මිනිස් අවධානයට ලක්නොවූ ස්වභාවික සම්පතක් වන උණුදිය උල්පත්

අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. ගංගා, දිය ඇලි, වන බිම්, අලි ඇතුන්, පක්ෂීන්, මුතු මැණික් කියන්නේ අපේ රටේ තියන එවැනි ස්වභාවික සම්පත් කිහිපයක් තමයි. එත් අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ තියන අපේ අවධානයට ලක් නොවූ ස්වභාවික සම්පතක් ගැන, ඒ තමයි උණුදිය උල්පත්. උණුදිය උල්පත් කියන්නේ ඉතා විරල ගනයේ ස්වභාවික සම්පතක්. ස්වභාවික සම්පතක් උනත් මේ ස්වභාවික සම්පත මගින් ප්‍රයෝජන ගැනීම එතරම් පහසු කාර්යයක් නම් නොවේ,අන්න ඒ නිසාදෝ කොහෙද මේ ස්වභාවික සම්පත ගැන ගොඩක් දෙනෙකුගේ අවධානයට යොමු වෙලා නැ,. අපි ගොඩක් වෙලාවට දැකල තියෙන්නේ අපේ පොළෙවේන් එන සිසිල් දිය උල්පත්, ඒහෙම නැත්තම් දිය ඇලි විතරයි, එත් අපේ රටේ උණුසුම් ජලය ලැබෙන ස්වභාවික උල්පත් කිහිපයක් තියනවා.

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති කින්නියා උණුදිය පොකුණ (www.panoramio.com)

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති කින්නියා උණුදිය පොකුණ (www.panoramio.com)

උණුදිය උල්පත් එහෙම නැත්තම් ස්වභාවික උණු ජලය ශ්‍රී ලංකාවේදී දැකගන්න පුළුවන් වඩාත් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ගැන ඔබට කියන්න කියලා හිතුවා . මේවයින් එක් උල්පතක් හැරෙන්නට අනෙක් සියල්ල පිහිටා ඇත්තේ ලංකාවේ නැගෙනහිර වෙරළබඩ තැන්නේ වීම තවත් සුවිශේෂී කරුණක් වේ.සමහරක් උල්පත් මඩවගුරු, ඝන කැලැවල පිහිටීම නිසා ඒවාට ලගා වීමට පවා අසීරු වී ඇත. ශ්‍රී ලංකික අපිට මෙය සම්පතක් නොවූවත් විදේශිකයින්ට මෙය අරුමයක් වී හමාරය. එයට නිදසුනක් වන්නේ මිට අවුරුදු 200 පමණ පරණ විදේශීය කෘතීන් වල පවා ශ්‍රි ලංකාවේ උණුදිය උල්පත් ගැන විස්තර කර ඇති ආකාරයයි. අතීතයේ සමහර ජනයා මේවාට පුද පුජා කිරීමට තරම් වටිනා වස්තුවක් ලෙස සලකා ඇති අතර නොයෙකුත් රෝග සදහාද ඖෂධයක් බවට පත්වීමට හැකියාවක් මේ විශ්මිත ස්වභාවික සම්පතට තිබුණා. මෙන්න මේ වගේ වැදගත් කමක් තියන දෙයක් ගැන කතා කරන්න අද අපි මේ කාලය වෙන් කරන්නට හිතුවා.

උල්පත් ජලය උණුසුම් වීමට හේතු මොනවද?

ඇත්තටම කොහොමද මේ ජලය උණුවතුර බවට පත් වෙන්නේ. අපිට ලැබෙන සාමාන්‍ය ජලය වගේම මේ ජලයත් උණුසුම් වීමට පෙර සිසිල් භූගත ජලය විදියට පොළව අභ්‍යන්තරයේ තියනවා, එත් මේ ජලය පහත අපි දක්වා තියන කරුණු නිසා අපිට ස්වභාවයෙන්ම උණුසුම් ජලය විදියට ලැබෙනවා.

  • පෘතුවි අභ්‍යන්තරයේ ඇති උණුසුම් ද්‍රව්‍යයන්ගේ නිකුත් වෙන තාපයේන් ,පෘතුවි අභ්‍යන්තර ඇති ජල තැන්පතුවල සිරවී ඇති ජලය සහ ගලායන භූගත ජලය රත් වී පෘතුවියේ ඇති කුහර ඔස්සේ පෘතුවියේ මතු පිටට පැමිණීම නිසා උණු ජලය ලැබෙන්න පුළුවන්.
  • එහෙම නැත්තම් පෘතුවි කබොලේ තිබෙන යුරේනියම්,තෝරියම් වැනි විකිරණශීලි ඛනිජවල ක්‍රියාකාරිත්වය නිසා නිපදවෙන විකිරණ මගින් අවට ඇති පාෂාණ රත්වීම නිසා භූගත ජලය රත්වීමෙන් උණු ජලය ලැබෙන්න පුළුවන් .
  • මිට අමතරම පෘතුවි අභ්‍යන්තරයේ සිසිල් වෙමින් පවතින මැග්මා වලින් නිපදවෙන තාපය නිසා භූගත ජලය රත්වීමෙන් ඒවා පෘතුවි පෘෂ්ටය මතුපිටට පැමිණීම මගින් මේ උණු ජලය ලැබෙන්න පුළුවන්.

