මොවුන්ට අනුව නම් දෙමළ බසින් “කදලි ” “කප්පල් ” “ඉතර “ආදී විවිධ නම්වලින් කෙසෙල් වර්ග ඇත.

යාපනේ කෙසෙල්වලට හොඳ ඉල්ලුමක් ඇත. අලු කෙසෙල්වලට ද එහි ඇති ඉල්ලුම ඉහළ ය. “වාලෙක්කායි පොරියල් ” නොහොත් අලු කෙසෙල් බැදුම, සිකුරාදා දිනවල මොවුන්ගේ ප්‍රියතම බැදුම් වර්ගයක් වන නිසා ය.

හින්දුන්ගේ පූජනීය වෘක්ෂය

කෙසෙල් ගස නම් හින්දුන්ගේ පූජනීය වෘක්ෂයකි. ඔවුන් මේ ගස බ්‍රහස්පති දෙවියන් ලෙස සලකන අතර පවුලේ සෞභාග්‍යය පතා එයට වන්දනාමාන කරයි. කෙසෙල් ගස විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දෙවියන් ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් එහි වැඩ හිඳින බව පැවසේ.

යාපනේ සුලබ දසුනක් නම් මංගල උත්සවවලට සැරසිලි කරන නිවෙස්වල ප්‍රවේශ දොරටුවේ කෙසෙල් කැන් සහිත ගස් දෙකක් සිටුවීම ය. විවාහක යුවළක් බ්‍රහස්පතින්දා දිනයන්හී විෂ්ණු හා ලක්ෂ්මී වන්දනාව සිදු කරයි. ආහාර පිළිගැන්වීමේ දී හා පූජා කිරීමේ දි කෙසෙල් පත්‍ර යොදා ගනියි.

 රතු පසේ වවන සාරවත් මිදි – facebook.com/palmyrahisland

 

උරුම්පිරායි නම් යාපනේ රතු පසේ සාරවත් ව හැදෙන රස ම රස මිදි යාය බොහෝමයක් දැකිය හැකි ප්‍රදේශයකි. මිදි වගාවකින් අවුරුද්දක් වැනි කාලසීමාවක් තුළ මාසිකව මිදි අස්වැන්න ලබාගත හැක.
රසවත් ම කාරණය නම් වැස්ස කාලයට යාපනේ මිදි ටිකක් ඇඹුල් වීම ය. හොඳින් අව්ව රශ්මිය ඇති කාලයට මිදිවල ඇඹුල් රසය මඳක් අඩු ය. ඒ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය යාපනේ සංචාරයට සහභාගී වූ අවස්ථාවක තිරුනල්වේලිහි කෘෂි පරීක්ෂණ ආයතනයට ගොස් මිදී වගාකරුවන් දිරිමත් කර ඇත.

රස ම රස මිදි යාය

එදා මෙන්ම අදත් යාපනයේ මිදි උතුරේත් දකුණේත් ප්‍රසිද්ධ ය. මේ දිනවල පලාලි පාර දෙපස නම් බොහෝ මිදි වෙළෙන්දන් මිදි විකුණන ආකාරය දැකගත හැක. යාපනයේ සංචාරය කරන්නෙක් නම් යාපනේ වයින් හෝ මිදි යුෂවල රස අත්විඳිය යුතු ම ය.

No photo description available.
ඉලන්තායි පලම් හෙවත් මසං – www.facebook.com/wdinudaya

 

යාල් ආගන්තුකයා වරෙක කන්කසන්තුරේ දෙසට සුක්කානම මෙහෙයවන කල්හී හමු වූ අපූරු පලතුර නම් ඉලන්තායි පලම් වේ. තියුණු නොවන කටු සහිත අතුවල තැනින් තැනින් වූ මසං නම් පලතුර ශුෂ්ක භූමියේ හරි අපූරුවට වැඩේ. කොළ, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයෙන් යුතු ඉදුණු මසං ඇඹුල් මිශ්‍ර වූ පැණි රසයකින් යුක්ත වේ. සමහර පල පිෂ්ඨමය ස්වාභාවයක් පෙන්නුම් කරන අතර එය මසං පලයේ රසය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මසං කොළ, පොතුවල ගුණය අගනේ ය. වේළුණු මසං පත්‍ර හිසේ ගල්වා චර්ම රෝග සුව කළ හැකි බව කියයි.

යාපනේ අඹවල අපූරු ම කතාව

කාශ්ටක අව්වේ පැසී ඉදෙන යාපනේ අඹවල අපූරුම කතාව නම් යාපනේ අඹ ජනප්‍රිය වන්නේ තේන්මරච්ච්හී චාවකච්චේරි, මීසාලේ, සරසාලේහි ය.සෑම නිවසකම අඹ ගස් දෙක තුනක් වරදින්නේ නැත. ඒ අතර අඹ වර්ග අතර කර්තකොලොම්බන්, වෙල්ලේකොලොම්බන්, විලාඩ්, පාන්ඩි හා සේලන් දැකගත හැකි ය.

කර්තකොලොම්බන්හී පොත්ත තද කොළ පාට ය. අනෙක් වර්ගයෙහි පොත්ත තරමක් ළා පැහැති ය. පාන්ඩි බොහෝ විට මාලු හොද්දට,කිරි හොද්දට එක් කරයි. ඒ ඇඹුල් රසක් ගෙන දීමට ය. යාපනේ වැසියන්ගේ උදේ ආහාරයේ නම් අඹ පෙත්තක් සමඟ පුට්ටු හෙවත් පිට්ටු වරදින්නේ නැත.

කර්තකොලොම්බන් අඹ – lankabizz.com

හින්දු බැතිමතුන්ගේ පොදු සිරිතක් ලෙස නිවසේ හෝ කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන සහ ඕනෑම අවස්ථාවක අඹ කොළ මාලයකින් දොරටු අලංකාර කිරීම සිදු කරයි. ඊට හේතුව ඔවුන් අඹ කොළ ඉතා පූජනීය ලෙස සැලකීම යි. ඕනෑම හින්දු ආගමික උත්සවයක දී අඹ කොළ පහකින් කළයක් සරසා එහි සින්දූර් ආලේප කිරීම සිරිතකි.

අඹ කොළ මාලය

අඹ කොළ මාලයක් එල්ලීමෙහි ප්‍රධානත ම වැදගත්කම නම්, අඹවලට ඉතා ඇලුම් කළ පාර්වතී දේවතාවියගේ සහ ශිව දෙවියන්ගේ පුතුන් දෙදෙනා වන ගණපති සහ මුරුගන් දෙවියන් සංකේතවත් කිරීම යි.

මෙසේ අඹ කොළ එල්වා තැබීමෙන් නිවසට හෝ පූජා පැවැත්වෙන ස්ථානයට ඇතුළු වන සෘණාත්මක ශක්තිය අවශෝෂණය කරන බව ද පැවසේ. එනිසා එමගින් නපුරු ආත්ම පලවා හරින බව හින්දූන්ගේ විශ්වාසය යි. මෙම මාලය උත්සව අවස්ථාවල දී පමණක් නොව සාමාන්‍ය දිනවල ද එල්ලා තබන අතර ඉන් නිවසට සහ නිවැසියන්ට ආශිර්වාදයක් සැලසෙන බව ද පැවසේ. 

කවරයේ ඡායාරූපය: යාපන පලතුරු - palmyrahisland - wdinudaya - lankabizz.com

මූලාශ්‍ර:

facebook.com/palmyrahisland

Related Articles