උණුදිය උල්පත් ජලයේ ද්‍රවණය වී තියන දේවල් මොනවද?

අපි ඉහතදී ජලයේ ස්වභාවික උෂ්ණත්වය ඇති වීමට හේතු විස්තර පැහැදිලි කරා, එහෙනම් මොනවද මේ උණුදිය උල්පත් ජලය තුල ද්‍රවණය වෙලා තියන දේවල්? භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදුකල පරීක්ෂණ අනුව උණුදිය උල්පත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 සිට 60 දක්වා පිහිටන්න පුළුවන්. ඒ වගේම මේ ජලයේ ද්‍රවනය වී ඇති ඛනිජ ප්‍රමාණය ලීටරයට ග්‍රෑම් 0.2 සිට 7 දක්වා තියෙන්න පුළුවන්. මිට අමතරව මෙම ජලය තුල නිදහස් කාබන්ඩයොක්සයිඩ්, ඇමෝනියා, බයිකාබනේට, ක්ලෝරයිඩ්, සල්ෆේට්, පොස්ෆේට්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, ලිතියම් සහ යකඩ යන ලෝහ මාත්‍ර ද ඇතුලත් වෙලා තියනවා.

ශ්‍රී ලංකාවේ වැඩිම උණුසුමක් ඇති මහඔය උණුදිය උල්පත්

මහඔය උණුදිය උල්පත් (Land Of Celoyn.com)

මහඔය උණුදිය උල්පත් (Land Of Celoyn.com)

ලංකාවේ දක්නට ලැබෙන උණුදිය උල්පත් අතරින් වැඩිම උෂ්ණත්වයක් ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මහඔය නගරයේ සිට කී,මි.2ක් උතුරු දෙසින් පිහිටි මහා සියඹලා ගල පිහිටි උණුදිය උල්පත්ය. මෙය නගරාසන්නයේ පිහිටා තිබීමත් නිහඩ පරිසරයක පිහිටා තිබීමත් නිසා සංචාරකයන්ට අපුරු තෝතැන්නක් වී ඇත. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන ඇති මෙය නැරඹීමට පැමිණිය යුත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරටය.

මුහුදූ මට්ටමේ සිට අඩි 100 ක් උසින් පිහිටි සමතල බිමක පිහිටි අතර මෙහි ඇති ළිං හතෙන් දෙකක් ජල ස්නානය කල හැකි උෂ්ණත්වයේ පවතින අතර අනෙක් ඒවායේ උණුසුම මදක් වැඩියි. කෙසේ වෙතත් ඉතා පිරිසිදු ජලයෙන් යුතු මේ ළිංවලින් මතුවන බුබුළු කිහිපයක වායුමය ප්‍රභවයක් දක්නට ඇත.සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අ. 54 ක් හැ පි.එච්. අහය 7.6 වන අතර නිදහස් කාබන්ඩයොක්සයිඩ් 0 ක් හා සාමාන්‍ය සාන්ද්‍රණය 990 කී. මෙහි ඇති සමහර ළිං සදහා අතවත් දැමීමට නොහැකි තරම් උණුසුම වැඩිය.

ස්වභාවධර්මයේ අපුරු නිර්මාණයක් වූ මරංගල උණුදිය උල්පත

මරංගල උණුදිය උල්පත.( www.panoramio.com)

මරංගල උණුදිය උල්පත.( www.panoramio.com)

පදියතලාව සිට කී.මි.10ක් දකුණු දෙසින් පිහිටි මෙම ස්ථානයේ නළ ළිද තුලින් පැයකට ජලය ගැලුම් 640ක් ගලා බසී.මෙහි ජලයේ උෂ්ණත්වය උපරිමය සෙල්සියස් අංශක 48ක් ලෙසත් අවමය සෙල්සියස් 43ක් ලෙස පවතීන අතර මුහුදූ මට්ටමේ සිට අඩි 200ක් ඉහලින් ඇති වගුරුබිමක පිහිටා ඇත. එම වගුරු බිමට මැතින් ශේෂ කඳු වැටි සහිත අක්‍රමවත් උස් භූමියක් දක්නට හැකිය. විශේෂයක් වන්නේ මෙම උල්පත් සමීපයේ ඇති මඩ පසෙහි හයිඩ්‍රජන් සල්පයිඩ් ගහන ස්වභාවයක් පෙන්නුම් කිරීමයි.

මහා වනමැද පිහිටි කපුරැල්ල උණුදිය උල්පත

මිනිස් පහසින් ඈතට ගිය මහා වන මැද පිහිටි මේ උණුදිය උල්පත කරා ලගාවීමට මහියංගනය පසුකර පදියතලාව ඔස්සේ මහඔයට පැමිණ එතැන් සිට ටැම්පිටිය ගමට පිවිසෙන අතුරු මාර්ගයට පිවිසිය යුතුය.

මුහුදූ මට්ටමේ සිට අඩි 90ක් ඉහලින් පිහිටා ඇති මෙය උණුදිය උල්පත් අතර වැඩි උණුසුමක් ඇති උල්පතකි.එහි උෂ්ණත්වය සෙ. 54ක් වන අතර පි.එච් අගය 7.5කි.මෙය ඉතා ස්වභාවික පරිසරයක පිහිටන නිසා මෙහි අලි ඇතුන් මෙන්ම මුව, මි, ගොන්නුන් වැනි සත්තුන්ද උණුදිය උල්පත් වටපිටාවෙන් දැක ගැනීමට හැකියාවත් පවතී.

තවත් උණුදිය උල්පත් කිහිපයක් හා ඒවායේ පිහිටීම

උණුදිය උල්පතේ නම උෂ්ණත්වය උණුදිය උල්පත් වල පිහිටීම
මහසියඹලාගල (මහඔය) සෙල්සියස් අංශක 54 යි ම්පාර නගරයේ සිට කී.මි. 2ක් උතුරු දෙසට.
කපුරැල්ල (මහඔය) සෙල්සියස් අංශක 54යි අම්පාර දිස්තික් මායිමේ බස්නාහිර දෙසට කැලය මද ටැම්පිටිය ගමට කී.මි.10 දුරින්.
මරංගල (පදියතලාව) සෙල්සියස් අංශක 48යි අම්පාර දිස්තිකයේ පදියතලාව නගරයෙන් දකුණු දෙසට කී.මි.12ක් දුරින් ඇත.
මහපැලැස්ස (අම්බලන්තොට) සෙල්සියස් අංශක 44යි අම්බලන්තොට මදුනාගල ගම්මානයේ පිහිටා ඇත.
මහපැලැස්ස (අම්බලන්තොට) සෙල්සියස් අංශක 44යි අම්බලන්තොට මදුනාගල ගම්මානයේ පිහිටා ඇත.
කින්නියා (ත්‍රිකුණාමලය) සෙල්සියස් අංශක 42යි ත්‍රිකුණාමලය නගරයට මදක් නුදුරින්.
කිවුලෙගම (තිරුක්කෝවිල්) සෙල්සියස් අංශක 34යි තිරුක්කෝවිල්හි පිහිටා ඇත.

උණුදිය උල්පත් ජලය හා රෝග දුරු කිරීමේ විශ්වාසය

විශ්වාස සහ ඇදහීම් අතීතයේ සිට මිනිසුන්ගේ පැවත එන දෙයක්නේ. ඉතින් ස්වභාවික සම්පතක් වන උණු ජලයටත් සම්බන්ධ විස්වාසයන් හා ඇදහීම් තියනවා. උණුදිය ස්නානය කිරීමෙන් රෝගාබාධ සුව වීම හා සම පැහැපත් වී ජවි කල්‍යාණය වර්ධනය වන බව අතීතයේ සිට ජනතාව තුල තිබුණු විස්වාසයක්, ඒ වගේම ගුප්තමය විස්වාසයක් මුල්කරගෙන උණුදිය උල්පත් ජලය ස්නානය කර ආසන්නයේ පිහිටි ආගමික පුදබිම් වලට පිවිස පුද සත්කාර කිරීමත්, දෙවියන් යැද බාර හාර වීමත් සිදු කරන්නට මිනිස්සු පුරුදු වෙලා සිටියා.මිට අමතරව උණුදිය උල්පත් ජලය ස්නානය කිරීමෙන් වාත රෝගවලට හා පිනසය, සුදු කබර, හොරි දද, කුෂ්ට ආදී චර්ම රෝගයන්ටද විශේෂ සහනයක් ලබාගන්න පුළුවන් කියලා බොහෝ ජනයාගේ විශ්වාසයක් තියනවා. මතකද අපි මුලදී සදහන් කරපු ආකාරයට ස්වභාවික උණුදියහි අඩංගු රසායනික සංඝටක තියනවා කිවා, ඉතින් සමහර විට ස්වභාවික උණු ජලයේ අඩංගු ඇතැම් සංඝටකවලට රෝග සුවකරන කිසියම් ඖෂධ ගුණයක් තියෙන්න පුළුවන්.කොහොම උනත් තවත් මේ වගේ මිනිස් ඇසට අසු නොවුණු සම්පත් පොළවගැබ තුල වගේම වන ගැබ තුළත් සැගවී තියෙන්න පුළුවන්. අපි ඒවාට ආදරය කරන්න වත් ඒවා ගැන නොදන්නවා වෙන්න පුළුවන්, සමහර විට ඒවා දැනගත්තත් අපිට ඒවාට ළඟාවෙන්න බැරි වෙන්න පුළුවන්.මොනවා උනත් මේ හැමදෙයක්ම ස්වභාවික සම්පත්. ඉතින් මේවා රැකගන්න එක අපි කාගේත් යුතුකමක්, වගකීමක්.කසුන් නල්ලපෙරුම.

කවරයේ පින්තුරය: Sri Lankan Spirit

Related Articles